Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බෙල්ජියම්, ක්‍රොඒෂියා ආධිපත්‍යයට නතුවූ පාපන්දු ලෝක කුසලානයේ F කාණ්ඩය

මෙවර පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් තරග වදින කණ්ඩායම් ගණන 32ක්. ඔවුන් කාණ්ඩ 8 කට බෙදා තිබෙනවා. මීට ප්‍රථම ලිපිවලින් මෙවර ලෝක කුසලානයේ A, B, C, D සහ E කාණ්ඩ සම්බන්ධයෙන් ඔබ දැනුම්වත් කළා. මෙම ලිපියෙන් සාකච්ඡා කෙරෙනුයේ 2022 පාපන්දු ලෝක කුසලානයේ F කාණ්ඩය පිළිබඳව යි.

1. බෙල්ජියම

වසර ගණනාවක් පුරාවට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි අංක 1 කණ්ඩායම බවට පත්ව සිටි බෙල්ජියම වර්තමානයේ දී දෙවන ස්ථානයට පත් ව සිටිනවා. 2018 ලෝක කුසලානයට සහභාහී වූ ඔවුන් හැඳින්වුණේ එරට පාපන්දුවේ ස්වර්ණමය යුගය නියෝජනය කළ කණ්ඩායම වශයෙන්. එතරම් දක්ෂ කණ්ඩායමක් බෙල්ජියම සතු වුණා. 1930 පළමු ලෝක කුසලානය ද නියෝජනය කළ ඔවුන් මේ දක්වා තරගාවලි 13 කට සහභාගී වී තිබෙනවා. මෙවර ඔවුන් එක් වන්නේ තම 14 වන තරගාවලියට යි.

ලොව අංක 2 පාපන්දු කණ්ඩායම බවට පත්ව සිටින බෙල්ජියම – www.wallpapercave.com

2018 පාපන්දු ලෝක කුසලානයේ තෙවන ස්ථානය දිනා ගැනීම බෙල්ජියම එදා මෙදා තුර ලෝක කුසලාන ඉතිහාසයේ දැක්වූ ඉහළත ම දක්ෂතාව වුණා. යුරෝපීය පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේදී E කාණ්ඩයේ පෙරමුණට පත් වෙමින් ඔවුන් මෙවර ලෝක කුසලාන වරම් දිනා ගත්තා. දක්ෂ ක්‍රීඩකයන් රැසක ගෙන් සමන්විත බෙල්ජියම 49 හැවිරිදි ස්පාඤ්ඤ ජාතික රොබෙර්ටෝ මාර්ටිනස් ගේ පුහුණුකාරිත්වය යටතේ ලෝක කුසලානයට එක් වනවා.

තීරණාත්මක ක්‍රීඩකයෝ

2018 ලෝක කුසලානයේදී සුවිශේෂී දස්කම් දක්වමින් ක්‍රීඩා කළ ඒඩ්න් හසාර්ඩ් ඔවුන්ගේ ඉදිරිපෙළ ප්‍රධාන තරුව යි. මෑත කාලීන ව ඔහු විශාල වශයෙන් ආබාධවලට ගොදුරු වුණා. හසාර්ඩ් 2019 දී රියාල් මැඩ්රීඩ් සමඟ එක් වීමෙන් පසුව මෙලෙස දිගින් දිගට ම ආබාධ නිසා පීඩා විඳිනවා. කෙසේ වුවත් තරග 122 ක දී ගෝල 33 ක් ලබා සිටින ඒඩ්න් හසාර්ඩ් මෙවර තරගාවලියේ දී නැවත සුපුරුදු දක්ෂතා අතරට පැමිණෙනු ඇතැයි බෙල්ජියම් ප්‍රේක්ෂකයන් බලාපොරොත්තුවෙන් සිටිනවා.

හසාර්ඩ් නැවත සුපුරුදු දක්ෂතා අතරට පැමිණෙනු ඇතැයි බෙල්ජියම බලාපොරොත්තු වනවා – www.outlookindia.com

හසාර්ඩ් හැරුණු විට බෙල්ජියමේ ඉදිරි පෙළ ගෝල මැෂිම වන්නේ රොමේලු ලුකාකු යි. මෑත කාලීන ව ක්‍රීඩා සමාජ මට්ටෙමෙන් යම් අසාර්ථකත්වයක් සහ ආබාධ තත්ත්වයන් පෙන්වූව ද, ලුකාකු යනු ජාතික කණ්ඩායම හා ක්‍රීඩා කරන සෑම විටෙක ම සුපිරි දක්ෂතා අතරට එක් වන ක්‍රීඩකයෙක්. බෙල්ජියම් පාපන්දු ඉතිහාසයේ ජාතික කණ්ඩායම වෙනුවෙන් වැඩි ම ගෝල ලබා ගෙන සිටින්නේ ඔහු වීම මෙයට හොඳ ම උදාහරණය යි. 2010 සිට බෙල්ජියම නියෝජනය කරන රොමේලු ලුකාකු තරග 102 ක දී ලබා සිටින ගෝල සංඛ්‍යාව 68ක්.

