Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රට රටවල දරුවන්ට නම් තබන අපූරු විධි ක්‍රම 4ක්

අළුත උපන් බිළිඳෙකුට නම් තැබීමේ දී ශ්‍රී ලංකාව තුළ බොහෝ විට දකින්නට ලැබෙන්නේ දරුවාගේ පියාගේ පෙළපත් නාමය, දරුවාට යොදන නමට හෝ නම් දෙකට ඉදිරියෙනුත්, වාසගම පසුපසිනුත් (උදා- පියා ලොකුගේ පියසිරි දිසානායක, පුත්‍රයා ලොකුගේ කවිඳු දිසානායක) යෙදෙන පරිදි නාමකරණය සිදු කිරීමේ ක්‍රමය යි. එමෙන්ම දමිළ ජාතිකයින් සිය පියාගේ නාමය දරුවන්ගේ නාමයට ඉදිරියෙන් යෙදෙන පරිදි නාමකරණය සිදු කරනවා (උදා – පියා ආරුමුගම් සෙල්වදොරේ, පුත්‍රයා සෙල්වදොරේ මුරලි). කෙසේ නමුත් ලොව පුරා විවිධ ජාතීන් සිය බිළිඳුන්ට නම් තැබීමේ දී මීට වඩ වෙනස් වූ ක්‍රමයන් රාශියක් අනුගමනය කරනවා. ඒවායින් සමහරක් අපූරු යි. පසුගිය ලෝක කුසලානයට සහභාගී වූ අයිස්ලන්ත පාපන්දු කණ්ඩායමේ සියළුම ක්‍රීඩකයින්ගේ වාසගම් ‘..son’ යනුවෙන් අවසන් වී තිබෙනු පිළිබඳව බොහෝ දෙනා විමසිලිමත් වූවා ඔබට මතක ඇති. එය හුදු අහම්බයක් නොවේ. අයිස්ලන්තයේ පවතින නාමකරණ සම්ප්‍රදාය නිසා ප්‍රතිඵල වූවක්. එය ද ඇතුළු ලොව විවිධ ජනයා සිය දරුවන්ට නම් තබන අපූර්ව ආකාර කිහිපයක් පිළිබඳව මේ ලිපිය ඔස්සේ දැනුවත් වෙමු.

චීනය

babyology.com.au

චීන ජාතිකයින් සිය දරුවන්ට නම් තැබීමේ දී අන් ජාතීන්ගෙන් මඳක් වෙනස් වූ ක්‍රමයක් අනුගමනය කරනවා. චීන අක්ෂරයක් සමහරක් තනි ස්වර වලට නොව, එකට කියැවෙන ස්වර කිහිපයක් නිරූපණය කිරීම සඳහා ද යොදන නිසා සාමාන්‍යයෙන් චීන ජාතිකයෙකුගේ සම්පූර්ණ නම චීන අක්ෂර දෙකකින් හෝ තුනකින් නිරූපණය කළ හැකියි.

චීන ජාතිකයෙකුගේ වාසගම ‘ක්සින්’ යනුවෙන් හඳුන්වන අතර, ඔහුගේ නාමයේ මුලට යෙදෙන්නේ එය යි. මෙය ඔහුට හෝ ඇයට සිය පිය පරම්පරාවෙන් උරුම වෙනවා. චීනයේ බහුලව යෙදෙන පෙළපත් නාමයන් 100ක් පමණ ඇති අතර එහි සියළුම ජනතාවගෙන් 85%කට පමණ මින් එක් නමක් තිබෙනවා. ඉන් අනතුරුව ඔහුට ව්‍යවහාරයේ යෙදෙන නාමය තබන අතර එය එක් නාමයක් හෝ දෙකක් විය හැකියි. මෙය ‘මින්ග්’ යනුවෙන් හැඳින්වෙනවා. සමහර පරම්පරා මේ නාමයන් දෙකෙන් එකක් ද අඛණ්ඩව ඉදිරියට ගෙනගිය අවස්ථාවන් තිබෙනවා.

චීන දරුවෙකුට නම් තබන්නේ උපතින් දින 100ක් ගත වූ තැන යි. ඊට පෙර එම දරුවාට ‘කිරි නාමය’ නම් තාවකාලික නමක් තැබෙන අතර එය ඔහුගේ හෝ ඇයගේ දෙමව්පියන් හා සමීපතම ඥාතීන් පමණක් දැනුවත් නමක් වෙනවා. සමහර චීන ජාතිකයින් මෙම කිරි නාමය ලෙස ඉතා ගොරහැඩි මෙන්ම ප්‍රිය නූපදවන සුළු නමක් භාවිත කිරීමට උනන්දු වන්නේ එය උච්චාරණය කරන වාරයක් පාසා අමනුෂ්‍ය බලවේග දරුවා කෙරෙන් ඉවත් වන්නේ යැයි ඇති විශ්වාසය නිසා යි.

