‘එක තීරයක-එක මාවතක’ වැනසෙන ලෝක ජෛව විවිධත්වය

චීනය ක්‍රියාත්මක කරන “එක තීරයක්-එක මාවතක් (Belt and Road Initiative /BRI)” සැලසුම නිරන්තරයෙන් ලෝකයේ අවධානයට පාත්‍ර වන සහ පුවත් මවන ක්‍රියාදාමයක් බවට දැන් පත් වී තිබෙනවා. චීනය සහ සෙසු ලෝකය සම්බන්ධ කරමින් නව වෙළඳ මාර්ග නිර්මාණය කිරීම මෙහි අරමුණ යි. එහි දී චීනය බොහෝ රටවල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා සැලකිය යුතු මැදිහත් වීමක් දක්වා තිබෙනවා.

එම ඇතැම් ව්‍යාපෘති සංවර්ධනයට එහා ගිය උපාය මාර්ගික වැදගත්කමක් සහිත මෙහෙයුම් බවට ද පත් වී තිබෙනවා. වඩාත් පුළුල් වූ අන්‍යෝන්‍ය වශයෙන් යැපෙන වෙළඳපොළක් වර්ධනය කිරීම, චීනයේ ආර්ථික හා දේශපාලන බලය වර්ධනය කිරීම, චීනයට සුදුසු කොන්දේසි යටතේ ඉහළ තාක්‍ෂණික ආර්ථිකයක් නිර්මාණය කිරීම, වැනි යටි අරමුණු කිහිපයක් හරහා “එක තීරයක්-එක මාවතක්” වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවක් පෙනී යන බව විශ්ලේෂකයන් පවසනවා.

එක තීරයක් එක මාවතක් වැඩපිළිවෙළට අනුව චීනයත් සමඟ ලෝකය සම්බන්ධ වන ආකාරය – brookings.edu

සංවර්ධනය වෙමින් පවතින රටවල චීනයේ ණය ආධාර සහිතව කරගෙන යන ඇතැම් ව්‍යාපෘති විවාදයට පමණක් නොව එම රටවල ආර්ථිකයට ඇති කරන බලපෑම ගැනත් කතිකාවතක් ඇති කරන්වට සමත් ව තිබෙනවා. විශේෂයෙන් ම බොහෝ ආසියානු සහ අප්‍රිකානු රාජ්‍ය චීනය හමුවේ දරුණු ණය අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. මේ සියලු දේ පිළිබඳ ව ජගත් ප්‍රජාව සංවේදී වුණත්, චීනයේ උපාය මාර්ගික අත පෙවීම් හරහා ලෝකයේ වන සම්පතට සිදු ව ඇති බලපෑම ගැන පුළුල් අවධානයක් තවම යොමු වී නැහැ. “එක තීරයක්-එක මාවතක් (Belt and Road Initiative /BRI)” සැලසුම දිව යන්නේ වඩාත් ම උණුසුම් ජෛව සංවේදී පරිසර කලාප හරහා යි. එසේ නම් ලෝකයේ අනාගතය කොයිබට ද?

මහද්වීප තුනක් අවදානමක!

යුරෝපය සහ අප්‍රිකාව සමඟ සම්බන්ධ වීම සඳහා චීනය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන ගණනක් ව්‍යාපෘති සඳහා වැය කරමින් සිටිනවා. මේ ව්‍යාපෘති ජෛව විවිධත්ව උණුසුම් කලාප දුසිම් ගණනක් ආශ්‍රිත ව දිවෙන අතර, ජීවි විශේෂ බොහෝමයක් වඳ වීමේ අවදානමට මුහුණ දිය හැකි යි. ව්‍යාපෘති ඔස්සේ ඉදිවන මහා මාර්ග සහ දුම්රිය මාර්ග හරහා ලෝක ජනගහනයෙන් 2/3 ක ප්‍රමාණයක් හා සම්බන්ධ වීමට චීනය අපේක්ෂා කරනවා. ඒ හරහා ආසියාව, අප්‍රිකාව, යුරෝපය යන මහද්වීප තුනේ ජෛව විවිධත්වයෙන් 60% කට හානි විය හැකි අතර, වනාන්තර පද්ධතීන් ඛණ්ඩනය වීමේ සිට සම්පූර්ණයෙන් විනාශ වීම දක්වා බලපෑම් ඇති විය හැකි බව පැවසෙනවා.

