Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චීනය, එක්වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් නිෂ්පාදන තහනම් කරයි

ලෝකයේ ප්ලාස්ටික් භාවිතා කරන රටවල් අතරින් චීනය ඉදිරියෙන් ම සිටින රටක්. ඉතා වේගයෙන් ප්ලාස්ටික් භාවිතය ඉහළ යාමත් සමග මුහුණ දෙන ගැටළු අවම කිරීම සඳහා එක් වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් නිෂ්පාදන සියල්ල තහනම් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දිරාපත් නොවන මලු ඇතුඵ ඒ හා සමාන නිෂ්පාදන රැසක් භාවිතය එරට ප‍්‍රධාන නගරවල 2020 වසර අවසන් වන විට තහනම් කිරීමට ද, 2022 වසර වන විට එක් වරක් පමණක් භාවිතා කරන සියලුම ප්ලාස්ටික් නිෂ්පාදනයන් චීනයේ සියලුම නගරවල තහනම් කිරීමට අදහස් කරන බව ඔවුන් තවදුරටත් දන්වා තිබෙනවා.

මෙම තීරණය මඟින් ප්ලාස්ටික් හේතුවෙන් උග්‍ර අර්බුද රැසකට මුහුණ දී සිටින, ලොව ප්ලාස්ටික් බහුලව භාවිතා කරන රටක් වන චීනයට එම ගැටළු විසඳා ගැනීමට හැකියාව ලැබෙන බව සඳහන් වෙනවා.

චීනයේ උග්‍ර කසළ ප්‍රශ්නය 

චීන රජයට විශාල අභියෝගයක් වී තිබෙන ප්ලාස්ටික් (cdn.i-scmp)

චීනයේ සිටින බිලියන 1.4ක ජනගහනය විසින් දිනකට ජනනය කරන කුණු කසළ ප්‍රමාණය කළමනාකරණය මේ වන විට චීන රජයට විශාල අභියෝගයක් වී තිබෙනවා. තව ද, ප්ලාස්ටික් භාවිත කරන ලොව විශාලතම රටක් වන චීනය බැහැර කරන කුණු කසළ අතර ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ද චීන රජයට වර්තමානයේ දී දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වී තිබෙනවා.

චීනය විසින් මෑතකාලයේ දී එරට කසළ කළමනාකරණය සඳහා ඉතා විශාල භූමියක් වෙන් කරනවා. එහි විශාලත්වය පාපන්දු පිට්ටනි 100ක විශාලත්වයක් තරම් වන බව සඳහන්. චීනයේ ඉදිරි වසර 25ක කාලයේ දී ඇති වන කුණු කසළ පිරවීම සඳහා මෙම භූමිය නිර්මාණය කළ ද, එය මේ වන විටත් කසළවලින් පිරී තිබීම එරට රජය මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් බවට පත් වී තිබෙනවා.

කසළ ගැටළුවට පිළියමක් ලෙස වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් තහනම් කිරීම 

වර්ගකර එකතු කර, ප්‍රතිචක්‍රීකරණයේ ද යම් යම් ගැටළු මතු වී තිබෙනවා (dw.com)

2017 වසරේ දී චීනයෙන් එක්රැස් කළ ගෘහස්ත අපද්‍රව්‍ය ප‍්‍රමාණය ටොන් මිලියන 215ක් වුවත්, ඒවා ප‍්‍රතිචකී‍්‍රකරණය පිළිබඳ දත්ත රජයට පවා හරිහැටි අනාවරණය වී නොමැති බව සඳහන් වෙනවා.

චීනයේ ජනනය වන සම්පූර්ණ කුණු කසළවලින් හතරෙන් එකක් පමණ ප්ලාස්ටික් අපද්‍රව්‍යය යටතේ වර්ග කෙරෙනවා. 2010 දී පමණක් එරටින් ජනනය වූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් මිලියන 38ක් පමණ වෙනවා.

