දේශසීමාවෙන් වෙන් කළ සොයුරු පෙම එක් කළ පන්ජාබි ලෙහාර්

මීට වසර 75 කට පෙර, එනම්, 1947 අගෝස්තු 15 වැනිදා ඉන්දීය උපමහාද්වීපය තුළ ඉතා ශෝචනීය සිදුවීම් දාමයක ආරම්භය සනිටුහන් වුණා. ආගමික බෙදුම් රේඛාවක් දේශසීමාවක වෙස් ගනිමින් ඉන්දියාව සහ පාකිස්තානය ස්වාධීන රාජ්‍ය ලෙස බෙදා වෙන් කිරීම ඊට හේතුව යි. එතැන් පටන් අද දක්වා ලෝකයේ ආන්දෝලනාත්මක ම දේශසීමාව මෙය බව පැවසුවොත්, එය අතිශයෝක්තියක් නොවෙ යි.

 බ්‍රිතාන්‍යයෙන් ලද නිදහසින් පසු ඒකීය ඉන්දියාවක් අපේක්ෂා කළ කිසිවකුට එය යතාර්ථයක් කර ගැනීමට හැකි වුණේ නැහැ. එහි ප්‍රතිඵල පැය ගණනක් යෑමට මත්තෙන් දෙපාර්ශවයට ම අත්විඳින්නට සිදු වුණා. ආගමික ආතතීන් අවුළුවාලමින් හින්දු, මුස්ලිම් සහ පසුව සීක් ජාතිකයන් ඉලක්ක කර ගනිමින් මාරාන්තික කෝලාහල මේ බෙදීම නිසා ඇති වූ අතර, බ්‍රිතාන්‍යයන් ගේ එකම අපේක්ෂාව වූයේ හැකි ඉක්මනින් ඉන්දීය උපමහාද්වීපයෙන් පිටව යාම පමණ යි.

 නව දේශසීමාවේ අන්‍යෝන්‍ය ජන සංහාර සඳහා උසිගැන්වීම් උත්සන්න වූ නිසා ගම්මාන පිටින් ගිනිබත් කිරීම ඇරඹුණා. ළමයින් පවා සමූල ඝාතනය කිරීම සාමාන්‍ය කරුණක් වෙද්දී කාන්තාවන් 75,000 ක් පමණ දූෂණයට ලක් වුණා. එකල මේ සියලු ප්‍රචණ්ඩ ක්‍රියාවල කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියාත්මක වූයේ පන්ජාබය යි. ඉන්දියාවේ මුස්ලිම් ජාතිකයන් තමාගේ අභය ස්ථානය යැ යි විශ්වාස කළ පාකිස්තානයට පලා ගිය අතර, බටහිර පාකිස්තානයේ දිවි ගෙවූ සික්වරුන් සහ හින්දුවරුන් ජීවිතාරක්ෂාව පතා ඉන්දියාවට පලා ගියා.

දේශසීමා අර්බුදයට සමගාමී ව බොම්බේ නගරයේ (අද මුම්බායි ලෙස හඳුන්වන) සිදු වූ කෝලාහලයක් – www.indiatimes.com 

මානුෂීය බැඳීම් නැවතත්..

 මෙම දේශසීමාව නිසා ඝාතනයට ලක් වූ මිනිසුන් සංඛ්‍යාව ගැන නිවැරදි ඇස්තමේන්තුගත වාර්තාවක් නොමැති බව යි පැවසෙන්නේ. එම සංඛ්‍යාව මිලියන 2 දක්වා ඉහළ යා හැකි බව ඇතැමුන් විශ්වාස කරනවා. මිලියන 14 කට අධික ජනතාවක් සිය නිවෙස් වලින් පලා ගිය අතර, එය ඉතිහාසයේ විශාලත ම බලහත්කාරයෙන් සිදු කළ සංක්‍රමණයක් බවට පත් වුණා.

වාර්ගික ම්ලේඡත්වයට හසු වූ පවුල්වලට සියල්ල අත් හැරීමට බල කළ නිසා ඔවුන් සදාකාලයට ම මතකය පමණක් සිත දරා ගෙන සිය නෑසියන් ගෙන් වෙන් වී ගියා. පසු කලෙක පුවත්පත් දැන්වීම්, දැන්වීම් පුවරු හරහා හෝ ලිපි මාර්ගයෙන් වෙන් වී ගිය සිය පාකිස්තාන හෝ ඉන්දීය සමීපතමයන් සොයා ගැනීමට බොහෝ අය උත්සහ දැරුවත්, දේශසීමා අතර සන්නිවේදනයේ සීමා සහ වීසා අත් හිටුවීම් නිසා ඒවා ව්‍යර්ථ වුණා.

