Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඒකාධිපතියෙක් බලයෙන් පහ කළ ආර්මේනියානු ජන අරගලය

 

ආර්මේනියාව යනු අප රටට එතරම් හුරු රටක් නොවේ. ආර්මේනියාව යනු නිරන්තරයෙන් ප්‍රවෘත්ති මවන රටක් ද නොවේ. 2020 දී ආර්මේනියා හා අසර්බයිජානය යුද්ධයකට පැටළුණු අතර ඊට පෙර ආර්මේනියාව 2018 ජාත්‍යන්තර මාධ්‍යවල කතාබහට ලක් වූයේ බලයේ සිටි අගමැතිවරයාට ඉල්ලා අස්වීමට සිදු වූ ජනතා අරගලයක් සම්බන්ධයෙනි. වෙල්වට් විප්ලවය ලෙස ද හදුන්වන මෙම අරගලය මේ දිනවල ශ්‍රී ලාංකීය අපට ද මහඟූ ආදර්ශ සපයන්නකි.

සර්ග් සාර්ගියාන්, 2008 දී ආර්මේනියාවේ තෙවැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන්නේ 52%ක බහුතර මහජන ඡන්දයෙනි. එම මැතිවරණයේ දී හමුදා මැදිහත්වීම් හරහා දූෂණ සිදු වූ බවට විපක්ෂයෙන් චෝදනා එල්ල විය. ඊට සමගාමී ව පැවත් වූ උද්ඝෝෂණ හමුදාව යොදා මර්දනය කිරිමට සාර්ගියාන් ආණ්ඩුව ක්‍රියා කළේ ය. රජයේ හමුදා ක්‍රියාත්මක කළ මර්දනය හේතුවෙන් අරගල කරුවෝ දස දෙනෙක් මිය ගියහ. සර්ග් සාර්ගියාන් ජනාධිපතිවරයා බලයට පත්වන්නේ ලේ තැවරුණු අතීතයක් සමඟිනි.

ඡන්ද ප්‍රතිඵලය ද අතිශය දූෂිතයි

2013 දී පැවති ජනාධිපතිවරණයෙන් සාර්ගියාන් 59% ක බහුතර ඡන්ද ප්‍රමාණයක් ලැබුව ද එම ඡන්ද ප්‍රතිඵලය ද අතිශය දූෂිත බව බහුතර මතය විය. ආර්මේනියානු ව්‍යවස්ථාවට අනුව එක පුද්ගලයකුට ජනාධිපති දූර දැරිය හැක්කේ දෙවරක් පමණි. සාර්ගියාන් රුසියාවේ පුටින්ගේ ආදර්ශය අනුව යමින් 2015 දී ආර්මේනියා ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ජනාධිපතිවරයා සතු ව පැවති බලතල අගමැතිවරයාට පවරා, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හරහා තෝරා ගැනෙන බලතල නොමැති නාමික තනතුරකට පත් කළේ ය.  

රුසියානු ජනාධිපති පුටින් හා ආර්මේනියානු ජනාධිපති සර්ග් සාර්ගියාන් අතර හමුවක් – www.aljazeera.com 

 

ඒ අනුව ජනාධිපතිවරයා ආර්මේනියානු අග්‍රාමාත්‍යවරයා ලෙස 2018 අප්‍රේල් මස 17 වන දින දිවුරුම් දීමට නියමිතව සිටියේ ය. ඒ වනවිටත් ආමේනියාවේ රැකියා විරහිතභාවය 20%ක් දක්වාත්, දරිද්‍රතාව 33% දක්වාත් ඉහළ ගොස් තිබිණි. මේ සියල්ලට ම වඩා ආර්මේනියාවේ ජන සංක්‍රමණය ඉතා ඉහළ අගයක් ලෙස පැවතිනි. ආර්මේනුවන්ගෙන් මිලියන 3ක පිරිසක් ආර්මේනියාවේ ජිවත්වන අතර මිලියන 12 ක් ම ජීවත්වන්නේ ආර්මේනියාවෙන් පිටත ය. දේශපාලන වශෙයෙන් මෙන්ම සමාජීය වශයෙන් ද ආර්මේනියාව අර්බුදයට යමින් තිබිණි. සර්ග් සාර්ගියාන් ජනාධිපතිවරයා පූර්ණ බලතල සහිත අගමැති ධුරයට හුදු බල තණ්හාව පාරදැරි ව පත්වන්නේ මේ අර්බුද මධ්‍යයේ ය. 