අයිස්ලන්තය

familytraveller.com

අයිස්ලන්තය සැලකෙන්නේ පුරුෂ හා කාන්තා සමානාත්මතාව ඉහළින්ම ඇති රටක් හැටියට යි. කෙසේ නමුත් අළුත උපන් බිළිඳුන් නම් කිරීමේ දී නම් ඔහුගේ හෝ ඇයගේ පියාගේ නාමයට ප්‍රමුඛස්ථානය ලැබෙනවා. මෙහි දී බිළිඳාට ව්‍යවහාරයේ යෙදෙන නාමයක් ලැබෙන අතර ඉන් අනතුරුව සිය පියාගේ නාමය හා සබැඳි ලිංගය අනුව තීරණය වන ප්‍රත්‍යයකුත් ලබෙනවා. උපන්නේ පිරිමි දරුවෙක් නම් ඔහුගේ දෙවන නාමය ලෙස පියාගේ නමත්, ඒ සබැඳි ‘son’ ප්‍රත්‍යකුත් ලැබෙනවා. එහි අර්ථය වෙන්නේ අහවලාගේ පුත්‍රයා යන්න යි. උපන්නේ ගැහැණු දරුවෙක් නම් ඇය සිය පියාගේ දුහිතෘ යන්න අර්ථ දැක්වීමට ඇයගේ දෙවන නම පියාගේ නම හා සබැඳි ‘dottir’ ප්‍රත්‍යය සහිතව පටබැඳෙනවා. උදාහරණයක් ලෙස John නම් පුද්ගලයෙකුගේ Robert නම් පුත්‍රයාගේ සම්පූර්ණ නම Robert Johnsson වන අතර Rebecca නම් දියණියගේ සම්පූර්ණ නම Rebecca Johnsdottir වෙනවා. යම් දිනක Robertට පුත්‍රයෙකු ලැබුණු විට ඔහුගේ දෙවන නම Robertsson වන අතර දියණියක් ලැබුණහොත් ඇයගේ දෙවන නම Robertsdottir වෙනවා. මෙය සාම්ප්‍රදායික නෝර්ඩික් නාමකරණ ක්‍රියාවලිය වන අතර අයිස්ලන්තය තවමත් එය දැඩි සේ අනුගමනය කරනවා.

ස්පාඤ්ඤය හා ලතින් ඇමෙරිකාව

maslersurrogacylaw.com

ස්පාඤ්ඤය හා ස්පාඤ්ඤ සංස්කෘතියෙන් ආභාෂය ලත් ලතින් ඇමෙරිකානු රට වල අළුත උපන් බිළිඳෙකුට නම් තබන විට සිය මවගේ හා පියාගේ වාසගම් දෙකම තබනවා. සාමාන්‍යයෙන් නම් තුනකින් යුතු බිළිඳාගේ සම්පූර්ණ නමෙහි දෙවන නම ලෙස පියාගේ වාසගමත්, අවසන් නම ලෙස මවගේ වාසගමත් යෙදෙනවා. මෙහි දී මවගේ හා පියාගේ වාසගම ලෙස සැලකෙන්නේ ඔවුන් දෙදෙනාගේ මැද නම හෙවත් ඔවුන්ගේත් පියාගේ නම යි. මේ නිසා පරම්පරාගතව සෑම විටම ඉදිරියට යන්නේ පියාගේ පෙළපත් නාමය යි.

උදාහරණ ලෙස Robero Rodriguez Castro නම් පියෙකුට හා Patricia Ramos Gurrero නම් මවකට දාව Diego නම් බිළිඳෙක් උපන්නා යැයි සිතන්න. ඔහුට නාමය තැබෙන්නේ Diego Rodriguez Ramos ලෙසයි. ස්පාඤ්ඤයේ යුවතියන් විවාහප්‍රාප්ත වන විට සිය වාසගම් වෙනස් කරන්නේ නැහැ. නමුත් ඇයව සිය සැමියාගේ බිරිය ලෙස හඳුන්වනු ලබනවා.  උදාහරණ ලෙස ඉහත සඳහන් කළ Patricia Ramos Gurrero නම් තැනැත්තිය Senora de Rodriguez හෙවත් Patricia Ramos Gurrero de Rodriguez ලෙස ද හඳුන්වනවා.

අයර්ලන්තය

thesun.ie

අයර්ලන්තයේ උපදින දරුවන්ට සාමාන්‍යයෙන් ලොව බොහෝ රට වල පරිදි සිය පියාගේ වාසගම හිමි වූවත්, ඔවුනට මුල් නම තබන විට දී තවමත් සමහර අයර්ලන්ත ජාතිකයින් පිළිපදින අපූරු රීතියක් තිබෙනවා. යම් පවුලක මුලින්ම උපදින පිරිමි දරුවාට සිය පිය පාර්ශවයේ සීයාගේ නාමය තැබෙන අතර දෙවනුව උපදින පිරිමි දරුවාට මවු පාර්ශවයේ සීයාගේ නාමය ලැබෙනවා. තෙවැන්නාට සිය පියාගේ නාමය ලැබෙන අතර සිව්වැන්නාට සිය වැඩිමහල් මාමණ්ඩියගේ නාමය තැබෙනවා.

අයිරිෂ් පවුලක උප්පත්තිය ලබන ගැහැණු දරුවන්ටත් මෙම ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. කෙසේ නමුත් මෙහිදී වැඩිමහල් ගැහැණු දරුවාට නාමය තැබෙන්නේ මවු පාර්ශවයේ මිත්තණියගේ නාමය අනුසාරයෙනුයි. දෙවැන්නියට පිය පාර්ශවයේ මිත්තණියගේ නාමය ලැබෙන අතර තෙවැන්නියට සිය මවගේ නාමය ලැබෙනවා. සිව්වනුවට උපත ලබන දැරිවියට සිය වැඩිමහල් නැන්දනියගේ නාමය තැබෙනවා. වර්තමානය වන විට මෙම ක්‍රමය කෙමෙන් කෙමෙන් භාවිතයෙන් ඈත් වූවත් අයර්ලන්තය තුල මෙම ක්‍රමය භාවිතා කරන අයවලුන් තවමත් දුර්ලභ නැහැ. (2)

කවරයේ පින්තූරය- trip down memory lane)

මූලාශ්‍ර

  1. thnictechnologies.com
  2. fatherly.com

Related Articles