මෙම ලිපිය ආරාධිත රචකයෙකු විසින් ලියැවුණකි.ඔබටත් අප හා ලිපි ලිවීමට අවශ්‍ය නම්, අපගේ ආරාධිත රචක කරළියට පිවිසෙන්න.

ලොව වෙනස් කළ බොහෝ දේ අතර දුම්රිය මාර්ග තැනීම ප්‍රධාන තැනක වෙයි. ගමනාගමනය සහ ප්‍රවාහනය පහසු කිරීමේ සිට යුද්ධයන් දිනීම දක්වා මේවායින් වූ ප්‍රයෝජනයන් බොහෝ ය. මේ ලැයිස්තුව ඒ ගැන යි. 

ලිවර්පූල් සහ මැන්චෙස්ටර් දුම්රිය

1830 සැප්තැම්බර් මාසයේ දී ලිවර්පූල් සහ මැන්චෙස්ටර් දුම්රිය මාර්ගය විවෘත කිරීම මඟින් වාෂ්ප බලයෙන් ධාවනය වන දුම්රිය ගමන් ආරම්භ විය. එය ඉදිකිරීමට පෙර බොහෝ දුම්රිය අශ්ව කරත්තවලින් යුක්ත වූ අතර කෙටි දුරක් ගල් අඟුරු වැනි භාණ්ඩ ප්‍රවාහනය කිරීමට භාවිතා කරන ලදී. ලිවර්පූල් සහ මැන්චෙස්ටර් යා කරන සැතපුම් 31ක දුම්රිය මාර්ගය වාෂ්ප බලයෙන් ධාවනය වන දුම්රිය එන්ජින් මඟින් මඟීන් සහ භාණ්ඩ ප්‍රවාහනය කළ ප්‍රථම දුම්රිය වන අතර, ඒවා සැලසුම් කර ඇත්තේ දුම්රිය මාර්ග විවෘත සැලසුම් තරගයේ ජයග්‍රාහකයා වන ජෝර්ජ් ස්ටීවන්සන් විසිනි. පැයට සැතපුම් 30ක් ගමන් කළ හැකි ලිවර්පූල් සහ මැන්චෙස්ටර් දුම්රිය පළමු වසර තුළ දී මඟීන් 500,000 කට වැඩි ප්‍රමාණයක් රැගෙන ගිය අතර එමඟින් ආයෝජකයින්ට අධික ලාබයක් ලැබුණි. ලිවර්පූල් වරායේ සිට මැන්චෙස්ටර් රෙදි මෝල් දක්වා කපු රැගෙන යාම ආදී කටයුතු හරහා දුම්රිය මාර්ගය එංගලන්තයේ කාර්මික විප්ලවයේ දියුණුවට හේතු වූයේ ය. එහි උරුමය පවතින්නේ ලිවර්පූල් සහ මැන්චෙස්ටර් දුම්රිය සමාගමට වන අතර රේල් පීලි අතර දුර අඩි 4 යි අඟල් 8.5ක් (පටු ආමාන) විය.

ලිවර්පූල් සහ මැන්චෙස්ටර් දුම්රිය මාර්ගය (photo by: asme.org)

බොල්ටිමෝර් සහ ඔහායෝ දුම්රිය මාර්ගය

ඊරි ඇළ වැනි ඇළ මාර්ග ඉදිකිරීමෙන් පසු නිව්යෝර්ක් නගරය අත්විඳින වාණිජමය උත්පාතය සමග තරග කිරීම සඳහා, ප්‍රතිවාදී බොල්ටිමෝර් වෙළෙන්දන් විසින් සැතපුම් 380ක දුම්රිය මාර්ගයක් යෝජනා කෙරිණි. 1827 දී බොල්ටිමෝර් සහ ඔහායෝ රේල් පාර මඟීන් සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ප්‍රගතියක් ලබා දුන් පළමු ඇමරිකානු සමාගම බවට පත්වූ අතර මඟීන් සහ භාණ්ඩ ප්‍රවාහනය විධිමත් කාල සටහනකට ගෙන යාම සඳහා වාෂ්ප දුම්රිය එන්ජින් භාවිතා කළ පළමු ඇමරිකානු දුම්රිය මාර්ගය ද එය විය. එකල එක්සත් ජනපද ජනාධිපති ඇන්ඩෲ ජැක්සන් 1833 දී එලිකොට්ස් මිල්ස්හි දී බැල්ටිමෝර් සහ ඔහායෝ දුම්රියට නැඟුණු අතර, ඒ එක්සත් ජනපද ජනපතිවරයෙකු විසින් සිදු කෙරුණු පළමු දුම්රිය ගමන වෙයි.