බ්‍රිතාන්‍ය ඉන්දියාව සහ ඉන්දු-පාකිස්ථාන දේශ සීමාව බිහි වීමෙන් පසු උපමහාද්වීපය – www.reddit.com

කාලය ගත වනවිට සමාජ මාධ්‍ය පුරවැසියා සතු බලවත් ආයුධයක් බවට පත් වුණා. මානුෂීය බැඳීම් බිඳ හෙළීමට මෙන් ම, නැවත ඇති කිරීමටත් සමාජ මාධ්‍ය යොදා ගැනුණා. දේශසීමාවකින් භෞතික ව වෙන් වී සිටියත්, හැඟීම් අතින් වෙන් ව නොගිය සිය සමීපතමයන් නැවත සොයා ගැනීමේ සමාජ මාධ්‍ය මෙහෙයුම් ඇරඹුණේ ඒ අනුව යි.

 ඉන්දියා-පාකිස්තාන දේශසීමාව දෙපස සිටින ජනතාව යූ ටියුබ් නාළිකා පිහිටුවා ගනිමින් දෙරට අතර සන්නිවේදනයක් ගොඩ නඟා ගැනීමට උත්සහ කළා. ඇතැමුන්ට දශක ගණනාවකින් මඟ හැරුණු උපන් ගම්බිම් වීඩියෝ තාක්ෂණය ඔස්සේ නැවත දැක බලා ගැනීමට හැකි වූ අතර, මඟ හැරී ගිය සිය නෑසියන්, මිතුරන් සොයා ගැනීමටත් හැකි වුණා. එහෙත්, දෙරට අතර පවත්නා දැඩි සංක්‍රමණික නීති නිසා ඔවුන්ට නැවත එක්වීමේ අවස්ථාවක් සොයා ගැනීම ඉතා දුෂ්කර යි. එම දුෂ්කරතාව පවා ජය ගත් සහෝදරයන් දෙදෙනකු ගේ අපූරු කතාවක් තමයි මෙතැන් පටන් දිග හැරෙන්නේ. 

පාකිස්තානය බලා පිටත් වන දුම්රියකට ගොඩ වන සරණාගතයෝ – www.csmonitor.com 

සික්කා සහ සදීක්

වර්තමානයේ ඉන්දියාවට අයත් පන්ජාබ් කොටසේ මුස්ලිම් පවුලක උපත ලද සික්කා ඛාන්, බෙදුම්වාදී ප්‍රචණ්ඩත්වය ඇති වනවිට යන්තම් මාස හයක් වයසැති ළදරුවෙක් පමණ යි. දේශසීමා බෙදී යෑමත් සමඟ ඇති වූ වාර්ගික ප්‍රචණ්ඩත්වය හමුවේ ඔහු ගේ මවට සීක් ජාතික පවුලක රැකවරණය පැතීමට සිදු වුණා. වාර්ගික ම්ලේඡත්වය මැද වුවත්, අතරින් පතර මානුෂීය ගුණාංග ආරක්ෂා කිරීමට වෙර දරන අන්‍යාගමික පවුල් නිසා සික්කා ගේ දිවි ගැලවුණා.

 සති කිහිපයක් මුළුල්ලේ පැවතුණු සංහාරයෙන් අසළ ගංගාව මළ සිරුරුවල රුධිරයෙන් රක්ත වර්ණ වූ අතර, සික්කා ගේ උපන් ගම්මානය වූ ජාග්‍රෝන් හි කිසිදු මුස්ලිම් ජාතිකයෙක් ඉතිරි ව සිටියේ නැහැ. සික්කා ගේ පියා සහ සහෝදර සහෝදරියන් ගැන කිසිදු හෝඩුවාවක් නොලැබුණු බැවින්, ශෝකයෙන් පරිපීඩිත ව සිටි සික්කා ගේ මවත් අකාලයේ මියැදුණා. ශෝකාන්තයෙන් පසු සික්කා ගේ වගකීම ඔවුන්ට අභය ස්ථානයක් ලබා දුන් සීක් ජාතික පවුල වෙත පැවරුණා.

