කොමරොස් දිවයිනේ සැරිසරමු

ශ්‍රී ලංකාව සැලකෙන්නේ ඉන්දියන් සාගරයේ ස්ථානගත වී ඇති කුඩා දූපතක් ලෙස යි. ඉන්දිය සාගරය තුළ තවත් දූපත් රාජ්‍යයන් කිහිපයක් ම පිහිටා තිබෙනවා. ඉන් සමහරක් ශ්‍රී ලංකාවට වඩා බොහෝ සෙයින් කුඩා වෙනවා. කෙසේ නමුත් මේ දිවයින් සියල්ලගේ ම පාහේ පොදු ලක්ෂණයක් වන්නේ ඒවා සුන්දර වෙරළ තීරයන් හා තවත් සුන්දර භූමි ප්‍රදේශවලින් පොහොසත් වීම යි. ඉන්දියන් සාගරයේ දකුණු දිගට වන්නට අප්‍රිකා මහාද්වීපයටත්, මැඩගස්කරයටත් මැදි වන සේ පිහිටි කොමරොස් රාජ්‍යටත් මේ ලක්ෂණ පොදු වෙනවා.

කොමරොස් හි පිහිටීම

කොමරොස් දූපත්වල පිහිටීම- paradiseintheworld.com

කොමරොස් රාජ්‍යයට අයත් දූපත් සමූහය පිහිටා ඇත්තේ ඉන්දියන් සාගරයේ, අප්‍රිකා මහාද්වීපයේ නැගෙනහිර වෙරළ හා මැඩගස්කරය අතර මොසැම්බික් ඕඩයේ උතුරු කෙළවරට වන්නට යි. ප්‍රධාන දූපත් 3කින් හා තවත් කුඩා දූපත් කිහිපයකින් ම සුසැදි නිදහස් රාජ්‍යයක් වන මෙහි සම්පූර්ණ භූමි වපසරිය ව. කි. මී. 2,170ක් වෙනවා. ඉන් විශාලතම දූපත වන ග්‍රැන්ඩේ කොමොරේ ව. කි. මී. 1,148ක භූමි වපසරියකට උරුමකම් කියන අතර ඊට දකුණින් ඇති අන්ජුවාන් ව. කි. මී 290ක වපසරියක් දරනවා. කොමරොස් දූපත් සමූහයේ ඇති අනෙක් විශාල දූපත වන මොහේලි ව. කි. මී. 424ක භූමි වපසරියකින් යුක්ත වෙනවා. මේවා සමස්ථයක් ලෙස කි. මී. 340ක පමණ දීර්ඝ වෙරළ තීරයකට උරුමකම් කියනවා. මේ ආසන්නයේ ම ඇති මෙයාටි නම් දූපතටත් මේ වන විට කොමරොස් රාජ්‍යය අයිතිවාසිකම් ඉල්ලා ඇතැත්, තවමත් පවතින්නේ ප්‍රංශ පාලනයට යටත්ව යි.

කොමරොස් හි ඉතිහාසය

කොමරොස් හි ඉතිහාසය ජනාවාසකරණය, වහල් වෙළඳාම, යුද්ධ, හා මැඩගස්කරයෙන් සිදු වූ ආක්‍රමණවලින් පිරී පවතිනවා. අප්‍රිකානුවන් මුලින්ම කොමරොස් හි ජනාවාස පිහිටුවාගෙන ඇත්තේ 8වන සියවසේ දී යි. ඉස්ලාමය මෙහි ස්ථාපිත වී ඇත්තේ 11වන සියවසේ දී පමණ වන අතර, එතැන් පටන් 15වන සියවස දක්වා සුල්තාන්වරුන් ඇතුළු අරාබි ජන ප්‍රජාව මෙහි පැමිණ තිබෙනවා. ඉන් අනතුරුව 19වන සියවස වන තුරු මේ දිවයින් වහල් වෙළඳාම වැනි කටයුතුවලට තෝතැන්නක් වී තිබෙනවා.