BRI සැලසුම නිසා සමුද්‍ර ජීවි ප්‍රජාවට බලපෑම් එල්ල වන හැටි – sciencedirect.com 

චීන විද්‍යා ඇකඩමියේ ආචාර්යවරියක ලෙස සේවය කරන ඇලිස් හියුස්, සැලසුම් කළ ව්‍යාපෘති සහ ඒවා ප්‍රධාන ජෛව විවිධත්ව උණුසුම් කලාප සමඟ අතිච්ඡාදනය වන අන්දම සිතියම් ගත කරමින් සිටිනවා. එම විශ්ලේෂණවලින් ලැබෙන ප්‍රතිඵල කිසිසේත් ම සතුටුදායක මට්ටමින් නොපවතින බව ඇයගේ අදහස යි.

ලෝකයේ වෙනත් කිසිම තැනක දක්නට නොලැබෙන වඳවීමේ තර්ජනයට ලක් ව ඇති අග්නි දිග ආසියානු කලාපයේ වනාන්තර, තවමත් මිනිස් ස්පර්ශය නිසියාකාරයෙන් නොලද උතුරු හා මධ්‍යම ආසියාවේ වනාන්තර මෙහි දී දැඩි අවදානමකට ලක් වෙනවා.

“අතීතයේ දී ඉතා තුනී මාර්ග පද්ධතියක් තිබූ ප්‍රදේශ පවා සංවර්ධනය වීම ට නියමිත යි. මේ ප්‍රදේශවල සිටින ජීවි විශේෂ වසර දහස් ගණනක් තිස්සේ අනුගමනය කළේ එකම සංක්‍රමණ රටාව. ඉතින් ඒවා හරහා ඔබ හදිසියේම මහා මාර්ගයක් තැනුවොත් මොකද වෙන්නේ?” ආචාර්ය හියුස් විමසනවා.

සාම්ප්‍රදායික චීන ඖෂධ අලෙවිසලක් – flickr.com 

ව්‍යාපෘති පිටුපස එන ජාවාරම්

ජෛව විවිධත්ව උණුසුම් කලාප ආශ්‍රිත ව සිදු වන සංවර්ධන කටයුතු සමඟ පැමිණෙන ඊළඟ තර්ජනය වන්නේ වනජීවි ජාවාරම යි. වනජීවි සම්පත් අවභාවිතය චීනය තුළ ආකාර කිහිපයකින් සිදු වන බවත් මෙහි දී සැලකිය යුතු යි. උදාහරණ කිහිපයක් හරහා ඒ පිළිබඳ විස්තර ගෙන ඒමට යි මේ සූදානම.

BRI නිසා බිය වූ වනජීවි නිලධාරීන්

කුන්ලබොන් පොන්ලාවා යනු නැගෙනහිර තායිලන්තයේ වනාන්තරයක් ආශ්‍රිත ව සේවය කරන වනජීවි නිලධාරියෙක්. දේශීය දඩයම්කරුවන්ගේ ගැහැට කළමනාකරණය කිරීම ඔවුන්ට හුරු පුරුදු වුණත්, මෑතක සිට දේශසීමා උල්ලංඝණය කරමින් පැමිණෙන කාම්බෝජ ජාවාරම්කරුවන් ඔවුන්ට විශාල තර්ජනයක් වී තිබෙනවා. ඉන්දු-චීන ව්‍යාඝ්‍රයන්, රෝස්වුඩ් ශාකය වැනි අති දුර්ලභ ජීවින් සොරකම් කිරීම සඳහා ඔවුන් තායිලන්ත වන සම්පත ආක්‍රමණය කරමින් සිටිනවා.

මේ ජාවාරම් උත්තේජනය වන්නේ චීනය නිසා යි. ඉහත සඳහන් ජීවීන්ට චීනය තුළ අධික ඉල්ලුමක් පවතින අතර, ඩොලර් දහස් ගණනකට ඒවා අලෙවි වීම ද සිදු වෙනවා. පොන්ලාවාගේ බල ප්‍රදේශය ආශ්‍රිත ව දැනටමත් ප්‍රධාන මහා මාර්ග දෙකක් පවතිනවා. එම මාර්ග නුදුරේදී ම චීනයේ BRI සැලසුමත් සමඟ එකතු වීමට නියමිත යි.