සමාජ මාධ්‍ය අරගලයක්

සාර්ගියාන්ගේ දුර්දාන්ත ක්‍රියාවන්ට එරෙහි ව එවකට ආර්මේනියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම මාධ්‍යවේදියෙක් ද වූ නිකොල් පශින්යන් සමාජ මාධ්‍ය අරගලයක් අරඹන්නේ මේ අතර ය. ෆේස් බුක් හරහා ජනතාව කැඳවමින් ඔහු මේ අරගලය තනිව ම ආරම්භ කළේ ය. 

නිකොල් මේ අරගලය ආරම්භ කළේ අපුරු වාක්‍යයකිනි.

ඔවුහු හොරකම් කළහ, ඔවුහු හොරකම් කරති, ඔවුහු අනාගතයේ ද හොරකම් කරන්නෝ ය. (They robbed, they rob and they will rob). 

 අග්‍රාමාත්‍යයවරයා දිවුරුම් දීමට දින 18ක් තිබිය දී නිකොල් යෙරෙවාන් අගනුවර ලිබර්ටි චතුරස්‍රය දක්වා පාගමනක් ආරම්භ කළේ ය. මහා මාර්ග ඔස්සේ ප්‍රධාන නගර තුනක් හරහා මෙම පාගමන ඔහු සංවිධානය කළේ වඩා වැඩි ජන සහයෝගයක් ලබා ගැනීමේ අරමුණෙනි.

ගමන ස්මරණීය සිහිවටනයක්

මාධ්‍යවේදියෙක් ලෙස මෙන් ම සිවිල් ක්‍රියාකාරිකයකු ලෙස ද පවතින ආණ්ඩුවට එරෙහි ව විවිධ විරෝධතා ව්‍යාපාර හරහා ලද පන්නරය නිසා නිකොල් ගේ මෙම නවමු අරගලය ජනතා සහායෙන් ඉදිරියට ඇදිණි. මෙම පාගමනට සහභාගී වුවෝ විවිධ ගීත ගයමින් උද්යෝගයෙන් හා ජව සම්පන්න බවකින් එයට සහභාගී වූහ.  ඔවුහු තමන් පසු කරන ගම්දනව්වල විවිධ පැළ වර්ල සිටුවමින් තම ගමන ස්මරණීය සිහිවටනයක් බවට ද පත් කළ හ. රාත්‍රී නවාතැන් ගන්නා විට විවිධ අල වර්ග හා පාන වර්ග ඔවුන් ම සදා ගත් අතර රාත්‍රී සාකච්ඡා පවත්වුණේ අරගලයට සහභාගී වුවන් අවියෙන් නොව දැනුමෙන් සන්නද්ධ කිරීමේ අරමුණෙනි. ඊට ගම් වැසියෝ ද සහභාගී වූහ.

ඔවුනට මාධ්‍ය ආවරණයක් මුල දී නොලැබුණු අතර ඔවුහු සිය අරගලයේ ජවය පෙන්වීමට සමාජ මාධ්‍ය උපරිම ලෙස භාවිත කළහ. එක සාකච්ඡාවකදී නිකොල් පවසා සිටියේ, වර්තමානයේ පොලිසිය ජනතාව ගේ දොරට තට්ටු කරන බවත්, තමන්ට අවශ්‍යය ජනයා බලධාරීන්ගේ දොරට තට්ටු කරන යුගයක් බවත් ය.

