Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Incognito Windowවල කරන – බලන ඒවා ආරක්‍ෂිත ද?

අන්තර්ජාලය භාවිත කරන ඔබ බොහෝ විට ඔබේ වෙබ් බ්‍රව්සරයේ (Web Browser) ඇති Incognito Window / Private Browsing පහසුකම ගැන ඔබ දන්නවා ඇති. ඔබ මේ පහසුකම ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ වෙබ් බ්‍රව්සරයක සක්‍රීය කළහොත් ඒ හරහා ඔබට අඳුරු පැහැ පසුබිමක වෙබ් පිටුවක් දැකගන්නට හැකියාව ලැබේවි. ඒ ඔස්සේ යම් වෙබ් පිටුවකට ගිය විට ඒ ගිය බවට ඔබේ වෙබ් බ්‍රව්සරයේ History තුළ දැකගන්නට හැකි වෙන්නේ නැහැ.  මේ ඔබ සිදු කරන්නට යන්නේ අතිශය පෞද්ගලික යමක් නම් එය සාමාන්‍යයෙන් ට්‍රැක් වෙනවාට ඔබ අකමැති නම් Private Browsing කියන්නේ එයට විසඳුම නොවන බව ඔබ මතක තබා ගත යුතුමයි.

2018 වසරේ University of Hannover සහ  University of Chicago සිදු කළ සමීක්ෂණ මගින් හෙළි ව තිබෙනවා. පරිශීලකයන් මේ Incognito Windowවලින් ලැබෙන පහසුකම් අධි තක්සේරු කරන බව. එහිදී අනාවරණය ව තිබෙන්නේ 40% දෙනා මෙම පහසුකම භාවිතය මගින් කිසිවකුට ඔබ අන්තර්ජාලය භාවිත කරන ස්ථානය (Location) ට්‍රැක් කර ගත නොහැකි බවත් 22% පිරිස ඔවුන්ගේ රජයට හෝ අන්තර්ජාල පහසුකම සපයන (ISP – Internet Service Provider ) ආයතනයට ඔබ හෝ ඔබේ අන්තර්ජාල ක්‍රියාකාරකම් ට්‍රැක් කළ නොහැකි බවයි. 

ඔබත් හිතාගෙන ඉන්නේ මේ හරහා ඔබ කරන ක්‍රියා හෝ නරඹන වෙබ් පිටු රජයට හෝ අන්තර්ජාල පහසුකම සපයන ආයතනයට ට්‍රැක් කළ නොහැකියි කියා නම් මේ ලිපිය ඔබේ ඇස පාදන බවට අපේ විශ්වාසයයි. 

 Microsoft Edge browser එකේ Incognito Window එක- Screenshot 

මොකද්ද මේ Incognito Window කියන්නේ?

ඔබ භාවිත කරන ඕනෑම Web Browser (වෙබ් අතිරික්සුවක) එකක මේ පහසුකම ඔබට දැකගන්න පුළුවන්. බොහෝ විට Ctrl + Shift + N keys පිළිවෙලින් එබීම මගින් ඔබට මෙම පහසුකම ඔබේ පරිගණකයේ වෙබ් බ්‍රව්සරයේ සක්‍රීය කර ගන්න පුළුවන්. මේ මගින් බොහෝ විට සිදු වෙන්නේ ඔබ එම Incognito Window හරහා සිදු කරන ක්‍රියා පරිගණකය තුළ record නොවීම පමණයි. උදාහරණයක් ලෙස ඔබ එම Incognito Window තුළ සිදු කරන සෙවීමක්, ඔබ පිවිසෙන වෙබ් පිටුවක් වැනි දේ ගැන ඔබේ වෙබ් හිස්ට්‍රි එකේ සටහන් වෙන්නේ නැහැ. සමහරක් වෙබ් බ්‍රව්සර්ස් මගින් “ Always use “Strict” tracking prevention when browsing InPrivate” , “Block third-party cookies When on, sites can’t use cookies that track you across the web.” පහසුකම් ලබා දෙනවා. එලෙස කළත් ඔබට අන්තර්ජාලය සපයන සමාගමට, අවශ්‍ය නම් රජයට, ඔබ අන්තර්ජාලයට පිවිසෙන්නේ පාසලක හෝ යම් ආයතනයක අන්තර්ජාල පහසුකම හරහා නම් ඔවුන්ටත් ඔබේ අන්තර්ජාල ක්‍රියාකාරකම් දැකීමේ හැකියාවේ කිසිඳු වෙනසක් වෙන්නේ නැහැ. 

 Incognito Windowවලින් කළ හැකි දේ – Screenshot 

 

අන්තර්ජාලයේ ඔබේ අනන්‍යතාව ආරක්ෂා කරගන්නේ කොහොමද? 

