Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චීනයේ දිය යට කෞතුකාගාරය: බයිහෙලියන්ග්

ලෝකයේ බොහෝ රටවල් අශ්‍රිත ව වසර දහස් ගණනක් පැරණි නටබුන් දක්නට ලැබෙනවා. එසේ නටබුන් පිහිටි බිම් ප්‍රදේශය තුළ සිදු කරන කැණීම් කටයුතුවලින් තව තවත් පුරාවස්තු හමුවීම සාමාන්‍ය දෙයක්. ඒ අයුරින් හමුවන පුරාවස්තු සංරක්ෂණය කිරීම සඳහා කෞතුකාගාර ඉදිකර තිබෙනවා. එවැනි කෞතුකාගාර ලෝකයේ බොහෝ රටවල්වල දක්නට ලැබෙනවා. 

එයින් සමහර කෞතුකාගාර ඉදිකර තිබෙන්නේ අමුතුම ආකාරයට යි. චීනයේ ෆූලින් දිස්ත්‍රික්කයේ ඉදිකර ඇති බයිහෙලියන්ග් කෞතුකාගාරය ද එවැනි එකක්. දිය යට ඉදිකර තිබෙන එම කෞතුකාගාරය අද වන විට සංචාරකයන් නිතර ම පැමිණෙන ස්ථානයක්. මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ එම කෞතුකාගාරය පිළිබඳ අපූරු තොරතුරු යි. 

ගල් කැටයම් මඟින් ජල මට්ටම ලකුණු කිරීම

යැංසි (යංග්ට්සි) ගංගාව බයිහෙලියන්ග් ප්‍රදේශය හරහා ගලාගෙන යනවා. ඈත අතීතයේ දී එම ප්‍රදේශය ආශ්‍රිත ව  ස්වභාවික ගල් වැටියක් නිර්මාණය වුණා. එකල යැංසි (යංග්ට්සි) ගංගාවේ ජල මට්ටම   විටින් විට අසාමාන්‍ය අයුරින් පහළ ගියා. එවිට එම ගල් වැටියට එකතු වුණු චීන ජාතිකයන් විවිධ ක්‍රීඩාවල නිරත වුණා. යැංසි (යංග්ට්සි) ගංගාවේ ජල මට්ටම පහළ ගිය විට එම පර්වතය මතුවුණු  නිසා ජල මට්ටම සලකුණු කිරීම සඳහා පර්වතය මත විශේෂ සලකුණක් යෙදීමට එම ප්‍රදේශයේ ජීවත් වුණු උදවිය තීරණය කළා.   

යැංසි (යංග්ට්සි) ගංගාව – gettyimages.com

 

එදා ගංගාවේ ජල මට්ටම සලකුණු කිරීම ඔවුන් ගල් පර්වතය මත මාළුන්ගේ කැටයම් නිර්මාණය කළා. ක්‍රිස්තු වර්ෂ 763 දී එහි මුල් ම කැටයම නිර්මාණය වුණු බව පැරණි වාර්තාවල ලියැවී තිබෙනවා.  එම කැටයම් මඟින් ගංගාවේ ජල මට්ටම අඩු වැඩි වන ආකාරය නිරීක්ෂණය කිරීමට පුළුවන් වුණා.

763-1960 කාලය තුළ එවැනි මත්ස්‍ය ගල් කැටයම් 18ක් පමණ නිර්මාණය වුණා. එම ගල් කැටයම් 20 වන සියවස අවසන් වන විටත් ආරක්ෂා වී තිබුණා. ශීත ඍතුවේ දී එම ගල් මත්ස්‍ය කැටයම් මතු වුණොත් ඊළඟ වසරේ අස්වැන්න සරු වන බවට මතයක් එකල චීන වැසියන් අතර තිබුණා.

පැරණි ගල් මත්ස්‍ය කැටයම් – chinadailyhk.com

 

බයිහෙලියන්ග් ප්‍රදේශයේ ශිලා ලේඛන 

නියං කාලවල දී යැංසි ගංගාවේ එක් එක් ප්‍රදේශවල ජල මට්ටම් සටහන් කරමින් නිර්මාණය කළ සෙල්ලිපි බයිහෙලියන්ග් හි ගල් වැටිය ආශ්‍රිත ව දක්නට ලැබෙනවා. එම යුගයේ දී යැංසි (යංග්ට්සි) ගංගාවේ ප්‍රවාහන කටයුතු සිදුවුණු ආකාරය, ඒ ආශ්‍රිත ව සිදුවුණු ජල සංරක්ෂණ ව්‍යාපෘති පිළිබඳ ලියැ වී ඇති සෙල්ලිපි ද එහි තිබෙනවා.

