Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මඩෙන් තැනූ කුලුනු මාලිගා තුළ ජීවත් වන බටමරිබා ගෝත්‍රිකයෝ

ලෝකයට ඇත්තේ පුදුමය උපදවනසුළු විවිධත්වයක්. මහද්වීපික වශයෙන්, ශිෂ්ඨාචාරමය වශයෙන්, සංස්කෘතිමය වශයෙන් මිනිසුන් අතර පවත්නා විවිධත්වය සැබවින්ම අපූර්වයජනක යි. ‍ලෝක ඉතිහාසය දෙස හැරී බැලීමේ දී පෙනෙන කාරණයක් වන්නේ මිනිසුන් ඈත අතීතයේ දී ගෝත්‍ර වශයෙන් ජීවත් වූ බවක්. විශේෂයෙන්ම අප්‍රිකානු මහද්වීපික ජන සමාජය තුළ අදටත් ඔවුනොවුන්ගේ උපචාරයන් සුරකිමින් ජීවත් වන ගෝත්‍රයන් ගණනාවක් සිටිනවා. මේ ගෝත්‍රික ප්‍රජාවන්ගේ ජීවන ශෛලිය බොහෝ විට ගොඩනැගී තිබෙන්නේ පරිසරය හා බද්ධව. ඔවුන්ගේ පරිසරයේ පිහිටීම අනුව ඔවුන් විසින් ගොඩනගාගත් ආවේණික ජීවන රටාවක් ඔවුන් සතුව පවතිනවා. බටමරිබානුවන් කියන්නේත් තවමත් සැලකිය යුතු ජන සංයුතියකින් සමන්විතව ක්‍රියාකාරී මට්ටමෙන් පවත්වාගෙන යන එවන් ගෝත්‍රයක්.

බටමරිබාවේ මැටි මාලිගා (Romina Facchi)

බටහිර අප්‍රිකාව තුළ ජීවත්වන බටමරිබානුවන් ගණනින් 176,000ක් පමණ වනවා. ඔවුන් අතරින් 146,000ක පමණ පිරිසක් ජීවත් වන්නේ බෙනින්හි යි. ඉතිරි කොටස ටෝගෝහි ජීවත් වනවා. බෙනින්හි ජීවත් වන බටමරිබානුවන් හැඳින්වෙන්නේ ‘සොම්බා’ නමින්. ටොන්ගෝලියානු බටමරිබානුවන් හැඳින්වෙන්නේ ‘ටැම්බර්මා’ නමින්. මේ දෙකොට්ඨාසය එකම කුලයේ වූවත්, ඔවුන් දෙපිරිස අතර එක් වෙනස්කමක් පවතිනවා. සොම්බා බටමරිබානුවන්ගේ මුහුණු මත ඉතා සරල සහ දර්ශනීය වූ කැටයම් කොටා තිබුණා. එවැනිම ජ්‍යාමිතික හැඩතල ඔවුන්ගේ නිවාස මත යොදන බදාම තට්ටුව මත ද ඔවුන් රූපණය කරනවා. 

මැටි මාලිග කුලුනු මත නගා ඇති සරල කැටයම් (exploring-africa.com)

බටමරිබා යන නමෙහි අර්ථය වන්නේ “ගොඩනැගිලි සෑදීමට දත්” යන්න යි. ඔවුන් විසින් ඉදිකෙරුණු ගොඩනැගිලි මධ්‍යකාලීය යුරෝපයේ රජ මාලිගාවලට සමානකමක් දක්වනවා. ඒවා උස් කුලුණු සහ ඝන පවුරුවලින් සමන්විත ඉතා අලංකාර නිවාස. බටමරිබානුවන් බටහිර අප්‍රිකාව දෙසට සංක්‍රමණය වූයේ වර්තමානයේ බුර්කිනා ෆාසෝ ලෙසින් හැඳින්වෙන උත්තර ප්‍රදේශයේ සිට යි. මෙකී සංක්‍රමණ ඔස්සේ සොයාගත් නව බිම් ප්‍රදේශවල දී බටමරිබානුවන්ට සංක්‍රමණික බරීබා සටන්කාමීන්ගෙන් ප්‍රවේසම් වීමට සිදුවුණා. කිසිවෙකුට පහසුවෙන් ළඟා වීමට නොහැකි තරම් දුෂ්කර භූමියක් වූ අටකෝරා කඳුවැටියේ සිය බලකොටු ආකාර මැටි නිවාස තැනීමට ආරක්ෂණ ක්‍රමෝපායක් වශයෙන් බටමරිබානුවන්ට සිදුවුණා.