නසීර් නිතරම දේශසීමා අර්බුදයෙන් වෙන් ව ගොස් නැවත එක්වුණු පවුල්වල වීඩියෝ ප්‍රචාරය කරනවා – www.bbc.com 

සික්කා ඛාන්, සිය වැඩිහිටි ජීවිතයේ වැඩි ඉඩක් ලබා දුන්නේ තම පවුලේ සෙසු සාමාජිකයන් සෙවීමට යි. විශේෂයෙන් ම තම සහෝදරයකු වන සාදික් ඛාන් වෙත ඔහු ඉමහත් ආදරයක් දැක්වූවා. අනුමාන කළ දුරකථන අංකවලට ඇමතුම් ගනිමින් සහ අනුමාන කළ ලිපිනවලට සිය ගණනක් ලියුම් තැපැල් කරමින් ඔහු තමා දන්නා පරිදි සිය සහෝදරයා ගැන හෝඩුවාවක් සෙවීමට වෙහෙසුණා. ඒ සියල්ල ව්‍යර්ථ වී ගියා. ඔහු කවදාවත් විවාහ වීමට උත්සහ ගත්තේත් නැහැ.

“කිසියම් දෙයක් සෑම විට ම මඟ හැරී ඇති නිසා විවාහ වීම නිවැරදි දෙයක් ලෙස මට හැඟෙන්නේ නැහැ.”

තනිකඩව ජීවත් වීමට ගත් පෞද්ගලික තීරණය ඔහු අර්ථ දැක්වූයේ එලෙසින්.

පන්ජාබි ලෙහාර්

 කාලය ගෙවී ගියා. 2022 වනවිට සික්කා ඛාන් ගේ වයස 75 ක් බැවින්, ජීවිතයේ ඉතිරි කාලයත් නොදැනීම ගෙවී අවසාන වනු ඇතැයි ඔහු සිතන්නට ඇති. ඔහු වටා ලෝකය වේගයෙන් වෙනස් වෙමින් තිබුණා. අඳුරු අතීතය සහ සිය වැඩිහිටියන් ගත් වැරදි තීරණ දෙස වෙනස් ම කෝණයකින් බැලූ තරුණ පරපුරක් බිහි වෙමින් තිබුණා. නසීර් දිලෝන් අයත් වන්නේත් ඒ තරුණ පරපුරට යි. ඔහු 2016 දී “පන්ජාබි ලෙහාර්” නමින් සුවිශේෂී “යූ ටියුබ්” නාළිකාවක් ආරම්භ කළ අතර, එහි අරමුණ වන්නේ දශක හතකට පෙර ඇති වූ දේශසීමා අර්බුදයෙන් බෙදී වෙන්වී ගිය පවුල් නැවත මුණ ගැස්වීමට උපකාර කිරීම යි. නසීර් ගේ පියාණන් සහ මුත්තණුවන් ද දේශසීමා ආරවුලේ වින්දිතයන් වන බැවින්, සිය පවුලෙන් ම ලැබුණු අත්දැකීම් මත යූ ටියුබ් නාළිකාව ආරම්භ කිරීමට ඔහු කටයුතු කළ බවයි පැවසෙන්නේ.

“මුල දී අපිට ඇත්තට ම උපාය මාර්ගයක් තිබුණේ නැහැ. අපි පවුලේ සාමාජිකයන් සොයන පුද්ගලයන් ගේ තොරතුරු සටහන් කර ගෙන අපේ සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කළා.”

එතරම් සැලසුම් සහගත ආරම්භයක් නොවුණත්, නසීර් ගේ “යූ ටියුබ්” නාළිකාව විශාල අවධානයක් සහ ප්‍රශංසාවක් හිමි කර ගත්තා.

“පන්ජාබි ලෙහාර්” වටා දැන් ග්‍රාහකයන් හය ලක්ෂයකට වඩා සිටිනවා. නැතිවූ පවුලේ සමාජිකයන් සොයා දෙන ලෙස ඉන්දියාවේ සහ පාකිස්තානයේ ජනයා ගේ ඉල්ලීම්වලින් නාළිකාව පිරී ඉතිරී ගොස් ඇති බව නසීර් පවසනවා.