තායිලන්ත‍යේ වනජීවි සම්පත්වල ප්‍රධාන ගැනුම්කරුවන් අතර චීනය ද සිටිනවා – phys.orgv

තායිලන්තයේ වන ජීවි නිලධාරීන් සතුව ඇති ආයුධවලට වඩා ජාවාරම්කරුවන් සතු ව ඇති ආයුධ නවීන වන අවස්ථාත් තිබෙනවා. මේ නිසා නිරතුරුව ම නිහඬතාව දැඩි ලෙස රකිමින් මුර සංචාරයේ යෙදීමට නිලධාරීන් කටයුතු කරනවා. පසුගිය අවුරුදු කිහිපය තුළ තායිලන්ත වන ජීවි නිලධාරීන්ගේ ජීවිත රැසක් ජාවාරම්කරුවන් සමඟ ඇති කරගත් ගැටුම් නිසා අහිමි වී තිබෙනවා. “එක තීරයක් එක මාවතක්” යන චීන වැඩපිළිවෙළ හමුවේ තම රාජකාරී කටයුතු අනාගතයේ දී විශාල අවදානමකට ලක් වේවියැ යි ඔවුන් බියට පත් ව සිටිනවා.

ෆ්‍රී ලෑන්ඩ් පදනමේ සේවය කරන ටිම් රෙඩ්ෆෝඩ් යනු දශක තුනක් මුළුල්ලේ තායිලන්ත වන ජීවි නිලධාරීන්ගේ ගැටලු සමඟ කටයුතු කරමින් ඉන්දු-චීන ව්‍යාඝ්‍රයන්ගේ පැවැත්ම වෙනුවෙන් සටන් කරන ක්‍රියාකාරියෙක්.

“සෑම වනාන්තරයක් ම කුඩා කැබලිවලට වෙන් වෙමින් තිබෙනවා. ජීවින් වඳවීම යනු දැන් කොතනත් දක්නට ලැබෙන පොදු කාරණයක්. BRI වැඩපිළිවෙළ නිසා මේ ගැටලුව තවත් උග්‍ර වෙනවා.”

 විනාශය හමුවේ කනස්සල්ලට පත් වූ රෙඩ්ෆෝඩ් පවසනවා. තායිලන්තයේ ඉන්දු-චීන ව්‍යාඝ්‍රයන් දැනටමත් ඇත්තේ 200 කටත් අඩු ප්‍රමාණයක්. තවත් එවැනි සංවේදී ජීවින් රැසක් චීනයේ නොසංසිඳෙන බල තණ්හාව හමුවේ සමුගැනීමට නියමිත යි!

මෙහෙයුමක නිරත වන තායිලන්ත වනජීවි ආරක්ෂකයෙක් – phys.org 

අප්‍රිකානු වන ජීවින්ගේ ඉරණම

 සාම්ප්‍රදායික චීන ඖෂධ (Traditional Chinese Medicine/TCM) වෙළඳපොළ පුළුල් වීමත් සමඟ අප්‍රිකාවේ වන ජීවි සම්පතත් අවදානමට ලක් වී තිබෙනවා. චීන සාම්ප්‍රදායික ඖෂධ නිපදවීම සඳහා අප්‍රිකාවේ වන ජීවින්ගේ ශරීර කොටස් ප්‍රධාන අමුද්‍රව්‍යයක් වීම ඊට හේතුව යි. ලන්ඩනයේ පරිසර විමර්ශන ඒකකය ට අනුව වඳවීමේ තර්ජනයට ලක් ව ඇති දිවියන්, කබල්ලෑවන්, රයිනෝ සතුන් පවා චීන සාම්ප්‍රදායික බෙහෙත් වට්ටෝරු වලට ඇතුළත්.

BRI වැඩපිළිවෙල යටතේ චීනය අප්‍රිකාව පුරා මාර්ග, දුම්රිය සහ අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කරන අතර, ඔවුන්ගේ වසර 2500 කට වඩා පැරණි සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවත් ඒ සමඟ ම ප්‍රවර්ධනය කරමින් සිටිනවා. අප්‍රිකාව තුළ වන ජීවි ජාවාරමේ නියුතු පුද්ගලයන්ට එයින් සැලකිය යුතු පිටුබලයක් ලැබීමේ හැකියාව තිබෙනවා.

