අදානි ගේ ව්‍යාපෘතියෙන් කැලැඹුණු “ධාරාවි” ජීවිත

ලෝකයේ ධනවත් ම පුද්ගලයකු වන ගෞතම් අදානි, ඉතා වැදගත් ව්‍යාපාරික අවස්ථාවකට පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී එළඹුණා. මුම්බායි නගරයේ පිහිටි පැල්පත් නිවාස සංකීර්ණයක් වන “ධාරාවි” සංවර්ධනය කිරීමේ ලංසුව අදානි දිනා ගැනීම ඊට හේතුව යි. ධාරාවි යනු ලෝකයේ විශාලත ම පැල්පත් නිවාස සංකීර්ණවලින් එකක්. මුම්බායි නගරයේ හදවත බඳු බිම් පෙදෙසක පැතිරී ඇති “ධරාවි” පැල්පත් නිවාස ජාලයේ විශාලත්වය වර්ග කිලෝමීටර 2.4 ක් පමණ වෙනවා.

2020 වනවිට ධාරාවි ප්‍රදේශයේ සිටින නිවැසියන් ගණන 850,000 ක් පමණ විය හැකි බව වාර්තා වී තිබුණා. මෙම පැල්පත් නිවාස සංකීර්ණයේ සිටින පදිංචිකරුවන් සංඛ්‍යාව සම්බන්ධයෙන් නිසි ඇස්තමේන්තුවක් නැහැ. ඇතැම් විට ධාරාවියේ පදිංචිකරුවන් සංඛ්‍යාව මිලියනයක් පමණ විය හැකි යි. වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් සංඛ්‍යාව තුන් ලක්ෂ පනස්දහසත් ඉක්මවා යන ජන ගණත්වයක් තිබෙන බැවින්, ධාරාවි පැල්පත් නිවාස සංකීර්ණය මුම්බායි නගරයේ වඩාත් අවහිර වූ අවකාශයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.  

ධාරාවියේ ඇතුළත දර්ශනයක් – www.visapourlimage.com

සිතනවාට වඩා ප්‍රබල “ධරාවි”

මෙවැනි පෙදෙසක් සංවර්ධනය කිරීම සැබවින් ම විශාල අභියෝගයක්. එයිනුත් දුෂ්කර ම කාර්යය වන්නේ නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය යි. තත්ත්වය එසේ වුව ද, මුම්බායි යනු ලෝකයේ ඉතා වටිනා වාණිජ නගරයක්. එවැනි ස්ථානයක භූමියේ ඇති වැදගත්කම විස්තර කළ නොහැකි තරම් ඉහළ යි.

කොතරම් අභියෝග තිබුණ ද ධාරාවියේ වටිනාකම දන්නා ව්‍යාපාරිකයන් ධාරාවි පෙදෙසට ඇස ගසාගෙන සිටින්නේ කලක පටන්. සැබවින් ම ධාරාවිය මේ වසාගෙන සිටින්නේ ඉන්දියාවේ වැදගත් ම ආයෝජන ක්‍රියාවලි ආරම්භ කළ හැකි ස්ථානයක්. එහි වැදගත්කම ඉස්මතු වුණෙත් අද ඊයෙක නොවෙයි. එහෙත්, ධාරාවි පැල්පත් නිවාස සංකීර්ණය මුම්බායි හි තවමත් ස්ථාවර යි. ඒ ඇයි?

ඇතැම් විට ගෞතම් අදානිගේ ධනවත්කමටත් වඩා ඊට හේතුව ප්‍රබල වන්නට පුළුවන්.