ජනයා බලධාරීන්ගේ දොරට තට්ටු කරන යුගයක්

අරගලයට දින 17 ක් ගෙවෙද්දී එනම් 2018 අප්‍රේල් 16 වන දින නිකොල් ඇතුළු පිරිස සිවිල් නීති කඩ කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළහ. ඔවුහු  තම රථ වාහන නවත්වා නළා ශබ්ද කරමින් වාහන එළි දල්වන ලෙස ජනයාගෙන් ඉල්ලා සිටියහ. තම හිතවතුන්ට දුරකථන පණිවිඩ දෙමින් ඔවුන්ගේ රථ වාහන හදිසියේ කාර්මික දෝෂයකට ලක් වූ ලෙස හඟවා මහා මාර්ග මධ්‍යයේ නවත්වන ලෙස ද දන්වා සිටියහ. එම දුරකථන පණිවිඩ ආර්මේනියානු රජය ටැප් කර එම වාහන හඳුනාගෙන ඒවා මාර්ගවලින් ඉවත් කිරීම හේතුවෙන් එම වෑයම අසාර්ථක විය.  තම ව්‍යායාමය අත්හැරීම ප්‍රතික්ෂේප කළ නිකොල් ක්ෂණික ව ක්‍රියාත්මකවෙමින්, මගී බස් රථයක් ඉදිරියේ සිට ගත්තේ එහි ගමන නවත්වමිනි.

එතැනින් නොනැවතුණු ඔහු, අනෙකුත් ජනයාට ද එසේ ක්‍රියා කරන ලෙස ෆේස් බුක් ඔස්සේ ඉල්ලා සිටියේ ය. කෙසේ වෙතත් නිකොල්ගේ මේ ක්‍රියාමාර්ගය ගැන සමහර ජනයා සිය අප්‍රසාදය පළ කර සිටියහ. මෙම ව්‍යාපාරයට බොහෝ අය සිය සහයෝගය ද දැක්වූහ. එය නිකොල්ගේ අරගලයේ හැරවුම් ස්ථානය ලෙස හඳුන්වා දිය හැකි ය. සියළු මාර්ග අවහිර කරන ලෙසත් රටේ හා මතු පරපුරේ අභිවෘද්ධිය උදෙසා ඔහු සමඟ ආර්මේනියාවේ අගනුවර වැටලීමට එක් වෙන ලෙසත් නිකොල් ජනයාගෙන් අයැද සිටියේ ය.

නිහඬ ව සිටියත් පුපුරා යා හැකි ගිනි කන්දක්

 නිකොල් ගේ අරමුණ වූයේ අග්‍රාමාත්‍යයවරයා තෝරා පත් කිරීමට නියමිත දින, පාර්ලිමේන්තුව වටලා මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණිම වැලැක්වීම ය. පාර්ලිමේන්තුවට යන මාර්ගයේ දී ආර්මේනියානු පොලීසිය සමඟ ඇති වු ගැටුම හේතුවෙන් ඒ ප්‍රයත්නය ව්‍යර්ථ විය.  සර්ග් සාර්ගියාන් 2018 අප්‍රේල් 18 වන දින ආර්මේනියාවේ පළමු විධායක අග්‍රාමාත්‍යයවරයා ලෙස එරට පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනිණි. දිවුරුම් දීමෙන් අනතුරු ව පාර්ලිමේන්තුවේ සිය මංගල කතාව කළ අභිනව අග්‍රාමාත්‍යවරයා, තමන් ගිනි කන්දක් බවත්, එය නිහඬ ව සිටියත් පුපුරා යා හැකි බවත් තර්ජනාත්මක ව ප්‍රකාශ කළේ ය.

මේ අතරවාරයේ තමන් ලද තාවකාලික පරාජයන් හමුවේ නොසැලුණු නිකොල් තමන්ගේ ඊළඟ සටන ද ආරම්භ කළේ සියලු හිතවතුන් උකටලීව සිටියදී ය.