සික්කා ඛාන්, ඔහු ගේ සොහොයුරා සිටින ඡායාරූපයක් සමඟ – www.theguardian.com 

අහම්බයෙන් දුටු වීඩියෝව

2019 දී “පන්ජාබි ලෙහාර්” හරහා ප්‍රචාරය වූ එක් සුවිශේෂී වීඩියෝවක් සික්කා ඛාන් වෙසෙන ගමේ වැසියකු ගේ අවධානයට ලක් වුණා. පාකිස්තානයේ වෙසෙන අසූ වියැති මහලු මිනිසෙක් තමන් වාර්ගික අර්බුදය අතරතුර ජාග්‍රෝන් ගම්මානයෙන් පලා ගිය සැටිත්, අහිමි වූ සිය බාල සොහොයුරා සොයා ගැනීමට උත්සහ කළ සැටිත්, විස්තර කරන ආකාරය එම වීඩියෝවේ සටහන් ව තිබුණා. නසීර් දිලෝන් සම්බන්ධ කර ගැනීමෙන් පසු අහම්බෙන් සොයා ගත් එම වීඩියෝවේ සිටින මහලු මිනිසා සදික් ඛාන් බව තහවුරු වුණා. ඉන්පසු වහා ම සහෝදරයන් දෙදෙනා අතර වීඩියෝ ඇමතුමක් සංවිධානය කෙරුණු අතර, එය ඉතාම හැඟීම්බර අවස්ථාවක් වූ බව පැවසෙනවා.

සික්කා ඛාන්, අවසානයේ දී තම පවුලට අත් වූ ඛේදනීය ඉරණමේ ඉතිරි අර්ධය සදීක් ඛාන් ගෙන් අසා දැන ගත්තා. වාර්ගික ප්‍රහාර මධ්‍යයේ සදීක් ගේ රැකවරණයට සිටි ඔවුන් ගේ පියා ඝාතනයට ලක් වූ අතර, සදීක් සහ අනෙක් සහෝදරිය සරණාගත කඳවුරකට පලා ගොස් තිබුණා. එහි දී ඔවුන් ගේ සහෝදරිය ද මිය ගිය බැවින්, සදීක් පාකිස්තානයේ ෆයිසලාබාද් වෙත සංක්‍රමණය වූ බව පැවසෙනවා.

 අද සදීක් ඛාන් දරුවන් සය දෙනකු ගේ පියෙක් වන අතර, ඔහුට මුණුබුරන් කිහිප දෙනකු ද සිටිනවා. වගකීම්වලින් පිරුණු ජීවිතයක් ගත කළ ද සදීක් තම සොහොයුරා සෙවීම අතහැර දැමුවේ නැහැ. ඔවුන් දෙදෙනා ම දේශසීමාව දෙපසට වී දශක හතක් මුළුල්ලේ අහිමි වූ සොයුරු පෙම සෙව්වා.

 වීසා ගැටලු සහ කොවිඩ් වසංගතය හේතුවෙන් සහෝදරයන් දෙපළට වසර තුනක් යනතුරු එකිනෙකා හමුවීමට අවස්ථාව සැලසුණේ නැහැ. ඔවුන් ගේ පිහිටට සිටියේ සන්නිවේදන තාක්ෂණය පමණ යි. කෙසේ නමුත්,  පසුගිය ජනවාරි මාසයේ දී දෙරටේ ම එකඟතාවක් අනුව කර්තාපූර් දේශසීමා පිවිසුම අසල ආගමික ස්ථානයක් පිහිට වූ බැවින්, සික්කා සහ සදීක්ට නිදහසේ හමුවීමට අවස්ථාව ලැබුණා.

මුණුබුරන් වට කරගත් සදීක්, සිය සොහොයුරා සමඟ වීඩියෝ සංවාදයක යෙදෙන අයුරු – www.cbc.ca

සික්කා ගේ අහිංසක කෝපය

අප්‍රියෙල් මාසයේ දී සික්කා ඛාන්ට මාස තුනක කාලයක් සඳහා පාකිස්තානයේ රැඳී සිටීමට අවසර ලබ දෙමින් වීසා බලපත්‍රයක් ලබා දුන් අතර, සදීක් ඔහුත් සමඟ මාස දෙකක කාලයක් සඳහා ඉන්දියාවට පැමිණියා. නැවත වතාවක් ඉක්මනින් ම එකිනෙකා හමුවීමට ඔවුන් සිටින්නේ නොතින් ආසාවෙන්. සදීක් ඛාන්, උපහාසයට මෙන් පවසා සිටින්නේ සිය අවිවාහක සොහොයුරා නැවත පාකිස්තානයට පැමිණි වහා ම ඔහුට බිරියක් සොයා දීමට ක්‍රියා කරන බව යි.

