ඈත අතීතයේ දී මිනිසුන් හිරු හෝ සඳ එළියට අමතර ව වෙනත් ආලෝකයක් අවශ්‍ය වූ විට ගිනි දැල්වීම මඟින් එය සාක්ෂාත් කරගත්තා. තාක්ෂණයේ දියුණුවත් සමග විදුලි බුබුළ ලොවට බිහි වූ අතර, වර්තාමානය වන විට එයත් දැඩි ලෙස නව්‍යකරණයට බඳුන් වී අඩු ශක්තියකින් වඩා වැඩි ආලෝකයක් ලබා දෙන පරිදි සකස් ව තිබෙනවා.

වර්තමානය වන විට ලොව සැලකිය යුතු කොටසකට විදුලි බලය ලැබී තිබෙනවා. විදුලි බලය වේවා, වෙනත් ශක්ති ප්‍රභවයක් හෝ වේවා යොදාගෙන ලොව බොහෝ පෙදෙස්වල ජනයා තමන්ට අවශ්‍ය ආලෝක තත්ත්වයන් ළඟා කරගන්නවා.

චීනය ලොව වැඩි ම ජනගහනයක් වෙසෙන රට යි. කෙතරම් තාක්ෂණික ව දියුණු වී සිටිය ද, එහි වෙසෙන සියලු දෙනාගේ 'ආලෝක' අවශ්‍යතාවයන් සාක්ෂාත් කර දීම චීනයට තරමක් අභියෝගාත්මක කාර්යයක් වෙනවා. විශේෂයෙන් ඒ සඳහා යෙදවිය යුතු තාප ශක්තිය අතිමහත්. මෙය ජයගැනීම උදෙසා අපූර්ව උපක්‍රමයක් චීන විද්‍යාඥයින් විසින් යෝජනා කර තිබෙනවා. ඒ කෘත්‍රිම චන්ද්‍රයෙකු අහසේ ස්ථානගත කිරීම යි. මෙය සූර්යයාගේ ආලෝකය පරාවර්තනය කර දිදුලන නිසා ආලෝක ජනනය උදෙසා ශක්තිය ඉන්ධන දහනය කර හෝ විදුලි බලය මඟින් එයට ලබා දිය යුතු වන්නේ නැහැ.

කෘත්‍රිම චන්ද්‍රයා පිළිබඳ අදහස

චීනයේ සමහර ප්‍රදේශවලට ආලෝකය නිසි පරිදි ලබාදීම විශාල ගැටලුවක් බැව් වටහා ගත් විගස ම වාගේ චීන රජයත්, විද්‍යාඥයිනුත් මේ සඳහා විසඳුමක් පිළිබඳ දස අතේ කල්පනා කරන්නට වුණා. විශේෂයෙන් ම අභියෝගාත්මක වූයේ චීනයේ වීදි රාත්‍රී කාලයේ ආලෝකමත් කර තැබීම යි. මේ සඳහා ජල හෝ තාප විදුලිය යොදාගතහොත් ඒ සඳහා ඉතා වැඩි පිරිවැයක් දැරීමට සිදුවෙනවා. කර්කටක නිවර්තනයට උතුරින් පිහිටි චීනයේ සමහර පෙදෙස්වලට ශ්‍රී ලංකාවේ මෙන් සූර්යය පැනල යොදාගෙන සූර්යය ශක්තිය ගබඩා කර, රාත්‍රී කාලයේ යොදාගැනීමත් ඒ තරම් සාර්ථක නැහැ. කෙසේ නමුත් සාකච්ඡා රාශියක් අවසානයේ දී පෙනී ගිය කරුණ වූයේ කෙසේ හෝ 'හිරු එළියෙන්' ම මෙම ගැටලුවට පිළිතුරු සෙවිය යුතු බව යි. කෘත්‍රිම චන්ද්‍රයා පිළිබඳ වූ අදහස පැනනැගෙන්නේ මේ අතර යි.