ඩොලර් බිලියන ගණනක ව්‍යාපෘතියක්

මතුපිටින් බැලූ විට මෙම ව්‍යාපෘතිය ඉන්දියාව ලබා ගත් ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකි යි. ගෞතම් අදානි ගේ ව්‍යාපෘතියේ අතුරු ප්‍රතිපලයක් ලෙස ධාරාවියේ පවුල් සඳහා නවීන ගොඩනැඟිලිවල නිවාස හිමිවන අතර, මුම්බායි නගරයේ දරිද්‍රතාවටත් ඉන් විසඳුමක් ලැබෙනවා. ඉන්පසු ගෞතම් අදානිට අයත් “Adani Realty” නම් දේපළ වෙළඳාම් සමාගම හරහා මුම්බායි හි රන් ආකරයක් බඳු ස්ථානයක ව්‍යාපාර දියුණු කිරීමට හැකිවනු ඇති.

ගෞතම් අදානි – www.japantimes.co.jp

ධාරාවි වැසියන් වෙනත් ස්ථානවල පදිංචි කළ පසු ප්‍රදේශය නැවත සංවර්ධනය කිරීම සඳහා ගෞතම් අදානි අමෙරිකා ඩොලර් මිලියන 612 කට වඩා මඳක් වැඩි ලංසුවක් තැබූ බව සඳහන්. ඉන්පසු ධාරාවි භූමිය නේවාසික සහ වාණිජ කටයුතු සඳහා වෙළෙඳපොළ මිලට විකිණීමට හැකිවනු ඇති. සම්පූර්ණ ව්‍යාපෘතියේ වටිනාකම අමෙරිකා ඩොලර් බිලියන 2.4 ක් වනු ඇති බව ඇස්තමේන්තුගත කර තිබෙනවා.

නිවාසයකට හිමිකම් පෑම හෝ නිවාසයක් කුලී පදනමට ලබා ගැනීම සඳහා ඉතා අධික මිලක් ගෙවීමට මුම්බායි වැසියන්ට සිදු වෙනවා. නිශ්චල දේපළවල නව ගලා ඒමක් සිදු වනවිට නිවාස වෙළඳපොළ ස්ථාවර වීමක් සිදුවිය හැකි බැවින්, ව්‍යාපෘතියට මුම්බායි හි ඉහළ මධ්‍යම පංතිය කැමැත්තෙන් පසු වෙනවා. නමුත්, ධාරාවි වැසියන් අදානි ගේ සැලැස්මට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. මුම්බායි හදවත තුළ ධාරාවි මෙතරම් ස්ථාවර වීම පිටුපස ඇති හේතු කාරණාවලට පිළිතුරු ලැබෙන්නේත් මේ අකමැත්ත සමඟ කටයුතු කරන විට යි.

දිගු ඉතිහාසයක් ඇති ජනාවාසයක්

ධාරාවි යනු හුදෙක් ලෝකයේ විශාලත ම පැල්පත් නිවාස සංකීර්ණයක් පමණක් ම නොවෙයි. සැබැවින් ම ධාරාවි යනු නගරයේ උප සංස්කෘතියක් තරමට ම මුල්බැස ඇති ස්ථානයක්. කලා නිර්මාණවල පවා ධාරාවියට ලබා දී ඇති වැදගත්කම ඉහළ යි.

මෙහි ඉතිහාසය බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය දක්වා විහිදෙනවා. 1884 සිට කැපී පෙනෙන මට්ටමකින් ධාරාවි භූමිය ජනාවාස වීම ඇරඹුණු අතර, එහි මුල් පදිංචිකරුවන් බොහෝවිට ධීවරයන් වුණා. ධීවරයන් පදිංචි වන විට ධාරාවි භූමිය වගුරුබිමක් ලෙස පැවතුණා. පසුකාලීන ව ස්වභාවික සහ කෘත්‍රිම හේතු මත වගුරුබිම් ලක්ෂණ පහව ගිය බැවින්, දකුණු මුම්බායි වැසියන් සහ අනෙකුත් සංක්‍රමණික කම්කරුවන් ධාරාවි වෙත ආකර්ෂණය වුණා.