බටමරිබානුවන්ගේ කුලුනු මාලිගා (ResearchGate)

අසල්වැසි ජනගහනයන්ගෙන් වන බලපෑම්වලින් මිදී නිදහසේ ජීවත් වීමට බටමරිබානුවන්ගේ මැටි බලකොටු ඔවුනට මහත් පිටිවහලක් වුණා. ගෝත්‍ර ආක්‍රමණය කර ඒවායෙහි වැසියන් යටත් කරගෙන ඔවුන්ව වහලුන් ලෙස යුරෝපයට විකිණීමේ යෙදී සිටි දහෝමේ වහල් වෙළඳුන්ගේ ආක්‍රමණවලින් බේරී සිටීමට බටමරිබානුවන්ගේ මැටි බලකොටු ඔවුනට විශාල පන්නරයක් වුණා. අවසානයේ දී ජර්මානු යටත්විජිතවාදීන් ද බටමරිබාව ආරක්ෂා කළා. සිය විශේෂ ඉදිකිරීම් ශිල්පීය හැකියාවන් හේතුවෙන්ම බටමරිබානුවන්ට සිට සම්ප්‍රදායන් බාහිර බලපෑම්වලට ගොදුරු වීමට නොදී ආරක්ෂා කරගැනීමට හැකියාව ලැබුණා.

ටකියෙන්ටා නමින් හඳුන්වන මොවුන්ගේ මඩ කුලුණු ටෝගෝ ඉසව්ව පුරා ඉතා විචිත්‍රවත් දර්ශනයක් මවාලනවා.බොහෝ කුලුණු නිවාස තට්ටු දෙකක උසින් යුක්ත වනවා. බැලූ බැල්මට වී බිස්සක/ ධාන්‍යාගාරයක පෙනුමෙන් යුත් මෙම කුලුණු නිවාස උඩින් බැලූ කල සිලින්ඩාකාර ස්වරූපයකට දිස් වනවා. ඇතැම් නිවාසවල වහලය සමතලා ස්වභාවයක් දරන අතර ඇතැම් නිවාසවල වහල කේතු ආකාර යි. සෑම ගමකම මෙම නිවාස ඉදිකර තිබෙන්නේ කණ්ඩායම් හෙවත් පොකුරු නිවාස ආකාරයෙන්. එකී ගම්වල ආගමික වතාවත් සිදු කිරීම සඳහා වෙන් වූ ස්ථාන, ජලය ලබා ගැනීම සඳහා වෙන් කළ ස්ථාන, නව යෞවනයන්ට යොවුන්වරය ලබා දී සිය වැඩිහිටි කණ්ඩායමට ඇතුල් කරගන්නා උත්සව පවත්වන ස්ථාන වෙන් වෙන් වශයෙන් ඉදිකර තිබෙනවා.

අලංකාර මැටි මාලිගා (Twitter.com)

බටමරිබානු ගෝත්‍රය විසින් නඩත්තු කරන නිවාස, ගොවිබිම්, ගොවිපළ පමණක් නොව වනාන්තර ද පවතිනවා. ඔවුන්ට කැලෑ සතුන් මෙන්ම නිවාසවල නඩත්තු කරන ගෘහාශ්‍රිත සතුන් ද සිටිනවා. බටමරිබානුවන් සිය ඉදිකිරීම් සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය සහිත වැඩබිම් ද ඔවුන් සතුව පවතිනවා. හස්ත කර්මාන්තය සඳහා විශේෂිත වූ තාක්ෂණික ක්‍රමවේදයන් සහ දැනුම ද, විවිධ වූ විශ්වාසයන් ද, ඔවුනටම ආවේණික වූ ගීත, නර්තන, සාම්ප්‍රදායික ක්‍රීඩාවලින් ද පොහොසත් ගෝත්‍රයක් ලෙස බටමරිබානුවන් හඳුන්වා දීමට පුළුවන්. 

බටමරිබානුවන්ගේ සියලු නිවාසවල බිම්මහල ධාන්‍යාගාරයක් සහ සතුන් රඳවා තැබීමටට වෙන් වූ බිමක් ලෙස භාවිත කරනවා. ප්‍රදේශය පුරා නිරීක්ෂණයේ යෙදුණහොත් දැකගත හැකි විශේෂ කාරණයක් වන්නේ බටමරිබානුවන් ගොඩනැගිලි ඉදිකර, ඒවා භාවිත කර, ඉන්පසුව ඒවා අතහැර, කඩාබිඳ දමා නැවතත් එම ස්ථානයන්හි නව ගොඩනැගිලි ඉදිකර තිබෙන ආකාරය යි. මුල් ගොඩනැගිලි සහ කාලයාගේ ඇවෑමෙන් සිදු කර තිබෙන නව ඉදිකිරීම් සඳහා ඔවුන් යොදාගෙන තිබෙන අමුද්‍රව්‍යවල වෙනස්කම් ද මෙසේ නිරීක්ෂණය කිරීම මඟින් හඳුනාගත හැකියි.  අද වන විට ඔවුන් මුහුණ දී තිබෙන විශාල ගැටලුවක් වන්නේ නව නිවාස ඉදි කිරීම සඳහා ප්‍රමාණවත් තරම් දැව ගම්මාන අවටින් සොයාගැනීම දුෂ්කර වීම යි.