බොල්ටිමෝර් සහ ඔහායෝ දුම්රිය මාර්ගය (photp by: american-rails.com)

පැනමා දුම්රිය මාර්ගය

1855 දී මධ්‍යම ඇමරිකාව හරහා ගොඩනැගුනු පැනමා දුම්රිය මාර්ගය ප්‍රථම වතාවට අත්ලාන්තික් සාගරය හා ශාන්තිකර සාගරය සම්බන්ධ කළේ ය. සැතපුම් 50කට ආසන්න දුම්රිය මාර්ගය මධ්‍යම ඇමරිකාවේ නැගෙනහිර හා බටහිර වෙරළ අතර මුහුදු මාර්ගයෙන් ගමන් කළ මඟීන් සඳහා පැනමාව හරහා වන දුෂ්කර ගමන පහසු කළේ ය. විශේෂයෙන්ම එක්සත් ජනපදයේ අන්තර් මහාද්වීපික දුම්රිය මාර්ගය නිම කිරීමට පෙර වසරවල දී කැලිෆෝනියාවේ රන් ආකර වෙතින් ධනය සොයන දස දහස් සංඛ්‍යාත ව්‍යාපාරිකයන් අතර එය ජනප්‍රිය විය. 1914 පැනමා ඇළ විවෘත කරන තෙක් පැනමා දුම්රිය, වාෂ්ප නැව් සමාගම් සහ එක්සත් ජනපද තැපෑල සඳහා භාණ්ඩ ප්‍රවාහනය කරන ලද අතර එය වඩාත්ම භාවිතා කරන ලද භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මාර්ගය විය.

පැනමා දුම්රිය මාර්ගය (photo by: ufpcmcollection.wordpress.com)

ලින්කන් අවමංගල දුම්රිය

1865 අප්‍රියෙල් 21 වන දින වොෂිංටන් ඩී.සී. වෙතින් පිටත්ව ගිය පසු, ඒබ්‍රහම් ලින්කන්ගේ දේහය රැගත් කළු පැහැති දුම්රිය සති 2කට ආසන්න කාලයක් නගර 180ක් හා ප්‍රාන්ත හතක් හරහා ලින්කන්ගේ උපන් ගමරට වූ ඉලිනොඒ බලා ගමන් කළේ ය. සිය දහස් ගණන් ඇමරිකානුවන් සිය ගෞරවය පුද කළ දින 13ක ගමනේ දී ලින්කන්ගේ දේහය ආරක්ෂා කර තබා ගැනීම ඇමරිකාවේ අවමංගල්‍ය එම්බාම් කිරීමේ කර්මාන්තය ප්‍රචලිත කිරීමට ඉවහල් වූ අතර, එය ජෝර්ජ් පුල්මන්ට ප්‍රචාරක වරප්‍රසාදයක් විය. පසුකලෙක විකුණා දමන ලදුව සාමාන්‍ය මඟී මැදිරියක් බවට පරිවර්තනය කෙරුණු “ලින්කන් ස්පෙෂල්”හි චිකාගෝ සිට ස්ප්‍රිංෆීල්ඩ් දක්වා ගමන් කරන මඟීන්ගේ සුවපහසුව සඳහා සුඛෝපභෝගී නිදන මැදිරි ද අන්තර්ගතව තිබූ බව කියැවේ. පසුකලෙක එය ගින්නෙන් විනාශව ගියේ ය.

