Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඕස්ට්‍රේලියාවේ විශාලතම ගොවිපොළවල් 8 ගැන දැනගනිමු

එඬේර යුගයේ දී මිනිසුන් සතුන්ව හීලෑකර, උන්ගෙන් විවිධ ප්‍රයෝජන ගැනීමට පුරුදුවුණා. එම සතුන්ව දෛනික අවශ්‍යතාවයන් සපුරාගැනීමට මෙන්ම කෘෂිකාර්මික කටයුතු සඳහා ද යොදාගනු ලැබුවා. එඬේර යුගයේ දී මිනිසා විසින් ආරම්භ කෙරුණු සත්ත්ව පාලනය ක්‍රමය පසුකලෙක සත්ත්ව ගොවිපොළවල් බිහිවීම දක්වා ඉදිරියට පැමිණියා. 

විශාල සත්ත්ව ගොවිපළ, විශේෂයෙන්ම කිරි ගොවිපළ බිහිවුණු රටවල් අතරින් ඕස්ට්‍රේලියාවට ප්‍රමුඛස්ථානයක් හිමිවන්නේ, අද වන විට ලෝකයේ විශාලතම පශු ගොවිපොළවලින් වැඩි ප්‍රමාණයක් එරට පිහිටා තිබෙන නිසා යි. එයින් විශාලතම ඕස්ට්‍රේලියානු කිරි ගොවිපොළවල් 8 පිළිබඳව අද අපි කතාකරමු.  

8) මේරියන් ඩවුන්ස් 

මේරියන් ඩවුන්ස් ගොවිපොළ (Shutterstock)

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ අක්කර 3,070,000ක තරම් විශාල ප්‍රදේශයක පැතිරී තිබෙන මෙම ගොවිපොළේ  ගවයන් 15000ක් පමණ වාසය කරනවා. මෙය පිහිටි ප්‍රදේශය ජෝර්ජිනා, හැමිල්ටන්, මුලිගන්, සහ බර්ක් යන ගංගා හතරෙන් පෝෂණය වනවා. එම නිසා මෙම ගොවිපොළ පිහිටි ප්‍රදේශයේ සරුවට තණකොළ වර්ධනය වන තිබෙන ආකාරය දකින්නට පුළුවන්. 

1877 වසරේ දී ආරම්භවුණු මෙම ගොවිපොළ එක් එක් කාලයේ දී විවිධ සමාගම්වල පාලනය යටතේ පැවතුණා. නමුත් 1934 වසරේ දී උතුරු ඕස්ට්‍රේලියානු පැස්ටරල් සමාගම මෙය මිලදීගැනීමෙන් පසුව අද දක්වා මෙම ගොවිපොළ පාලනය කරන්නේ ඔවුන්. මෙම ගොවිපොළ විශාලත්වයෙන් වැඩි එකක් වුණත්, එහි වැඩකටයුතු සඳහා සේවකයන් 15 දෙනෙකු පමණ ප්‍රමාණවත් බව පැවසෙනවා. 

7) වේව් හිල් 

වේව් හිල් ගොවිපොළේ ගවයන් (agronomag.com)

ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශය තුළ පිහිටා තිබෙන මෙම ගොවිපොළ තුළ ගවයන් 50000ක් පමණ වාසය කරනවා. වර්තමානය වන විට අක්කර 3,330,000ක භූමි ප්‍රදේශයක් පුරා පැතිර තිබෙන මෙම ගොවිපොළ පිහිටි ප්‍රදේශයේ ඈත අතීතයේ දී ඕස්ට්‍රේලියානු ආදිවාසීන් බහුලව ජීවත්වුණා. මෙම ගොවිපළට නැගෙනහිරින් කැම්ෆීල්ඩ් ගංගාව ද, බටහිරින් වික්ටෝරියා ගංගාව ද, උතුරු දෙසින් ටුසොක් තණබිම් ද පිහිටා තිබෙනවා. 

1883 වසරේ දී නැතෑනියෙල් බියුකැනන් නම් පුද්ගලයාගේ මැදිහත්වීමෙන් මෙම ගොවිපොළ ආරම්වුණා. එය ආරම්භ කරන ලද අවස්ථාවේ දී ගවයන් 1000ක් පමණ සිටියා. ඉන්පසුව විවිධ පුද්ගලයන් සහ සමාගම් විසින් පාලනය කෙරුණු මෙම ගොවිපොළ වර්තමානයේ දී අයත් වන්නේ “වෙස්ටර්න් ග්‍රාසින්ග්” නම් සමාගමට යි.

