සහස්‍ර ගණනාවක් මුළුල්ලේ ‘සිතියම් ඇඳීමේ විද්‍යාව’ මිනිස් ඉතිහාසයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස පැවතුණු බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම් ලෙස කලඑළි බට සිතියම්, අතීතයේ දී පමණක් නොව වර්තමානයේ දී පවා ලෝකය ගවේෂණය කිරීමට මිනිසාට අත්වැල් සපයන සාර්ථක මෙවලමක් බවට පත් ව ඇති බව නොරහසක්. මුල් කාලයේ දී බිහි වූ සිතියම් සියල්ල ම පාහේ කඩදාසියක් මත අඳින ලද ද්වීමාන චිත්‍ර ලෙස දිස් වුව ද, අද වන විට ලෝක ගෝල හෝ ආකෘති වැනි ත්‍රිමාණ හැඩයන්ගෙන් පමණක් නොව හුදෙක් ම සංඛ්‍යාත්මක ස්වරූපයෙන් ගබඩා කර ඇති ඩිජිටල් සිතියම් ද දැක ගැනීමට ලැබෙනවා. සිතියම් ඇඳීමේ විද්‍යාවට අත්පොත් තබමින් පුරාණ වැසියන්ට මඟ පෙන් වූ ආදි කාලීන සිතියම් කිහිපයක් ගැන තොරතුරු යි මේ.

බැබිලෝනියානු ලෝක සිතියම

© Osama Shukir Muhammed Amin

ලෝක ඉතිහාසයේ හමුවන පැරණි ම ලෝක සිතියම ලෙස සැලකෙන්නේ ක්‍රි. පූ. 600 දී පමණ මැටි පුවරුවක් මත අඳින ලද ‘බැබිලෝනියානු ලෝක සිතියම’ යි. එහි ‘කටුක නදිය’ නම් වූ සාගරයෙන් වට වූ තරුවක හැඩය ඇති පැතලි තැටියක් ලෙස පෘථිවිය දක්වා ඇති අතර, බැබිලෝනියාව සහ යුප්‍රටීස් ගංගාව ලෝකය මැද ඇති ඍජුකෝණාස්‍ර ද්විත්වයක් ලෙස ද ඇසිරියාව සහ සූසා වැනි අසල්වැසි රාජ්‍යයන් ඒ වටා පිහිටි කුඩා වෘත්ත මඟින් ද නිරූපණය කර තිබෙනවා. කටුක නදියට පිටතින් දැක ගැනීමට ලැබෙන ‘හිරු දැක ගැනීමට නොලැබෙන ස්ථානය’ සහ ‘පක්ෂීන්ගේ පියාසැරියට එහා’ වැනි ගුප්ත නාමයන් සහිත ත්‍රිකෝණ මඟින් දිස් වන්නේ මිථ්‍යා සත්ත්වයින් වාසය කරන හඳුනා නොගත් දූරස්ථ දූපත් බව යි, සිතියම සමඟ ඇති කියුනිෆෝම් පාඨයේ සඳහන් වන්නේ.

ටොලමිගේ භූගෝල විද්‍යා සිතියම

© Daniel Heaf

නූතන සිතියම් ඇඳීමේ විද්‍යාවේ වර්ධනය වෙනුවෙන් මහඟු මෙහෙයක් ඉටු කළ විද්වතෙකු ලෙස ග්‍රීක ජාතික ක්ලෝඩියස් ටොලමේයස් හෙවත් ටොලමි හැඳින්වීමේ වරදක් නැහැ. ක්‍රි. ව. 150 දී පමණ ඔහු විසින් ප්‍රකාශයට පත් කරන ලද වෙළුම් 8 කින් යුතු ‘භූගෝල විද්‍යාව’ නම් ග්‍රන්ථයේ ගණිතමය සිද්ධාන්ත උපයෝගී කර ගනිමින් අඳින ලද මුල් කාලීන සිතියම් සමහරක් අන්තර්ගත වෙනවා. ටොලමිගේ භූගෝල විද්‍යා සිතියමේ අක්ෂාංශ සහ දේශාංශ පවා දක්වමින් ලොව පුරා ස්ථාන 8,000ක් පමණ පෙන්නුම් කර ඇති අතර, අයිස්ලන්තය සහ කොරියාව වැනි ග්‍රීසියට සැලකිය යුතු තරම් දුරකින් පිහිටි රාජ්‍යයන් පවා දක්වා තිබීම විශේෂත්වයක්.