ලොව සිටිනා මැද පෙළ ක්‍රීඩා කරන පාපන්දු ක්‍රීඩකයන් අතරේ වඩාත් ආකර්ෂණීය ම ක්‍රීඩා රටාවක් හිමි සහ වඩාත් සාර්ථක ම ක්‍රීඩකයා වන්නේ කෙවින් ඩි බ්‍රවුනේ යැයි පැවසීම මුසාවක් නොවේ. එංගලන්තයේ මැන්චෙස්ටර් සිටි කණ්ඩායමට මෙන් ම බෙල්ජියමට ද ක්‍රීඩා කරමින් අවස්ථා ගණනාවකදී ම තමන්ගේ වටිනාකම පෙන්වීමට ඔහු සමත් වුණා. මෑත කාලීන ව පාපන්දු පිටියේ සිටිනා වඩාත් දක්ෂත ම ක්‍රීඩකයෙක් ලෙසින් ඔහු ශ්‍රේණිගත ව සිටිනවා. බෙල්ජියම මැද පෙළ වගකීම කරට ගෙන කටයුතු කරනා ඩි බ්‍රවුනේ තරග 93 කදී ගෝල 25 ක් ලබා සිටිනවා.

බෙල්ජියම් ඉතිහාසයේ වැඩි ම ගෝල ලාභියා වන රොමේලු ලුකාකු – www.goal.com

ඉහත නම් කළ ක්‍රීඩකයන්ට අමතර ව ඒඩ්න් හසාර්ඩ් ගේ බාල සොහොයුරා වන තෝගන් හසාර්ඩ්, ඩ්‍රීස් මර්ටන්ස්, ඇක්සෙල් විට්සාල්, යානික් කැරැස්කෝ, තෝමස් මූනියර්, තිබූ කෝටුවා වැනි තරු රැසක් බෙල්ජියම සතු යි. පසුගිය ලෝක කුසලානයේදී ද අවසන් කණ්ඩායම් 4 දක්වා පැමිණි ඔවුන් මෙවර ලෝක කුසලානයේදී ද පෙරළිකාර දස්කම් දැක්විය හැකි කණ්ඩායමක්.

2. කැනඩාව

වසර 36 කට පසුව ලෝක කුසලාන සිහිනය සැබෑ කරගනිමින් කැනඩාව මෙවර් තරගාවලියට සහභාගී වනවා. 1986 වර්ෂයේ දී ප්‍රථම වතාවට ලෝක කුසලානයකට සුදුසුකම් ලැබූ ඔවුන් ඉන් අනතුරු ව 2022 තරගාවලියට එක් වීම විශේෂත්වයක්. 1986 දී තමන් සහභාගී වූ එක ම ලෝක කුසලානයේ මූලික වටයෙන් ම ඉවත් වීමට කැනඩාවට සිදු වුණා.

වසර 36 කට පසුව ලෝක කුසලාන නියෝජනය කිරීමේ සිහිනය සැබෑ කරගත් කැනඩාව – www.dailyhive.com

උතුරු අමෙරිකානු කලාපයේ ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ වටයේ අවසන් අදියරේ ප්‍රථම ස්ථානයට පත් වෙමින් ඔවුන් ලෝක කුසලාන වරම් දිනා ගත්තා. උතුරු අමෙරිකානු ප්‍රබලයන් වන මෙක්සිකෝව සහ අමෙරිකා එක්සත් ජනපදයට ද වඩා ඉහළින් සිටිමින් කැනඩාව ලෝක කුසලාන වරම් දිනා ගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. වත්මන් පාපන්දු ලෝක ශ්‍රේණිගත කිරීම් හි 41 වන ස්ථානයේ පසුවන ඔවුන් එංගලන්ත ජාතික 47 හැවිරිදි ජෝන් හර්ඩ්මන් ගේ පුහුණුකාරිත්වයෙන් තරගාවලියට එක් වනවා.

