මෙම ලිපිය ආරාධිත රචකයෙකු විසින් ලියැවුණකි.ඔබටත් අප හා ලිපි ලිවීමට අවශ්‍ය නම්, අපගේ ආරාධිත රචක කරළියට පිවිසෙන්න.

සමස්ථ ලෝක ජනගහනය හා සංසන්දනය කරන විට විට කාන්තා ජනගහනය 50%ක් පමණ වේ. අධ්‍යාපනික, ආර්ථික, හා සමාජයීය තත්ත්වය සැලකීමේ දී ඇතැම් කාන්තාවන් ඉහළ ස්ථානවල වැජඹුණ ද, බහුතරයක් කාන්තාවන් නොදියුණු, දුක්ඛිත ජීවිත ගත කරති. ඔවුන්ට හිමිවන රැකවරණය ඉතාම අවම ය. පුරුෂයන්ට හා සාපේක්ෂව බලන කල්හි කාන්තාවන්ට කායිකව, මානසිකව, සහ සාමාජීය වශයෙන් මුහුණ දීමට සිදුවන අඩත්තේට්ටම් සහ හිංසන රාශියකි .

එනිසා තමාට පැමිණෙන අභියෝග ජය ගනිමින් ලෝකයට බලපෑම් කළ හැකි කාන්තාවන් අගය කරනු වස් බීබීසී මාධ්‍ය ජාලය විසින් "සියක් කාන්තාවන්" යනුවෙන් වැඩසටහනක් ආරම්භ කරන ලදී.

2013 වර්ෂයේ දී ආරම්භ කළ මෙම වැඩසටහන බහුවිධ අංශ ආවරණය කරන ලද ව්‍යාපෘතියකි. මේ හරහා විසි එක්වන සියවසේ කාන්තා භූමිකාව අවධාරණය කිරීම අපේක්ෂාව විය. ඒ අනුව ලොව පුරා කාන්තාවන් අතරින් ලෝකයට හා සමාජයට ඉහළින්ම බලපෑම් කළ කාන්තාවන් සිය දෙනෙකු තෝරා ගැනීම  සිදුවේ.

ආරම්භ වූ ආකාරය

මෙවැනි වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා සඳහා ප්‍රේරණයක් ඇති වූයේ 2012 වර්ෂයේ දී ය. ඒ, ඉන්දියාවේ සිදුවූ සමූහ ලිංගික අඩත්තේට්ටම් කිරීමේ සිදුවීමක් පාදක කොටගෙන‍ ය.  එවකට බීබීසී ලෝක සේවයේ වැඩසටහන් මෙහෙයවීමේ ප්‍රධානියා ලෙස සේවය කළ ලිලියන් ලැන්ඩෝ, සංස්කාරක ෆියෝනා ක්‍රැක්, සහ තවත් ජන මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු එකතු වීමෙන් මේ සංකල්පය නිර්මාණය කරන ලදී. මෙහි ආරම්භක පියවර 2013 මාර්තු මාසයේ දී ආරම්භ කෙරිණි. එහි ආරම්භක වැඩසටහන සඳහා භාෂා මාධ්‍ය විසි හයක් නියෝජනය වන ආකාරයට සමීක්ෂණයක් මඟින්, බලපෑම් සහගත කාන්තාවන් තෝරා ගනු ලැබීය. එම වැඩසටහන මාසයක් පුරා දිව ගියේ ය. එහිදී කාන්තාවන් පොදුවේ මුහුණ දෙන අභියෝග, ස්ත්‍රීවාදය, මාතෘත්වය, සංස්කෘතිය ආදී අංශ ගණනාවක් කෙරෙහි අවධානය යොමු විය. මෙහිදී කාන්තාවන් තෝරා ගනු ලබන්නේ ගෝලීය වශයෙනි .

මේ වර්ෂයේ දී ද එලෙස ලෝකයට, කලාපයට හා රාජ්‍යයට බලපෑමක් සිදුකළ, අභියෝගවලට මුහුණ දුන් බලපෑම්සහගත කාන්තාවන් සිය දෙනෙකු තෝරාගැනීමට බීබීසී මාධ්‍ය ජාලය කටයුතු කරන ලදී. එම සියක් කාන්තාවන්ගේ නම් ඉකුත් මාසයේ දී ප්‍රකාශයට පත් කෙරිණි. මෙහි විශේෂතම සිදුවීම වන්නේ පළමු වරට එම කාන්තාවන් සියදෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් ද ඇතුළත් වීම යි.