පියුටින්ගර් සිතියම

© Bibliotheca Augustana

බොහෝ කාලයකට පෙර ලොව වටා සියලු මංපෙත් රෝමය කරා විහිදුණු සමයේ අධිරාජ්‍යයේ ප්‍රවාහන ජාලය නිවැරදි ව පෙන්නුම් කිරීම සඳහා ‘පියුටින්ගර් සිතියම’ කදිම මාර්ගෝපදේශයක් වූ බවට සැකයක් නැහැ. දිගින් අඩි 22ක් සහ පළලින් අඩියක් වූ එහි බටහිර දිග යුරෝපයේ සිට මැදපෙරදිග දක්වා සැතපුම් 60,000ක් ඔස්සේ දිවෙන සියලු ම රෝම මංපෙත් දක්වා තිබෙනවා. නූතන සංචාරක නියමුවක් සේ දිස් වන පියුටින්ගර් සිතියමේ නගර 500ක් සහ ඒ ආශ්‍රිත ව පිහිටා ඇති ගමනාන්ත, ආගමික ස්ථාන, වනාන්තර සහ ගංගා පමණක් නොව සම්බාහන මධ්‍යස්ථාන පවා දක්වා ඇති අතර ඉන්දියාව, ශ්‍රී ලංකාව, සහ ආසියාවේ අනෙක් රාජ්‍යයන් දැක්වීම සඳහා අතිරේක කොටසක් වෙන් කර තිබීම ද විශේෂත්වයක්. පියුටින්ගර් සිතියමේ මුල් පිටපත අයත් වන්නේ 4 වැනි සියවසට පමණ වුව ද වර්තමානයේ දී දැක ගැනීමට ලැබෙන පිටපත නිර්මාණය කර ඇත්තේ 13 වැනි සියවසේ දී යි.

ටැබ්‍යුලා රොජෙරියානා

© Wikimedia Commons

ලතින් බසින් ‘රොජර්ගේ ග්‍රන්ථය’ යන අරුතින් ‘ටැබ්‍යුලා රොජෙරියානා’ ලෙස නම් කර ඇති 12 වැනි සියවසට අයත් සිතියම නිර්මාණය කර ඇත්තේ අරාබි ජාතික භූගෝල විද්‍යාඥයෙකු වූ මුහම්මද් අල්-ඉද්රිසි විසින්. සිසිලියේ 2 වැනි රොජර් රජුගේ ඉල්ලීම පරිදි ප්‍රකාශයට පත් කරන ලද එහි දීර්ඝ නාමය වන්නේ ‘දුර ඈත රාජ්‍යයන් හි සොඳුරු චාරිකා සඳහා වන මාර්ගෝපදේශක සංග්‍රහය’ යන්න යි. ටැබ්‍යුලා රොජෙරියානා හි යුරේෂියාව (යුරෝපය සහ ආසියාව) සම්පූර්ණයෙන් ද සහ අප්‍රිකාවේ සැලකිය යුතු කොටසක් ද දක්වා ඇති අතර එක් එක් රාජ්‍යයන් හි දේශගුණය, දේශපාලන, සහ සංස්කෘතික වෙනස්කම් පිළිබඳ ව ද විස්තරාත්මක තොරතුරු ඇතුළත් කර තිබෙනවා. සියවස් කිහිපයක් ගත වන තුරු ලොව නිවැරදි ම සිතියම ලෙස සලකන ලද ටැබ්‍යුලා රොජෙරියානා හි විශේෂත්වය වන්නේ එය ඉස්ලාමීය සාම්ප්‍රදාය අනුව දකුණු දිශාව උඩු අතට පිහිටන සේ නිර්මාණය කර තිබීම යි.

