Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අගමැති ධූරයත් අහිමි කළ ලිස් ට්‍රස් ගේ “ට්‍රස්සොනොමික්ස්”

බෝරිස් ජොන්සන් ගේ ඉල්ලා අස්වීමත් සමඟ අර්බුද පිරි එක්සත් රාජධානියේ අගමැති තනතුරට ලිස් ට්‍රස්  පත් වුණේ පසුගිය සැප්තැම්බර් 06 වැනිදා යි. එරට පාලන බලය හිමි කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය උදෙසා වූ තරගයට ඉදිරිපත් වෙමින් ඇය ජයග්‍රහණය කළ අතර, එක්සත් රාජධානියේ අගමැතිවරිය වීමටත් සුදුසුකම් ලැබුවා.

බෝරිස් ජොන්සන් කෙරෙහි තිබූ මහජන අප්‍රසාදය මුළු කොන්සර්වේටිව් පක්ෂයට ම ආරෝපණය වී තිබූ බැවින්, ඊළඟ මැතිවරණ කාල සීමාව දක්වා පක්ෂය වෙත මහජන ආකර්ෂණය යොමු කරගැනීමේ වගකීම පැවරුණේ ලිස් ට්‍රස්ට යි. නමුත්, එක්සත් රාජධානියේ දේශපාලන අර්බුදය තවදුරටත් දීර්ඝ කරමින් ට්‍රස්, අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන බව පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 20) දැනුම් දුන්නා.

ලිස් ට්‍රස් බලාපොරොත්තු වූ ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. අවසානයේ දී ඇයට අගමැති ධූරය අහිමි වීමටත් එය බලපෑවා – twitter.com/trussliz

ලිස් ට්‍රස් තැබූ වාර්තාව

ඉල්ලා අස්වීම දැනුම් දීමෙන් පසු ලිස් ට්‍රස් එක්සත් රාජධානියේ කෙටිම කලක් අගමැති ධූරය හෙබ වූ තැනැත්තිය ලෙස ඉතිහාසයට එක් වෙනවා. ඇයගේ ධූර කාලය දින 44 ක් වැනි කෙටි කාලයකට සීමා වන අතර, මීට පෙර එම වාර්තාව ජෝර්ජ් කැනිං තබා තිබුණා. ඔහුට අගමැති ධූරය දැරීමට හැකි වුණේ දින 119 ක් පමණ යි.

ඉල්ලා අස්වීම දැනුම් දීම සඳහා ඩවුනිං වීදියෙන් පිටත ඇය කෙටි දේශනයක් සිදු කළ අතර, එහි දී ඇය පවසා සිටියේ බදු කපා හැරීමට සහ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා ජනතා කැමැත්ත මත කොන්සර්වේටිව් පක්ෂය ඇය තෝරා ගත් බව යි. කෙසේ නමුත්, ජනවරම අනුව ක්‍රියාත්මක වීමේ නොහැකියාව මත ධූරයෙන් ඉල්ලා අස්වන බව ලිස් ට්‍රස් ප්‍රකාශ කළා.

  ට්‍රස්ගේ කතාවෙන් පසු කම්කරු පක්ෂයේ නායක කියර් ස්ටාමර් සහ අනෙකුත් විරුද්ධ පක්ෂ මහ මැතිවරණයක අවශ්‍යතාව මතු කළ ද කොන්සර්වේටිව් පක්ෂය පෙර පරිදි ම සිය පක්ෂ අභ්‍යන්තර ක්‍රියාවලිය හරහා නායකයා තෝරාගනු ඇති. දැනට වාර්තා වන අන්දමට ඊළඟ නායකයා තෝරා ගැනීමේ වැඩ කටයුතු එළඹෙන ඔක්තෝබර් 28 වැනිදා වනවිට අවසන් කිරීමට කොන්සර්වේටිව් පක්ෂ සාමාජිකයන් බලාපොරොත්තු වෙනවා.