ආශ්චර්යා පීරිස්

ඇය නමින් ආශ්චර්යා පීරිස් ය. ඇය වෘත්තියෙන් මෝස්තර නිරූපණ ශිල්පිනියකි. 1977 වර්ෂයේ උපත ලබන ඇගේ පියා වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකි. 

බැංකුවක සේවය කළ ආශ්චර්යා, 2000 වර්ෂයේ රාජගිරිය ප්‍රදේශයේ දී සිදු වූ බෝම්බ ප්‍රහාරයකට හසු වූවා ය. ඉන් ඇයගේ පෙනීම අහිමි වූ අතර, ඇගේ වම් පාදයට දරුණු තුවාල සිදුවිය. එසේම ඇගේ ගඳ-සුවඳ හඳුනා ගැනීමේ හැකියාව ද අහිමි විය. එකී බෝම්බ ප්‍රහාරය මඟින් ඇයට අහිමි වූයේ දෙඇස් පමණක්ම නොවේ. ඇය එතෙක් යෙදී සිටි වෘත්තීය ද පෙනීම සමගම ඇයට අහිමි විය. ඉතාමත්ම කණගාටුදායක සිදුවීම වන්නේ ඇගේ පවුල ද ඇයව ප්‍රතික්ෂේප කිරීම යි. ඇය BBC සේවයට පැවැසූ පරිදි ඒ අනුව ඇයට උරුම වී පැවතියේ විකල්ප දෙකකි. එක්කෝ මේ සියලු අභියෝග සහ ප්‍රතික්ෂේපවීම් දරාගෙන ජීවත් විය යුතු ය.  එසේත් නැතහොත් මේ සියල්ලම අතහැර මරණය භාරගත යුතු ය. නමුත් ඇය නිර්භීත විය. ඇය මරණය අතහැර ජීවිතය තෝරාගනු ලැබුවා ය. ඇය තම ශාරීරික මානසික පසුබැසීම් පසෙකලා ශක්තිමත් කාන්තාව ලෙස නැගී සිටි ආකාරය පිළිබඳව බීබීසී මාධ්‍යට මෙලෙස විස්තර කර තිබුණි.

බෝම්බ ප්‍රහාරයෙන් දෑස් නොපෙනී ගිය පසු මගේම පවුලේ සියලු දෙනා මට වෙනස් කොට සලකන්න ගත්තා. ඔවුන් මාව සම්පූර්ණයෙන් අත්හැරියා. ඊට පසු මම ජීවිතයේ අනේක දුක් කම්කටොළු වින්දා. මගේම පවුලේ අය අත්හැරීමත් සමග, මට තනිව ජීවත් වෙන්න සිදු වුණා. මට තනිකම, කාංසිය, වෙනස් කොට සැලකීම සහ ලැජ්ජාව වැනි සියලු කාරණා දැඩි ලෙස අත්විඳීමට සිදු වුණා. මිල මුදල්, ආරක්ෂාව ඇතුළු හැම දෙයකින්ම මට ගැටලු මතු වුණා. මේ ප්‍රශ්න එක්ක මට ඉතිරිව තිබුණේ තීරණ දෙකයි, එකක් ජීවිතය ඉදිරියට ගෙනියන්න, අනෙක ජීවිතය නැති කරගන්න. නමුත් මම තීරණය කළා ජීවත් වෙන්න. හැමෝම මාව ඉවතට දැමුවා. නමුත්, මේ ලෝකෙට මම මනුස්සයෙක් විදහට ආවා නම් එහි අගය තේරෙන්නේ මට විතරයි," ඇය පැවසුවා ය.