සාම්ප්‍රදායික චීන ඖෂධ සඳහා භාවිතා කරන සත්ත්ව ශරීර කොටස් – www.worldatlas.com 

චීන සංවර්ධන ව්‍යාපෘති සමඟ චීනයෙන් අප්‍රිකාවට පැමිණෙන ශ්‍රමිකයන් සංඛ්‍යාවත් වැඩි වෙනවා. ඔවුන්ට සේවය සැපයීම සඳහා TCM සමාගම් සිය ඖෂධ සහ සායන අප්‍රිකාව පුරා පිහිටුවීමේ ප්‍රවණතාවක් ඉදිරියේ දී ඇති විය හැකි යි. TCM වෙළඳපොළ සඳහා දුර්ලභ ජීවි විශේෂ භාවිත කිරීම සම්බන්ධයෙන් නිෂ්පාදකයන් අධෛර්යමත් කිරීමට චීන පරිපාලනය කටයුතු කළත්, පිළිකා සහ චර්මය ආශ්‍රිත රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා දුර්ලභ ජීවින්ගේ ශරීර කොටස් සහිත බෙහෙත් වට්ටෝරු නිර්දේශ කිරීම නැවතී නැහැ.

TCM සඳහා නිල පිළි ගැනීමක්!

රයිනෝ සතුන්ගේ අඟ සහ ව්‍යාඝ්‍රයන්ගේ ශරීර කොටස් භාවිතයට ගැනීම සම්බන්ධයෙන් 1993 දී පැන වූ තහනම 2018 දී ඉවත් කිරීමට චීන රජය කටයුතු කළා. එහෙත්, පරිසරවේදීන්ගේ දැඩි පරිශ්‍රමය හමුවේ තහනම ඉවත් කිරීම කල් දැමුණා. එම තහනම දැන් ඇත්තේ අවිනිශ්චිත මට්ටමක යි. අප්‍රිකාව වැනි ජෛව සංවේදී කලාපයක චීන සාම්ප්‍රදායික ඖෂධ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ දී සීමා මායිම් උල්ලංඝණය වීමේ අවදානම ගැන පරිසරවේදීන් කනස්සල්ලට පත් වී තිබෙනවා. ඒ අප්‍රිකානු රටවල් වල රජයයන් TCM සමාගම් සමඟ අත්වැල් බැඳ ගැනීමේ පසුබිම නිසා යි.

COVID-19 වසංගතය අඛණ්ඩ ව පැවතීමත් සමඟ TCM සමාගම් සහ සාම්ප්‍රදායික අප්‍රිකානු වෛද්‍ය විද්‍යාව අතර සබඳතා ශක්තිමත් කිරීමට මහද්වීපයේ රජයන් කටයුතු කරමින් සිටිනවා. මෙම කාරණය චීනය-අප්‍රිකා සහයෝගීතාව පිළිබඳ සංසදයේ ඉදිරි සැසිවාරයේ දී සාකච්ඡා කරනු ඇති බවත් වාර්තා වෙනවා. දකුණු අප්‍රිකාව, කැමරූන්, ටැන්සානියාව, ටෝගෝ යන අප්‍රිකානු රාජ්‍යයන් සාම්ප්‍රදායික ඖෂධ නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා චීනය සමඟ  දැනටමත් ගිවිසුම් අත්සන් කර ඇති අතර, දකුණු අප්‍රිකාව සහ නැමීබියාව TCM ඔවුන්ගේ මහජන සෞඛ්‍ය පද්ධතියේ කොටසක් ලෙස පිළිගෙන තිබෙනවා.

වියළන ලද මුහුදු අශ්වයන් චීනයේ ඖෂධයක් ලෙස භාවිත වෙනවා – www.worldatlas.com

වනජීවි ආරක්ෂණ නීතියේ සිදුරු

චීනයට ඇත්තේ යල් පැන ගිය වනජීවි ආරක්ෂණ නීතියක්. 1989 පටන් ක්‍රියාත්මක වන මෙම නීතියට කලින් කලට යාවත්කාලීන කිරීම් එකතු වී තිබෙනවා. වන සතුන් ආරක්ෂා කිරීම සහ සුරැකීම නීතියේ අරමුණ වුවත්, නව අනුවාදය හරහා වන ජීවීන් නියාමනයක් යටතේ භාවිත කිරීමක් සිදු වන නිසා වනජීවි නීතියේ සැබෑ අරමුණ අභියෝගයට ලක් වුණා. නැෂනල් ජියෝග්‍රැෆික් වාර්තා කරන අන්දමට වනජීවි නීතියේ යාවත්කාලීන කිරීම් නිසා වාණිජ අරමුණු හමුවේ වන සතුන් අල්ලා අභිජනනය කිරීමේ වැඩසටහන් දිරිමත් වීමේ ස්වභාවයක් චීනය තුළ දක්නට ලැබෙනවා. වන ජීවින් ආශ්‍රිත නිෂ්පාදන භාවිත කිරීමේ පරිභෝජන ආකල්පත් මේ නිසා උත්තේජන‍ය වෙනවා.

