Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අද්භූත කතා පටබැඳුණු ලොව සුන්දර ස්ථාන – 2

යම් ස්ථානයක, තමන්ට නිසි ලෙස විස්තර කර ගත නොහැකි වූ සංසිද්ධියක් වන විට පැරැන්නන් එම ස්ථානය අරබයා විවිධාකාරයේ කතා ගොතන්නට පියවර ගත්තා. මින් සමහරක සැබෑ පසුබිම පසුකාලීන ව ලොව විද්‍යාත්මක දැනුම හා තාක්ෂණය දියුණු වූ විට හෙළි කර ගන්නට විද්‍යාඥයන් සමත් වූ අතර, තවත් සමහරක තිරය පිටුපස කතාව අද වන විටත් නියමාකාරයෙන් තහවුරු කරගන්නට කිසිවකුත් සමත් වී නෑ.

මේවා සබැඳි ‘අද්භූත’ කතා අද වන විටත් සැලකිය යුතු පිරිසක් විශ්වාස කරන අතර, එවැනි ස්ථාන කිහිපයක් පිළිබඳ තොරතුරු මේ ලිපියේ පළමු කොටසින් අප ඔබ වෙත ගෙන ආවා. මේ ලිපියෙනුත් එවැනි ම ස්ථාන සහ සංසිද්ධි කිහිපයක් පිළිබඳ ව ඔබ වෙත විස්තර ගෙන එන්නට අපි සූදානම්.

සර්ප දූව – බ්‍රසීලය – www.smithsonianmag.com

සර්ප දූව – බ්‍රසීලය

ඉල්හා ඩ කුයිමදා ග්‍රන්දේ යනුවෙන් හැඳින්වෙන දූපත පිහිටා ඇත්තේ, අත්ලාන්තික් සාගරය තුළ, බ්‍රසීල වෙරළ තීරයට ආසන්නයේ යි. මෙය හෙක්ටයාර 43 ක පමන භූමි වපසරියක් ඇති, කුඩා දූපතක් වන අතර, ඝර්ම කලාපීය දේශගුණික ලක්ෂණ ප්‍රකට කරනවා. මෙය බ්‍රසීල ජනයා විශ්වාස කරන පරිදි ඉතා අද්භූත ස්ථානයක් වෙනවා.

මෙම දූපත සැලකෙන්නේ ලොව වැඩිම සර්ප ඝණත්වයක් ඇති ස්ථානයක් ලෙස යි. මෙහි බලන බලන අත විවිධාකාරයේ සර්පයන් සිටින අතර, ඔවුන් කෙලෙසක මෙහි පැමිණියේ ද? කෙතරම් කාලයක් මුළුල්ලේ මෙහි වාසය කරන්නේ ද යන්න පිළිබඳව කිසිවකුත් හරියාකාර ව දන්නේ නැහැ. මෙහි සෑම වර්ග මීටරයක් තුළ ම සර්පයන් 5 දෙනෙක් සිටින තරම් ඉතා ඉහළ සර්ප ඝණත්වයක් ඇති අතර, ඔවුන් බොහොමයක් දෙනා අතිශය විෂඝෝර සර්පයන් ද වෙනවා. මොවුන්  දෂ්ඨ කරන මිනිසෙක් මිනිත්තු 10- 15 අතර කාලයක දී මිය යනවා. 

බ්‍රසීලයේ සිදුවන සර්ප දෂ්ඨනයන්ගෙන් වන මරණ 90% කට ම වගකිව යුත්තේ මෙහි සිටින සර්පයනු යි. ඒ බ්‍රසීලය තුළ ඇමසන් වනයේ වැඩි කොටසක් පිහිටා තිබෙන පසුබිමක වීම විශේෂ වෙනවා. මේ නිසා බ්‍රසීල නාවික හමුදාව සාමාන්‍ය ජනතාවට මෙහි පිවිසීම තහනම් කර තිබෙනවා. 

පර්යේෂකයන් මෙම සර්පයින්ගේ සම්භවය පිළිබඳ ව නිරතුරු ව පර්යේෂණ පවත්වන අතර, තවමත් ඔවුන්ගේ සම්භවය පිළිබඳව 100% ක් තහවුරු වන ලෙස කරුණු හෙළි කර ගැනීමට ඔවුන් අපොහොසත් වී තිබෙනවා. 