කියර් ස්ටාමර් ඇතුළු විරුද්ධ පක්ෂ මහ මැතිවරණයක අවශ්‍යතාවය පළ කල ද කොන්සර්වේටිව් පක්ෂය එවැනි අවදානමක් ගැනීමට සූදානම් නැහැ – labour.org.uk

දින 44 කුණාටුව

එක්සත් රාජධානිය දැන් ගෙවමින් සිටින්නේ තරමක දුෂ්කර කාල පරිච්ඡේදයක්. බලශක්ති අර්බුදය සමඟ වෙළී ඇති ආර්ථික ගැටලු රැසක් රට තුළ හිස ඔසවමින් තිබෙන අතර, දේශපාලන අස්ථාවර භාවයෙන් තත්ත්වය තවදුරටත් උග්‍ර විය හැකි යි. බෝරිස් ජොන්සන් ගේ විවාදාත්මක පාලන කාලයෙන් පසු ලිස් ට්‍රස් හරහා යම්තාක් දුරකට ශක්තිමත් දේශපාලන පදනමක් කොන්සර්වේටිව් පක්ෂය බලාපොරොත්තු වුව ද ආර්ථික අර්බුද හමුවේ ට්‍රස් ගත් ඇතැම් තීරණ නිසා පක්ෂ අභ්‍යන්තරයේ ගැටලු පැන නැඟුණා. දින 44 ක් පුරා තීව්‍ර වෙමින් පැමිණි ඒ ගැටලු කුණාටුවක් මෙන් නැඟී සිටියේ අගමැති ධූරය පවා ලිස් ට්‍රස්ට අහිමි කරමින්.

ඇය ගත් තීරණ මොනවා ද?

ඒවා කොන්සර්වේටිව් දේශපාලනයට බලපෑවේ කෙසේ ද?

අපි විමසා බලමු.

ට්‍රස්සොනොමික්ස්

ට්‍රස් වෙත තිබූ කොන්සර්වේටිව් සහාය වේගයෙන් පහත වැටීම ආරම්භ වුණේ ඇය ගේ ආර්ථික සැලැස්ම නිසා යි. කොවිඩ්-19 වසංගතය සහ රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් ඇති වූ ආර්ථික හායනයට පිළියම් ලෙස ලිස් ට්‍රස් ආර්ථික වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ අතර, එය ඇතැමුන් හැඳින්වූයේ “ට්‍රස්සොනොමික්ස්” යනුවෙන්. ඇය ඉදිරිපත් කළ ආර්ථික සැලැස්ම තුළ දැවැන්ත බදු කප්පාදු ඇතුළත් වීම විශේෂ ලක්ෂණයක් වූවා.

 පසුගිය සැප්තැම්බර් 23 වැනිදා ට්‍රස් ගේ හිටපු චාන්සලර්වරයා වන ක්වාසි ක්වාටෙන්ග්, කුඩා අයවැයක් ඉදිරිපත් කරමින් එක්සත් රාජධානියේ විශාලත ම බදු කප්පාදුව හඳුන්වා දුන්නා. වසර පහක් ඇතුළත පවුම් බිලියන 45 ක් පමණ වටිනා බදු කප්පාදුවක් එමඟින් යෝජනා වූ අතර, එම මුදල් උපයා ගන්නා සැලැස්මක් ඔවුන්ට හරියාකාර ව ඉදිරිපත් කිරීමට හැකි වුණේ නැහැ. ඊට ඉක්මන් ප්‍රතිචාර ලෙස එක්සත් රාජධානියේ ආයෝජකයන් නව ආර්ථික සැලැස්ම දැඩි ව ප්‍රතික්ෂේප කළා. ගෝලීය වෙළඳපොළ ද “ට්‍රස්සොනොමික්ස්” ඉදිරියේ ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව පවුමේ අගය පහත හෙළුවා.

ක්වාසි ක්වාටෙන්ග් සහ ලිස් ට්‍රස් – www.bbc.com

රේගන් ගේරේගනොමික්ස් 

එක්සත් රාජධානිය කැපී පෙනෙන ආර්ථික අර්බුදයක් අබියස සිටිය දී ලිස් ට්‍රස් දැවැන්ත බදු කප්පාදුවක් කරා ගියේ ඇයි?

 මීට පිළිතුරක් සොයා ගැනීම සඳහා අපට 1980 ගණන්වල එක්සත් ජනපදයේ ජනපති ධූරය හෙබ වූ රොනල්ඩ් රේගන් ගේ ආර්ථික සැලැස්ම මඳක් සලකා බැලීමට සිදු වෙනවා.