6) ඉනාමින්කා 

ඉනාමින්කා ගොවිපොළේ පැරණි ඡායාරූපයක් (Springerlink)

දකුණු ඕස්ට්‍රේලියාවේ පිහිටා තිබෙන ඉනාමින්කා ගොවිපොළට මෙම නාමය ලැබී තිබෙන්නේ “ඔබේ නවාතැන” සහ “ඔබේ නිවස” යන අර්ථය ඇති ආදිවාසී වචන ද්විත්වයක් නිසා යි. කූපර් ගංගාවෙන් පෝෂණය වන මෙම ගොවිපොළ 1872 වසරේ දී රොබට් බොස්ටොක් විසින් ආරම්භ කරුණා. 1881 වසර වන විට එහි සිටි ගවයන් ප්‍රමාණය 8000 දක්වා වර්ධනය වුණා. කලෙක මෙහි සිටි ගවයන්ගේ ප්‍රමාණය 20000කට වඩා  වැඩි අගයක් ගත්ත ද, විවිධ අවස්ථාවල දී ඇතිවුණු නියඟය සහ ගංවතුර හේතුවෙන් ගවයන් විශාල ප්‍රමාණයක් මියගියා. 

වර්තමානය වන විට අක්කර 3,340,000ක භූමි ප්‍රදේශයක් පුරා පැතිර පවතින ඉනාමින්කා ගොවිපොළේ සිටින්නේ ගවයන් 13000ක් පමණ යි. 1908 වසරේ දී මෙම විශාල ගොවිපොළ මිලටගත් සිඩ්නි කිඩ්මන් සහ සමාගම තවමත් එහි පාලන කටයුතු සිදුකරනු ලබනවා.

5) හෝම් වැලී 

හෝම් වැලී ගොවිපොළේ සිටින ගවයන් නිදහසේ ආහාර බුදිමින් (insidermonkey.com)

බටහිර ඕස්ට්‍රේලියාවේ පිහිටා තිබෙන විශාලතම ගොවිපොළ වන මෙහි අයිතිය ඇත්තේ දේශීය ඉඩම් සංස්ථාව සතුව යි. 1957 වසරේ දී පමණ ආරම්භ වුණු මෙම ගොවිපොළට අද වන විට ගවයන් 5000ක් පමණ අයත්. පෙන්තකොස්ත ගංගාවෙන් පෝෂණය වන මෙම ගොවිපොළේ සරුවට තණකොළ වැඩී තිබෙනවා. එම නිසා අක්කර 3,5000,000ක් පුරා පැතිරී පවතින ගොවිපොළ තුළ ගවයන්ට නිදහසේ සැරිසරමින් ආහාර බුදින්නට පුළුවන්. 

4) ඩෙවන්පෝර්ට් ඩවුන්ස් 

ඩේවන්පෝර්ට් ඩවුන්ස් ගොවිපොළේ ගවයන් තණබිම් කරා රැගෙනයමින් (paraway.com.au)

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ පිහිටි විශාලතම ගොවිපොළ වන, වර්තමානය වන විට අක්කර 3,700,000ක භූමි ප්‍රදේශයක විහිදි ඩෙවන්පෝර්ට් ඩවුන්ස් ගොවිපළට ගවයන් 29000ක් පමණ අයත්වනවා. මෙය පිහිටි ප්‍රදේශය නිතරම ගංවතුර තත්ත්වයන්ට ගොදුරුවන්නේ ඒ අවට මහා ආටේෂියන් ද්‍රෝණිය සහ ඩයමන්ටිනා ගංගාව පිහිටා තිබෙන නිසා යි. ගොවිපොළ පිහිටි බිම් පෙදෙස ගංවතුර තර්ජනයට ලක්වුණත් එහි  සාරවත්බවේ නම් අඩුවක් දක්නට ලැබෙන්නේ නැහැ. 

1860 වසරේ දී ජෝන් කොස්ටෙලෝ දේවගැතිවරයාගේ මැදිහත්වීම යටතේ මෙම ගොවිපොළ ආරම්භ වුණා. ඉන්පසුව විවිධ සමාගම් විසින් පාලනය කෙරුණු මෙය 2009 වසරේ දී පැරවේ පැස්ටරල් සමාගම මිල දී ගත්තා. ඒ අනුව අද වන විට මෙහි අයිතිය පවතින්නේ එම සමාගම සතුව යි. 

