Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පෘතුගාල රජ දහනක මනරම් මතකයන් අතර වරුවක්

සුරංගනා සහ මායා කතාන්දරවල අප දක්නා පසුබිම්, දර්ශන තලයන් අප විසින් පරිකල්පනය කොට නිර්මාණය කරගත් ඒවා යි. එහෙත් එවන් මනස්කාන්ත, අත්‍යලංකාර ස්ථානයන් ලොව පුරා විවිධ ඉසව්වලින් විටින් විට වාර්තා වෙනවා. පෘතුගාලයේ පවතින Quinta da Regaleira යනුවෙන් හැඳින්වෙන අපූරු රාජධානිය සහ එහි පවත්නා අතිශයින් නිර්මාණශීලී අංගයන් සැබෑ ලෝකයත්, මායා ලෝකයත් අතර මොහොතකට අතරමං කරවනවා. මෙම අපූරු ස්ථානය ලෝකයට වාර්තා වන්නේ ඉතා සෙමින්. එය කාලාන්තරයක් පුරා ලෝකයෙන් වසන් වී පැවතියක්. මෙම ස්ථානයෙහි පවත්නා විශේෂත්වය වන්නේ මෙය නිර්මාණය කිරීම සඳහා යොදාගන්නා ලද විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පී ඥානයේ නිරූපණය යි. 19 වන සියවසත් 20 වන සියවසත් අතර මෙම නිර්මාණය ඉදිකර තිබෙනවා. Sintra නගරය කේන්ද්‍රකොට ගනිමින් ඉදිකර තිබෙන මෙම රාජධානිය තුළ විශේෂ අලංකරණයන් සහිත ළිඳක්, උද්‍යාන, ප්‍රතිමා, විල්, මාළිගා මෙන්ම සැඟවුණු උමං ද පවතිනවා.

The Initiation Well (Stijndon)

මෙහි පවත්නා The Initiation Well යනුවෙන් හඳුන්වන ළිඳ බැලූ බැල්මට දිස් වන්නේ අලංකාර කුලුනක් ආකාරයෙන්. එය මිනිස් ඇස අමන්දානන්දයට පත් කරවන ආකාරයේ අපූර්වතම නිර්මාණයක්. මීටර් 27ක් ගැඹුරට සකසා තිබෙන මෙම ළිඳ ස්ථර ගණනාවකින් යුක්ත යි. ළිඳ වටා සර්පිලාකාර ව පහතට ගමන් කළ හැකි පඩිපෙළක් ද පවතිනවා. ඡායාරූපයන්හි විශාල ගැඹුරක් දිස් වුවත්, එය සැබවින් ම එතරම් ගැඹුරු වූවක් නොවෙයි. එය තට්ටු පහක පමණ උසින් යුක්ත වූවක්. වේදිකාවන් 9 කින් මෙම ළිං කුලුන සමන්විත යි. මෙම නිර්මාණය දකින්නෙකුට ඩාන්ටේ අපායෙහි ස්වරූපය නිරූපණය කරමින් දක්වන චක්‍ර නවය සිහිපත් වනවා (nine circles of Dante’s Hell). එමෙන්ම ඉන් ‘Nine Sections of Purgatory’ සහ ‘Nine Skies of Paradise’ පවා පිළිබිඹු වෙනවා. මෙම ළිඳට වඩා තරමක් කුඩා තවත් ළිඳක් මෙහි නිර්මාණය කර තිබෙන අතර, මෙම ළිං ද්විත්වයෙහි වේදිකාවන් යා කරන පඩිපෙළක් ද පවතිනවා. මෙම ළිං ද්විත්වය පොළොව යට පවත්නා උමං මාර්ගයන් මඟින් ද එකිනෙක සම්බන්ධ කර තිබෙනවා. මෙකී ළිං ආගමික සැමරීම් සඳහා යොදා ගෙන තිබෙනවා. මෙම ළිං මඟින් මරණයෙහි සිට නැවත උපත දක්වා වන ගමන නිරූපණය කරනවා.