මෙම ස්ථානයේ නිර්මාණය කර තිබෙන සම්පූර්ණ ශිලා ලේඛන ප්‍රමාණය 165ක්. ඒවා 763-1960 කාලය තුළ නිර්මාණය වුණු බවට විශ්වාසයක් පවතිනවා. එයින් සෙල්ලිපි 108ක් ටෑන් රාජ වංශය චීනය පාලනය කළ 763-907 කාල සමයේ ඉදිවන්නට ඇති බවට අනුමාන කරනවා.

දිය යට පිහිටි සෙල්ලිපි – youtube.com

 

මෙහි ඇති තවත් සමහර සෙල්ලිපිවල සාහිත්‍යවේදීන් සහ සංචාරකයන් ලියූ කවි දක්නට ලැබෙනවා. බයිහෙලියන්ග් හි ගල් වැටිය ආශ්‍රිත ව තිබෙන සෙල්ලිපි සියල්ලේ ම චීන අකුරු 30,000ක් පමණ කැටයම් කර තිබෙන බව පුරාවිද්‍යාඥයන් පවසනවා. ටෑන් රාජ වංශයෙන් පසුව රාජ වංශ කිහිපයක් චීනය පාලනය කළා. එම සියලු යුගවල දී මෙම ස්ථානයේ සෙල්ලිපි නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. 

 ගල් කැටයම් සහ සෙල්ලිපිවලට එල්ල වුණු තර්ජනය 

1980 දශකයේ මැද භාගය වන විට බයිහෙලියන්ග් ප්‍රදේශයේ ගල් කැටයම් සහ සෙල්ලිපිවල ඇති පෞරාණිකත්වය පිළිබඳ චීන රජයට අවබෝධ වී තිබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1988 අගෝස්තු මාසයේ දී මෙම ගල් කැටයම් සහ සෙල්ලිපි චීනයේ ජාතික වස්තුවක් ලෙසින් ප්‍රකාශයට පත් කිරීම සිදුවුණා. ඉන් පසුව මෙම පෞරාණික උරුමය සුරක්ෂිත කිරීමට චීන බලධාරීන් කටයුතු කළා.

ඒ අයුරින් කාලය ගෙවී යද්දී බයිහෙලියන්ග් පෞරාණික බිමේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල කරමින් ත්‍රී ගෝර්ජස් වේල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය කරළියට පැමිණියා. 1992 දී කරළියට පැමිණි එම ව්‍යාපෘතිය ගංගාවේ ජල මට්ටම විශාල ලෙස ඉහළට යාමට නියමිත ව තිබුණා. එවිට මෙම කැටයම් සහ ශිලා ලේඛන ජලයෙන් යට වී ඒවා විනාශයට පත්වීමේ අවදානමක් ඇති වුණා. එම අවස්ථාවේ  මෙම පෞරාණික භූමිය සුරැකීම සඳහා චීන පුරාවිද්‍යා බලධාරීන් ඉදිරිපත් වුණා.

ත්‍රී ගෝර්ජස් වේල්ල ඉදිකිරීමේ කටයුතු- pinterest.com

 

දිය යට කෞතුකාගාරයක් ඉදිකිරීමේ අදහස කරළියට 

බයිහෙලියන්ග් හි පුරාවස්තු සංරක්ෂණය කිරීම සඳහා පර්යේෂණ කටයුතු 1994 දී ආරම්භ වුණා.  ඒවා එම ස්ථානයෙන් ඉවත් කිරීමට කිසිදු හැකියාවක් තිබුණේ නැහැ. එනිසා වසර දහස් ගණනක් පැරණි එම කැටයම් සහ සෙල්ලිපි සංරක්ෂණය කරන්නේ කෙසේ දැයි යන ගැටලුව මතු වුණා. ඒ සඳහා විවිධ යෝජනා ඉදිරිපත් කළත් ඒවා එකක් වත් සාර්ථක වුණේ නැහැ.

එසේ වසර 7ක් පමණ විවිධ පර්යේෂණ සිදුකිරීමෙන් පසුව බයිහෙලියන්ග් පර්වතය ආශ්‍රිත ප්‍රදේශයේ කෞතුකාගාරයක් නිර්මාණය කිරීමට යෝජනාවක් ඉදිරිපත් කළා. එම කෞතුකාගාරය දිය යට ඉදිවීමට නියමිත ව තිබුණු නිසා එය සැලසුම් කිරීම ලෙහෙසි පහසු කාර්යයක් වුණේ නැහැ. එම අභියෝගය භාරගත් ජී සියුරුන් නම් මහාචාර්යවරයා අපූරු සැලැස්මක් ඉදිරිපත් කළා. 2001 පෙබරවාරියේ දී එම සැලැස්ම සඳහා අනුමැතිය ලැබුණා.