අන්තර්ජාලය ඇතුළේ ඔබ ට්‍රැක් නොවී ඉන්න නම් ඔබට කරන්න තියෙන පහසුම දෙය VPN එකක් හෝ Proxy එකක් භාවිත කිරීමයි. VPN හරහා සිදුවන්නේ අපේ දත්ත ආකේතනය (encrypt) ISP හෝ අදාළ වෙබ් අඩවියටවත් අපේ අනන්‍යතාව සැඟවීමයි. (අපේ IP ලිපිනය, පිවිසෙන වෙබ් අඩවි, හුවමාරු කරන දත්ත ආදිය) ඊට අමතර ව Geo-spoof, එහෙමත් නැතිනම් තමන් සිටින ස්ථානය සඟවා වෙනත් ස්ථානයකින් අන්තර්ජාලයට සම්බන්ධ වන බව පෙන්වීම, අවහිර කරන ලද වෙබ් අඩවි වෙත පිවිසීමට ඉඩ ලබාදීම වගේ බොහෝ සේවා VPN එකක් මඟින් ලබාගන්න පුළුවනි.

පසුගිය අර්බුද කාලයේ ලංකාව වෙත පැනවූ සමාජ මාධ්‍ය වාරණය ගැන ඔබට මතක ඇති. එයින් ගැලවෙන්න බොහෝ දෙනෙක් නොමිලයේ අන්තර්ජාලයේ ඇති VPN භාවිත කරන්නට පෙලඹුණා. නමුත් ඒ නිසාවෙන් ම බොහෝ දෙනකුගේ දත්ත ඉතා අනාරක්ෂිත තත්වයට ඔවුන් නොදැනුම්වත්ව ම පත් වුණා. එනිසා ඔබ අන්තර්ජාලය තුළ වඩා ආරක්‍ෂිත තත්වයකට පත් වෙන්න කැමති නම් අපි ඔබට මිලදී ලබා ගත හැකි ExpressVPN වැනි සේවාවක් හෝ යම් සීමා යටතේ වුවත් නොමිලයේ භාවිත කළ හැකි Protonvpn වැනි සේවාවක් භාවිත කරන්න කියලා යෝජනා කරනවා. කොහොම වුණත් ඔබ සතුව යම් තාක්ෂණික දැනුමක් සතු නම් සහ VPS එකක් භාවිතයට ගත හැකි නම් ඔබේ ම VPNඑකක් setup කරගන්න එක වඩාත් ආරක්‍ෂිත බවයි අපේ අදහස.

ඔබේ ම VPNඑකක් set up කරගන්න  

Tor Web Browser සහ  Onion routing?

අන්තර්ජාලය තුළ anonymous වෙන්න තවත් පහසුම ක්‍රමවේදයක් වෙන්නේ Tor web browser එකයි. 1990 පමණ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව යුද සහ බුද්ධිමය රහස් අන්තර්ජාලය තුළ රැකගැනීම උදෙසා Onion routing නම් පෞද්ගලිකත්වය ආරක්ෂා වන පද්ධතියක් නිර්මාණය ඇරඹුවා. මෙය 1997 වසරේදී පමණ DARPA ආයතනය මගින් වැඩි දියණුවට පත් වුණා. මෙය පසු කාලයේ පරිගණක ක්‍රමලේඛනකරුවන් කිහිප දෙනෙකු Tor (The Onion Router) නම් මෘදුකාංගයක් ලෙස සංවර්ධනය කර අන්තර්ජාලයට මුදා හැරියා. මෙය ලාභ නොලබන ආයතනයක් ලෙස අදටත් ක්‍රියාත්මක වෙනවා.

ඕනෑම උපාංගයකට Tor – Screenshot 

 

මේ හරහා ඔබේ අන්තර්ජාලයේ විවිධ වෙබ් අඩවි සහ සේවා වෙත මේ මෘදුකාංගය හරහා සිදු කෙරෙන ඉල්ලීම් විවිධාකාර අහඹු සර්වර්ස් හරහා යවමින් ඔබේ අනන්‍යතාව යම් තරමක් දුරට සැඟවීමක් සිදු කෙරෙනවා. www.torproject.org  වෙබ් අඩවිය වෙත පිවිසිලා ඔබට නොමිලයේ ඔබේ ඕනෑම උපාංගයක් වෙත මෙය බාගත කරගන්න හැකියාව තිබෙනවා. තව දුරටත් මෙහි settings හරහා Proxy පහසුකම් වෙනස් කරගන්න වැනි ක්‍රියා ඔස්සේ ඔබේ අන්තර්ජාල භාවිතය වඩාත් ආරක්‍ෂිත කර ගන්න මේ මගින් පහසුකම් සැපයෙනවා. 

Tor ගැන වැඩි දුර විස්තර දැනගන්න. 

මේ හා සබැඳි තවත් ලිපි පහත සබැඳිවලින් කියවා බලන්න. 

VPN තවදුරටත් භාවිතය අනාරක්ෂිත ද? 

Proxy සහ VPNවල වෙනස මොකක්ද? 

TOR ජාලය ක්‍රියාත්මක වන ආකාරය

කවරයේ පින්තූරය: In Private Browsing - Avast.com 

මූලාශ්‍ර:

Teamusec.de 

Vice.com 

Gdpr.eu 

Linustechtips.com 

Youtube.com 

Avast.com 

Related Articles