හිලියර් විල – ඔස්ට්‍රේලියාව – atlasobscura.com

හිලියර් විල – ඔස්ට්‍රේලියාව

බටහිර ඔස්ට්‍රේලියාවේ, දකුණුදිග වෙරළ තීරයේ පිහිටි ගෝල්ඩ්ස්ෆීල්ඩ්-එස්පෙරන්ස් පෙදෙසේ, දකුණුදිග වෙරළ ආසන්නයේ පිහිටි දූපත් සමූහයෙන් විශාලත ම දූපත වන ‘මිඩ්ල් අයිලන්ඩ්’ හි පසෙකට වන්නට පිහිටා ඇති හිලියර් විල දුටුවන ම එය ඉතා අසාමාන්‍ය එකක් බැව් ඕනෑම අයකුට වැටහී යනවා. ඒ  එහි ජලයේ ඇති දීප්තිමත් රෝස පැහැය නිසා යි. මෙය අතිශය ඉහළ ලවණතාවක් සහිත විලක් වන අතර, ලොව ලවණතාවෙන් වැඩි ම ජලය සහිත මළ මුහුද තරමට ම එය ද ලවණතාවකින් යුක්ත වෙනවා. මෙහි ජලය පිහිනීම සඳහා ආරක්ෂිත බවට ඔප්පු වී ඇති අතර, මත්ස්‍ය වර්ග කිහිපයක් ද එහි වෙසෙනවා. කෙසේ නමුත් මෙය සාමාන්‍ය ජනතාවට විවෘත නොකරන්නට ඔස්ට්‍රේලියානු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මෙම විලෙහි ජලය මෙතරම් දීප්තිමත් රෝස පැහැයක් ගන්නේ ඇයිද යන්න පිළිබඳ ව 100% ක නිරවද්‍යතාවකින් කිසිවකුත් ඔප්පු කොට නැහැ. විද්‍යාඥයන් ඉතා ම මෑතක දී කළ පර්යේෂණයකට අනුව, මෙහි ජලයට මෙම වර්ණය ලැබෙන්නේ එහි වැවෙන ඇල්ගී, හැලෝ බැක්ටීරිය සහ අනෙකුත් ක්ෂුද්‍රජීවීන් රාශියක ගේ සම්මිශ්‍රණයෙන් බැව් අනුමානිත ව ප්‍රකාශ වුණා. මීට අමතර ව මෙහි ඇති අති ලවණතාවත් මෙම වර්ණය ඊට ලැබීම සඳහා දායක වන බවට අනුමාන කෙරෙනවා. මේ පිළිබඳ ව පර්යේෂණ ඉදිරියටත් සිදු කෙරෙන අතර, ඉක්මනින් ම මෙම ‘අබිරහස’ විසඳීමට ඔස්ට්‍රේලියානු බලධාරීන් බලාපොරොත්තු වෙනවා. 

කාන්දම් කන්ද – ඉන්දියාව – Shutterstock.com

කාන්දම් කන්ද – ඉන්දියාව 

ඉන්දියාවේ උතුරුදිගට වන්නට පිහිටි කඳුකර නගරයක් වන ලෙහ් හි සිට කිලෝමීටර 30 ක පමණ දුරකින් පිහිටි එක්තරා කන්දක් පිළිබඳව මුළු ඉන්දියාවේ ම අවධානය යොමු ව තිබෙනවා. ඒ එය ‘කාන්දම්’ ගුණය ප්‍රකට කරන බවට ඇති විශ්වාසය නිසායි. ප්‍රධාන මාර්ගයක් යාබදව පිහිටා ඇති මෙය පිළිබඳව සොයා බලන්නට මෙන්ම, එය දැක බලාගන්නට, එහි කාන්දම් ගුණය අත් විඳින්නට දහස් ගණන් දෙස් විදෙස් සංචාරකයන් එහි වාර්ෂික ව පැමිණෙනවා. මෙම මාර්ගයෙහි ගමන් කරන වාහන තමන් වෙත ඇද ගන්නට එම කන්ද ක්‍රියා කරන බැව් බොහෝ දෙනා විශ්වාස කරන නිසා එයට ‘ගුරුත්ව කන්ද’ ‘කාන්දම් කන්ද’ වැනි නම් පටබැඳී තිබෙනවා.