facebook.com/AshcharyaPeiris

හැරවුම් ලක්ෂය

ප්‍රතික්ෂේප වීම්, අසාර්ථකවීම්,  අහිමිවීම් හමුවේ ජීවිතය පිළිබඳ කලකිරී සිටි ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් උදාවිය. ඒ ඇයට ලංකාවේ පැවැත්වෙන ප්‍රමුඛ පෙලේ මෝස්තර නිරූපණ තරගයක් පිළිබඳ දැනගන්නට ලැබීම යි. එම තරගය නියෝජනය කළ එකම අඳ තැනැත්තිය ඇය යි. ඇය අන්ධ වුව ද අනෙක් තරගකරුවන් හා සසඳන විට ඇයට කිසිදු විශේෂත්වයක් ලබාදීමට තරග සංවිධායකයන් කටයුතු කළේ නැත. තරගයට අත් යන්ත්‍රයකින් වියන ලද රෙදි වර්ගයක් සහ පොල් කටු භාවිතයෙන් නිර්මාණයක් ඉදිරිපත් කළා ඇය අවසාන වටයට තේරුණු අතර, එහිදී ඇය නැගී එන මෝස්තර නිරූපණ ශිල්පිනිය ලෙස සම්මානයට ද පාත්‍ර විය.

ආශ්චර්යා 2014 වර්ෂයේ දී ද මෝස්තර නිර්මාණ තරගයකින් ජයග්‍රහණය කළා ය. එයින් ඇය ලංකාවේ පළමු දෘශ්‍යාබාධිත සම්මානිත මෝස්තර නිරූපණ ශිල්පිනිය බවට පත්වීය.  එසේම ලෝකයේ දැනට සිටින, සම්මානයට පාත්‍ර වූ තුන්වැනි දෘශ්‍යාබාධිත මෝස්තර නිරූපණ ශිල්පිනිය වන්නේ ද ඇය යි.

මඟ දිගට රළු බොරළු

ආරම්භයේ සිටම සුන්දර නොවූ ඇගේ ජීවිතය බෝම්බ ප්‍රහාරයෙන් පසු සම්පූර්ණයෙන්ම අභියෝග බාධක මතම නිර්මාණය වන්නට විය. වරක් ඇය විසින් ඩේලි මිරර් පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී දෘශ්‍යාබාධිත තැනැත්තියක් වීම නිසාම ඇයට සමාජයෙන් එල්ල වූ පීඩනය පිළිබඳව මෙලෙස සඳහන් කර තිබුණි.

 “මම ණයක් ගැනීමට බැංකුවකට ගියෙමි. නමුත් ඔවුන් මාව ඉතා පහසුවෙන් ප්‍රතික්ෂේප කළහ. ඒ මා සතුව මුදල් නොමැති නිසා නොවේ. මා අන්ධ තැනැත්තියක වූ නිසා ය. අපව තේරුම් ගැනීමට හැකි පුද්ගලයන් රාජ්‍ය පාලන තන්ත්‍රය තුළ අවමය. අපට මනුෂ්‍යත්වයෙන් සැලකිය යුතු ය.”

සමාජීය වශයෙන් කොපමණ බාධක පැමිණිය ද ඇය තම ජීවිතය ජයග්‍රහණය කළා ය. අද වන විට ආශ්චර්යා පීරිස් යනු ශ්‍රී ලංකාව තුළ සුප්‍රකට මෝස්‌තර නිර්මාණ ශිල්පිනියකි.

ජීවිතය දිනපු කතා

Terrafemina

ආශ්චර්යා වර්තමානයේ මෝස්තර නිරූපණ ශිල්පිනියකට අමතරව අභිප්‍රේරිත කතා පවත්වන්නියක ලෙස ද ප්‍රචලිත ය. ඇය අනෙක් ජීවිත අභිපේරණය කිරීම සඳහා තම ජිවිත අත්දැකීම් යොදා ගනී.  

ආශ්චර්යා පීරිස්ගේ ජීවිතය ලාංකිකයන් වශයෙන් අප සැමටම ආදර්ශමත් වූවකි. කිසි විටෙකත් තම ජීවිතයට පැමිණි බාධක හමුවේ නතර නොවූ ඇය, ඒවාට ශාප නොකර එම බාධක ආශිර්වාදයක් කොට ගෙන ඒ මතින් තම අනාගතය නිර්මාණය කරගත්තා ය.