කොමරොස් ජනයාගේ පැරණි ඡායාරූපයක්- histclo.com

ක්‍රි .ව. 1841 දී ප්‍රංශය විසින් කොමරොස් අත්පත් කරගන්නා ලද අතර එය ප්‍රංශ කිරීටයට යටත් ව 1912 වසර වන තුරු පැවතුණා. මෙය කාලයක් තිස්සේ මැඩගස්කරයේ කොටසක් ලෙස පැවතුණා. 1961 දී මෙයට ස්වයං පාලන වරප්‍රසාදය ලැබුණු අතර 1975 දී පූර්ණ නිදහස හිමිවුණා. ඉන් අනතුරුවත් විවිධ ගැටුම්වලට ලක් වූ කොමරොස් දිවයින් වර්තමානය වන විට සාමකාමී ව පවතිනවා.

භූ විෂමතාවය හා දේශගුණය

කොමරොස් දිවයින් සම්භවය වී ඇත්තේ භූ තැටිවල ක්‍රියාකාරීත්වය හේතුවෙන් කාලයක් තිස්සේ සිදු වූ සාමුද්‍රික යමහල් විදාරණවල ප්‍රතිඵලයක් වශයෙනුයි.

සමකයට අක්ෂාංශ 12ක් පමණ දකුණුදිගින් පිහිටා ඇති මේ දිවයින් ඝර්ම කලාපීය දේශගුණයක් අත්විඳිනවා. සමස්ථයක් ලෙස ගත්කල නොවැම්බර් මස සිට අප්‍රේල් දක්වා පැතිරෙන තෙත් කාලයකුත්, මැයි සිට ඔක්තෝබර් දක්වා වූ වියළි කාලයකුත් මේ දූපත් සියල්ලේ ම පවතිනවා. මෙහි සාපේක්ෂ ආර්ද්‍රතාවය ඉහළ අතර සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 28 – 32 අතර වෙනවා. තෙත් කාලයේ දැඩි වර්ෂාවන් ඇදහැලෙන අතර වියලි සමය සාපේක්ෂ ව සෞම්‍ය වෙනවා.

කොමරොස් හි සංචාරක ස්ථාන

කොමරොස් හි සංචාරය කරන්නෙකුට නැරඹිය හැකි ස්ථාන කිහිපයක් ම එහි පිහිටා තිබෙනවා. තෙත් කාලයේ දී අධික වැසි ඇදහැලෙන හෙයින් වැඩි සංචාරකයින් ප්‍රමාණයක් එහි ඇදෙන්නේ වියලි කාලයේ දී යි.

මොහේලි- underwater-landscape.com

කොමරොස් හි ප්‍රධාන දිවයින් අතරින් කුඩා ම දූපත වන මොහේලි කොමරොස් හි සුන්දර ම දිවයින ද වෙනවා. මෙහි ජීවත් වන්නේ මිනිසුන් ඉතා කුඩා ප්‍රමාණයක් වන අතර වැඩි ප්‍රමාණයක් වනයෙන් වැසී තිබෙනවා. මෙහි කොමරොස් හි එකම ජාතික උද්‍යානය පිහිටා තිබෙනවා. මේ තදාසන්න ව පවතින කුඩා දූපත් අවට කැස්බෑවුන්, තල්මසුන්, හා ඩොල්ෆින් මත්ස්‍යයින් දැකගත හැකියි. නවීන පහසුකම් මඳ වුව ද එහි ඇති සොබා සුන්දරත්වය නැරඹීමට නන් දෙසින් ජනයා මෙහි ඇදෙනවා.

අන්ජුවාන්- mediacolor’s/Alami

අන්ජුවාන් දිවයින ‘කොමරොස් හි මුතු ඇටය’ ලෙස හැඳින්වෙනවා. ඉතා සුන්දර මුහුදු තීරයන් හා නොඉඳුල් වනාන්තර මේ දූපත සතු වෙනවා. මෙහි පැරණි අරාබි වැවිලි භෝග මෙන්ම කරාබුනැටි ශාක ද හමුවෙනවා. මෙහි මධ්‍යය උසින් වැඩි වන අතර එහි පරිසරය සෞම්‍ය වෙනවා.