නව නීති කෙටුම්පත් හරහා වන ජීවින් යම් දුරකට සංවර්ධනය සඳහා භාවිත කළ යුතු සම්පතක් ලෙස චීනය දැන් හඳුන්වනවා. හූස්ටන්-ඩවුන්ටවුන් විශ්ව විද්‍යාලයේ සේවයේ නියුතු නැගෙනහිර ආසියාවේ දේශපාලනය පිළිබඳ මහාචාර්ය පීටර් ලී පවසන පරිදි “භාවිතය” යන වචනය 24 වතාවක් අලුත් කෙටුම්පතේ දක්නට ලැබෙනවා.

“චීනයේ සැබෑ වනජීවි ආරක්ෂාව ඉදිරියේ සතුන් සම්පතක් ලෙස දැකීම ඒ සඳහා කළ කුරිරු ආදේශකයක් පමණ යි”

ආරක්ෂාවේ ප්‍රබලත්වය බාල කළ අලුත් වනජීවි කෙටුම්පත ගැන පීටර් ලී දරන්නේ එවැනි අදහසක්. චීනය තුළ වනජීවි ආරක්ෂණය තර්ජනයට ලක් වී ඇති ආකාර කිහිපයක් දැන් සලකා බලමු.

ව්‍යාඝ්‍ර ගොවිපොළකට පැමිණි සංචාරකයන් – archive.shine.cn

ගොවිපළ සතුන් වූ ව්‍යාඝ්‍රයෝ 

චීනයේ ව්‍යාඝ්‍ර ගොවිපළ 200 ක් පමණ ඇති අතර, ව්‍යාඝ්‍රයන් 5,000ත් 6,000ත් අතර ප්‍රමාණයක් ඒවා තුළ අමානුෂික තත්ත්වයන් යටතේ රඳවා ඇති බව සඳහන්. මූලික වශයෙන් ව්‍යාඝ්‍රයන් ගේ සම සහ අස්ථි ලබා ගැනීම සඳහා මෙවැනි ගොවිපළ පවත්වා ගෙන යනවා. ව්‍යාඝ්‍ර අස්ථි ආශ්‍රිත නිෂ්පාදන නි, වශයෙන් තහනම් කර ඇතත්, ඒවායේ අඩුවක් දකින්නට ලැබෙන්නේ නැහැ. සංචාරක ආකර්ෂණය හරහා මුදල් ඉපැයීමත් මේ ව්‍යාඝ්‍ර ගොවිපළ හරහා සිදු වෙනවා.

වලස් පිත ලබා ගැනීම 

පිත ලබා ගැනීම සඳහා වලසුන් ඇති කරන ගොවිපළවල් පවා චීනයේ පිහිටා තිබෙනවා. වලස් පිත චීනයේ සාම්ප්‍රදායික ඖෂධයක් ලෙස භාවිත වන නිසා ආක්‍රමණශීලි සහ වේදනාකාරී ක්‍රම හරහා මෙම ද්‍රව්‍ය වලසුන් ගෙන් ලබා ගැනීම සිදු කරනවා. ලාබ නොලබන සත්ත්ව සංවිධානයක් වන “ඇනිමල් ඒෂියා” හි ප්‍රධානියා වන ජිල් රොබින්සන්, මේ අමානුෂික ක්‍රියාවට එරෙහිව සටන් කරන්නෙක්.
කටු සහිත ගෙල ආවරණ ඇති ලෝහ ජැකට්ටු මඟින් සතුන් මෙල්ල කොට, මල කෑ වෛද්‍ය උපකරණ භාවිතයෙන් වලසුන්ගේ උදර ප්‍රදේශ සිදුරු කොට වලස් පිත ලබා ගන්නා බව ජිල් රොබින්සන් පවසනවා.

වලසෙකුගෙන් පිත එකතු කරන සේවකයෙක් හෝ සේවිකාවක් – www.rappler.com

අමානුෂික රසාස්වාදයේ තෝතැන්නක්!