මඩෙන් තැනූ විශාල නිවාස (Happy Days Travel Blog)

බටමරිබානුවන්ගේ චාරිත්‍රයන්ට සුලු හෝ බලපෑමක් කිරීමට හැකියාව ලැබුණේ ප්‍රංශ ජාතිකයන්ට පමණයි. ප්‍රංශ ජාතිකයන්ගේ ආගමනයට පෙර බටමරිබානුවන් ඇඳුම් ඇන්දේ නැහැ. කෙසේ වෙතත් සිය පුරුෂ ඉන්ද්‍රිය ආරක්ෂා කරගැනීම සඳහා බටමරිබානු පුරුෂයන් පමණක්, වට්ටක්කා පොත්තෙන් සකසාගත් ආවරණ කොපුවක් පැළඳ සිටියා. ප්‍රංශ ජාතිකයන් පැමිණීමත් සමග ඔවුන් බටමරිබානුවන්ට යුරෝපීය ඇඳුම් හඳුන්වා දුන්නා. 

මොවුන් ජීවත් වුණේ ‍ගොවිතැන් සහ සත්ත්ව පාලනයෙන්. පුද්ගලයෙකුට හිමි සතුන් ප්‍රමාණය මත ඔහුගේ ධනවත්කම තීරණය වුණා. බටමරිබාවේ ධනවතුන් වූයේ විශාලතම සත්ත්ව පට්ටි හිමි පුද්ගලයින්. ඔවුන් සතු වු මෙම පශු සම්පත වැදගත් වූයේ ආර්ථික තත්ත්වය මැනීම සඳහා පමණක්ම නොවෙයි. යමෙකුගේ මරණයක දී, තෑගි දීමක දී, පරිත්‍යාගයන් කිරීමේ දීත් බටමරිබානුවන් සතු සත්ත්ව පට්ටියට අතිශය විශාල වැදගත්කමක් හිමිවුණා. 

බටමරිබානුවන්ගේ ආගමික සිද්ධස්ථානයක් (Wikimedia Commons)

බටමරිබානුවන් වැඩි වශයෙන් වගා කළේ මිලට්, ඉරිඟු, බඩඉරිඟු යන ධාන්‍ය වර්ග. මොවුන් ගොවිතැනට පමණක් නොවෙයි දඩයමටත් විශේෂ දක්ෂතාවක් පෙන්නුම් කරන ජන කොට්ඨාසයක්. වවුල් මස් ඔවුන්ගේ ආහාර වේලේ ඉතා ප්‍රණීත ආහාරයක් ලෙස සැලකෙනවා. ‘කුයියේ’ ලෙසින් හැඳින්වෙන සූර්ය දෙවියෙකු පිළිබඳව ඔවුන් විශ්වාස කරනවා. එසේම භූමිය හා පස සම්බන්ධිත ‘භූතාන්’ නමැති දෙවඟනකුත් බටමරිබානුවන්ගේ වන්දනාමානයට පාත්‍රවනවා. තම නිවාස, ගම, ආගමිකව ඔවුනට පූජනීය වන වස්තූන් මෙන්ම ආගමික යන්තර ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා යාතිකා පැවැත්වීම සඳහා ඔවුන් මෙකී දෙවිවරුන්ට සිද්ධස්ථාන ඉදිකර තිබෙනවා. 

බටමරිබානුවන් සතුව පුරුෂ ලිංගේන්ද්‍රයන් විශාලනය කිරීමේ සාම්ප්‍රදායික තාක්ෂණික දැනුමක් පවතිනවා. ලොව ප්ලාස්ටික් සැත්කම් යොදාගැනීමට ප්‍රථමයෙන් මෙවන් දැනුමක් භාවිත කළ දියුණු ගෝත්‍රයක ලෙස බටමරිබානුවන් සැලකෙනවා. 