තීරණාත්මක ක්‍රීඩකයෝ

උතුරු අමෙරිකානු කලාපයේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ දී වැඩි ම ගෝල ලාභියා බවට ද පත් වෙමින් කැනඩා සිහිනය සැබෑ කළ කයිල් ලැරින් එරට ජනතාවගේ වීරයෙක් බවට පත් ව සිටිනවා. ලැරින් මේ වන විට වෘත්තීයමය වශයෙන් බෙල්ජියමේ ක්ලබ් බර්ජ් ක්‍රීඩා සමාජය හා එක් ව ක්‍රීඩා කරනවා. ගෝල ලබා ගැනීමේ වඩා දක්ෂයෙක් වන ඔහු තරග 54 ක දී ලබා සිටින ගෝල සංඛ්‍යාව 25ක්.

ලැරින්ගේ හොඳ ම කණ්ඩායම් සගයා බවට පත්ව උතුරු අමෙරිකානු කලාපයේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ ගෝල ලාභීන් අතර දෙවන ස්ථානයට පත් වීමට ජොනතන් ඩේවිඩ් සමත් වුණා. ඔහු ද ප්‍රතිවාදී කලාපය ආක්‍රමණය කරමින් දක්ෂ ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරන ක්‍රීඩකයෙක්. මෙම ආක්‍රමණශීලී ක්‍රීඩකයන් දෙපළ පිළිබඳ ව කැනඩාව බොහෝ බලාපොරොත්තු තබා ගෙන සිටිනවා. ප්‍රංශයේ ලිල් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරනා ජොනතන් ඩේවිඩ්, කැනඩාව වෙනුවෙන් තරග 34 ක දී ගෝල 22ක් ලබා ගත්තා.

කැනඩා පාපන්දු තරුව බවට පත් ව සිටිනා ඇල්ෆොන්සෝ ඩේවිස් – www.dailyhive.com

කැනේඩියානු පාපන්දුවේ සුපිරි තරුව මෙන් ම යුරෝපයේ ක්‍රීඩා කරන ෆුල්බැක් ක්‍රීඩකයන් අතර වඩාත් ප්‍රසිද්ධ අයෙක් වන්නේ ඇල්ෆොන්සෝ ඩේවිස්. තවමත් 22 හැවිරිදි වියේ පසුවන ඔහු ලෙෆ්ට් බැක් මෙන් ම වින්ගර් ක්‍රීඩකයෙක් ලෙසට ද කටයුතු කරනවා. ඩේවියස් යනු අධික වේගයෙන් දිවීමට හැකි ක්‍රීඩකයෙක් බවට ප්‍රසිද්ධ යි. මේ නිසා පසුපෙළ ක්‍රීඩා කිරීමේදී ඔහු අභිබවා යාම ඉතාම අපහසු කාරණයක්. ජර්මනියේ ප්‍රකට බයන් මියුනිච් සමඟ ගිවිසුම්ගත ව සිටිනා ඔහු කැනඩාව වෙනුවෙන් තරග 34 කදී ගෝල 12 ක් ලබා සිටිනවා.

3. මොරොක්කෝව

අප්‍රිකානු කලාපය නියෝජනය කරමින් මොරොක්කෝව 2022 පාපන්දු ලෝක කුසලානයට එක් වනවා. අප්‍රිකානු මහද්වීපයේ සිටිනා කණ්ඩායම් දක්ෂතා ඔප්නංවාගෙන සිටින කණ්ඩායමක් බවට ඔවුන් ප්‍රකට යි. 1970 දී මුලින් ම ලෝක කුසලානයකට සුදුසුකම් ලැබූ ඔවුන් මෙවර තම 6 වන තරගාවලි නියෝජනය සටහන් කරනවා. 1986 වසරේ අවසන් 16 දෙනාගේ වටයට පිවිසීම පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ මොරොක්කෝව දැක්වූ ඉහළ ම දක්ෂතාව යි.

වත්මන් අප්‍රිකානු කලාපයේ සිටිනා ප්‍රබල කණ්ඩායමක් වන මොරොක්කෝව – www.moroccoworldnews.com

අප්‍රිකානු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ අවසන් තරගයෙන් කොංගෝවට එරෙහි ව ගෝල 5-2 ක ජයග්‍රහණයක් ලබා ඔවුන් ලෝක කුසලාන වරම් දිනා ගත්තා. වත්මන් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වලට අනුව 22 වන තැන මෙන් ම අප්‍රිකාවේ දෙවන ස්ථානය ද මොරොක්කෝවට හිමි වනවා. 47 හැවිරිදි මොරොක්කෝ ජාතික පුහුණුකරු හොලිඩ් රෙග්රාගුයි යටතේ ඔවුන් 2022 ලෝක කුසලානයට එක් වනවා.