ලින්කන් අවමංගල දුම්රිය (Photo by: nationalgeographic.com)

මෙට්‍රොපොලිටන් උමං දුම්රිය

මෙට්‍රොපොලිටන් උමං දුම්රිය 1863 ජනවාරි 10 වන දින ආරම්භ කිරීමත් සමග ලන්ඩනයේ වීදිවලට යටින් පෙර නොවූ ගැඹුරක දී දුම්රිය ධාවනය වීමට පටන් ගත්තේ ය. මෙයින් දුම්රිය ක්ෂේත්‍රය නව යුගයකට ළඟා වූ බව කිව හැකිය. ලෝකයේ පළමු උමං මාර්ගය පැඩිංටන් දුම්රිය ස්ථානය, ප්‍රධාන නගර හා සම්බන්ධ කරමින් සැතපුම් හතරක් දිග රේඛාවක් ඔස්සේ ක්‍රියාත්මක විය. ආරම්භක දිනයේ සිටම එය වාෂ්ප දුම්රිය එන්ජින් මඟින් ප්‍රවාහනය කරන ලද ගෑස් පහන් දැල්වූ ලී මැදිරිවල මඟීන් 30,000කට අධික සංඛ්‍යාවක් රැගෙන ගිය අතර, සාර්ථක විය. මෙට්‍රොපොලිටන් උමං දුම්රිය ලන්ඩන් උමං මාර්ගවල සංවර්ධනයේ ඵලදායී බව සනාථ කළ අතර බ්‍රිතාන්‍ය අගනුවර වීදි අවහිර කරමින් එහි සමෘද්ධිය අඩාල කරමින් සිටි අශ්ව කරත්ත තදබදය ලිහිල් කළේ ය.

මෙට්‍රොපොලිටන් උමං දුම්රිය අද (photo by: britannica.com)

ට්‍රාන්ස්-සයිබීරියානු දුම්රිය

ට්‍රාන්ස් සයිබීරියානු දුම්රිය මාර්ගය 1916 දී නිම කර අවසන් වූ අතර මෙතෙක් ඉදිකරන ලද දිගම හා මිල අධිකම දුම්රිය මාර්ගය වේ. සැතපුම් 6,000කට ආසන්න දුරක් පුරා විහිදී තිබෙන එය ලොකු කුඩා නගර සිය ගණනක් සම්බන්ධ කරනවා. තනි දුම්රියක යෙදිය හැකි ලොව දීර්ඝතම ගමන ලෙස මෙය හඳුන්වනු ලබනවා. රුසියාව හරහා දින හතක් පුරා කිලෝමීටර් 9258ක් දුරට මෙම ගමන යෙදෙනවා. 

1917 රුසියානු විප්ලවයෙන් පසුව ඇති වූ සිවිල් යුද්ධයේ දී බලය තහවුරු කර ගැනීම සඳහා කොමියුනිස්ට්වාදීන් විසින් මෙම දුම්රිය මාර්ගය භාවිතා කෙරිණි. දෙවන ලෝක යුද සමයේ දී අලුත් සොල්දාදුවන් යුධ පිටියට ගෙන ඒමට දුම්රිය මාර්ගය නැගෙනහිර දෙසට සංක්‍රමණය වීමට හේතු වූ අතර සයිබීරියාවේ සිට රුසියාවේ ප්‍රධාන නගර කරා ගල් අඟුරු, දැව, සහ වෙනත් අමුද්‍රව්‍ය ගෙනයාමට ද භාවිතා විය. මෙම මාර්ගයේ ගමනේ යෙදෙන සංචාරකයන්ට ලොව ප්‍රසිද්ධම මං සලකුණු ඔස්සේ ගමන් කරන්න හැකියාවක් තිබේ. ඒවා අතර අවුරුදු 500ක් පමණ පැරණි ක්‍රෙම්ලීන් ගොඩනැගිල්ල, සාර් රජ පවුල ඝාතනය කල ස්ථානයේ ඉදිකර ඇති දේවස්ථානය, හා පෞරාණික නටඹුන් ඇති ඉර්කුට්ස් නගරයත් අයත් වෙනවා. යුරල් කදු පංතිය, මොස්කව් සිට කිලෝමීටර් 1777ක් දුරින් ඇති ආසියා-යුරෝපා මහද්වීපික දේශසීමාව, හා බයිකල් විල ද මෙම මාර්ගයට ඇතුළත් වේ.