“දැන් මං කිසිම දෙයක් ගැන කරදර වෙන්නේ නැහැ. මට ඕනේ මගේ මල්ලි බලන්න සහ එයා ළඟින් ඉන්න විතර යි.”

සික්කා ඛාන්, සිය එකම අභිලාෂය වචනවලට පෙරළුවේ ඒ අයුරින්.

 ජීවිතයේ සැදෑ සමයේ අවසාන භාගයේ දී හෝ ඔවුන් ගේ ප්‍රබලත ම පැතුම ඉටු වුණා. සොහොයුරන් දෙදෙනා සිටින්නේ ඉමහත් සතුටින්. එහෙත්, සික්කා ඇතැම් විට යම් කෝපයකින් පීඩා විඳිනවා.

“ඇයි ඔවුන් මේ රට බෙදුවේ?

ඇයි මගේ පවුල බෙදා වෙන්කර දැම්මේ?

තමාගේ පවුල සොයා නොගත් මිනිසුන් තව බොහෝ සිටිනවා. දේශසීමාව හරහා යෑමට වීසා නොලැබුණු තව බොහෝ මිනිසුන් සිටිනවා. ඒ අතින් මං වාසනාවන්ත යි.”

සික්කා ඛාන් ගේ කෝපය කොතරම් අහිංසක ද?

“පන්ජාබි ලෙහාර්” යූ ටියුබ් නාළිකාව නිසා පවුල් රාශියක් නැවත එක් කිරීමට හැකි වූ බව නසීර් පවසනවා – www.bbc.com 

සීමා මායිම් නොමැති හැඟීම්

පාකිස්තානය සහ ඉන්දියාව අතර පවත්නා අර්බුදය දැන් වාර්ගික අන්තයක සිට දේශපාලනික අන්තයක් කරා විතැන් වී අවසාන යි. දෙපාර්ශවය මේ විරසකය තම දේශපාලන න්‍යාය පත්‍රයේ සාර්ථකත්වය උදෙසා භාවිත කරනවා.

එම න්‍යාය පත්‍රයට හසු වූ පුරවැසියන් දෙරටේ ම සිටියත්, භූමිය බෙදී යෑමේ දී හට ගත් මානසික කම්පනය තවමත් ඒ අයුරින් ම පවතිනවා. උදාහරණයක් ලෙස ඉන්දු-පාකිස්තාන බෙදී යෑමේ වාචික ඉතිහාසය ලේඛනගත කිරීමේ උත්සාහයක යෙදෙන ආන්චල් මල්හෝත්‍රා පවසන පරිදි දේශසීමාව නිසා බෙදී වෙන්වී ගිය පවුල් තම මූලාරම්භයට දක්වන ආසාව අඩු වී නැහැ. එක්සත් වූ ඉන්දු-පාකිස්තාන භූමියක් වෙනුවෙන් සිහින නොදකිනවායැ යි කිව හැක්කේ කාට ද?

“මගේ පර්යේෂණයේ දී මට ඇසුණු සුලබ දේවල් කිහිපයක් තියෙනවා.

‘මං ඇස් වසාගෙන සිටින විට මං මගේ නිවස දකිනවා. සෑම රාත්‍රියක ම සිහිනෙන් මං දේශසීමාව පසුකර යනවා’ වැනි දේවල් මට අහන්න ලැබුණා.

සමාජ මාධ්‍යවලට සීමා මායිම් නැහැ. ඒක තමයි සමාජ මාධ්‍ය සතු විශාලත ම බලය. ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශයේ වෙසෙන මිනිසුන්ට අහිමි වූ තම අතීතයට, සමාජ මාධ්‍ය හරහා යළි සම්බන්ධ වන ආකාරය හරි සුන්දර යි.”

ආන්චල් මල්හෝත්‍රා පවසනවා.  

කවරයේ ඡායාරූපය: කර්තාපූර් පිවිසුමේ දී නැවත එක් වූ දෙසොහොයුරෝ - indianexpress.com

මූලාශ්‍ර:

www.theguardian.com

www.bbc.com 

Related Articles