Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බීජිං ඔලිම්පික් වර්ජනයට සැරසෙන බටහිර බලවත්තු

 2022 ශීත සෘතු ඔලිම්පික් තරගාවලිය චීනයේ බීජිං නුවර දී එළඹෙන පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. කොවිඩ් වසංගතය මැද පැවැත්වූ ගිම්හාන ඔලිම්පික් උළෙලේ සාර්ථකත්වය ගැන ලෝකයෙන් ජපානයට පැසසුම් ලැබුණත්, ශීත සෘතු ඔලිම්පික් උළෙල හරහා එවැනි ගෞරවයක් චීනයට අත් කර ගැනීමට ඉඩ නොදෙන පසුබිමක් ලෝක දේශපාලනය තුළ සැකසෙමින් තිබෙනවා.

තරගාවලියේ තාක්ෂණික කටයුතු, යටිතල පහසුකම් සහ ආරක්ෂාව සම්බන්ධයෙන් චීනයට අභියෝගයක් නොමැති වුණත්, එහි ජීව ගුණය පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් පැහැදිලි ගැටලුවක් පැන නැඟී තිබෙනවා. ඒ රටවල් කිහිපයක් 2022 ශීත සෘතු ඔලිම්පික් උළෙල වර්ජනය කිරීමට සූදානම් වන නිසා යි.

රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් 2022 ඔලිම්පික් වර්ජනය කිරීම මුලින්ම ඇරඹුවේ එක්සත් ජනපදය යි – www.bbc.com 

 එළඹෙන ශීත සෘතු ඔලිම්පික් උළෙල රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ප්‍රථමයෙන් ම වර්ජනය කරන බව පැවසුවේ අමෙරිකා එක්සත් ජනපදය යි. දින කිහිපයක් යාමට මත්තෙන් ඕස්ට්‍රේලියාවත් එක්සත් ජනපදයේ තීරණයට සහාය දක්වමින් රාජ්‍යතාන්ත්‍රික වර්ජන ක්‍රියාදාමයට එක් වුණා. ඒ අනුව දෙසැම්බර් 10 වනවිට කැනඩාව සහ එක්සත් රාජධානිය ඇතුළු ව ලෝක බලවතුන් සිවු දෙනකු බීජිං ඔලිම්පික් උළෙල වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා. තීරණයේ ස්ථාවරභාවය දිගින් දිගට ම පැවතුණහොත්, රාජ්‍යයන් බොහෝමයක් රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් බීජිං ඔලිම්පික් උළෙලට නොපැමිණේවි. ඇතැම් යුරෝපීය රටවල් ඉහත රාජ්‍ය හතරේ තීරණය සලකා බලමින් සිටීම ඊට හේතුව යි.

රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ වර්ජනයක් යනු කුමක් ද?

සාමාන්‍ය පිළිවෙතට අනුව ක්‍රීඩා උළෙලකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වීමේ දී ඔවුන් නියෝජනය කරන රටේ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙක් කණ්ඩායමට එකතු වෙනවා. කිසියම් රටක් ජාත්‍යන්තර මට්ටමෙන් පවත්වන ක්‍රීඩා උළෙලක් රාජ්‍යතාන්ත්‍රිකව වර්ජනය කිරීමට තීරණය කර ඇත්නම්, එයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ අදාළ රටේ රාජ්‍ය නිලධාරීන් සහභාගී වන්නේ නැහැ. ඒ අනුව එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල රජයන් නියෝජනය කරන නිලධාරීන් 2022 බීජිං ඔලිම්පික් උළෙල සඳහා සහභාගී නොවනු ඇති.

ක්‍රීඩාවට දේශපාලන අර්බුද ඈදා ගැනීම එතරම් ශිෂ්ට සම්පන්න නැහැ – www.insidethegames.biz 

අදාළ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශීත සෘතු ඔලිම්පික් තරගාවලියට පැමිණීමේ කිසිදු තහනමක් නැහැ. බටහිර බලවතුන් චීනයට යම් පණිවිඩයක් මේ වර්ජනය හරහා ලබා දීමට සූදානමින් සිටියත්, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච්, වර්ජිත රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් බීජිං නුවරට පිළි ගැනීමේ කටයුතු සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. රාජ්‍ය නිලධාරීන් නොපැමිණීම ඒ ඒ රජය ගත් දේශපාලන තීරණයක් පමණක් බවත්, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ප්‍රතිපත්තිවලට එයින් ගැටලුවක් නොමැති බවත්, තෝමස් බැච් පවසා තිබෙනවා.