ට්‍රාන්ස් සයිබීරියානු දුම්රිය මාර්ගය (photp by: russianrails.com)

සමූලඝාතන දුම්රිය

නාසි ජර්මන් දුම්රියක් (photo by: nytimes.com)

දෙවන ලෝක සංග්‍රාමයේ දී නාසීන් දුම්රිය යොදා ගනිමින් යුදෙව්වන් සහ අනෙකුත් සිරකරුවන් බලහත්කාරයෙන් රැඳවුම් කඳවුරුවලට පිටුවහල් කිරීම සිදුකරන ලදී. ට්‍රෙබ්ලින්කා සහ අවුෂ්විට්ස් වැනි රැඳවුම් කඳවුරුවල මිලියන 6ක ජනතාවක් ක්‍රමානුකූලව ඝාතනය කරන ලදී. පිටුවහල් කරන ලද යුදෙව්වන් ආහාර හෝ ජලය නොමැතිව භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රිය ගැල් හා සතුන් ප්‍රවාහනය කරන දුම්රිය ගැල් තුළ රඳවා රැඳවුම් කඳවුරුවලට යැවුණු අතර ගමනාන්තයට පැමිණීමට පෙර බොහෝ දෙනෙකු මිය ගියහ. යුදෙව් සමූලඝාතනයේ යෝජකයා හා නිර්මාපකයා වූ  හයින්රික් හිම්ලර් 1943 ජනවාරියේ නාසි ප්‍රවාහන ඇමතිවරයාට ලියූ ලිපියක සඳහන් කර ඇති පරිදි, “මට ඉක්මනින් දේවල් අවසන් කිරීමට නම්, ප්‍රවාහනය සඳහා තවත් දුම්රිය තිබිය යුතු ය” යනුවෙන් සදහන් කළේ ය. නාසීන්ගේ යුදෙව් සංහාරයට උපයෝගී කරගත් වැදගත් සහ ප්‍රධානම මාධ්‍යයක් වූයේ දුම්රිය ප්‍රවාහනය යි.

යුදෙව්වන් රඳවා සිටින කඳවුරක් අසලට දුම්රියක් පැමිණ ඇත. (photo by: nytimes.com)

තොකයිදෝ ෂින්කන්සෙන්

ටෝකියෝ සහ ඔසාකා අතර අධිවේගී දුම්රිය මාර්ගයක් නිමවීමත් සමග දුම්රිය ගමන් නව යුගයකට අවතීර්ණ වූ අතර එය නගර දෙක අතර ගමන් කාලයෙන් අඩක් කපා දැමී ය. 1964 ටෝකියෝහි පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලට පෙර විවෘත කරන ලද ෂින්කන්සෙන්හි (“ජපන් නව ප්‍රධාන මාර්ගය”) පැයට සැතපුම් 125ක් දක්වා වේගයෙන් ගමන් කළ හැකිවිය. බුලට් දුම්රිය පළමු වසර තුන තුළ මඟීන් මිලියන 100ක් රැගෙන යාමෙන් පසු අධිවේගී දුම්රිය වාණිජමය වශයෙන් සාර්ථක විය හැකි බව පෙන්නුම් කළේ ය. හරස් මාර්ග සහ තියුණු වක්‍ර නොමැති තොකයිදෝ ෂින්කන්සෙන් සඳහා වන ඉංජිනේරු විද්‍යාව ලොව පුරා අනාගත අධිවේගී දුම්රිය ව්‍යාපෘති සඳහා මූලාකෘතියක් ලෙස සලකනු ලබයි.

ෂින්කන්සෙන් අධිවේගී දුම්රිය (photo by: asia.nikkei.com)

මූලාශ්‍රයය: history.com

Cover: abercrombiekent.com