ධරාවියේ ජීවිතය – www.earthtrekkers.com

මිල අධික නමුත්, අවස්ථා රාශියක් ඇති නගරයක් වන මුම්බායිහි බොහෝ මිනිසුන්ට ලාභදායී වාසස්ථානයක් වූයේ ධාරාවිය යි. දුප්පත් ග්‍රාමීය ඉන්දියානුවන් නාගරික මුම්බායි (එකල බොම්බේ ලෙස හැඳින්වූ) වෙත සංක්‍රමණය වීමේ දී ධාරාවි පැල්පත් සංකීර්ණය තවදුරටත් පුළුල් වුණා. 1947 දී ඉන්දියාව නිදහස ලබන විට ධරාවි භූමිය ඉන්දියාවේ විශාලත ම පැල්පත් නිවාස සංකීර්ණය බවට පත් වී අවසන්.

දේශපාලනයේ වැදගත් සාධකයක්

ධාරාවි භූමිය ප්‍රතිසංවර්ධනය කිරීමේ යෝජනා කරළියට පැමිණියේ 1950 තරම් අතීතයක සිට යි. මුදල් සහ දේශපාලන සහයෝගය නොමැතිකම නිසා එවැනි සැලසුම් යටපත් වී ගිය නමුත්, ධාරාවියේ වටිනාකම කවදා හෝ අත්පත් කර ගැනීමේ සිහිනයත් ධනවතුන් අතහැරියේ නැහැ.

පැල්පත් ජනාවාසයේ පිහිටීම – www.thetimes.co.uk

කාලයත් සමඟ ධාරාවි ප්‍රදේශය ඉන්දීය දේශපාලනයේ ශක්තිමත් ම ස්ථානයක් බවට පරිවර්තනය වුණා. ධාරාවි සංවර්ධනය වෙනුවෙන් පෙනී සිටින දේශපාලකයන් මෙන් ම සංවර්ධනයට මුවාවෙන් ධාරාවි නිවැසියන්ට සිදු විය හැකි අසාධාරණකම් වෙනුවෙන් පෙනී සිටින දේශපාලකයන් ද මුම්බායි නගරයේ බිහි වුණා. ධාරාවි වැසියන් ගේ සිත් දිනා ගැනීම මුම්බායි දේශපාලනයේ වැදගත් ම සාධකයක් බවට පත් වන්නේ ඒ අයුරින්.

කර්මාන්ත කිහිපයක නිවහනක්

දේශපාලනය හැරුණු කොට විවිධ ශිල්ප සඳහා ප්‍රවීණත්වය ලැබූ මිනිසුන් ධාරාවි ප්‍රදේශයේ ජීවත් වෙනවා. කුඩා පරිමාණයේ කර්මාන්ත කිහිපයක් සඳහා සෙවණ සදන ස්ථානයක් බවට ධාරාවිය පත් වුණේ ඒ නිසා යි. සම් භාණ්ඩ කර්මාන්තය සහ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ කර්මාන්ත මේ අතරින් ප්‍රමුඛ යි.

විවිධ ව්‍යාපාරික ස්ථාන පන්දහසක් පමණ ධරාවියේ ස්ථාපිත ව ඇති අතර, ගෘහස්ථ මට්ටමින් හෝ තනි කාමර වශයෙන් පවත්වා ගෙන යන නිෂ්පාදනාගාර 15,000 ක් පමණ මෙහි දක්නට ලැබෙන බව සඳහන්. උත්තර් ප්‍රදේශ්, බිහාර් සහ ගුජරාට් වැනි දුරස්ථ ප්‍රාන්තවලින් පවා රැකියා සඳහා පිරිස් මෙහි පැමිණෙන බැවින්, ධාරාවි යනු හුදෙක් ඇසට ප්‍රිය නැති පැල්පත් නිවාස ගොන්නක් පමණක් නොවෙයි.

