Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කළු ජාතිකයන්ගේ විමුක්තිය උදෙසා පෙනී සිටි බ්ලැක් පැන්තර් පක්ෂය

මෑතකදී නිකුත් වූ බ්ලැක් පැන්තර් චිත්‍රපටයත් සමඟ බ්ලැක් පැන්තර් යන නම නිතර අසන්නට ලැබෙනවා. චිත්‍රපටය පදනම් වී ඇත්තේ මාර්වල් කොමික්ස් ආයතනයේ ස්ටෑන් ලී සහ ජැක් කර්බි විසින් නිර්මාණය කරන ලද චරිතයක් මතයි. කෙසේ නමුත් බ්ලැක් පැන්තර් යනුවෙන් කලක් ඇමරිකාවේ කළු ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටි දේශපාලන පක්ෂයක් ද පැවතුණා.

මාර්වල් කොමික්ස් ආයතනය විසින් බ්ලැක් පැන්තර් චරිතය එළි දක්වන්නේ 1966 ජූලි මාසයේ දී යි. බ්ලැක් පැන්තර් පක්ෂය උපත ලැබුවේ එම වසරේම ඔක්තෝබරයේ දී. නමුත් මේ දෙක අතර සබඳතාවක් ඇති බවක් තහවුරු වී නැහැ.

කළු ජාතිකයන්ගේ ආරක්ෂාව​

1960 දශකය කළු ජාතිකයන්ගේ සිවිල් අයිතිවාසිකම් අරගලය සහ වියට්නාම් යුධ විරෝධී උද්ඝෝෂණයන් හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය උණුසුම් වූ කාල පරිච්ඡේදයක් වුණා. හුවේ නිව්ටන් සහ බොබී සීල් විසින් 1966 දී ස්වාරක්ෂාව සඳහා වන බ්ලැක් පැන්තර් පක්ෂය (Black Panther Party for Self Defense) නමින් මෙම සංවිධානය පිහිටුවා ගනු ලැබුණේ කැලිෆෝර්නියාවේ ඕක්ලන්ඩ් හි කළු ජාතිකයන්ට එරෙහිව එල්ල වන පොලිස් ප්‍රහාරවලට පිළිතුරක් වශයෙන්. කළු පැහැති බීරට් කැප් සහ හම් කබායන් පැළඳගත් මෙහි සාමාජිකයන් ඕක්ලන්ඩ් සහ ඇතැම් අනෙකුත් නගරවල සන්නද්ධ මුර සංචාරයන් ක්‍රියාත්මක කළා. 1968 වනවිට 2000ක පමණ සාමාජික සංඛ්‍යාවකින් යුක්ත වූ මෙම සංවිධානය ඉන්පසුව නෛතික අභියෝග​, එෆ්.බී.අයි බුද්ධි මෙහෙයුම්, සහ අභ්‍යන්තර ආරවුල් හේතුවෙන් දුර්වල වෙමින් 1982 වන විට අභාවයට ගියා.

ආරම්භය​

හුවේ නිව්ටන් සහ බොබී සීල් මුණ ගැසුනේ 1961 දී ඕක්ලන්ඩ් හි මෙරිට් විද්‍යාලයේ සිසුන්ව සිටිය දී යි. එහි දී ඔවුන් කැලිෆෝර්නියාවේ “පයනියර්වරුන් ගේ දිනය​” නොහොත් කැලිෆෝර්නියාවට පැමිණි මුල් එක්සත් ජනපදිකයන් සැමරීමේ දිනය සඳහා විද්‍යාලය විසින් පැවැත්වූ උත්සවයට එරෙහිව විරෝධතාව දැක්වූවා. ඊට හේතු වූයේ එම උත්සවයේ දී කළු ජාතිකයන් බටහිරදිග ඇමරිකාව ජනාවාස කිරීමේ දී කරන ලද කාර්යභාරය පිළිබඳ සඳහනක් නොවීම යි.

මැල්කම් X (history.com)

බ්ලැක් පැන්තර් පක්ෂය පිහිටුවීම සඳහා මොවුන් දෙදෙනා පොළඹවන ලද්දේ මැල්කම් X ඝාතනය කිරීම සහ සැන් ෆ්‍රැන්සිස්කෝවේ දී පොලිසිය විසින් නිරායුධ තරුණයකු වූ මැතිව් ජොන්සන් නමැත්තකු ඝාතනය කිරීම යි. ඕක්ලන්ඩ් සහ වෙනත් ඇතැම් නගරවල පොලිස් ක්‍රියාකාරකම් පිළිබඳ විමසිල්ලෙන් සිටීම මුල් කාලීනව බ්ලැක් පැන්තර්වරුන් සිදු කළ මූලික කාර්යය වුණා.

කරුණු දහයේ වැඩසටහන​

බ්ලැක් පැන්තර් පක්ෂය මුල් අවධියේ දී මාක්ස්වාදයෙන් ගුරුහරුකම් ලබාගත් සංවිධානයක් වුණා. ඔවුන් සිය ප්‍රතිපත්තිය ලෙස පිළිගත්තේ කරුණු දහයේ වැඩසටහන (Ten-point Program) නම් ලියවිල්ලයි. මෙමගින් පොලිස් ප්‍රචණ්ඩත්වය පිටු දැකීම​, කළු ඇමරිකානුවන්ට රැකියා, සැමට ඉඩම්, නිවාස, සහ යුක්තිය සැලසීම යනාදී කරුණු අඩංගු වුණා.