3) ඇලෙක්සැන්ඩ්‍රියා 

ඇලෙක්සැන්ඩ්‍රියා ගොවිපොළ ගංවතුරට හසුවී (Central Station)

ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ පිහිටා තිබෙන මෙම ගොවිපොළ රැන්කන් සහ බියුකැනන් යන ගංගාවලින් පෝෂණය වනවා. අක්කර 4,000,000ක පමණ භූමි ප්‍රදේශයක් පුරා පැතිර තිබෙන මෙම විශාල ගොවිපොළ තුළ ගවයන් 55,000ක් පමණ සිටිනවා. 1877 වසරේ දී ආරම්භ කෙරුණු මෙම ගොවිපොළ, ආරම්භක අවධියේ සිටම පාලනය කළේ උතුරු ඕස්ට්‍රේලියානු පැස්ටරල් සමාගම යි. 

වර්තමානය වන විට මෙම ගොවිපොළේ වැඩ කටයුතු සිදුකිරීම සඳහා 50ක පමණ සේවකයන් පිරිසක් සිටිනවා. මෙම ගොවිපොළ පිහිටා තිබෙන ප්‍රදේශය නිතරම ගංවතුර සහ නියං තත්ත්වයන්ට ගොදුරු වන නිසා ගොවිපොළේ සේවය කරන උදවියට එය නඩත්තු කිරීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබෙනවා.  

2) ක්ලිෆ්ටන් හිල්ස් 

ක්ලිෆ්ටන් හිල්ස් ගොවිපොළ (agronomag.com)

දකුණු ඕස්ට්‍රේලියාවේ අක්කර 4,200,000ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරී තිබෙන මෙම ගොවිපොළේ ගවයන් 14000ක් පමණ වාසය කරනවා. මෙම ගොවිපොළ පිහිටි ප්‍රදේශයේ වෝර්බර්ටන් ගංගාවේ ආරම්භයත්, ඩයමන්ටිනා ගංගාවේ අවසානයත් සිදුවනවා. එම නිසා ක්ලිෆ්ටන් හිල්ස් ගොවිපොළ පිහිටා තිබෙන භූමි ප්‍රදේශය සත්ත්ව පාලන කටයුතු සඳහා උචිත වන ආකාරය නිරීක්ෂණය කරන්නට පුළුවන්. 

1877 වසරේ දී 1000ක පමණ ගවයන්ගෙන් ආරම්භ කෙරුණු මෙම ගොවිපොළ එක් එක් කාලයේ දී විවිධ සමාගම්වල පාලනය යටතේ පැවතුණා. නමුත් 1960 වසරේ දී හෙක්ටර් බෘක්ස් මෙය මිල දී ගැනීමෙන් පසුව අඛණ්ඩව මෙහි පාලන කටයුතු සිදුවුණේ ඔහු යටතේ යි.

1) ඇනා ක්‍රීක් 

ඇනා ක්‍රීක් ගොවිපොළේ සිටින ගවයන් (insidermonkey.com)

ඕස්ට්‍රේලියාවේ පිහිටා තිබෙන විශාලතම ගොවිපොළ වන මෙය අයත්වන්නේ දකුණු ඕස්ට්‍රේලියාවට යි. වර්තමානය වන විට අක්කර 6,000,000ක භූමියක විහිදී පවතින මෙහි ගවයන් 16,500ක් පමණ වාසය කරනවා. 

1863 වසරේ දී ආරම්භ වුණු මෙම ගොවිපොළ මුල් යුගයේ දී භාවිතා කරනු ලැබුවේ බැටලු පාලනය සඳහා යි. නමුත් ඩිංගෝ නැමැති ඕස්ට්‍රේලියානු වල් සුනඛ විශේෂය නිතරම බැටළුවන් දඩයම් කළ නිසා පසුව මෙම ගොවිපොළ ගව පාලනය සඳහා භාවිතා කරනු ලැබුවා. 2000 වසරේ දී මෙම ගොවිපොළට ගංවතුර නිසා විශාල හානියක් සිදුවුණා. මෙම විශාල ගොවිපොළ දිගු කාලයක් තිස්සේ සිඩ්නි කිඩ්මන් සහ සමාගම යටතේ පැවතුණත් අද වන විට අයත්ව තිබෙන්නේ විලියම්ස් ගව පාලන සමාගමට යි. 

කවරයේ ඡායාරූපය- ගොවිපොළවල් ආශ්‍රිතව වාසය කරන ගව රංචු (Eritas Daily)

මූලාශ්‍රයයන්- agronomag.com 

Related Articles