වර්ජනයට බලපෑ හේතු

 ජාත්‍යන්තර වෙළඳාම, භූ-දේශපාලනික උපාය මාර්ග, මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සහ Covid-19 වසංගතය සම්බන්ධයෙන් චීනයට එල්ල කළ චෝදනා නිසා මෑත කාලීන චීන-එක්සත් ජනපද සබඳතා දැඩි ලෙස පළුඳු වී තිබුණා. මානව හිමිකම් ගැටලුවේ දී සුළුතර උයිගර් ප්‍රජාවට චීන පරිපාලනයෙන් එල්ල වන බලපෑම් සැලකිල්ලට ගෙන තිබෙනවා.

උ‍යිගූර් ප්‍රජාව වෙසෙන ෂින්ජියැන් ප්‍රාන්තයේ වේගයෙන් ඉදිවන කඳවුරක් – www.bbc.com 

 උයිගර් ජනතාව යනු වයඹ දිග චීනයේ පිහිටි ෂින්ජියැන්ග් පළාතේ වෙසෙන ඉස්ලාමීය ජන කොට්ඨාශයක්. පසුගිය දශක කිහිපය තුළ පරිපාලනයේ අනුග්‍රහයෙන් චීනයේ වාර්ගික බහුතරය වන “හන් චීන” ජාතිකයන් විශාල වශයෙන් ෂින්ජියැන්ග් පළාතට සංක්‍රමණය වුණා. ඒ හරහා චීන රජය සුළුතර උයිගර් ජනතාවට බලපෑම් එල්ල කරන බව ජාත්‍යන්තරය චෝදනා කරන්නේ කලක පටන්.

ආගමික සහ සංස්කෘතික නිදහසට බාධා කරමින් උයිගර් ජාතිකයන් දැඩි ලෙස මර්දනය කරන බවත්, උයිගර් ප්‍රජාව ඉලක්ක කර ගත් රැඳවුම් කඳවුරු පවා චීනය පවත්වා ගෙන යන බවත්, බටහිර බලවතුන් පෙන්වා දෙනවා. චීන පරිපාලනය අදාළ චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබුණා. හොංකොං හි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන්ට සිදු කරන බලපෑම් සහ තායිවානයේ ස්වාධීනත්වයට චීනය එල්ල කරන බලපෑම් ද බටහිර ලෝකය උණුසුම් කිරීමට සමත් වුණා.

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ චීන ටෙනිස් ක්‍රීඩිකා, පෙන්ග් ෂුආයි – www.bbc.com

ටෙනිස් ක්‍රීඩිකාවක් අතුරුදහන්!

මේ සියල්ල ම කලක පටන් චීනයට එරෙහි ව පැවති චෝදනා වුවත්, චීනයේ ටෙනිස් තරුවක් වන පෙන්ග් ෂුආයි, චීන රජයේ හිටපු ඉහළ නිළධාරියකු සිදු කළ ලිංගික අපහරණයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීමත් සමඟ ඔලිම්පික් වර්ජනයක් කෙරෙහි වූ අවධානය සහ ඉල්ලීම් තියුණු වීම ඇරඹුණා. ඇයගේ චෝදනාව පිළිබඳ සියලු ප්‍රකාශ අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට චීනය පියවර ගත්තා.

දින කිහිපයකට පසු පෙන්ග් ෂුආයි පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය නොවීම නිසා ලොව පුරා සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් “පෙන්ග් ෂුආයි කොහේ ද?” යනුවෙන් සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් අරඹා තිබුණා. පසුව, ඇය චීන රාජ්‍ය මාධ්‍යවේදීන් සමඟ බෙදා ගත් කෙටි වීඩියෝ පට කිහිපයක් දක්නට ලැබුණා. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දෙවරක් ඇයට කතා කළ නමුත්, ඇයට ඇති භාෂණයේ නිදහස ගැන ගැටලු මතුවන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

වර්ජනයට සහය දක්වන අයුරු – www.bbc.com 

ඕස්ට්‍රේලියාවේ අර්බුදය

 මේ සියලු පසුබිම් කරුණු සලකා චීනයට ජාත්‍යන්තර වශයෙන් පීඩනයක් එල්ල කිරීමට එක්සත් ජනපදය සහ ඔවුන්ට හිතවාදී රටවල් අවස්ථාවක් සොයමින් සිටි බවක් පෙනී යනවා. අවසානයේ දී ඔවුන් චීනය සත්කාරකත්වය දරණ ශීත සෘතු ඔලිම්පික් උළෙල ඒ සඳහා තෝරා ගත්තා. එක්සත් ජනපදයේ තීරණයට ඕස්ට්‍රේලියාව වහාම සහයෝගය දැක්වීම පිටුපස තවත් කාරණා තිබෙනවා. Covid-19 වසංගතයේ මූලාරම්භය පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් ඕස්ට්‍රේලියාව චීනයෙන් බලාපොරොත්තු වීමත් සමඟ දෙරට අතර හුදෙකලා අර්බුදයක් හට ගත්තා.