ඩා මින්ග් හන්යී ටූ

© Pinterest

වර්තමානයේ දී පවා දැක ගැනීමට ලැබෙන ‘ඩා මින්ග් හන්යී ටූ’ හෙවත් ‘මින්ග් අධිරාජ්‍යයේ ඒකාබද්ධ සිතියම’ 1389 දී පමණ සේද රෙද්දක් මත අඳින ලද්දක්. ජපානයේ සිට අත්ලාන්තික් සාගරය දක්වා සමස්ත යුරේෂියාව දක්වන එහි, කඳුවැටි, ගංගා, සහ පරිපාලන මධ්‍යස්ථාන පිළිබඳ ව ද විස්තරාත්මක තොරතුරු ඇතුළත් වෙනවා. ‘ඩා මින්ග් හන්යී ටූ’ විකෘති කරන ලද සිතියමක් ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. චීනය මැදි කරගෙන නිර්මාණය කර ඇති එහි, ජපානය සහ කොරියාව යන රාජ්‍යයන් ද්විත්වය ම ඉන්දියාවට වඩා සැලකිය යුතු තරම් ප්‍රමාණයෙන් විශාල ව නිරූපණය කර ඇති අතර, අතිශය කුඩා මහද්වීපයක් ලෙස දක්වා ඇති අප්‍රිකාව මධ්‍යයේ දැවැන්ත වැවක් දක්වා තිබෙනවා. කෙසේ වුව ද, දකුණු කෙළවර උලක් ලෙස දැක්වෙන පරිදි අප්‍රිකානු මහද්වීපය දක්වා ඇති ප්‍රථම සිතියම ලෙස සැලකෙන්නේ ‘ඩා මින්ග් හන්යී ටූ’ යි.

වෝල්ඩ්සීමුලර් ලෝක සිතියම

© Wikimedia Commons

ඇමෙරිකානු මහද්වීපයට එම නාමය ලබාදීමට මූලිකත්වය ගත් අයෙක් ලෙස ජර්මානු ජාතික මාටින් වෝල්ඩ්සීමුලර් හැඳින්වීමේ වරදක් නැහැ. 1507 දී ඔහු විසින් නිර්මාණය කරන ලද ලෝක සිතියමේ පැසිෆික් සාගරය සහ යුරෝපීයයන් විසින් සොයා ගන්නා ලද ‘නව ලෝකය’ නිවැරදි ව දක්වා තිබෙන අතර, ඉතාලි ජාතික ගවේෂක ඇමෙරිගෝ වෙස්පූචිට කරන ගෞරවයක් ලෙස මාටින් වෝල්ඩ්සීමුලර් ඔහු විසින් අඳින ලද සිතියමේ ‘නව ලෝකය’ නම් කර ඇත්තේ ‘ඇමෙරිකාව’ ලෙස යි. ඒ හේතුවෙන් ඇතැම් අවස්ථාවල දී ‘වෝල්ඩ්සීමුලර් ලෝක සිතියම’ ඇමෙරිකාවේ උප්පැන්න සහතිකය ලෙස ද හඳුන්වනවා. එසේ ම ලොව මිල අධික ම ලෝක සිතියම ලෙස සැලකෙන එහි එක ම පිටපත 2003 දී කොන්ග්‍රස් මණ්ඩල පුස්තකාලය විසින් මිල දී ගෙන ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 10කට යි.

මර්කේටර් ප්‍රක්ෂේපණය

© Wikimedia Commons

බෙල්ජියමේ ෆ්ලෙමිෂ් ප්‍රදේශයේ වාසය කළ ජෙරාඩස් මර්කේටර් විසින් 1569 දී එළිදක්වන ලද ‘මර්කේටර් ප්‍රක්ෂේපණය’ විවාදයන් රැසකට තුඩු දුන් ලෝක සිතියමක්. එහි ඇති විශේෂත්වය වන්නේ ගෝලාකාර හැඩයෙන් යුතු පෘථිවිය, නිවැරදි ව පැතලි සිතියමක් ලෙස ඉදිරිපත් කිරීමට ජෙරාඩස් මර්කේටර් උත්සාහ කර තිබීම යි. ඒ අනුව මර්කේටර් ප්‍රක්ෂේපණයේ සමකයෙන් දුරස් ව පිහිටි රාජ්‍යයන් දැක්වීමේ දී අක්ෂාංශ අතර පරතරය ක්‍රමයෙන් වැඩි වන ලෙස දක්වා තිබෙනවා. එහි අඩුපාඩු කිහිපයක් ම පැවතිය ද වර්තමානයේ දී දැක ගැනීමට ලැබෙන ලෝක සිතියම් සඳහා පදනම සැපයීමට මූලිකත්වය ගත් සිතියමක් ලෙස මර්කේටර් ප්‍රක්ෂේපණය හැඳින්වීම අතිශයෝක්තියක් නොවෙයි.

කවරයේ පින්තූරය: © Gergi Tavan Dünyası