නිකොල් කැඳ වූ රැලියට ආ අති විශාල ජන ගඟ –  araratinstitute.org 

 නිකොල් ෆේස් බුක් හරහා දැවැන්ත රැලියකට තමන්ගේ අනුගාමිකයන්ට ආරාධනා කළේ අනෙක් සගයන් මවිතයට පත් කරමිනි. බොහෝ අය උපකල්පනය කළේ ජනතාව නව අග්‍රාමාත්‍යයවරයාගේ පත් වීමත් සමඟ සටන අත් හැරි බව ය. සියල්ලන්ගේ උපකල්පන නිවැරදි නොවන බව සටහන් කරමින් නිකොල්ගේ ආරාධනය පිළිගෙන පැය කිහිපයක් ඇතුළත ආර්මේනියාවේ අගනුවරට ලක්ෂ දෙකකට අධික ජන සන්නිපාතයක් පැමිණිය හ.

ආර්මේනියාව පුරා උද්ඝෝෂණ හා හර්තාල් ව්‍යපාර

එම රැලිය ඇමතූ නිකොල් මෙම විප්ලවය නිරායුධ විප්ලවයක් බව සපථ කර සිටියේ ය. මේ වනවිට අරගලය ඉතා තීව්‍ර වී තිබුණේ අරගලයට කම්කරුවන් හා විශ්ව විද්‍යාල සිසුන් ගේ සහභාගීත්වයත් සමඟිනි. එම ජනයා අග්‍රාමාත්‍යවරයා තෝරා පත් කරගත් නියෝජිතයන්ට සෘජු ව ම චෝදනා කර සිටියහ. 2018 අප්‍රේල් 18 වැන දා වෙන විට, එරට අගනුවරට සමගාමී ව ආර්මේනියාව පුරා උද්ඝෝෂණ හා හර්තාල් ව්‍යපාර ආරම්භ විය.

තත්ත්වය මෙසේ වර්ධනය වෙද්දී,  අග්‍රාමාත්‍යවරයා, නිකොල් හා සාකච්ඡාවට 2018 අප්‍රේල් 23 වැනිදා වන විට එකඟත්වය පළ කළේ ය. එම සාකාච්ඡාවට නිකොල් පැමිණියේ උද්ඝෝෂණයට සහභාගී වූ ඇඳුමෙන් ම වීම විශේෂත්වයකි. ඔහු සාකච්ඡාවට පැමිණ තමන්ගේ බෑගය බිම තබා සීතල කබාය ගලවා ඉතා සැහැල්ලුවෙන් ඊට සහභාගී විය. මාධ්‍යවේදීන් විශාල පිරිසක් මෙම සාකච්ඡාව ආවරණය කළහ.

බල හුවමාරුව සදහා වන කොන්දේසි

සාකච්ඡාව ආරම්භ කරමින් සර්ග් අග්‍රාමාත්‍යවරයා, සංවාදය සඳහා නිකොල් ගේ පැමිණීම අගය කළේ ය. ඊට සෘජු ලෙස පිළිතුරු දුන් නිකොල්, අග්‍රාමාත්‍යවරයාට පවසා සිටියේ ඔහු තුළ ඇත්තේ වැරදි වැටහීමක් බවත්, සංවාදයට කිසි ඉඩක් නැති බවත්, තමන් පැමිණියේ අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමට හා බල හුවමාරුව සදහා වන කොන්දේසි ගැන සාකච්ඡා කිරීමට පමණක් බවත් ය. 

අග්‍රාමාත්‍යවරයා සාකච්ඡාවෙන් නැගිට ගිය ආකාරය – zartonkmedia.com

ඊට අවඥා සහගත ලෙස පිළිතුරු දුන් ආර්මේනියා අග්‍රාමාත්‍යවරයා, 2008 මාර්තු 1 වැනි දා ව සිහිපත් කර දුන් අතර ඔහු තමන් නීතිය ක්‍රියාත්මක කරන බවට ද දැඩි අනතුරු ඇගවීමක් ද කළේ ය. නිකොල් ඉතා නිර්භය ව අගමැතිවරයාට පවසා සිටියේ තමන් ඇතුළු ජනතාව තර්ජනවලට හිස නොනමන බවත්, තත්ත්වය දැන් පෙරට වඩා වෙනස් බවත් ය. ඊට ප්‍රතිචාර දැක්වූ අගමැතිවරයා 7-8% ක බලයක් ඇති පක්ෂයකට තමන් හිස නොනමන බව දන්වා සාකච්ඡාවෙන් නැඟිට ගියේ ය.