ධරාවි පැල්පත් ජනාවාසයේ කුඹල් කර්මාන්තය – hiteshmahawar.medium.com

ධාරාවි පදිංචිකරුවන්ට අනුව මුම්බායි නගරයේ වෙන් කරන අපද්‍රව්‍යවලින් 60% ක් සැකසීම් සඳහා පැමිණෙනවා. නගරයේ කැළි කසල ගැටලුවට ධරාවි වැසියන් හැකි පමණ පිළියම් සොයා දුන්නත්, සනීපාරක්ෂක ගැටලු සහ නගරයේ සෞඛ්‍ය තත්ත්වය පහත හෙළන සාධක අතර ධරාවිය ඉදිරියෙන් සිටින බවත්, සිහිපත් කළ යුතු යි.

කසළ ප්‍රතිචක්‍රීකරණය සහ සම් භාණ්ඩ නිෂ්පාදනයට අමතර ව ඉටි මුද්‍රණය, ඇලුමීනියම් ආශ්‍රිත කර්මාන්ත, මැටි භාණ්ඩල එම්බ්‍රොයිඩර් නිෂ්පාදනාගාරත් ධාරාවියේ දක්නට ලැබෙනවා.

කසළ ප්‍රතිචක්‍රීකරණයටත් ධරාවි ප්‍රදේශය ප්‍රසිද්ධියක් උසුලනවා – theglobepost.com

සංචාරක ආකර්ෂණයත් තිබෙනවා!

ධාරාවි පැල්පත් නිවාස සංකීර්ණයේ වැදගත්කම එතැනින් අවසන් වන්නේ ද නැහැ. වර්තමානය වනවිට සංචාරක කර්මාන්තයට පවා ධාරාවි ප්‍රදේශය ප්‍රසිද්ධ වෙමින් තිබෙනවා. ලෝකයේ විශාලත ම පැල්පත් නිවාස ජාලයක් වන බැවින්, මුම්බායි නගරයට පැමිණෙන සංචාරකයන් ධරාවි වීදි ගවේෂණය කිරීමටත් පෙලැඹෙනවා. කසළ ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය නැරඹීම, උස් ස්ථානයකට පැමිණ මුළු ධාරාවිය ම දර්ශන පථයට හසු කර ගැනීමේ අවස්ථා, සියවසක් පමණ පැරණි ධාරාවියට ම ආවේණික කුඹල් කර්මාන්තය නැරඹීම, ඒ අතරින් ප්‍රධාන යි.

ධනයටත් වඩා ධාරාවි ශක්තිමත්

ධාරාවි පැල්පත් සංකීර්ණයේ වැදගත්කම දීර්ඝ ව විස්තර කළේ එක් වැදගත් කරුණක් පැහැදිලි කිරීම සඳහා යි. මූලික අවශ්‍යතා වල ගැටලු කොතෙක් තිබුණත්, ධරාවි වැසියන් ගේ ජීවිතය මේ පැල්පත් ජීවන රටාව සමඟ වෙන්කළ නොහැකි තරමට ම බද්ධ වී අවසන්. අලුත් නිවාස සංකීර්ණ ලබා දීම හරහා ඔවුන් ගේ මූලික අවශ්‍යතා සහ සනීපාරක්ෂක ගැටලු විසඳුණත්, මේ වැසියන් දශක කිහිපයක් මුළුල්ලේ ගොඩ නඟා ගත් ව්‍යාපාරික පසුබිම සහ රැකියා වෙළෙඳපොළට පිළියම්, නිවාස ලබා දුන් පමණින් විසඳෙන්නේ නැහැ.