News.cn

චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ සමහර පෙදෙස් ද මෙම ආලෝක ගැටලුවෙන් පීඩා විඳිනවා. එහි අගනුවර වන චන්ග්ඩු හා අවට පෙදෙස් හි රාත්‍රී කාලයේ වීදි ආලෝකමත් කිරීමට චීනයට සෑහෙන වෙහෙසක් හා වියදමක් දරන්නට සිදුවෙනවා. මේ නිසා එම නගරය කේන්ද්‍ර කොටගෙන මෙම 'කෘත්‍රිම චන්ද්‍ර ව්‍යාපෘතිය' අත්හදා බලන්නට විද්‍යාඥයින් තීරණය කොට තිබෙනවා.

යෝජිත කෘත්‍රිම චන්ද්‍රයාගේ වතගොත

මෙම කෘත්‍රිම චන්ද්‍රයා නිර්මාණය කිරීමට අදහස් කොට ඇත්තේ ස්වභාවික චන්ද්‍රයෙකු විසින් හිරු එළිය පරාවර්තනය කරන ක්‍රමවේදයට ම අනුකූල වන්නට යි. පෘථිවි චන්ද්‍රයා මෙන්ම වටකුරු හැඩයෙන් යුතු ව නිමැවෙන මෙය, ගුවන් ගත කළ පසු චන්ද්‍රයා සේ ම දිස්වනු ඇති. කෙසේ නමුත් ඊට වඩා එය දීප්තියෙන් වැඩි වනු ඇතැ යි අනුමාන කර තිබෙනවා.

Andy Wong/AP Photo

පෘථිවිය සතු චන්ද්‍රයා පිහිටා ඇත්තේ පෘථිවියේ සිට කි. මී. 380,000ක් පමණ ඈතට වන්නට යි. කෙසේ නමුත් මේ කෘත්‍රිම චන්ද්‍රයා කක්ෂගත කිරීමට අදහස් කර ඇත්තේ ඊට වඩා පෘථිවි පෘෂ්ඨයට බොහෝ ආසන්නයෙනුයි. එය පෘථිවි පෘෂ්ඨයේ සිට කි. මී. 500ක පමණ දුරකින් ස්ථානගත කිරීමට නියමිත අතර, එහි පෘෂ්ඨය නිමවීමට අදහස් කොට ඇත්තේ ඉතා හොඳ ආලෝක පරාවර්තන හැකියාවක් සහිත අමුද්‍රව්‍යකිනුයි. සරල ව හඳුන්වනවා නම්, මෙම කෘත්‍රිම චන්ද්‍රයා ආලෝකය පරාවර්තනය කරන භූ ස්ථාවර චන්ද්‍රිකාවකට සමාන වෙනවා. මෙම ඇටවුම හිරු බැස ගිය පසු පැය කිහිපයකුත්, හිමිදිරි උදෑසනත් හොඳින් වීදි ආලෝකමත් කරනු ඇතැ යි බලාපොරොත්තු වන අතර, චන්ග්ඩු නගරය හා ඒ අවට වර්ග කි. මී. 30ක පමණ භූමි ප්‍රමාණයක් ආලෝකමත් කරනු ඇතැ යි පැවසෙනවා.

කෘත්‍රිම චන්ද්‍රයන් පිළිබඳ අනාගතය

චීනය චන්ග්ඩු නුවර ආලෝකමත් කිරීම සඳහා වූ චන්ද්‍රයා 2020 දී ගුවනට නිදහස් කිරීමට අපේක්ෂාවෙන් පසුවෙනවා. මෙහි සාර්ථක, අසාර්ථකභාවය මත තවත් චන්ද්‍රයින් තුන් දෙනෙකු ගුවන්ගත කිරීමට ඔවුන් සැලසුම් ඇඳ තිබෙනවා. මෙම ව්‍යාපෘතියට යන මූලික වියදම අධික වූවත්, එය චන්ග්ඩු නුවර වීදි ආලෝකමත් කිරීම සඳහා වසරකට වියදම් වන මුදලින් යුවාන් බිලියන 1.2ක් ඉතිරි කර දෙනු ඇතැ යි ඇස්තමේන්තු කර තිබෙනවා.

ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත අහසට නැගෙන අනෙකුත් කෘත්‍රිම චන්ද්‍රයින් අහසේ විවිධ ස්ථානවල කක්ෂගත කිරීමට නියමිත අතර, ඒවා එකතුව පැය 24 පුරා ම ව. කි. මී. 3,600 - 6400 අතර භූමි වපසරියකට ආලෝකය ලබාදෙන්නට සමත්වනු ඇතැ යි අනුමාන කර තිබෙනවා.

publika.md

කෙසේ නමුත් සමහර පරිසරවේදීන් මේ ව්‍යාපෘතිය උදෙසා සිය සැක සංකා මතුකොට තිබෙනවා. මේ හේතුවෙන් ස්වභාවික පරිසර පද්ධතීන්ට හා ජීවී ක්‍රියාවලීන්ට ඍජුව ම බලපෑම් එල්ල විය හැකි බව ඔවුන් තර්ක කරනවා. ස්වභාවික සඳ එළියට වඩා මෙය දීප්තිමත් වීම නිසා, සමහර නිශාචර ජීවීන් වඳ වීමේ තර්ජනයට ලක්වනු ඇතැ යි ඔවුන් පවසනවා. අධික ආලෝකය පැය 24 පුරා ම පතිත වීම නිසා මිනිසුන්ට ද අපහසුතා ඇති විය හැකියැ යි ඔවුන් වැඩිදුර සඳහන් කරනවා.

කෘත්‍රිම චන්ද්‍රයින් හා සබැඳි ඉතිහාසය

කෘත්‍රිම චන්ද්‍රයෙක් ගුවන්ගත් කිරීම අදහස් කළ ලොව මුල්ම රට චීනය නොවේ. 1990 දශකයේ දී රුසියානු ෆෙඩරල් අභ්‍යවකාශ ඒජන්සිය කෘත්‍රිම චන්ද්‍රයෙකු ගුවන්ගත කිරීමේ උත්සාහයක නිරත වුණා. කෙසේ නමුත් ඔවුන්ගේ පළමු උත්සාහය විශාල නාස්තියක් සිදුකරමින් අසාර්ථක වීමත් සමග ඔවුන් සම්පූර්ණයෙන් ම පාහේ ඒ පිළිබඳ වැඩිදුර කටයුතු කිරීම අතැර දැම්මා.

රුසියාවේ උත්සාහය- Pinterest/ disclose.tv

සුබවාදී චීනය

කෘත්‍රිම චන්ද්‍රයන් පිළිබඳ ව ලොව පුරා විවිධ මත ඇතිවෙද්දී, චීනය තවදුරටත් ඒ පිළිබඳ ව සුබවාදී ආකල්පයක් දරනවා. ඔවුන් පවසන්නේ මෙහි ආලෝකය කිසි ලෙසකින් සූර්යාලෝකය තරමට ප්‍රබල නැති නිසා එය මිනිසාට හෝ අනෙකුත් ජීවීන්ට බරපතල බලපෑම් නොකරනු ඇති බව යි. මේ සඳහා වූ මූලික පරීක්ෂණ ජනශුන්‍ය පෙදෙස්වල 'සාර්ථක ව' සිදුවන බව ඔවුන් පවසනවා.

අනෙක් අතට මෙවැනි කෘත්‍රිම චන්ද්‍රයෙක් යොදාගෙන අභ්‍යවකාශ යානාවලට අවශ්‍ය ශක්තිය නිපදවා ගැනීමේ හැකියාව පිළිබඳවත් ඔවුන් බලාපොරොත්තු දල්වා ගෙන සිටිනවා.

කවරයේ පින්තූරය: disclose.tv

මූලාශ්‍රයයන්:

Astronomy.com

Nbcnews.com

time.com