Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පරිශීලකයා බය කරන Scareware සහ ඉන් ආරක්ෂා වන හැටි

අන්තර්ජාලයේ සැරිසැරීමේ දී අපේ උපාංග ගැන බොහොම කරුණාවෙන් ඇතැම් වෙබ් අඩවිවලින් එය වෛරස සඳහා පරීක්ෂා කර දීමට ඉදිරිපත් වෙනවා. අලුතෙන් ම ගත්තු ෆෝන් එකක වුවත් වෛරස් තිබෙන බව කියන්නට තරම් මේ වෙළඳ දැන්වීම් ලෙන්ගතු වෙනවා. එය විසඳාගන්නට නම් අප වහා ම ඔවුන්ගේ මෘදුකාංගය ස්ථාපනය කරගත යුතු බවත්, ඇතැම්විට ඒ සඳහා මුදලක් ගෙවන්නට සිදුවන බවත් ඒවායෙන් පවසනවා. මෙන්න මේ ආකාරයට බියවැද්දීම්වලට ලක් කරමින් අපේ උපාංගවලට අපේ අවසරයෙන් ම ඇතුළු වන්නට වෙර දරන scareware නමැති සැහැසි මෘදුකාංග වර්ගය ගැන යි මේ විස්තරය.

Scareware යනු

pcmag.com

වෛරසවලින් ආරක්ෂාවීම ගැන කතා කරද්දී වඩාත් හොඳින් අප දන්නා කියන ප්‍රතිවෛරස මෘදුකාංගයක් ම තෝරාගත යුතු වෙනවා. නොදන්නා antivirus මෘදුකාංගයකින් ඔබේ දුරකතනය හෝ පරිගණකය නොමිලේ ස්කෑන් කර දෙන බවට කියනවා නම් බොහෝ විට එය scam එකක් වෙන්නට පුළුවන්. ඇතැම් කූට ආරක්ෂණ මෘදුකාංග (ඇත්තෙන් ම, ඒවා ට්‍රෝජන් ඒවා යි) බොහොම කුළුපග සහ ප්‍රයෝජනවත් ඒවා ලෙස පෙනීසිටිමින් අපේ දත්ත සොරකම් කිරීමට හෝ වෙනත් කරදර ඇති කරවන්නට සැදී පැහැදී සිටිනවා. තවත් ඒවා ඔබ ව බිය වද්දමින් උපාංගයේ නැති ප්‍රශ්න පෙන්වා, ඒවා සකසා ගැනීමට නම් මෙතරම් මුදලක් ගෙවිය යුතුයැ යි කියනවා. එනිසා යි මේවා බියකර ප්‍රයෝජන ලබන කූට මෘදුකාංග හෙවත් scareware (ස්කෙයාවෙයා) ලෙස හඳුන්වන්නේ.

දුරකතනයෙන් අන්තර්ජාලයට පිවිසෙද්දී බොහෝ විට මේ ආකාරයේ වෙළඳ දැන්වීම් ආකාරයේ scam දකින්නට ලැබෙනවා. ඇතැම් ඒවායෙන් දුරකතනය vibrate වෙමින් දැනට දුරකතනය සතු ව වෛරස ඇති බවත් ඒවා ඉවත් කිරීමට ඔවුන්ගේ මෘදුකාංගය සූදානම් බවත් දන්වනවා. ඔවුන්ට ප්‍රථමයෙන් අවශ්‍ය වන්නේ දැනටමත් දුරකතනය හෝ පරිගණකය සතු anti-virus මෘදුකාංගය ඉවත් කරලීම යි. එය පෙන්වා දෙන ක්‍රම කිහිපයක් තිබෙනවා. එකක්, එය ස්ථාපනය කරගෙන සිටීමෙන් තිබීමෙන් ඔබේ දුරකතනයේ වැඩි ඉඩක් පාවිච්චි වන බව යි. අනෙක, එය තිබීමෙන් දුරකතනයේ හෝ පරිගණකයේ වැඩ කටයුතු slow වන බව යි. ඒ වගේ ම, එය පැරණි බව හා ඔවුන්ගේ අපූරු වෛරස් ස්කෑනරය ඊට වඩා ඉදිරියෙන් සිටින බව ඒත්තු ගැන්වීම යි.