ධාරාවි පැල්පත් නිවාස සංකීර්ණය සංචාරක ආකර්ෂණය පවා දිනා ගනිමින් සිටිනවා – www.tripadvisor.in

ධාරාවි සම්බන්ධයෙන් දශක ගණනාවක් මුළුල්ලේ ඉන්දීය රජය මුහුණ දෙන අභියෝගයත් එය යි. ආයෝජනයට වටිනාකමක් දක්වන කලාපයක් පැල්පත් නිවාස සංකීර්ණයක් වෙනුවෙන් කැප කිරීමටත් ඉන්දීය රජය කැමති වන්නේ නැහැ. දැන් ගෞතම් අදානි ඒ අභියෝගය භාර ගැනීමට සූදානමින් පසු වෙනවා. එබැවින්, සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ධරාවි වැසියන් මතු කරන ගැටලුවලට පිළිතුරු සෙවීමේ වගකීමත් ඔහුට පැවරෙනවා. ඒවා මඟහැර යෑම කිසිසේත් ම පහසු වන්නේ නැහැ. ධාරාවිය තවමත් අදානි ගේ ධනයට වඩා ශක්තිමත් වීම ඊට හේතුව යි.

ධාරාවි මිනිසුන් ගේ අදහස්

ෂරීෆා වගාඩියා යනු ධාරාවියේ ජීවත් වන 51 හැවිරිදි කාන්තාවක්. වසර 70 කට පෙර ගුජරාට් ප්‍රාන්තයේ සිට සංක්‍රමණය වූ ඇය ගේ පවුල, කුඹල් කර්මාන්තය හරහා ස්ථාවර වූවන් ලෙස හැඳින්විය හැකි යි.

“අපේ ජීවනෝපායට සිද්ධ වන බලපෑම ගැන මං ඉන්නේ කනස්සල්ලෙන්. අපේ පවුලට ගෙවල් තුනක් තියෙනවා. නිමි භාණ්ඩ තියා ගෙන ඉන්න පොඩි ගබඩාවකුත් තියෙනවා.”

ධාරාවියේ තමා ස්ථාවර වී ඇති අන්දම ෂරීෆා පැහැදිලි කළේ ඒ අයුරින්. ඇය දන්නා පරිදි නැවත පදිංචි කිරීම හරහා ධරාවි මිනිසුන්ට ලැබෙන්නේ වර්ග අඩි 300-350 ක වපසරියක් ඇති නිවසක් පමණ යි. කුඹල් කර්මාන්තය දිගින් දිගට ම පවත්වා ගෙන යන්නේ නම්, ඇයට මතුවන ප්‍රායෝගික දුෂ්කරතා අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැහැ.

ෂරීෆා වගාඩියා – www.aljazeera.com

37 හැවිරිදි අෆ්සාල් ඛාන් සතු ගබඩා පහක් ධරාවි භූමියේ පිහිටා තිබෙනවා. ඒවා කුලියට දීමෙන් මසකට ඩොලර් 2100 ක පමණ මුදලක් ඉපැයීමට තරම් අෆ්සාල් සාර්ථක වී සිටිනවා.

“ධාරාවියේ පවුල් සහ ඔවුන් සතු නිෂ්පාදන ඒකක වෙනත් ස්ථානයට රැගෙන යාම ගැන කතා බහක් ඇති වෙලා තියෙනවා. ඒත්, මගේ ගබඩාවලට මොනවා වේවි ද? මට මගේ එකම ආදායම් මාර්ගය අහිමි වෙනවා.”

සංවර්ධන ව්‍යාපෘතිය හමුවේ අවිනිශ්චිත අනාගතයක් නිර්මාණය වන අෆ්සාල් වැන්නවුන් ධාරාවියේ ඕනෑ තරම් වාසය කරනවා ඇති.

අන්ත දෙකක සමබරතාව

ජයේෂ් ජේන් යනු දිනකට අපද්‍රව්‍ය ටොන් දෙකක් පමණ පිරිසැකසුම් කළ හැකි ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපාරයක් පවත්වා ගෙන යන ව්‍යාපාරියෙක්. ඔහුට අනුව ධාරාවි පෙදෙස සංවර්ධනය කිරීමේ සැලසුම් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සහ ව්‍යාපාර සමඟ සාකච්ඡා කිරීමට බලධාරීන් අපොහොසත් වී තිබෙනවා.