තීරණාත්මක ක්‍රීඩකයෝ

යුසුෆ් එන් නස්රි ස්පාඤ්ඤයේ ප්‍රමුඛ පෙළේ පාපන්දු ක්‍රීඩා සමාජයක් වන සෙවියා හි ඉදිරි පෙළ ක්‍රීඩකයෙක් ලෙසින් කටයුතු කරනවා. ඔහු ක්‍රීඩා සමාජ මට්ටමෙන් මෙන් ම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේදී ද කටයුතු කරන්නේ ප්‍රධාන ප්‍රහාරක ක්‍රීඩකයෙක් වශයෙන්. ගෝල ලබා ගැනීමේ දක්ෂයෙක් වන ඔහු අවස්ථා කිහිපයකදී ම තම හැකියාව පෙන්වූ ක්‍රීඩකයෙක්. 25 හැවිරිදි යුසුෆ් මොරොක්කෝව වෙනුවෙන් තරග 49 ක දී ගෝල 14 ක් ලබා සිටිනවා.

මැද පෙළ ක්‍රීඩකයන් අතරින් පසුගිය අප්‍රිකා ශූරතා කුසලානයේ දී මෙන් ම ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේදී ද සොෆ්යාන් අමරබාත් සුවිශේෂී දස්කම් දැක්වූවා. විශේෂයෙන් ම මැද පෙළ සිට පසු පෙළ දක්වා පන්දු හුවමාරු වන අවස්ථාවල දී ඔහු තීරණාත්මක සාධකයක් ව කටයුතු කරනවා. ඉතාලියේ ෆියොරෙන්ටීනා ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන අමරබාත්, මොරොක්කෝව සමඟින් තරග 38ක් ක්‍රීඩා කළා.

අශ්රෆ් හකීමිගේ කර මත විශාල වගකීමක් පැවරී තිබෙනවා – www.sbisoccer.com

කලක පටන් මොරොක්කෝව බිහි කළ තරු ක්‍රීඩකයෙක් වූ අශ්රෆ් හකීමි පිට එරට සම්පූර්ණ බලාපොරොත්තු රැඳී පවතිනවා. හකීමි යනු එරට පාපන්දුවෙන් යුරෝපයේ ප්‍රධාන පෙළේ ක්‍රීඩා සමාජවලට සැපයූ අගනා ක්‍රීඩකයෙක්. රයිට් බැක් ස්ථානයේ ක්‍රීඩා කිරීමට ප්‍රිය කරන ඔහු ආරක්ෂක තරග රටාවට මෙන් ම ආක්‍රමණශීලී තරග රටාවට ද එක සේ දස්කම් දක්වනවා. සමස්ත මොරොක්කෝ බර තම කර මත තබගෙන සිටිනා අශ්රෆ් හකීමි වර්තමානයේ දී ප්‍රංශයේ PSG සමඟ ක්‍රීඩා කරනවා. මොරොක්කෝ ජර්සිය 53 වතාවක් නියෝජනය කළ ඔහු ලබා සිටින ගෝල සංඛ්‍යාව 8ක්.

4. ක්‍රොඒෂියාව

2018 පාපන්දු ලෝක කුසලානයේ අනුශූරතාව දිනා ගනිමින් පෙරළිකාර දස්කම් දැක්වූ ක්‍රොඒෂියා පාපන්දු කණ්ඩායමට එවර සමස්ත ලෝකයේ ම ගෞරවය සහ ආදරය හිමි වුණා. ඉන් පසුව ද කණ්ඩායමේ දක්ෂතා යම් මට්ටමක තබා ගෙන සිටිමින් ඔවුන් 2022 ලෝක කුසලාන වරම් දිනා ගත්තා. මෙවර තම 6 වන ලෝක කුසලානයට ක්‍රීඩා කරනා ඔවුන් 2018 දී පාපන්දු ලෝක කුසලාන අනුශූරතාව දිනා ගැනීම ඉතිහාසයේ දැක්වූ ඉහළත ම දක්ෂතාව යි.