නොමිලේ උදේ ආහාර (Chicago Reader)

බ්ලැක් පැන්තර් පක්ෂය ඇමරිකාවේ සුළු ජාතිකයන් විසූ ප්‍රධාන නගර ගණනකම පැතිරුණා. ඔවුන් ඒවායේ සමාජ සේවා ක්‍රියාකාරකම් ද ආරම්භ කළා. මේ අතර පාසැල් ළමුන්ට නොමිලේ උදෑසන ආහාර වේලක් ලබා දීම සහ වෛද්‍ය සායනයන් පැවැත්වීම යන සමාජ සේවා කටයුතු ප්‍රධාන වුණා. මෙම සංවිධානය එහි උපරිම ශක්තියට ළඟා වූ සමයෙහි නගර 13 ක වෛද්‍ය සායනයන් පිහිටුවීමට සමත් වුණා.

පොලිසිය සහ FBI සමඟ ගැටුම්

බ්ලැක් පැන්තර් සංවිධානය විටින් විට ඇමරිකාවේ පොලීසි සමඟ ගැටුම් ඇති කරගත්තා. 1967 දී බ්ලැක් පැන්තර් ආරම්භක හුවේ නිව්ටන් ඕක්ලන්ඩ් හි පොලිස් නිලධාරියකු වූ ජෝන් ෆ්‍රේ ඝාතනය කළ බවට චෝදනාවක් එල්ල වුණා. මේ පිළිබඳ නඩු විභාගයකින් පසු ඔහුව වසර දෙකක සිට පහළවක් දක්වා වූ සිර දඬුවමකට යටත් කෙරුණා. පසුව අභියාචනාධිකරණයක් විසින් ඔහුව නිදහස් කරනු ලැබුණා.

මේ අතර 1968 දී බ්ලැක් පැන්තර් සාමාජිකයන් වූ එල්ඩ්‍රිජ් ක්ලීවර් සහ බොබී හටන් සහ පොලිසිය අතර වූ වෙඩි හුවමාරුවකින් 17 හැවිරිදි හටන් මියගොස් පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලැබුවා.

ඇමරිකාවේ ෆෙඩරල් පර්යේෂණ ආයතනය (FBI) විසින් බ්ලැක් පැන්තර් සංවිධානය සැළකුවේ කොමියුනිස්ට්වාදී සංවිධානයක් ලෙසයි. FBI අධ්‍යක්ෂ ජේ. එඩ්ගාර් හූවර් බ්ලැක් පැන්තර් සංවිධානය හඳුන්වා දුන්නේ ඇමරිකාවේ අභ්‍යන්තර ආරක්ෂාවට ඇති ප්‍රධාන තර්ජනයක් ලෙසයි.

බ්ලැක් පැන්තර් සාමාජිකයන් (Stephen Shames)

මේ අනුව එම ආයතනය විසින් බ්ලැක් පැන්තර් පක්ෂය කඩා බිඳ දැමීම සඳහා මෙහෙයුමක් ආරම්භ කළා. එම මෙහෙයුම COINTELPRO යන නමින් හඳුන්වනු ලැබුණා. එහි මූලික ක්‍රමවේදයන් වුණේ බ්ලැක් පැන්තර් සාමාජිකයන් අතර එකමුතුව නැති කිරීම​ සහ එම සංවිධානය මගින් ක්‍රියාත්මක කළ සුබසාධන වැඩසටහන් කඩාකප්පල් කිරීමයි.

බ්ලැක් පැන්තර් සාමාජිකයන් විසින් තම සංවිධානය දේශපාලන පක්ෂයක් ලෙස සලකන ලද නමුත් රජය විසින් එය සලකනු ලැබුණේ සාමාන්‍ය කල්ලියක් ලෙසයි.

අභ්‍යන්තර ගැටුම්

බ්ලැක් පැන්තර් සාමාජිකයන් අතර ඇති වූ ගැටුම් ඇතැම් විට ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අවසන් වුණා. 1969 දී බ්ලැක් පැන්තර් සාමාජිකයන් විසින්ම එහි සාමාජික ඇලෙක්ස් රැක්ලි ඝාතනය කළේ ඔහු පොලිසියට තොරතුරු සපයන්නකු යයි සැක කිරීමෙන් පසුවයි.

මේ අතර 1974 දී පක්ෂයේ ගිණුම් තබන්නිය වූ බෙටී වෑන් පැටර් ඝාතනය කරන ලද අතර එය බ්ලැක් පැන්තර් සාමාජිකයන් විසින්ම කරන ලද්දක් බව චෝදනා එල්ල වුණා. නමුත් කිසිදු අයකු ඒ පිළිබඳව චෝදනාවට ලක් කෙරුණේ නැහැ.

බ්ලැක් පැන්තර් සාමාජිකයන් අතර ගැටුම් වර්ධනය වීමෙන් එය 1982 වනවිට අවසානය කරා ගමන් කළා. 1989 දී නව බ්ලැක් පැන්තර් පක්ෂය නම් සංවිධානයක් බිහිවූ නමුත් එයට පළමු සංවිධානය සමඟ සම්බන්ධයක් තිබුණ බවක් පෙනෙන්නට නැහැ.

Cover Image: බ්ලැක් පැන්තර් සාමාජිකයන් (Stephen Shames)

මූලාශ්‍ර​

  1. Black Panthers – Facts & Summary
  1. 27 Important Facts Everyone Should Know About The Black Panthers
  1. The Black Panther Party

Related Articles