Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉරාකයෙන් හමු වූ අතුරුදන් වූ ඇසිරියානු නගරය : මාඩමන්

යුප්‍රටීස්-ටයිග්‍රීස් ගංගාවන්ට මැදි ව පිහිටි මෙසපොතේමියානු ශිෂ්ටාචාරය සතු වූ බලවත් රාජ්‍යයක් ලෙස ඇසිරියානු අධිරාජ්‍යය හැඳින්වීමේ වරදක් නැහැ. ඉතිහාස පොත්පත් හි සඳහන් වන ආකාරයට ක්‍රිස්තු පූර්ව 25 වැනි සියවසේ දී පමණ ගොඩ නංවන ලද ඇසිරියානු අධිරාජ්‍යය බිඳ වැටී ඇත්තේ ක්‍රිස්තු පූර්ව 612 – 609 අතර කාල සීමාවේ දී යි. ටයිග්‍රීස් ගං ඉවුරේ ගොඩ නංවන ලද ඇසිරියානු අධිරාජ්‍යය පැවති භූමි ප්‍රදේශය වර්තමානයේ දී උතුරු ඉරාකය, ඊශාන දිග සිරියාව, ගිනිකොන දිග තුර්කිය සහ වයඹ දිග ඉරානය යන රාජ්‍යයන්ට අයත් වෙනවා.

වසර ගණනාවක් තිස්සේ උතුරු ඉරාකයේ කුර්දිස්ථාන් ප්‍රදේශයේ කැනීම් කටයුතු සිදු කළ ජර්මනියේ ටුබිනන් සරසවියේ පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් සති කිහිපයකට පෙර ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඇසිරියානු අධිරාජ්‍යයට අයත් අතුරුදන් වූ මාඩමන් නගරයේ නටඹුන් සොයා ගැනීමට ඔවුන් සමත් වූ බව යි. වර්ෂ 4,800 ක් පමණ පැරණි නටඹුන් මධ්‍යයේ මැටියෙන් තනන ලද ඔරුවක් තුළ තැන්පත් කරන ලද කියුනිෆෝම් අක්ෂර (පුරාණ මෙසපොතේමියානුවන් භාවිතා කරන ලද උල් හැඩයෙන් යුතු අකුරු විශේෂයක්) සහිත පුවරු 92 ක් ද පවතින බව යි සඳහන් වන්නේ.

© Matthias Lang and Benjamin Glissmann

කියුනිෆෝම් පුවරුවෙන් හෙළි වූ රහස

මෙසේ කුර්දිස්ථානයේ බැසට්කි නම් ගම්මානයෙන් හමු වූ කියුනිෆෝම් අක්ෂර සහිත පුවරු කියවා තේරුම් ගැනීමේ වගකීම පැවරුණේ ජර්මනියේ හයිඩල්බර්ග් සරසවියේ වාග්විද්‍යාඥ ආචාර්ය බෙටීනා ෆේස්ට් වෙත යි. ඒ අනුව පුරාවිද්‍යාඥයින් විසින් කැනීම් මගින් අනාවරණය කර ගන්නා ලද බිම් පෙදෙස ඇසිරියානු අධිරාජ්‍යයට අයත් මාඩමන් හෙවත් මාඩමා නම් නගරය බව හෙළිදරව් වුණා.

ක්‍රිස්තු පූර්ව 2,800 – 2,650 අතර කාලයේ දී ගොඩ නංවන ලද මාඩමන් නගරය, ක්‍රිස්තු පූර්ව 1,900 – 1,700 අතර කාලයේ දී එහි ස්වර්ණමය යුගයට අවතීර්ණ වී ඇති බව වැඩිදුර පර්යේෂණයන් මගින් අනාවරණය වූ බව ටුබිනන් සරසවියේ ඓතිහාසික පෙරදිග පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය පීටර් ෆේට්ස්නර් ප්‍රකාශ කර තිබෙනවා. ක්‍රිස්තු පූර්ව 911 – 612 අතර කාලයේ දී බිඳ වැටුණු මාඩමන් නගරය, නව ඇසිරියානු යුගයේ දී සමෘද්ධියෙන් අග තැන්පත් ව පැවති බව සඳහන්.