එකල එක්සත් ජනපදයේ වාර්ෂික උද්ධමනය 11.83% ක් තරම් ඉහළ අගයක් ගත් අතර, ජනපති රොනල්ඩ් රේගන් ඉක්මන් පියවර ගනිමින් ආර්ථික ප්‍රතිසාධන බදු පනත හරහා බදු කප්පාදු කිරීම ඇරඹුවා. ව්‍යාපාර දිරි ගන්වමින් නිෂ්පාදන ඉහළ දැමීම, රැකියා විරහිතභාවයට විසඳුම් සෙවීම, ආයෝජන උදෙසා මුදල් නිදහස් කිරීම සහ පුද්ගල මට්ටමින් දිරි දීමනා ලබා දීම, එම බදු කප්පාදු වල අරමුණු වූවා. මෙම ආර්ථික ක්‍රියාවලිය “රේගනොමික්ස්” ලෙස හැඳින්වූ අතර, බදු කප්පාදුව අංශ හතරක් ඔස්සේ ක්‍රියාත්මක වුණා. රාජ්‍ය වියදම් වර්ධනය අවම කිරීම, ආදායම් බදු සහ ප්‍රාග්ධන ලාභ උදෙසා අය කරන බදු අවම කිරීම, ව්‍යාපාර රෙගුලාසි කප්පාදු කිරීම, මුදල් සැපයුම අවම කිරීම, එම අංශ හතර යි.

ඉල්ලා අස්වීම දැනුම් දීමෙන් පසු ලිස් ට්‍රස් පිළිබඳ බ්‍රිතාන්‍ය පුවත්පත් වාර්තා කළ අයුරු – Leon Neal/Getty Images

“රේගනොමික්ස්” හි මූලධර්මය

රේගන්ගේ ආර්ථික වැඩපිළිවෙළ හේතුවෙන් ෆෙඩරල් රජයේ ආදායම පහළ ගිය ද පාරිභෝගිකයන් අතර මුදල් සංසරණය වර්ධනය වුණා. එය ව්‍යාපාර වර්ධනය සහ රැකියා බඳවා ගැනීම් සඳහා යම් උත්තේජනයක් සැපයූ අතර, බදු අඩු කිරීමෙන් පෙරට වඩා විශාල බදු පදනමක් රජය ඉදිරියේ නිර්මාණය වුණා. “රේගනොමික්ස්” හි මූලධර්මය වන්නේ ආයතනික බදු කප්පාදුව හරහා ආර්ථිකය වර්ධනය කිරීම යි. සමාගම්වලට වැඩිපුර මුදල් ලැබෙන විට ඔවුන් නව සේවකයන් බඳවා ගනිමින් ව්‍යාපාර පුළුල් කළ යුතු යි. පුද්ගල මට්ටමෙන් දිරි ගැන්වීම් ලැබෙන නිසා ශ්‍රම සැපයුමත් ඉහළ යනවා. කෙසේ නමුත්, රොනල්ඩ් රේගන් ගේ ආර්ථික වැඩපිළිවෙළ මිශ්‍ර ප්‍රතිපල ගෙන දුන් ක්‍රියාවලියක් ලෙස හැඳින්විය හැකි යි.

ලිස් ට්‍රස් ගේ ආර්ථික වැඩපිළිවෙල නිසා එරට මුදක් ඒකකයේ අගය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව වාර්තාගත අන්දමින් පහළ බැස්සා – www.moneycontrol.com

ට්‍රස්ට වැරදුණු “රේගනොමික්ස්”

