Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉම්රාන් ඛාන් සමඟ ඇවිළෙන පාකිස්තානය

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්, දූෂණ චෝදනා මත පසුගිය සතියේ අඟහරුවා දා අත් අඩංගුවට ගැනීමත් සමඟ පාකිස්තානයේ දේශපාලන අර්බුදය තවදුරටත් තීව්‍ර වුණා. ඉම්රාන් ඛාන් යනු ජනප්‍රිය දේශපාලන චරිතයක්. මෙම වසර අග දී ඔවුන් ජාතික මැතිවරණයක් සඳහා සූදානම් වීමටත් බලාපොරොත්තුවෙනුත් පසු වෙනවා. ඉම්රාන් ඛාන්, අත් අඩංගුවට ගැනීම වඩාත් අර්බුදකාරී වාතාවරණයකට හේතු වන්නේ ඒ නිසා යි.

ඉම්රාන් ඛාන් මෙලෙස අත් අඩංගුවට ගත්තේ ඉස්ලාමාබාද් නුවර මහාධිකරණය ඉදිරිපිට දී වීම විශේෂත්වයක්. දූෂණ චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටීම සඳහා ඉම්රාන් ඛාන් පැමිණි සිටි අතර, ඔහු පවසන්නේ එය දේශපාලනික න්‍යාය පත්‍රයක් මත පදනම් ව පැවරූ නඩුවක් බව යි. ඉන්පසු පැරාමිලිටරි හමුදා, අධිකරණ පරිශ්‍රයට ඇතුළු වී ඉම්රාන් ඛාන් රඳවා ගන්නා වීඩියෝ දර්ශන ජාත්‍යන්තර මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වුණා.

ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගත් අයුරු – www.youtube.com/watch?v=pv-UNU7WBbk

ආවේගශීලි ආධාරකරුවෝ

මේ සමඟ ම ඉම්රාන් ඛාන් ගේ ආධාරකරුවන් පාකිස්තානයේ ප්‍රධාන නගර රැසක විරෝධතා ආරම්භ කළ අතර, ඒ විරෝධතා, ගැටුම් ගහණ ප්‍රචණ්ඩකාරී ස්වභාවයකට ඉතා ඉක්මනින් හැරුණා. ඒ අනුව මෑත කාලයේ පාකිස්තානයේ ඇති වූ විශාලත ම සිවිල් විරෝධයක් සමඟ කටයුතු කිරීමට එරට ආරක්ෂක අංශවලට සිදු වී තිබුණා.

“ඛාන්ට විශාල, වර්ධනය වන සහ ආවේගශීලි ආධාරකරුවන් පිරිසක් සිටින අතර, ඔහු ගේ අත් අඩංගුවට ගැනීම රතු ඉර පැනීමක් ලෙස දිගු කලක් මුළුල්ලේ හඳුනාගෙන තිබූ දෙයක්. ඔහු ගේ ආධාරකරුවන් දැනටමත් වීදි වල තමයි සිටින්නේ. ඛාන් රඳවා තබා ගන්නා කාලය වැඩිවන තරමට ම නාගරික පෙදෙස්වල දිගුකල් පවත්නා නොසන්සුන්තා තිබිය හැකි යි.”

විල්සන් පර්යේෂණ මධ්‍යස්ථානයට අයත් දකුණු ආසියානු ආයතනයේ අධ්‍යක්ෂ මයිකල් කුගල්මන්, ඉම්රාන් ඛාන් වටා සිටින ආධාරකරුවන් ගේ මනෝභාවය පැහැදිලි කළේ එලෙසින්.

ඉම්රාන් ඛාන් ගේ ආධාරකරුවන් පාකිස්තාන හමුදා මූලස්ථානයකට කඩා වැදුණු අයුරු – www.youtube.com/watch?v=o2YNjt1lw2A

මුළු රට ම අපි වසා දමනවා!

මේ දක්වා විරෝධතා මධ්‍යයේ වම වශයෙන් දස දෙනෙක් පමණ මිය ගොස් ඇති අතර, දෙදහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසියටත් සැලකිය යුතු හානියක් සිදු වී තිබෙනවා. උදාහරණයක් ලෙස පසුගිය බදාදා ඉස්ලාමාබාද් හි ප්‍රධාන අධිවේගී මාර්ගයක සිදු වූ ගැටුම් හේතුවෙන් පොලිස් නිලධාරීන් 145 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වුණා.

“අපි ආවේ සාමකාමී උද්ඝෝෂණයක් කරන්න. නමුත්, මේ පොලිසිය අපට ප්‍රහාර එල්ල කරනවා!”