ඉල්ලීම සම්බන්ධයෙන් චීනය යහපත් ප්‍රතිචාර නොදැක්වූ අතර, ඕස්ට්‍රේලියාවෙන් සිදු කරන ආනයනය කිරීම් ගණනාවක් සීමා කිරීමට චීන පරිපාලනය පියවර ගෙන තිබුණා. එයින් ඕස්ට්‍රේලියානු ආර්ථිකයට යම් බලපෑමක් එල්ල වූ නිසා ඔවුන් එක්සත් ජනපදය සහ ඔවුන්ගේ හිතවාදීන් සමඟ පෙරට වඩා සමීප සබඳකම් පැවැත්වීමට පෙලඹුණා. තම දේශපාලනයට සහ සමාජයට බීජිං පාලනය බලපෑම් එල්ල කරන බව ඕස්ට්‍රේලියාව පසුගිය කාලයේ චෝදනා කර තිබුණා.

උ‍යිගර් සුළුතර ප්‍රජාව – www.bbc.com 

ජපානය ද රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ඔලිම්පික් උළෙල වර්ජනය කිරීම ගැන සලකා බලමින් සිටිනවා. පවතින ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් බීජිං වෙත රාජ්‍ය  නිලධාරීන් නොයැවීමට නවසීලන්තය දැනටමත් තීරණය කර අවසන්. ඒ අතර ම ඔවුන් චීනයේ මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර තිබෙනවා.

චීනයේ ප්‍රතිචාරය

ඔලිම්පික් වර්ජනය සම්බන්ධයෙන් චීනය විශාල සැලකිල්ලක් දක්වන බවක් පෙනෙන්නට නැහැ. වර්ජනය කිරීමට සැරසෙන රාජ්‍යයන් සිදු කරන්නේ වැරදි ක්‍රියාවක් බවත්, ඉදිරියේ දී ඒ වෙනුවෙන් ඔවුන්ට යම් වන්දියක් ගෙවීමට සිදුවන බවත්, චීනය අනතුරු අඟවා තිබෙනවා. වර්ජන මාතෘකාව උද්දීපනය කරන කිසිදු රාජ්‍යයකට ඔලිම්පික් උළෙල සඳහා ආරාධනා කිරීමට සූදානමක් නැති බව චීනයේ රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රකාශ කර තිබුණා.

ප්‍රංශ ජනපති එම්මානුවල් මැක්‍රෝන්, ඔලිම්පික් වර්ජනය සම්බන්ධයෙන් වෙනස් මතයක් දරනවා – www.theguardian.com 

එක්සත් ජනපදයට හිතවාදී සෑම රටක් ම එළඹෙන ශීත සෘතු ඔලිම්පික් උළෙල වර්ජනය කරාවියැ යි සිතිය නොහැකි යි. උදාහරණයක් ලෙස ප්‍රංශය වර්ජන කටයුත්තට සම්බන්ධ නොවනු ඇති.

“පැහැදිලිව ම කිවහොත්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවා නොයවමින් ඔබ සම්පූර්ණ වර්ජනයක් කළ යුතු යි. එහෙමත් නැත්නම්, ප්‍රයෝජනවත් ක්‍රියාවලි මඟින් දේවල් වෙනස් කිරීමට උත්සහ ගන්න ඕනෑ. විශේෂයෙන්ම ගන්නා පියවර නොවැදගත් සහ සංකේතාත්මක නම්, අපි මේ මාතෘකා දේශපාලනීකරණය කළ යුතු නැහැ.”

ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර ප්‍රංශ ජනපති එම්මානුවල් මැක්‍රෝන්, සිය ස්ථාවරය  ප්‍රකාශ කර තිබුණා. වර්ජනය සඳහා ඉතාලියේ ද සහභාගීත්වයක් නොමැති බව වාර්තා වෙනවා.