David Stanley/Wikimedia

කොමරොස් දූපත් සමූහයේ විශාලතම දිවයින වන ග්‍රැන්ඩෙ කොමොරෙ එහි වඩාත් ම දියුණුවට පත් වී ඇති දිවයින වෙනවා. මේ රාජ්‍යයේ ප්‍රධාන පාලන තන්ත්‍රය දරන, එහි  අගනුවර වන මොරොනි පිහිටා ඇත්තේ මෙහි යි. ග්‍රැන්ඩෙ කොමොරෙ හි දක්නට ලැබෙන විශේෂතම ලක්ෂණයක් වන්නේ එහි ඇති සුදෝ සුදුවන් වෙරළ තීරයන් හි තැනින් තැන හමුවන ඝණ වූ ලාවා කුට්ටි යි. සුදු වන් පසුබිමේ ඇති කළු පැහැති ලාවා කුට්ටි අමුතු ම චමත්කාරයක් මවනවා. ග්‍රැන්ඩෙ කොමොරෙ මධුසමය ගතකිරීමට ඉතාමත් සුදුසු දිවයිනක් වන අතර ජනයා වැඩි ප්‍රමාණයක් ජීවත් වන බටහිර වෙරළ තීරය ආශ්‍රිත ව වැනිලා, කෙසෙල්, පොල්, හා මඤ්ඤොක්කා වැනි ආර්ථික භෝග වගාවන් දැකගත හැකියි.

කර්තලා යමහල- afrotourism.com

ලොව විශාලතම සක්‍රීය යමහල වන කර්තලා පිහිටා ඇත්තේ  ග්‍රැන්ඩෙ කොමොරෙ හි දූපතේ යි. එය මීටර 2,361ක උසකින් යුක්ත වන අතර 19වන සියවස ආරම්භයේ සිට මේ දක්වා සෑම වසර 11කට පමණ වරක් විදාරණය වී තිබෙනවා. මෙය 2005 දී විදාරණය වූ විට දින 14ක් සක්‍රීය තත්ත්වයේ පැවතී තිබෙනවා. මේ දිවයිනේ තැනින් තැන ලාවා හේතුවෙන් ඇති වූ වල ගොඩැලි දැකිය හැකියි.

මෙයාටි දිවයින- tintinsailingadventures.blogspot.com

තවම නිල වශයෙන් කොමරොස් රාජ්‍යයට අයත් නොවූවත් මෙයාටි දිවයින ද කොමරොස් වෙත පැමිණෙන සංචාරකයින් සාමාන්‍යයෙන් යනෙන තැනක් වෙනවා. මෙහි ඉතා දැකුම්කළු වෙරළතීරයක් පවතිනවා. ප්‍රංශ පාලනයට නතු බැවින් ඉතා හොඳ පහසුකම් මෙහි පවතිනවා.

මේවාට අමතර ව කොමරොස් හි අනෙකුත් කුඩා දූපත්වලත් තවත් සංචාරක ස්ථාන රාශියක් පවතිනවා.

කොමරොස් වෙත ළඟා වීම

ශ්‍රී ලාංකිකයින්ට කොමරොස් වෙත ළඟා වීමේ දී වීසා බලපත්‍රයක් ලබා තිබීම අනවශ්‍ය වන අතර එහි දී දින 90ක් සඳහා වීසා ලබාගත හැකියි. සාමාන්‍යයෙන් කොමරොස් වෙත ගුවන්ගමන් සිදුකරන්නේ කෙන්යාව, ඉතියෝපියාව, හා ටැන්සානියාව යන රටවල් තුන යි. සංචාරකයින් එහි ළඟා වී අනතුරුව කොමරොස් වෙත ගමන් කළ යුතු යි. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ සිට කොමරොස් වත ආපසු ගමන් වාරය ද සහිත ගුවන් ටිකට්පතක් නම් රුපියල් 250,000ක් තරම් ඉහළ මිලක් වෙනවා.

කවරයේ පින්තූරය -Tony Karumba/AFP/Getty Images

Related Articles