එක් විරෝධතාකරුවෙක් මාධ්‍ය හමුවේ පවසා තිබුණා.

“අපි මැරෙන තුරු හෝ ඔවුන් ඉම්රාන් නිදහස් කරන තුරු මේ විරෝධතාව අපි දිගට ම කරගෙන යනවා. නැතිනම්, මුළු රටම අපි වසා දමනවා!”

විරෝධතාකරුවන් සිය තර්ජන ඒ ආකාරයෙන් ම ක්‍රියාවට නැංවූ අතර, පාකිස්තානය පුරා දැඩි දේපළ හානි සිදු වී තිබුණා.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

ප්‍රචණ්ඩත්වය රජ කළ දින දෙකක් ගත වූ පසු, එනම්, පසුගිය මැයි 11 වැනිදා ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගැනීම නීති විරෝධි බව පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. ඒ අනුව අධිකරණ නියෝගය ප්‍රකාර ව ඔහු ඉතා ඉක්මනින් නිදහස් විය යුතු යි. විනිසුරුවරුන් ඛාන්ට ආරක්‍ෂිත ඇප ලබා දුන් අතර, ඉන් අදහස් වන්නේ මේ චෝදනා මත සති දෙකක කාලයක් සඳහා ඔහු නැවත අත් අඩංගුවට ගැනීමක් සිදු කළ නොහැකි බව යි.

ප්‍රචණ්ඩත්වය රජ කළ දින කිහිපය – www.npr.org

ඉම්රාන් ඛාන්, “ටෙහ්රීක්-ඊ-ඉන්ෆාස්” නමැති පක්ෂයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතරතුර පාකිස්තානයේ අගමැති ලෙසත් කටයුතු කළා. ඒ 2018 ජූලි මාසයේ සිට 2022 අප්‍රේල් මාසය දක්වා යි.  පාකිස්තාන දේශපාලන ඉතිහාසයේ අනෙකුත් අගමැතිවරුන්ට සාපේක්ෂ ව ඉම්රාන් ඛාන් ජනප්‍රිය පුද්ගලයෙක් ලෙස සැලකිය හැකි යි. දේශපාලනයට පිවිසීමට මත්තෙන් ඔහු රට දින වූ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වීම ඒ ජනප්‍රියත්වය සඳහා යම්තාක් දුරකට හේතු වූ නමුත්, ඉන්පසු දේශපාලකයෙක් වශයෙන් දැරූ අදහස් ද ඉම්රාන් ඛාන් ගේ ජනප්‍රියත්වය තීව්‍ර කිරීමට හේතු වුණා.

නඩු පිට නඩු!

අගමැති ධූරයෙන් නෙරපා හැරීමෙන් පසු මැතිවරණයක් නැවත ජයග්‍රහණය කොට සිය දේශපාලන අනාගතය ස්ථාවර කර ගැනීමට ඉම්රාන් ඛාන් උත්සහ කළා. අගමැති ධූරයෙන් ඉවත් කළ ද ඉම්රාන් ඛාන් කෙරෙහි ඇති ජනතා කැමැත්ත අඩු වී තිබුණේ නැහැ. එබැවින්, පාකිස්තානයේ වත්මන් අගමැති ෂෙබාස් ශරීෆ්ට ඉදිරි මැතිවරණයක දී ප්‍රබල අභියෝගයක් ඉම්රාන් ඛාන් ගෙන් එල්ල වනු ඇති.

එහි ප්‍රතිපලයක් ලෙස දිගින් දිගට ම ඉම්රාන් ඛාන් ගේ දේශපාලන ව්‍යාපාරයට බාධා එල්ල වූ අතර, ඔහු හමුවේ ඇති නීතිමය ගැටලු පවා එම බාධාවන් ගේ එක් පැතිකඩක් පමණ යි. ඉම්රාන් ඛාන් ගේ ආධාරකරුවන් සඳහන් කරන අන්දමට ඔහුට එරෙහි ව පනවා ඇති නඩු සංඛ්‍යාව සියයකට අධික යි.