රේගන් ගේ ආර්ථික වැඩපිළිවෙළ හරහා එක්සත් ජනපදය රිදවමින් සිටි උද්ධමනය හීලෑ කර ගැනීමට හැකි වුව ද රාජ්‍ය වියදම්වල අඩුවක් සිදු වුණේ නැහැ. ක්‍රම ක්‍රමයෙන් ආරක්ෂක වියදම් ඉහළ යාම ඊට හේතුව යි. අවසාන ප්‍රතිපලය ලෙස ෆෙඩරල් රජයේ ණය ප්‍රමාණය තුන් ගුණයකින් වර්ධනය වුණා. ලිස් ට්‍රස් යෝජනා කළ ආර්ථික වැඩපිළිවෙළත් එක්තරා අන්දමක “රේගනොමික්ස්” ක්‍රියාවලියක් ලෙස හැඳින්වීමට පුළුවන්. නමුත්, දශක කිහිපයකට පෙර එක්සත් ජනපදය මුහුණ දුන් අර්බුදය සහ දැන් එක්සත් රාජධානිය මුහුණ දෙන අර්බුදය පදනම් වී ඇති පසුබිම් කරුණු අතර ඇති වෙනස වටහා ගැනීමේ දී ට්‍රස් අසාර්ථක වුණා. කොන්සර්වේටිව් පක්ෂ අභ්‍යන්තරයේ කලක පටන් තිබෙන කැලඹිලි සහගත ස්වභාවය හේතුවෙන් ඇයට නිසි සහයෝගයක් තම සැලැස්ම උදෙසා ලැබුණේ නැහැ. අවසානයේ දී සියල්ලගේ ම පීඩනය ට්‍රස්ගේ හිස මත පුපුරා ගියා!  

ලිස් ට්‍රස් සහ ක්වාසි ක්වාටෙන්ග් එක්ව ඉදිරිපත් කළ ආර්ථික සැලැස්ම නිසා එක්සත් රාජධානියේ ණය බර තවදුරටත් වැඩි විය හැකි බවට විවේචන එල්ල වුණා. එක්සත් රාජධානියට දැනටමත් සැලකිය යුතු මට්ටමේ රාජ්‍ය ණය බරක් තිබෙන බැවින්, නව බදු ක්‍රම අවශ්‍ය වීමේ පසුබිමක් ඉදිරියේ දී නිර්මාණය විය හැකි යි. එවැනි පියවරක් නොගතහොත්, ඉදිරි වසර 50 ඇතුළත දළ දේශීය නිෂ්පාදිතයෙන් 320% ක් දක්වා රාජ්‍ය ණය බර ඉහළ යා හැකි බව එක්සත් රාජධානියේ අයවැය වගකීම් පිළිබඳ කාර්යාලය අනතුරු හැඟවූවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා ට්‍රස් ගේ බදු කප්පාදුව පිළිගත්තේ නැහැ. 

ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වූ පීඩනය හමුවේ කොන්සර්වේටිව් පක්ෂයට සිය දේශපාලන අනාගතය ගැන සිතීමට සිදු වුණා. එහි මූලික පියවරක් වශයෙන් සිය ආර්ථික සැලැස්ම පියවරෙන් පියවර හකුළා ගැනීමට ට්‍රස් උත්සුක වූ නමුත්, වෙළෙඳපොළේ කැලඹීම ඉන් නතර වුණේ නැහැ. ඇය ගේ දැක්මට මනා සහයෝගයක් පළ කළ ක්වාසි ක්වාටෙන්ග් ද සේවයෙන් නෙරපා හැරීමට ඇයට සිදු වුණා. ක්වාසි ගේ නික්ම යෑමත් සමඟ කුඩා අයවැයේ බදු කප්පාදු කිරීමේ යෝජනා රැසක් ඇයට ඉවත් කර ගැනීමට සිදු වූ අතර, ට්‍රස් ගේ “ට්‍රස්සොනොමික්ස්” අවසානයේ දී පුස්සක් බවට ම පත් වුණා.

හිටපු අගමැති බෝරිස් ජොන්සන් නැවත අගමැති ධූරයේ පිහිටුවීමට ඇතැම් කොන්සර්වේටිව් සාමාජිකයින් උත්සහ කරමින් සිටිනවා – Kirsty O’Connor – WPA Pool/Getty Images

ඊළඟ කොන්සර්වේටිව් තුරුම්පුව

ලිස් ට්‍රස් බලයට පත් වීමට පෙර සිට ම ඇය ගේ පරිපාලන හැකියාව සම්බන්ධයෙන් දේශපාලකයන් සහ විචාරකයන් සැක පහළ කර තිබුණා. ට්‍රස් අගමැති ධූරයට පත් වුණේ මහ මැතිවරණයක් ජයගෙන නොවෙ යි. ඇය අපකීර්තිය මැද ඉල්ලා අස් වූ බෝරිස් ජොන්සන් ගේ අඩුව පිරවීම සඳහා පැමිණි කොන්සර්වේටිව් තේරීමක් පමණ යි. එබැවින්, බෝරිස් ජොන්සන් ඉතිරි කර ගිය අපකීර්තියෙන් ඇයට ගැලවීමක් නැහැ. ජන වරමක් නොමැති අගමැතිවරියක් ලෙස ජනතා ප්‍රසාදය ද ලිස් ට්‍රස් වටා එතරම් සාන්ද්‍රගත වී නැහැ. නමුත්, කොන්සර්වේටිව් පක්ෂය තවත් “තේරීමක්” සිදු කිරීමට දැනටමත් පිඹුරුපත් සකසා අවසන්.