මුහුණු ආවරණය කළ කල්ලියක් නිකොල් පැහැර ගනියි

නිකොල්ට අනුව එම සාකච්ඡාවේ දී අගමැතිවරයා 2008 ගැන සදහන් කිරීම ඔහු කළ විශාල වරදක් විය. නිකොල් ජනතාවට පවසා සිටියේ එය තමන්ට කළ ම පෞද්ගලික් තර්ජනයක් නොව ආර්මේනියානු ජනතාවට කළ තර්ජනයක් බව ය. සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු අගමැතිවරයාට එරෙහි සටන තව තවත් තීව්‍ර කෙරිණි. ඒ ආසන්නයේ ම මුහුණු ආවරණය කළ කල්ලියක් නිකොල් පැහැර ගත්තේ ඔහුගේ ආධාරකරුවන් තව තවත් ධෛර්යයට පත් කරමිනි.

නිකොල් සිර භාරයට පත් කළ අතර එය ඔහුට අලුත් අත්දැකීමක් නොවී ය. ආර්මේනියානු නීතියට අනුව රාත්‍රී 11න් පසු ශබ්ද නැඟීම තහනම් වුවත් නිකොල් අනීතික සිරභාරයට ගැනීම එරෙහි ව ආමේනියානු ජනතාව ශබ්ද නඟමින් රැය පුරා විරෝධය දැක්වූහ. ආර්මේනියානු කාන්තාවන්ගේ සහභාගීත්වය ද එහිදී ඉහළ තලයක විය.

 අගමැතිවරයාට අවසන පරාජය වැලඳ ගැනීමට බල කෙරිණි. පල්ලියේ මැදිහත් වීම මත 2018 අප්‍රේල් 24 වැනිදා, නිකොල් සිරභාරයෙන් නිදහස් කෙරිණි. ඊට පැය කිහිපයකට පසුව අගමැතිවරයා සිය ඉල්ලා අස්වීම භාර දුන්නේ ආර්මේනියා ජනයාගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ය.එ ම ඉල්ල අස්වීම ප්‍රකාශයට පත් කරමින් තමන් වැරදි බවත් නිකොල් නිවැරදි බවත් ප්‍රකාශ කරන්නට අගමැතිවරයාට සිදු විය.

නිකොල් ආර්මේනියාවේ අගමැති ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව – www.ridl.io 

නිකොල් නව අගමැතිවරයා වෙයි

අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු ආර්මේනියානු පාර්ලිමේන්තුව නිකොල් නව අගමැතිවරයා ලෙස තෝරා පත් කර ගත්තේ ය. නිකොල් තමන්ට ජනවරමක් අවශ්‍ය බව සදහන් කරමින් 2018 දෙසැම්බර් මස පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවී ය. එහිදී ආසන 101න් ආසන 80ට අධික ගණනක් දිනා ගන්නට නිකොල්ගේ පක්ෂය සමත් විය. පරාජය හමුවේ නොසැළුණු නිකොල්, නිරායුධ සටනකින් ඒකාධිපතියෙක් පලවා හරින්නට සමත් විය. මේ සටන පුරාවටම ආර්මේනියාවේ මැන්ඩෙලා දුන් දේශපාලන නායකත්වයත්, අභියෝග හමුවේ නොසැලෙන ගුණයත් අපට අපරිමිත පාඩම් කියා දෙයි.

ආර්මේනියාවේ නිදහස පතා පෙරට ආ ජනතාව - futures-studio.org 

මූලාශ්‍ර:

Armenia’s ‘Velvet Revolution’: A masterclass in socialism - www.aljazeera.com 

I Am Not Alone: Armenia’s Velvet Revolution - www.aljazeera.com 

Armenia, the Last Caucasian Revolution -  www.youtube.com/c/VisualPolitikEN

zartonkmedia.com 

araratinstitute.org 

Related Articles