ස්වභාවය

Chromeවල මූලික error message එක ම අනුකරණය කළ වෙබ් අඩවියක් (imgur.com)

පරිශීලකයෙක් උපාංගයක සුමට අත්දැකීමක් බලාපොරොත්තු වන නිසා ම, ඊට ඇති බියසුළු බව නිසා මේ කියමන්වලට අවනත වෙනවා. එසේ ම ඒවායෙන් දරුණු ශබ්ද නැගීම්, Vibrate කිරීම් වැනි අවධානය යොමු කරගැනීමට දරන උපක්‍රම ආදිය නිසා අනාවබෝධයෙන් ඔවුන්ගේ උගුලට හසුවීමට ඉඩ තිබෙනවා.

මෙම කූට මෘදුකාංග සත්‍ය ප්‍රති-වෛරස මෘදුකාංගවල අතුරුමුහණතට (UI) ඉතා සමාන ආකාරයේ පෙනුමක් දරනවා. බොහොමයක දුර්වල ලෙස ඉංග්‍රීසි භාවිතය, ව්‍යාකරණ ගැටළු ආදිය දකින්නට ලැබෙන අතර ඒවායෙන් පවා සත්‍යරූපී වන්නට ඇතැම්වා සමර්ථ වෙනවා. මෘදුකාංගයේ නම ද විශ්වාස කරන්නට හිතෙන ආකාරයට ම යොදන්නට ඔවුන් උත්සාහ ගන්නවා. Advanced AntiMalware, Antivirus 360, Malware Protection Center, HDD Rescue, Internet Defender යනු එවන් බොරු නම්වලින් කිහිපයක්. මෙම නම් සත්‍ය ඒවායේ නම්වලට සමාන බව ඔබ දැනටමත් අසා තිබෙන මෘදුකාංගවල නම් මේවා හා සසැඳීමේ දී වැටහෙන්නට ඇති.

රැන්සම්වෙයා ලෙසත් එනවා

පරිගණකය ලොක් කර ඇති බව කියන ව්‍යාජ බලපෑම් කිරීමක් (tucsoncomputerrepairservice.com)

පරිගණකයේ ඇති සියලු දත්ත ආකේතනය (encrypt) කර ඒවා අභාවිත තත්ත්වයට පත් කර, නැවත පෙර තත්ත්වයට ගෙන ඒමට (විකේතනය/ decrypt කිරීමට) අවශ්‍ය යතුර මිල දී ගන්නා ලෙස දන්වන ආකාරයේ සැහැසි මෘදුකාංග වර්ගයක් වන රැන්සම්වෙයා ආකාරයෙනුත් ස්කෙයාවෙයා පැමිණෙනවා. රැන්සම්වෙයා එකක් සකසන්නට දැඩි වෙහෙසක් දැරිය යුතු යි. පරිගණකයට ඇතුළු වීම, ආකේතනය කිරීමට අවශ්‍ය ඇල්ගොරිතමයක් සැකසීම, ආකේතනයෙන් පසු මෘදුකාංග නිෂ්පාදකයා වෙත එහි යතුර ගෙන්වා ගැනීම ආදී ලෙස එය වටා ගෙතුණු කර්තව්‍යයන් ගොන්නක් තිබෙනවා. නමුත් ස්කෙයාවෙයා ගෙන එන සොරුන් රැන්සම්වෙයා ලෙස පෙනී සිටිමින් බොහොම පහසුවෙන් මුදල් ගැරීම සිදුකරනවා.

Key එක දීම සඳහා ය කියමින් මුදල් අය කරන්නටත් ඉඩ තිබෙනවා (twimg.com)