මැටි බලකොටු (Romina Facchi)

බටමරිබානුවන්ගේ තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ විචිත්‍රවත් අවමංගල්‍ය චාරිත්‍ර යි. යම් පුද්ගලයෙකු මිය ගිය විට ඔහුට ගෞරවයක් වශයෙන් ‘ටිබෙන්ටි’ යනුවෙන් හඳුන්වන බෙර වයමින් නර්තනයෙහි යෙදීම බටමරිබානු චාරිත්‍රයක්. ඔවුන් සතු සතුන් අතරින් 52%ක් යොදා ගැනෙන්නේ මෙවන් ආගමික චාරිත්‍රවලට රැගෙන යාමට. සතුන්ගෙන් 28%ක ප්‍රමාණයක් දෑවැදි ලෙස ලබා දීම සිදුවන අතර විකිණීම සිදු කරන්නේ සතුන් අතරින් 20%ක ප්‍රතිශතයක් පමණ යි. යමෙකු මිය ගිය විට අවමංගල්‍යය බිමට පිවිසෙන දොරටු අබියස කවඩි යොදා සරසන අතර ඉහළ මහල්වලින් පහළට වැටෙන සේ ධනවත් පෙනුමින් යුත් රැළි තිර එල්ලා සරසනවා. යමෙකු මිය ගිය විට ඔහුගේ හිස්තැන පිරිවීමට නව යෞවනයෙක්ට යොවුන් වරය ලබාදීමේ උත්සවයක් ඒ හා සමගාමීව බටමරිබානුවන් විසින් පවත්වනවා. එවන් යෞවනයන් ද අවමංගල්‍ය භූමිය තුළ සිය ඉන සහ ගෙල කවඩිවලින් සරසාගෙන රැඳී සිටිනවා.

බටමරිබානුවන්ගේ අවමංගල්‍ය උත්සවයක් (Exploring Africa)

බටමරිබානු සමාජය තුළ වයස මත පදනම් වූ පුද්ගල කාණ්ඩ සමාගම් ගොඩනැගී තිබෙනවා. මෙහිදී වඩාත් ගෞරවයට පාත්‍ර වන්නේ වියපත්, වැඩිහිටි බටමරිබානුවන්. ඔවුන්ගේ වචනයට සවන් දීමට තරුණ බටමරිබානුවන් මහත් ගෞරවයෙන් යුක්තව සැදී පැහැදී සිටිනවා. මධ්‍යගත පාලනයක් පිළිබඳ බටමරිබානුවන් තුළ පවතින්නේ අල්ප විශ්වාසයක්. තනතුරු, නිලතල කිසිවක් උරුමයෙන් හිමිවන ඒවා බව බටමරිබානුවන් සලකන්නේ නැහැ.

බටමරිබානුවන්ගේ ජාතික සංස්කෘතික උරුමය ආරක්ෂා කරගැනීම සඳහා වර්ෂ 1990 නොවැම්බර් වන දින 90-24 දරණ නීතියත්, ඔවුන්ගේ ඉදිකිරීම් සහ ස්මාරක ආරක්ෂා කරගැනීම සඳහා ඒවා ජාතික සංස්කෘතික උරුම ලැයිස්තුවට ඇතුළත් කරමින් අංක 010/MCJS දරණ 2003 ජූලි 17 වන දිනැති නියෝගයත්, ඔවුන්ගේ ඉදිකිරීම් පවතින කුටමකු ප්‍රදේශයේ සීමා නිර්ණය කරමින් සහ එහි අංගෝපාංග හඳුනාගනිමින් වර්ෂ 2003 ඔක්තෝම්බර් 1 වන දිනැති අංක 124/MC/CAB දරණ නියෝගයත් නිකුත් කර තිබෙනවා. කුටමකු බිම් ප්‍රදේශ සම්බන්ධ අධීක්ෂණයට, එකී භූමිය සංරක්ෂණය කිරීමට සහ එහි ජීවන තත්ත්වය නගා සිටුවීමට කළමනාකරණ කමිටුවක් ද මේ වන විට බලධාරීන් විසින් පිහිටුවා තිබෙනවා.

කවරයේ පින්තූරය (Twitter)

මූලාශ්‍රයයන්:

  • The Batammariba, exploring-africa.com

  • Koutammakou, the Land of the Batammariba, unesco.org

  • This African Tribe from Togo and Benin were Experts in Penis Enlargement way Before Plastic Surgery, hadithi.africa

  • Batammariba (Tamberma) People: Africa’s Indigenous Architecturally Advanced People and Penis Elongation and Enlargement Specialists, kwekudee-tripdownmemorylane.blogspot.com

  • Defensive and spiritual tata sombas of the Batammariba, fieldstudyoftheworld.com

  • Batammariba / Tamberma / Somba / Tammari / Otamari / Ottamari / Bataba, 101lasttribes.com

Related Articles