ඉම්රාන් ඛාන් යනු සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලින් පාකිස්තානය ගලවා ගත් නායකයෙක් – www.siasat.com

එම නඩු අතර ත්‍රස්තවාදය සහ අපහාස කිරීමේ චෝදනා පවා ඇතුළත් වෙනවා. ඛාන් ගේ වරදකාරී බව හෝ නිර්දෝෂීභාවය තවමත් උසාවියක දී තහවුරු වී නොමැති බව යි වාර්තා වෙන්නේ. ඔහු කිසියම් චෝදනාවකට වරදකරුවෙක් වුවත්, ඒවා හුදෙක් දේශපාලනික ව අභිප්‍රේරණය වූ ඒවා විය හැකි බව පවසන්නේ ඉම්රාන් ඛාන් ගේ ආධාරකරුවන් පමණක් නොවෙ යි. එක්සත් ජනපද සාම ආයතනයේ දකුණු ආසියාවේ අධ්‍යක්ෂක ටමානා සලිකුඩීන් ද එම චෝදනා දේශපාලනික ව අභිප්‍රේරණය වූ ඒවා බව සැක පහළ කරනවා.

“දූෂණය සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන් වගකිව යුතු කිසිදු දෙයක් එහි නොතිබිය හැකි බව මට කියන්නේ නැහැ. පාකිස්තානයේ සෑම දේශපාලකයෙකුට ම දූෂණ චෝදනා ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත්, දේශපාලනික හේතුවක් ඇතිවන තුරු මේ වගේ නඩු එළියට එන්නේ නැහැ”

හිතන තරම් සුදු නැති ඉම්රාන්

ඉකුත් අඟහරුවාදා ඔහු අත්අඩංගුවට ගැනුණේත් “අල් ඛදීර් භාරයේ නඩුව” මූලික කර ගනිමින්. ඉම්රාන් ඛාන් සහ ඔහු ගේ බිරිය, පුණ්‍ය ආයතනයක් හරහා දේපළ වෙළඳාමේ නිරත ව්‍යාපාරිකයකු ගෙන් ඩොලර් මිලියන ගණනක් වටිනා ඉඩමක් අල්ලසක් වශයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් “අල් ඛදීර් භාරයේ නඩුව” ගොනු කෙරුණා.

සිතන තරම් ඉම්රාන් ඛාන් සුදු චරිතයකුත් නොවෙ යි. 2018 ජූලි මාසයේ දී ඔහු අගමැති ධූරය ට පත් වුණේ පාකිස්තානය තුළ දූෂණය මැඬලමින් ආර්ථිකය ශක්තිමත් කරන බව පවසමින්. පාකිස්තානයේ ගැටලු විසඳීමට ඔහුට හැකි වුණේ නැහැ. උද්ධමනය, දරාගත නොහැකි විදේශ ණය හමුවේ පාකිස්තානයේ බලය හිමිකර ගත් තවත් එක සාම්ප්‍රදායික අගමැති කෙනකු ගේ ලක්ෂණ ඔහු වෙතින් පහළ වෙමින් තිබුණා.

පාකිස්තානයේ තත්ත්වය කාටුන් ඇසින් – twitter.com/ShimonaSharma3

ඔහු කළ විශාලත ම වෙනස වන්නේ පාකිස්තාන දේශපාලනය සාම්ප්‍රදායික පක්ෂවලින් ගලවා ගැනීම පමණ යි. ඉන්පසු ඉම්රාන් ඛාන්, පාකිස්තාන දේශපාලනයේ මුල්බැස ගෙන සිටින දූෂිත දේශපාලකයන් ගේ සහයෝගය ලබා ගැනීමටත් පෙලඹුණා. අවසානයේ දී නැවුම් දේශපාලන ප්‍රවාහයක නියමුවෙක් ලෙස පැමිණි ඉම්රාන්, සාම්ප්‍රදායික දේශපාලනයේ සෙවණැලි මත සිටගත් අයෙක් බවට පත් වුණා.

මින්පසු කුමක් සිදුවේවි ද?

පාකිස්තානය තුළ ඇත්තේ දේශපාලන ගැටුම් පමණක් නොවෙ යි. දැඩි ආර්ථික අර්බුදයකින් පාකිස්තානය පීඩා විඳින අතර, අභ්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙන් ආසියාවේ අස්ථාවර ම රාජ්‍යයක් ලෙස පාකිස්තානය හඳුනා ගත හැකි යි. පසුගිය නොවැම්බරයේ සිට ඇනහිට ඇති සහ එළඹෙන ජුනි මාසයේ කල් ඉකුත්වීමට නියමිත මූල්‍ය වැඩසටහන් නැවත ආරම්භ කිරීමට රජය කටයුතු කරමින් සිටින්නේ මේ අර්බුද මධ්‍යයේ යි. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ යි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමත් පාකිස්තානයට පහසු වන්නේ නැහැ – www.outlookindia.com