බ්‍රවුසරය මත එක්වර ම දිස්වන වෙබ් අඩවියක ඔබේ සියලු දත්ත ආකේතනය කර ඇති බවත්, එහි යතුර මිල දී ගැනීමට මෙතරම් මුදලක් ගෙවිය යුතු බවත් එහි දැක්වෙනවා. එසේත් නැත්නම්, ඔබ අසැබි වෙබ් අඩවිවලට පිවිස ඇති බවත්, එය දැනගත් රජයක් ඔබව හඳුනාගෙන වෙබ් බ්‍රවුසරය ලොක් කර ඇති බවත් දන්වනවා. මෙසේ දර්ශනය වෙද්දී බ්‍රවුසරය හෝ ටැබ් එක close කරන්නට උත්සාහ කළහොත් එයට ද ඉඩ නොදෙමින් බ්‍රවුසරය ලොක් වී ඇති නිසා close කළ නොහැකියැ යි කියනවා. එම පණිවිඩය ඉතා ම සරල ක්‍රමවේදයක්. වෙබ් බ්‍රවුසරය තුළ ටැබ් එක වැසීමේ දී event එකක් trigger වෙනවා. එය එලෙස කර ඇත්තේ form එකක් වැනි තොරතුරු සැපයීමක දී ඒවා save වෙන්නට පෙර පරීශීලකයෙක් අත්වැරදීමකින් පිටුව වසා දමා ටයිප් කළ දේවල් අහිමි කරගන්නා නිසා යි. කූට වෙබ් අඩවි සංවර්ධකයන් මේ පහසුකමෙන් අයුතු ප්‍රයෝජන ගනිමින් ඉහත කී ආකාරයේ dialog box පෙන්වමින් පරිශීලකයාව බිය ගන්වනවා.

ගැලවෙන්නේ කොහොම ද?

jenningswire.com

ස්කෙයාවෙයාවලින් ගැලවීමට ඇති හොඳම ක්‍රමය සාමාන්‍ය දැනීම ඇති කරගැනීම යි. ලොව හොඳම ප්‍රති-වෛරස මෘදුකාංග මොනවා ද, ස්කෙයාවෙයා එකක් පැමිණෙන්නේ කෙසේ ද සහ ඔබ අයුතු කටයුත්තක් කර නැත්නම් උපාංගයේ වෛරසයක් තිබිය නොහැකිය යන ආදිය දැන ගැනීමෙන් බොරුවලට හසු නොවී සිටින්නට හැකි වෙනවා. වෙබ් අඩවියකට පිවිසුණු වහා උපාංගයේ වෛරස් ඇති බව එයට කියන්නට කිසිසේත් හැකියාවක් නැහැ. මන්ද, ප්‍රති-වෛරස මෘදුකාංගයකින් ඔබ ස්කෑන් කරද්දී ඊට බොහෝ කාලයක් ගතවන ආකාරය දැක ඇති. ගොනුවෙන් ගොනුව ප්‍රවේශමෙන් පිරික්සමින් කළ යුතු එම කටයුත්ත හුදෙක් බ්‍රවුසරය මත මැවෙන වෙබ් පිටුවක් ක්ෂණයකින් කෙසේ කරන්න ද? අනෙක, වෙබ් පිටුවකට එලෙස ගොනු පිරික්සීමට අවසරයක් ද නැහැ.

විශ්වාසවන්ත වෙබ් අඩවිවලට පිවිස තමන්ගේ කටයුතු කරගන්නට පෙළඹෙනවා නම් මේ ආකාරයේ අයුතු රවටා ගැනීමේ වෙළඳ දැන්වීම්වලට මුහුණ දීමට සිදුවීම අවම යි. වැදගත් මට්ටමේ වෙබ් අඩවි තමන්ගේ අනන්‍යතාව පවත්වා ගැනීම සඳහා පරිශීලකයන් නොමඟ යන ආකාරයේ වෙළඳ දැන්වීම්වලට තමන්ගේ වෙබ් අඩවිය තුළ ඉඩ හසර වෙන්කරන්නේ නැහැ. දුරකතනයෙන් ගැලවිය නොහැකි සේ වෙබ් පිටුවක් තිරය මත රැඳෙමින් කරදර කරනවා නම් Recent apps බොත්තම හරහා මුළු බ්‍රවුසරය ම close කරන්නට පුළුවන්. පරිගණකයේ නම් වින්ඩෝස්වල Task Manager හෝ බොහෝ ලිනක්ස් වෙළුම්වල ඇති System Monitor එක විවෘත කරගෙන close කරන්නට ඉඩ නොදෙන ටැබ්ස් සහිත බ්‍රවුසරය සැණින් වසා දමන්නට හැකියි.

කවරයේ ඡායාරූපය: lynda.com

Related Articles