Initiation Well පිටතට පෙනෙන ආකාරය (Bored Panda)

මෙම නිර්මාණය පිහිටා තිබෙන Sintra නගරය සහ ආශ්‍රිත කලාපය මිථ්‍යාවේ සහ මායාවේ ජීවමාන පිළිබිඹුවක්. මෙම නගරයෙහි පවත්නා විවිධ නටබුන් විවිධ කාලයන්ට අයත් ඒවා යි. කෙසේ නමුත් මෙම පුරවරය නිර්මාණය කිරීමේ දී ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් ග්‍රීක සම්ප්‍රදාය දැඩි ලෙස ආභාසයට ගෙන තිබෙනවා. මෙම පුරවරයට පිවිසෙන මඟෙහි තනා තිබෙන ග්‍රීක දේව ප්‍රතිමා, දක්ෂ ශිල්පීන්ගේ නිර්මාණයන්. ඒ අතරට වීනස්, හර්ම්ස්, දියෝනිසස් යනාදී ග්‍රීක දෙවිවරුන්ගේ සහ දිව්‍යාංගනාවන්ගේ ශෛලමය ප්‍රතිමාවන් ද ඇතුළත් වෙනවා. මුළු නුවර පුරා ම දියෝනිසස් නමැති දෙවියා‍ගේ ප්‍රතිමා නිර්මාණය කර තිබෙනවා. ඔවුන් එම දෙවියන් ව දේවත්වයෙන් ඇදහූ බවට එය එක්තරා ප්‍රබල සලකුණක්. Quinta da Regaleiraහි හිමිකරුත් එම දෙවියන් ව ඇදහූ බවට සැලකෙනවා.

මෙම අපූරු නගරය සහ ඉදිකිරීම් සංකීර්ණය සැලසුම් කර තිබෙන්නේ ඉතාලි ජාතික ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ලුයිජි මනිනි (Luigi Manini) නමැති විශිෂ්ට පුද්ගලයා විසින්. මෙම පුද්ගලයා අතිශයින් නිර්මාණශීලී මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පයෙහි ලා අතිශයින් ප්‍රකට චරිතයක්. 19 වන සියවසේ මැද භාගයේ දී පෘතුගාලයෙහි වර්ධනය වූ Neo-Manueline නමැති ශෛලිය භාවිතයෙන් අග්‍රගණ්‍ය නිර්මාණ බිහි කිරීමෙහි ලා මෙම පුද්ගලයා අතිශයින් ප්‍රසිද්ධ යි. Quinta da Regaleira පුරවරය ඔහුගේ නිර්මාණයන් අතර ඉහළින්ම තිබෙන්නක්. ඊට හේතුව වන්නේ මෙම සමස්ත නිර්මාණය ම සම්පූර්ණ කිරීමේ දී ඔහු විවිධ යුගවල කරළියට පැමිණි ගුප්ත නිර්මාණාංග ඊට එක් කිරීම යි. එසේ කරමින් ඔහු සින්ට්‍රා වනාන්තරය තුළ ඔහුගේ නිර්මාණය ස්ථාපිත කළා.

මනරම් Sintra නගරය (ncultura.pt)

මෙම පුරවරය කෙතරම් අනර්ඝ නිර්මාණයක්දැ යි පවසන්නේ නම්, එහි පවත්නා බොහෝ නිර්මාණයන් දිස්වන්නේ ස්වභාවික ව ඇති වූ ඒවා ලෙස යි. මෙහි කුඩා විල් දෙකක් මෙන්ම දිය උල්පත් ද නිර්මාණය කර තිබෙනවා. වංකගිරි මාර්ග නිමැවුම ද ස්වභාවික ව හටගත්තක්යැ යි බැලූ බැල්මට ම පෙනුණත් එය එසේ නොවෙයි. එකී නිර්මාණ සියල්ලක් ම පාහේ ලුයිජි මනිනිගේ නිර්මාණශීලීත්වයේ ප්‍රතිඵල යි. මෙම සමස්ත භූමිය පුරා ම පැතිර පවත්නා ස්වභාවික ගල් භාවිත කරමින් ම මෙම නිර්මාණ සිදුකර තිබීම ලුයිජි දක්ෂතාව යි. Regaleira හි පවත්නා දේවස්ථානය තනි සුදු පැහැයෙන් බබළනවා. එය ඉතා කුඩා වුවත්, අතිශයින් ප්‍රියජනක ඉදිකිරීමක්. ඒ තුළට පිවිසෙන්නෙකුට ආගමික පූජනීයත්වය හා මානසික සන්සුන්භාවය දැනෙන පරිද්දෙන් එකී නිර්මාණය සිදුකිරීමට නිර්මාණකරුවා විශාල සහ අවංක උත්සාහයක් දරා තිබෙන බව බැලූ බැල්මට පැහැදිලි වෙනවා.