දැනට වාර්තා වන අන්දමට හිටපු අගමැති බෝරිස් ජොන්සන් අගමැති ධූරයේ නැවත පිහිටුවීමට ඇතැම් කොන්සර්වේටිව් සාමාජිකයන් උත්සහ කරමින් සිටිනවා. කෙසේ නමුත්, බෝරිස් ජොන්සන් නැවත ගෙන ඒම සම්බන්ධයෙන් පක්ෂය තුළ ගැඹුරු බෙදීමක් ඇති වී තිබෙන බව යි පැවසෙන්නේ. ඔහු යටතේ එක්සත් රාජධානිය අලුත් ගැටලු රැසකට මැදි වේවියැ යි ඇතැම් කොන්සර්වේටිව් පාක්ෂිකයන් විශ්වාස කරනවා.

රිෂී සුනාක් – www.telegraphindia.com

රටේ ප්‍රශ්න ද? පක්ෂයේ අනාගතය ද?

 හිටපු ආරක්ෂක අමාත්‍ය පෙනී මෝඩන්ට්, කොන්සර්වේටිව් පක්ෂයේ මීළඟ නායකයා වීමට අපේක්ෂා කරන බව නිල වශයෙන් ප්‍රකාශ කළ පළමු අපේක්ෂකයා යි. එහෙත්, රිෂී සුනාක් සහ බෝරිස් ජොන්සන් නැඟී එන අපේක්ෂකයන් වීමේ ප්‍රවණතාවක් තිබෙනවා. රිෂී සුනාක් මීට පෙර කොන්සර්වේටිව් නායකත්වය සඳහා ලිස් ට්‍රස් සමඟ තරඟයට ඉදිරිපත් වුණා. අනපේක්ෂිත ලෙස දින 44 ක් ඇතුළත නායකත්වයට තරග කිරීම සඳහා නැවතත් අවස්ථාව උදා වූ බැවින්, රිෂී සුනාක් එම දුර්ලභ අවස්ථාව මඟ නොහරිනු ඇති.

රිෂි සුනාක්, මීළඟ කොන්සර්වේටිව් නායකයා සහ අගමැති වීමේ තරගයට පිවිසීමට අවශ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමයෝජනා සියයට ළඟා වීමට ආසන්න බවත් වාර්තා වෙනවා. කොන්සර්වේටිව් පක්ෂයට එරට පාර්ලිමේන්තුවේ විශාල බහුතරයක් ඇති නිසා හදිසි මහ මැතිවරණයක් කැඳවීමට උත්සහ ගන්නේ නැහැ. ඊළඟ මැතිවරණය පැවැත්වීම සඳහා තවත් අවුරුදු දෙකක් ඉතිරි ව ඇති බැවින්, ඔවුන් තම අභ්‍යන්තර ක්‍රියාවලිය හරහා ම නායකයා තේරීමට උත්සුක වෙනවා. මත විමසුම්වලට අනුව මේ අවස්ථාවේ හදිසි මැතිවරණයක් කැඳවුවහොත්, කොන්සර්වේටිව් පක්ෂය මුළුමනින් ම අතුගෑවී යන තරමට ම ජන අප්‍රසාදය ප්‍රබල යි. එබැවින්, දැන් කොන්සර්වේටිව් පක්ෂයට රටේ ගැටලුවලටත් වඩා ස්ථිර නායකත්වයක අවශ්‍යතාව බරපතල සාධකයක් වෙමින් තිබෙනවා.

කවරයේ ඡායාරූපය ලිස් ට්‍රස් සිය ඉල්ලා අස්වීම දැනුම් දුන් අවස්ථාව - Leon Neal/Getty Images
මූලාශ්‍ර:
www.bbc.com/news/uk
www.vox.com/world
www.cnbc.com
www.thebalancemoney.com
www.reuters.com

Related Articles