© Peter Pfälzner

ඇසුර්-නසීර්ගේ පාලන සමය

බැසට්කි ගම්මානයෙන් සොයා ගන්නා ලද කියුනිෆෝම් අක්ෂර පුවරු 92 අයත් වන්නේ ක්‍රිස්තු පූර්ව 1,250 ආසන්න කාලයට යි. ඒ කාල සීමාවේ දී මාඩමන් නගරය, ඇසිරියානු අධිරාජ්‍යයේ කොටසක් ව පැවතී ඇති අතර එහි පාලන කටයුතු භාර වී පැවතුණේ ඇසුර්-නසීර් නම් ඇසිරියානු ආණ්ඩුකාරවරයාට බව කියුනිෆෝම් අක්ෂර පුවරුවල සඳහන් වෙනවා. මහාචාර්ය පීටර් ෆේට්ස්නර් ප්‍රකාශ කර ඇත්තේ එම පුවරුවල ඇසුර්-නසීර් ආණ්ඩුකාරවරයා සහ මාඩමන් හි වැසියන් අතර පැවති පරිපාලනමය සහ වාණිජ ගනුදෙනු මැනවින් විස්තර කර ඇති බව යි. එසේ ම වෙනත් පුරාවිද්‍යා කැනීම් ප්‍රදේශයන්ගෙන් මෙයට පෙර හමු වී ඇති පුරාණ ලේඛනවල සඳහන් වන ආකාරයට ඇතැම් අවස්ථාවල දී මාඩමන් නගරය ඇසිරියානු අධිරාජ්‍යයේ කොටසක් ලෙස ද ඇතැම් අවස්ථාවල දී ස්වාධීන රාජ්‍යයක් ලෙස ද කටයුතු කර තිබෙනවා.

© Peter Pfälzner

අලුතෙන් සොයා ගන්නා ලද කියුනිෆෝම් අක්ෂර පුවරු තැන්පත් කරන ලද භූමියේ පැවති මාලිගාව ක්‍රිස්තු 1,200 දී පමණ විනාශ වී ඇති බව යි සඳහන් වන්නේ. එහෙත් මාඩමන් නගරය දිගින් දිගට ම පැවතී ඇති අතර මහාචාර්ය පීටර් ෆේට්ස්නර් ඇතුළු කණ්ඩායම විශ්වාස කරන්නේ ඉතිහාසයේ අවස්ථා කිහිපයක දී ම මාඩමන් නගරය සම්පූර්ණයෙන් ම හෝ කොටස් වශයෙන් ප්‍රහාරයන්ට ලක් ව විනාශ වුව ද නැවත ගොඩ නංවන්නට ඇති බව යි.

මැටි ඔරුවක සැඟ වූ ඉතිහාසය

විනාශ වී ගිය මාලිගාවේ නටඹුන් අතරින් සොයා ගන්නා ලද කියුනිෆෝම් අක්ෂර පුවරු තැන්පත් කර තිබුණේ ඝනකම් මැටි තට්ටුවක් යොදා ගනිමින් නිර්මාණය කරන ලද මැටි ඔරුවක යි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්ය පීටර් ෆේට්ස්නර් ප්‍රකාශ කර ඇත්තේ එය මාඩමන් හි වැසියන් විසින් සිතාමතා ම සිදු කරන ලද ක්‍රියාවක් වීමට වැඩි ඉඩකඩක් ඇති බව යි. සතුරු හමුදාවන් විසින් මාලිගාව වට කරන ලද අවස්ථාවේ දී අදාළ අක්ෂර පුවරු ආරක්ෂිත ව සඟවන්නට ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටිනවා. නොඑසේ නම් අදාළ අක්ෂර පුවරුවල සඳහන් වී ඇති තොරතුරු හුදෙක් ම අනාගත පරම්පරාවේ දැන ගැනීම උදෙසා ආරක්ෂා සහිත ව තැන්පත් කළා විය හැකි යි.

© Cinzia Pappi

මාඩමන් නගරය ආශ්‍රිත ව සිදු කරන කැනීම් කටයුතු තවමත් අවසන් වී නැහැ. මහාචාර්ය පීටර් ෆේට්ස්නර් ඇතුළු කණ්ඩායම විශ්වාස කරන්නේ මෙසපොතේමියාව, ඇනටෝලියාව සහ සිරියාව ඔස්සේ දිවෙන වෙළඳ මාර්ගයේ පිහිටා ඇති මාඩමන් නගරය, ප්‍රාදේශීය රාජ්‍යයක් ලෙස මෙන් ම බලවත් නගරයක් ලෙස ද වැජඹෙන්නට ඇති බව යි. ඇතැම් විටෙක එය ශ්‍රේෂ්ඨ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයට අභියෝගයක් වන්නට ද ඇත.

කෙසේ වුව ද වර්තමානයේ දී ඉරාකයේ පවතින යුදමය වතාවරණය හේතුවෙන් මාඩමන් නගරය ආශ්‍රිත ප්‍රදේශයට බලපෑමක් සිදු නොවීම අතිශය වාසනාවන්ත තත්ත්වයක් බව යි පුරාවිද්‍යාඥයින් සඳහන් කරන්නේ. 2013 වර්ෂයේ දී සිට සිදු කරගෙන යන කැනීම් කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන ඔවුන් නුදුරේ දී ම මාඩමන් නගරය ගැන තවත් තොරතුරු රාශියක් අනාවරණය කර ගැනීමට අපේක්ෂා කරනවා.

කවරයේ පින්තූරය : © Pinterest

Related Articles