මෙම කන්දේ ප්‍රබල චුම්භක ලක්ෂණ ඇති බැව් විද්‍යාඥයන් පවා පවසන මුත්, එය තහවුරු කර ගැනීම සඳහා වූ පර්යේෂණ තවමත් පැවැත්වෙනවා. මේ අසබඩ මාර්ගයේ ගමන් කරන රියැදුරන් රාශියක් මෙම කන්දෙන් ලැබෙන අසාමාන්‍ය ‘බලය’ අත්විඳ ඇති අතර, මෙහිදී බෑවුම් සහිත මාර්ගයේ ඉහළ දෙසට වාහන ඇදී ගොස් තිබෙනවා. මේ නිසා මෙම පෙදෙසෙන් ගුවන් යානා ගමන් කිරීමේදීත්, එහි නියමුවන් එම කන්ද මග හැර යාම හෝ ඉතා ඉහළින් පියාසර කිරීම සිදු කරනවා. ටොන් ගණනක් බරැති වාහන පවා, ගුරුත්වය පරදවමින් තමන් වෙත ඇදගන්නට තරම් මෙහි චුම්භක ශක්තිය ප්‍රබල ද යන්න ප්‍රායෝගිකව සිතන විට සිතාගත නොහැකි මුත්, න්‍යායිකව එය ඔප්පු කරන්නට හැකි වනු ඇති බවට ඉන්දීය විද්‍යාඥයන් මත පළ කරනවා. මේ අනුව එහි අබිරහස ද ඉක්මනින් ම විසඳී යනු ඇති.

බෝනික්කන් දූපත – මෙක්සිකෝව – Isla de las Muñecas

බෝනික්කන් දූපත – මෙක්සිකෝව

මෙක්සිකෝවේ අගනුවර වන ‘මෙක්සිකෝ සිටි’ හි සිට පැය දෙකක පමණ ගමනකින් පසු මේ බෝනිකි දූව වෙත යන්නට හැකි යි. මෙය මෙක්සිකෝවේ ඉතා ප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් වන අතර, එය ඉතා අත්භූත තැනක් බවට ප්‍රදේශයේ වෙසෙන්නන්ගේ පිළිගැනීමක් තිබෙනවා. මෙහි විවිධාකාරයේ බෝනික්කන් ගස්වල එල්ලා ඇති ආකාරය දැකගත හැකියි.

මෙම දූපතේ සිටින බෝනික්කන් එහි රැඳවුණු ආකාරය පිළිබඳ අතීත කතාවක් තිබෙනවා. 

කලකට ඉහත මෙම දූපත මුර කිරීම සඳහා මෙහි පැමිණි ජුලියන් සැන්ටානා බරෙරා නැමැත්තා මෙහි පැමිණ ඇත්තේ ඔහුගේ බිරිය සමඟ යි. එක් දිනෙක කුඩා ගැහැනු දරුවකුගේ මළසිරුරක් ඔවුනට අගලක තිබී හමු වී තිබෙනවා. ඉන් අනතුරුව ජුලියන්ට තමන් එම සිරුර සබැඳි ශාපයකට ගොදුරු වී ඇති බැව් සිතී ඇති අතර, ඉන් ගැලැවීම සඳහා ඔහු මෙම බෝනික්කන්, දූපතේ ඇති ගස්වල එල්ලා ඇති බවට පැවසෙනවා. ඔහු හා බිරිය මියයන තුරු ඔවුන් මෙම බෝනික්කන් ගස්වල එල්ලා තබන්නට කටයුතු කර ඇති අතර, ඒ ඔස්සේ යමින් ඔවුන්ගෙන් පසුව ද මෙහි පැමිණි අය ගස් වල බෝනික්කන් එල්ලන ‘චාරිත්‍රය’ දිගට ම කරගෙන ගොස් තිබෙනවා.

කවරයේ ඡායාරූපය - සර්ප දූවේ සර්පයෙක් - www.grunge.com
මූලාශ්‍ර:
Thecrazytourist.com
Indianholiday.com
seeker.io

Related Articles