2018 ලෝක කුසලානයේ පෙරළිකාර දස්කම් දැක්වූ ක්‍රොඒෂියාව – www.sportsbreif.com

යුරෝපීය පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ දී H කාණ්ඩයෙන් තරග වදිමින් එම කාණ්ඩයේ ප්‍රථමයා වීමට ඔවුන් සමත් වුණා. එම දක්ෂතාව ක්‍රොඒෂියාවට 2022 ලෝක කුසලාන ටිකට්පත ලබා දුන්නා. ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 12 වන ස්ථානයේ පසුවන ක්‍රොඒෂියාව පසුගියවර ලෝක කුසලානයේ පුහුණුකරු වශයෙන් කටයුතු කළ ස්ලැට්කෝ ඩැලිච් යටතේ ම මෙවර ද ලෝක කුසලානයට එක් වනවා.

තීරණාත්මක ක්‍රීඩකයෝ

අත්දැකීම් බහුල ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත ක්‍රොඒෂියාවේ ආක්‍රමණශීලී ඉවාන් පෙරිසිච්ට ප්‍රමුඛ ස්ථානයක් හිමි වනවා. 33 හැවිරිදි වියේ පසුවන ඔහු කලක පටන් යුරෝපයේ අංක 1 පාපන්දු ක්‍රීඩා සමාජවල ප්‍රධාන ක්‍රීඩකයෙක් ලෙසින් කටයුතු කළා. වර්තමානයේ දී පෙරිසිච් එංගලන්තයේ ටොටන්හැම් ක්‍රීඩා සමාජයට ඔහු ක්‍රීඩා කරනවා. 2011 සිට ජාතික කණ්ඩායමේ සාමාජිකයෙක් වූ ඔහු තරග 115ක දී ලබා සිටින ගෝල සංඛ්‍යාව 32ක්.

2018 ලෝක කුසලානයේ දක්ෂත ම ක්‍රීඩකයා මෙන් ම සුවහසක් ක්‍රොඒෂියා ජනතාවගේ වීරයා වූ ලුකා මොඩ්රිච් මෙවර තම අවසන් පාපන්දු ලෝක කුසලානයට ක්‍රීඩා කරනවා. 37 හැවිරිදි වියේ පසු වුව ද තවමත් පෙර ආකාරයෙන් ම දස්කම් දක්වන මොඩ්රිච් මෙවර ද ක්‍රොඒෂියා මැද පෙළ බර කරට ගැනීමට නියමිත යි. ඔහුගේ දස්කම් මෙවර ද ක්‍රොඒෂියා වේ අවසන් කඩඉමට බෙහෙවින් උපකාරී වනු ඇති. ස්පාඤ්ඤයේ රියාල් මැඩ්රීඩ් සමඟ ක්‍රීඩා කරන ක්‍රොඒෂියා නායකයා තම රට වෙනුවෙන් 2006 සිට තරග 154 ක් ක්‍රීඩා කොට ගෝල 23 ක් වාර්තා කර ගැනීමට සමත් වුණා.

2018 ලෝක කුසලාන තරගාවලියේ දක්ෂත ම ක්‍රීඩකයා බවට පත් වූ ලුකා මොඩ්රිච් – www.croatia.hr.com

පසුගිය වසරේ ලෝක කුසලාන අවසන් මහා තරගයට ගමන් කිරීමට මෙන් ම කලක් එංගලන්තයේ ලිවර්පූල් කණ්ඩායමට ද නැතිව ම බැරි වූ ඩෙජාන් ලොව්රෙන් මෙවර ලෝක කුසලානය ද නියෝජනය කරනවා. ඔහු ද පසු පෙළ ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් අත්දැකීම් බහුල ව ඇති ක්‍රීඩකයෙක්. මෙවර ද ක්‍රොඒෂියා ආරක්ෂක වළල්ල සැකසීමේ ප්‍රධාන වගකීමක් ලොව්රෙන් පිට පැට වී තිබෙනවා. 2009 සිට තරග 71 ක දී ක්‍රොඒෂියාව නියෝජනය කළ ඔහු ගෝල 5ක් ලබා සිටිනවා.

කවරයේ ඡායාරූපය - බෙල්ජියමේ කෙවින් ඩි බ්‍රවුනේ, කැනඩාවේ ඇල්ෆොන්සෝ ඩේවිස්, මොරොක්කෝවේ අශ්රෆ් හකීමි, ක්‍රොඒෂියාවේ ලුකා මොඩ්රිච් - gettyimages.com
මූලාශ්‍ර :
www.fifa.com
www.allfootball.com
www.qatar22.com

Related Articles