පෙර පැවති ඔලිම්පික් වර්ජන

ඔලිම්පික් උළෙලක් වර්ජනය කිරීම සඳහා වඩාත් ප්‍රබල සංවිධානාත්මක ප්‍රයත්නයක් මුලින් ම වාර්තා වන්නේ 1976 දී යි. ඊට පෙර ඔලිම්පික් වර්ජන යම් යම් ආකාරයෙන් පැවතුණත්, 1976 වර්ෂයේ කැනඩාවේ මොන්ට්‍රියල් නුවර පැවති ඔලිම්පික් උළෙල සඳහා අප්‍රිකානු රටවල් 30 ක් පමණ සහභාගි වුණේ නැහැ. නවසීලන්ත රග්බි කණ්ඩායමක් එකල වර්ණභේද වාදය ප්‍රබල ව පැවති දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීම හේතුවෙන් බොහෝ අප්‍රිකානු රටවල් නවසීලන්තයට විරෝධය දක්වා තිබුණා. එබැවින්, පැවැත්වීමට නියමිත මොන්ට්‍රියල් ඔලිම්පික් උළෙල නවසීලන්තයට තහනම් කළ යුතු බව අප්‍රිකානු ජාතීන් තර්ක කළත්, නවසීලන්තය ක්‍රීඩා උළෙලට සහභාගි වුණා. ඊට විරෝධය පෑමක් ලෙස බොහෝ අප්‍රිකානු රටවල් මොන්ට්‍රියල් නුවරට පැමිණියේ නැහැ.

චීනයේ ඔලිම්පික් සූදානම – www.bbc.com 

ඔලිම්පික් උළෙලක් වර්ජනය කිරීමේ වඩාත් ම කැපී පෙනෙන අවස්ථාව ලෙස සලකන්නේ 1980 වසරේ සෝවියට් සංගමයේ පැවති ඔලිම්පික් උළෙල යි. සෝවියට් සංගමය, ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමට එරෙහි ව එක්සත් ජනපදය ඇතුළු රටවල් 60 කට වැඩි ප්‍රමාණයක් මොස්කව් හි ගිම්හාන ඔලිම්පික් උළෙල වර්ජනය කිරීමට තීරණය කළා. වර්ජනය හේතුවෙන් ක්‍රීඩා උළෙලේ බොහෝ ඉසව්වල ක්‍රීඩා පිටි අඩපණ වූ අතර, ඇතැම් අමෙරිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් උළෙලක් සඳහා සහභාගී වීමට තිබූ එක ම අවස්ථාවත් අහිමි ව ගියා. 1984 දී එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වූ ඔලිම්පික් උළෙල වර්ජනය කිරීමට සෝවියට් සංගමය ඇතුළු රටවල් දුසිමයකටත් වඩා පෙරමුණ ගත්තා. ආරක්ෂාව සම්බන්ධයෙන් පැන නැඟුණු ගැටලු වර්ජනය සඳහා හේතු වූ බව සෝවියට් සංගමය පැවසුවත්, පැහැදිලිව ම එය 1980 වර්ජනයට එරෙහිව කළ පළිගැනීමක් බව පෙනෙන්නට තිබුණා.

ඔලිම්පික් වර්ජන සාර්ථක ද?

සමස්තයක් ලෙස ගත් කල දේශපාලන අර්බුද, වාර්ගික ගැටලු වැනි කාරණා ක්‍රීඩාව තුළට ගෙන ඒම ශිෂ්ට සම්පන්න නැහැ. ක්‍රීඩාවකින් විවිධ ජාතීන් එකට එකතු වීමක් සිදුවන නිසා ලෝක අර්බුද යහපත් මට්ටමින් විසඳා ගන්නා වේදිකාවක් බවට ක්‍රීඩාව පත් වෙනවා නම් වඩාත් සුදුසු යි. ඉතිහාසයේ සිදු වූ ඔලිම්පික් වර්ජනවලින් කැපී පෙනෙන ප්‍රතිඵලයක් වර්ජිතයන් ලබා ගත් බවක් පෙනී යන්නේ නැහැ. උදාහරණයක් ලෙස ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළ සෝවියට් හමුදාව 1989 දක්වා ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටියා. ඔලිම්පික් වර්ජනවලට ඇති උදාසීන ඉතිහාසය නිසා බීජිං ඔලිම්පික් උළෙලට එරෙහි රාජ්‍යතාන්ත්‍රික වර්ජනයත් තවත් එක සිදුවීමක් ලෙස ඉතිහාසයට එක් වේවි.

කවරයේ ඡායාරූපය: 2022 ශීත සෘතු ඔලිම්පික් උළෙල චීනයේ බීජිං නුවර පැවැත්වීමට නියමිත යි. - www.cfr.org

මූලාශ්‍ර: 

www.indiatoday.in

indianexpress.com

www.bbc.com

www.bbc.com

www.bbc.com

www.bbc.com

Related Articles