උමං මාර්ගය (Pinterest)

මෙම පුරවරයෙහි ඉදිකර තිබෙන ප්‍රධාන මාළිගය අතිශය සමෘද්ධිමත් ස්වරූපයෙන් නිර්මාණය කර තිබෙනවා. ගොතික් ශෛලියේ ප්‍රාසාද මුදුන් සහ වතුර මල්වලින් එය අලංකෘත කර තිබෙනවා. එය තට්ටු පහකින් සමන්විත අලංකාර ගොඩනැගිල්ලක්. එපමණක් නොවෙයි, එළියට පැමිණ මුළු රාජධානිය ම නැරඹිය හැකි ආකාරයේ සඳළුතලාවන් ද සහිත ව යි මෙය ඉදිකර තිබෙන්නේ. ඩිස්නිහි ‘බියුටි ඇන්ඩ් ද බීස්ට්’ සිනමා පටයෙහි මාළිගය නිර්මාණය කිරීමේ දී ආදර්ශයක් වශයෙන් මෙම මාළිගය අධ්‍යයනය කර තිබෙන බවට, එම සිනමා පටය නැරඹීමේ දී හැඟී යනවා. මෙම “The Palace of Monteiro the Millionaire” 1904 දී ඉදිකරන ලද්දක්. කාවාලියෝ මොන්ටේරෝ (Carvalho Monteiro)ගේ මරණයෙන් පසු මෙය වැල්ඩමාර් ඩූරි (Waldemar d’Orey) විසින් මිලට ගත්තා. 1987 දක්වා එය ඔවුන් සතු වූවා. ඉන්පසු එය ජපන් සංස්ථාවකට විකුණා දැමුණා. 1997 දී මෙය යළිත් පෘතුගාල පළාත් පාලන අධිකාරීන් විසින් මිලට ගෙන 1998 දී මහජනතාව වෙත විවෘත කෙරුණා.

උද්‍යාන‍යේ පිහිටි ප්‍රතිමා (portugalvirtual.pt)

මාළිගය මුදුනට නැඟ බලන්නෙකුට සින්ට්‍රා පමණක් නොවෙයි, අවට සියලු නගර සහ ගම්වල මනස්කාන්ත දර්ශනයන් ද දැක බලාගත හැකියි. Quinta da Regaleira සැබවින් ම මිනිසා විසින් නිර්මාණය කරන ලද තවත් එක්තරා පුදුමයක්. අතිශය සාමකාමී සහ නිස්කලංක වටපිටාවක පිහිටා තිබෙන එය, සැබෑ ලෝකයෙන් ඔබ්බට සංචාරකයා ව කැඳවාගෙන ගොස් මෙතෙක් නොවිඳි ආස්වාදයක් මනසට ලබා දෙනවා. පෘතුගාලයේ අගනුවර වන ලිස්බන් නුවර සිට මෙම රාජධානියට ළඟා වීමට වැඩි කාලයක් ගත වන්නේ නැහැ.

 

කවරයේ පින්තූරය: Quinta da Regaleira (Reddit)

මූලාශ්‍රයයන්:

  • THE MYSTERIES OF QUINTA DA REGALEIRA, madhouseheaven.com
  • Quinta Da Regaleira Sintra, sintra-portugal.com
  • Quinta da Regaleira: Occult Initiation Wells Steeped in Mysticism, urbanghostsmedia.com
  • The Initiation Well at Quinta da Regaleira near Sinta, Portugal, abandonedspaces.com
  • The Masonic Initiation Wells of the Quinta da Regaleira, ancient-origins.net
  • 9 Circles of Hell (Dante's Inferno), historylists.org

Related Articles