“ආණ්ඩුවේ කිසිම කෙනෙක් අපිට කතා කරලා නැහැ. අපිට අවශ්‍ය මොනවද කියලා කවුරුවත් අපෙන් අහලා නැහැ. මං කාන්තා කම්කරුවන් 15 දෙනෙකු ඇතුළු 30 දෙනෙකුට වැටුප් ගෙවනවා. මගේ ව්‍යාපාරය විනාශ වෙනවා නම්, දුක් විඳින්නේ මම විතරක් නෙවෙයි!”

බ්‍රිතාන්‍යයන් ගෙන් නිදහස ලැබීමෙන් පසු දශක ගණනාවක් මුළුල්ලේ ඉන්දීය ආණ්ඩු පැල්පත් නිවාස ඉවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කොට තිබෙනවා. එහි දී බොහෝ පදිංචිකරුවන්ට විකල්ප නොලැබුණු බැවින්, පැල්පත් ජනාවාස ඉක්මනින් මතු වීම නැවත සිදු වුණා. කාලයාගේ ඇවෑමෙන් වඩාත් සානුකම්පිත සහ තිරසර විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති නායකයන් සහ නිවාස හිමිකම් ක්‍රියාකාරීන් පැල්පත් වැසියන් වෙනුවෙන් පෙනී සිටි අතර, පැල්පත්වාසීන් ද ඔවුන් සමඟ අත්වැල් බැඳ ගැනීමට උත්සුක වුණා. ඔවුන් දැන් පෙරට වඩා ශක්තිමත් සහ දැනුම්වත්.

ධරාවි සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රායෝගික ගැටළු රැසක් තිබෙනවා. එහෙත්, ධරාවි පෙදෙස ආයෝජන කලාපයක් ලෙස ඉන්දීය ආර්ථිකයට එකතු නොවිය යුතු ද? – www.nobroker.in

“වසර සියයකට වඩා වැඩි කාලයක් ධරාවි ප්‍රදේශයේ මිනිස්සු මුඩුක්කුවාසීන් ලෙස අපකීර්තියට පත් වෙලා තිබෙනවා. ඔවුන් මුම්බායි හී නීත්‍යානුකූල පුරවැසියන් ලෙස සැලකුවේ නම්, ඔවුන් ඔවුන්ගේ ම ප්‍රජා යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීමට ඉඩ දේවි.”

නාගරික ක්‍රමසම්පාදන සහ සැලසුම් පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති මතියස් ඉචනොවේ පවසා සිටිනවා.

ධාරාවි වැසියන් මතු කරන ගැටලුවල ශක්තිමත් පදනමක් තිබෙන බව මින් පෙනී යනවා. ලෝක ආර්ථික බලවතෙක් වශයෙන් වේගවත් ගමනක යෙදෙන ඉන්දියාවට ආයෝජන අවස්ථා ඉතා වැදගත්. මේ අන්ත දෙකම සමබර කළ හැකි නම්, ධාරාවි භූමියට සමුදීම සම්බන්ධයෙන් එහි වැසියන්ට විශාල ගැටලුවක් පැන නොනඟිනු ඇති. සාපේක්ෂ ව ඔවුන් ගේ සමාජයත් පෙරට වඩා දැන් ප්‍රගතිශීලි වෙමින් තිබෙනවා.

ඉතින්, ගෞතම් අදානි මේ අභියෝගය කෙසේ ජය ගනීවි ද?

කවරයේ ඡායාරූපය: මුම්බායි නගරයේ අසමානතාව හොඳින් විදහා දක්වන ධරාවි - gettyimages.com
මූලාශ්‍ර:
www.hindustantimes.com
www.aljazeera.com
www.magicbricks.com
www.bloomberg.com
hiteshmahawar.medium.com

Related Articles