කෞතුකාගාරය ඉදිව ඇති ආකාරය 

චීන ඉංජිනේරු ඇකඩමියේ ඉංජිනේරු විශේෂඥයකු සහ ෂැංහයි ජියාඕ ටොංග් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වුණු ජී සියුරුන් පීඩන රහිත බහාලුම් මූලධර්මය භාවිත කර කෞතුකාගාරයේ සැලැස්ම නිර්මාණය කළා. එම සැලැස්මට අනුව ගල් වැටිය පිරිසුදු ජලයෙන් පුරවා ඇති ආරුක්කු හැඩැති වීදුරු ආවරණයකින් වට කර තිබෙනවා.

එම ආරුක්කු දෙපස පීඩනය සමාන වෙනවා. ගං ඉවුර සහ මෙම පර්වතය දක්වා දිගු එස්කැලේටර් සහිත දිය යට කොරිඩෝ දෙකකින් සම්බන්ධ කර තිබෙනවා. එම කොරිඩෝ හරහා නරඹන්නට මෙම පුරාවිද්‍යා භූමියට ඇතුළුවීමට අවස්ථාව ලැබෙනවා. එම කොරියාවේ ඉදි කර තිබෙන ජනෙල් හරහා සංචාරකයන්ට ගල් කැටයම් සහ ශිලා ලිපි නැරඹීමේ අවස්ථාව ලබා දී තිබෙනවා. 

දිය යට කෞතුකාගාරයේ සුන්දරත්වය – easytourchina.com

 

ඉදිරි අනාගතයේ දී මෙම ගල් කැටයම් සහ ශිලා ලේඛන විනාශ වී යාමේ අවදානමක් තිබෙන බව අවබෝධ කරගත් චීන සමාජ විද්‍යා ඇකඩමියේ පුරා විද්‍යා ආයතනයේ විශේෂඥයන් ඒවා දිගු කල් සුරැකිව තබාගැනීම සඳහා විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කළා. එහි දී ඔවුන් කැටයම් සහ ශිලා ලේඛන එතිල් සිලිකේට් භාවිත කර සංරක්ෂණය කළා.

2003-2009 කාලය තුළ මෙම අපූරු කෞතුකාගාරයේ ඉදිකිරීම් කටයුතු සිදුවුණා. ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 31ක පමණ මුදලක් වැය වී තිබෙනවා. සම්පූර්ණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ජලය ටොන් 3800ක් වැය වී තිබෙනවා. කෞතුකාගාරයේ නැරඹුම් කවුළු 23ක්ද දිය යට කැමරා 28ක්ද දක්නට ලැබෙනවා. එක වර සංචාරකයන් 40 දෙනකුට කෞතුකාගාරය නැරඹීමේ හැකියාව පවතිනවා.

කෞතුකාගාරය නරඹන සංචාරකයන්  – news.cn

කෞතුකාගාරය පවත්වාගෙන යන ආකාරය 

මුල් යුගයේ දී කෞතුකාගාරය තුළ තිබුණු ජලයේ ගුණාත්මක බව පිරිහීම සහ පර්වතය මත ඇල්ගී වර්ධනය වීම යන හේතු නිසා කෞතුකාගාරය වරින් වර වසා දැමීමට සිදු වුණා. ඉන් පසුව මෙහි ජල ප්‍රතිචක්‍රීකරණ පද්ධතියක් ස්ථාපිත කළා. එම පද්ධතිය හරහා පහසුවෙන් ජලය පිරිසුදු කිරීමේ හැකියාව පවතිනවා. සෑම පැයකට ම වරක් පිරිසුදු ජලය ටොන් 20ක් කෞතුකාගාරය තුළ ට පොම්ප කිරීම සිදුවෙනවා. 

කිමිදුම්කරුවන් මසකට වරක් පර්වතය පිරිසුදු කරනවා. නරඹන්නට වඩාත් පැහැදිලි දර්ශන ලබා දීම සඳහා මෑත යුගයේ දී ජනෙල් සඳහා විශේෂ වීදුරු වර්ගයක් සවි කර තිබෙනවා. මෙම කෞතුකාගාරය නඩත්තු කිරීම සඳහා එහි කාර්යය මණ්ඩලය විශාල පරිශ්‍රමයක් දරනවා. එනිසා අද වන විට චීනයේ දිය යට කෞතුකාගාරය ලෝකයේ වඩාත් ප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් බවට පත්ව තිබෙනවා.

කෞතුකාගාරය පිරිසුදු කරන ආකාරය – chinadaily.com

කවරයේ ඡායාරූපය- චීනයේ දිය යට කෞතුකාගාරය - news.cgtn.com

මූලාශ්‍ර:

chinadailyhk.com

yangtze-river-cruises.com

watermuseums.net

globaltimes.cn

Related Articles