 රටේ මූල්‍ය අවශ්‍යතා සඳහා බාහිර හවුල්කරුවන් ගේ සහභාගීත්වය ඉතා වැදගත් වන බැවින්, රටේ සාමකාමී වාතාවරණයක් අනිවාර්යයෙන් ම පැවතිය යුතු යි. එහෙත්, පාකිස්තානය නිතර පෙළන ත්‍රස්තවාදී ගැටලුවලට අමතර ව ප්‍රබල දේශපාලන බෙදීමකටත් දැන් මැදි ව සිටින බැවින්, මූල්‍ය තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා ආයෝජන අවස්ථා ආකර්ෂණය කර ගැනීම ඉතා දුෂ්කර වනු ඇති.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලා සිටින ප්‍රතිසංස්කරණ

අනෙක් අතට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලා සිටින ප්‍රතිසංස්කරණවලට එකහෙළා එකඟ වීමේ පසුබිමක් පාකිස්තානය තුළ නැහැ. ප්‍රතිසංස්කරණ හේතුවෙන් තවදුරටත් ආර්ථික දුෂ්කරතාවල පීඩනය වැඩි වීම ඊට හේතුව යි. ඉම්රාන් ඛාන් ගේ ජනප්‍රියත්වය සහ පවතින රජය කෙරෙහි ඇති මහජන කෝපය, තවදුරටත් තීව්‍ර කිරීමට ඒවා හේතුවනු ඇති. ඉදිරි මැතිවරණයේ වැඩි වාසිය තමා වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා ඉම්රාන් ඛාන් තවදුරටත් ජනතාව අතර දේශපාලන ධ්‍රැවීකරණය වර්ධනය කිරීමටත් ඉඩ තිබෙනවා. ඉම්රාන් ඛාන්ට පක්ෂ වුවත්, පවතින රජයට පක්ෂ වුවත්, පාකිස්තාන පුරවැසියන් දැන් දේශපාලන බල අරගලයක වින්දිතයන් පමණ යි.

දූෂණ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමෙන් දිනකට පසු අත්අඩංගුවේ සිටි ඉම්රාන් ඛාන් නිදහස් කර තිබෙනවා. නිදහස් වීමෙන් පසු හිටපු අගමැති ඉම්රාන් ඛාන්, පාකිස්තාන හමුදාව විවේචනය කර තිබෙනවා. හමුදා ප්‍රධානියා තමා සමඟ පුද්ගලික අමනාපයකින් සිටින බව ඉම්රාන් ඛාන් චෝදනා කරන අතර, ඒ හරහා තම පක්ෂය මර්දනය කිරීමට උත්සහ කරන බවත්, ඔහු ප්‍රකාශ කර තිබුණා.

“අත් අඩංගුවට ගැනීම පුද්ගලික යි. එහි කිසිදු ජාතික අවශ්‍යතාවක් නැහැ. පාකිස්තානය දැන් පාලනය කරන්නේ හමුදා ප්‍රධානියා විසින්. අප මර්දනය කරන්නෙත් ඔහු යි!”

කෙසේ නමුත්, අගමැති ව සිටි සමයේ දී හමුදාව සමඟ ඉතා මිත්‍රශීලි ව කටයුතු කිරීමට ඉම්රාන් ඛාන් උනන්දු වුණා. හමුදාව අතරත් ජනප්‍රිය වී සිටි අගමැතිවරයෙක් වශයෙන් ඉම්රාන් ඛාන් හැඳින්විය හැකි යි.

මේ වනවිට ඔහු රට පුරා නිදහස මුල් කරගත් විරෝධතාවක් කැඳවා තිබෙනවා. ඉම්රාන් ඛාන් හමුදා අත් අඩංගුවේ සිටි කාලය අතරතුර පැන නැගුණු විරෝධතා මෙන් නොව නිදහසේ විරෝධතාව විධිමත් ලෙස පැවැත්වීමට ඉඩ තිබෙනවා.

“නිදහස ලෙහෙසියෙන් ලැබෙන්නේ නැහැ. ඔබ එය උදුරා ගත යුතු යි. ඒ සඳහා ඔබ කැපකිරීම් කළ යුතුයි”

කවරයේ ඡායාරූපය: ඉම්රාන් ඛාන් යනු පාකිස්තානු දේශපාලනයේ ජනප්‍රිය ම චරිතය යි. එම ජනප්‍රියකම ඔහු දේශපාලන ධ්‍රැවීකරණය සඳහා භාවිත කරන අන්දමක් පෙනී යනවා - edition.cnn.com

මූලාශ්‍ර:
www.bbc.com
www.vox.com
www.bbc.co.uk
www.bbc.com
roar.media/sinhala
www.bbc.com
edition.cnn.com

Related Articles