සත්වෝද්‍යානවල සත්ව සංදර්ශන සම්බන්ධයෙන්  රජය යම් යම් නිර්දේශ ඉදිරිපත් කර ඇතත්, සෆාරි උද්‍යාන, සමුද්‍ර උද්‍යාන, සර්කස්, මින් මැදුරු සහ වෙනත් පුද්ගලික ව්‍යවසායක කටයුතු හමුවේ වන සතුන් පීඩාවට පත් වීම චීනයේ තවමත් සිදු වන බව සඳහන්. ප්‍රේක්ෂකයන්ගේ මනදොළ පිරවීම සඳහා ගිනි වළලු හරහා පැනීම වැනි අනතුරු සහිත ක්‍රියාකාරකම් සඳහා වන සතුන් යොදා ගැනීමත් සිදු වෙනවා. සතුන්ගේ සුබසාධනය සඳහා ප්‍රතිපාදන ලැබීමේ නිසියාකාර වැඩපිළිවෙළක් චීන රජය ක්‍රියාත්මක කර නොමැති අතර, විනෝදාස්වාදය සඳහා සතුන්ගේ නිදහස සූරාකෑම නීතිය හරහා ම ප්‍රතිෂ්ඨාපනය කොට තිබෙන බව නැෂනල් ජියෝග්‍රැෆික් වාර්තා කරනවා.

ලොම් නිෂ්පාදනය

ලෝකයේ විශාලත ම ලොම් නිෂ්පාදන මධ්‍යස්ථාන කිහිපයක් චීනයේ පිහිටා තිබෙනවා. මේ සඳහා ඔවුන් මුගටියන්, සිවලුන් සහ ටනුකි ලෙස හඳුන්වන රැකූන් ආකාරයේ සතුන් පවා යොදා ගන්නවා.

චීනයේ නීති පද්ධතියට අනුව ලොම් සඳහා ඇති කරන මෙවැනි සතුන් වන ජීවින් ලෙස සලකන්නේ නැහැ. ඔවුන් හුදෙක් ආර්ථික වැදගත්කමක් ඇති සතුන් ලෙස පමණක් සලකනවා. සිවලුන්, මුගටියන් යනු පරිසර පද්ධතියක සමතුලිතතාව වෙනුවෙන් වැදගත් මෙහෙයක් ඉටු කරන යාව ජීව සාමාජිකයන්. ඔවුන්ගෙන් ලොම් ලබාගැනීමට භාවිතා කරන ක්‍රමවේදත් අමානුෂික බව ඇතැම් ක්‍රියාකාරීන් චෝදනා කරනවා.

චීන ඖෂධයක් ලෙස ව්‍යාඝ්‍රයන් භාවිතා වන අන්දම – researchgate.net 

චීනය තුළ වන ජීවින් අවභාවිත වන අයුරු ගැන වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් මෙම සබැඳියේ ලිපිය පරිශීලනය කරන්න.

 චීනයේ ඇතුළත තත්ත්වය මෙසේ නම්, ලෝක බල තුලනය හමුවේ චීනය ප්‍රබල සාධකයක් වන පසුබිම තුළ ලෝකයේ ම වන ජීවින්ගේ අනාගතය ගැන භීතියක් ඇති කර ගැනීම අර්ථ විරහිත ක්‍රියාවක් නොවෙයි. මෙම ලිපිය පුරාම වන ජීවින් කර්මාන්තයක් ලෙස චීනය තුළ විවිධාංගීකරණය වී ඇති අන්දමත් විස්තර වුණා.

ආහාර, ඖෂධ, රසාස්වාදය ආදී පැති කිහිපයකින් වන සතුන් වාණිජකරණය කිරීමේ උත්ප්‍රේරකයක් ලෙස චීනය ක්‍රියා කරමින් සිටින බවක් පෙනී යනවා. ලෝකයේ දේශපාලනික බල අරගලයට වඩා ලෝකයේ පාරිසරික තුලනය වැදගත් බවත්, එය දේශපාලනයටත් වඩා ප්‍රබල බවත්, අමුතුවෙන් පැවසිය යුතු නැහැ. ප්‍රතිඵලය හමුවේ වන්දි ගෙවන්නට සිදු වන්නේ මුළු මහත් ලෝක ප්‍රජාවටම යි. අධි පරිභෝජනවාදී ලෝක බලවතා මෙය කවදා තේරුම් ගනීවි ද?

කවරයේ ඡායාරූපය: චීනයේ වනජීවි වෙළඳාම අනාගතයේ දී ලෝකයට ම තර්ජනයක් විය හැකි යි - theconversation.com

මූලාශ්‍ර: 

www.abc.net.au

www.aljazeera.com

www.bbc.com

www.theguardian.com

Related Articles