චීනය ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට ගෙන එන ක්‍රියාමාර්ග 

විශාල වශයෙන් ගොඩගැසී ඇති ප්ලාස්ටික් (dailymediaspot)

චීනයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසම විසින් මෙම නව ක්‍රියාමාර්ග ගෙන එන අතර, එම ක්‍රියාමාර්ග ඉදිරි වසර පහ තුළ ම ක්‍රියාත්මක වෙනු ඇත. මෙම ක්‍රියාමාර්ග අතරින් පළමු ක්‍රියාමාර්ගය වන්නේ එක් වරක් පමණක් භාවිතා කෙරෙන ප්ලාස්ටික් මලු 2020 වන විට නගර කිහිපයකත් 2022 වන ප්‍රධාන නගර ඇතුළු චීනයේ සියලු නගරවලත් තහනම් කිරීම යි. නමුත්, නැවුම් නිෂ්පාදන වැනි යම් යම් අලෙවි කිරීමේ නිෂ්පාදනයන් වෙළඳසැල් සඳහා මෙම වසර සීමාව 2025 දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ සමග ම මිලිමීටර් 0.025කින් යුක්ත සියලුම පොලිතීන් නිෂ්පාදනය හා භාවිතා කිරීම තහනම් කිරීම ද, ඔවුන් ගත් නව ක්‍රියා මාර්ග ඔස්සේ සිදුවෙනු ඇත. 

2020 වසර වන විට අවන්හල්වලින් ලබා දෙන නැවත භාවිතා නොකරන ප්ලාස්ටික් බීම බට තහනම් කිරීම හා නැවත භාවිතා නොකරන සියලුම වර්ගයේ ප්ලාස්ටික් නිෂ්පාදනයන් නොමිලයේ නිකුත් කිරීම 2025 වන විට තහනම් කර තිබෙනවා. මෙම ගෙන එන නව නීති මඟින් අවන්හල්වල ප්ලාස්ටික් භාවිතය ප්‍රතිශතයක් ලෙස 30%කින් අඩු වෙනු ඇති බවට කොමිසම විසින් අනුමාන කරනවා.

ආසියාතික රටවල ප්ලාස්ටික් භාවිතය අවම කිරීම 

එක්වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් මලු (dw.com)

මෙය ප්ලාස්ටික් කළමනාකරණය සඳහා චීනය විසින් ගත් පළමු පියවර නොවන අතර මීට පෙර එනම්, 2008 වසරේ දී සිල්ලර වෙළඳසැල්වලින් නොමිලේ ප්ලාස්ටික් බෑග් ලබාදීම තහනම් කිරීමට චීනය පියවර ගන්නවා. ඊට අමතරව අතිශය සිහින් පොලිතීන් මලු නිෂ්පාදනය තහනම් කිරීමට ද, වරින් වර ඔවුන් විසින් නීති ගෙනැවිත් තිබෙනවා. ලොව විශාලම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආනයනකරුවා වූ චීනය 2017 වසරේ දී ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආනයනය සම්පුර්ණයෙන්ම අත්හිටවනු ලැබීම ද ඔවුන් ගත් ක්‍රියා මාර්ගයක්.

වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් තහනම් කිරීමට පියවර ගත් ප්‍රථම ආසියාතික රට චීනය නෙවේ. මීට පෙර තායිලන්තය එම තීරණය ගන්නා අතර, ප්‍රධාන වෙළදසැල්වලින් නිකුත් කරන එක්වරක් පමණක් භාවිතයට ගන්නා ප්ලාස්ටික් මලු නිකුත් කිරීම ඔවුන් තහනම් කරනවා. 2021 වසර වන විට එම නීතිය තායිලන්තය පුරා ක්‍රියාත්මක කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඊට අමතරව ඉන්දුනීසියාවේ ජකර්තා නගරය ද එක්වරක් පමණක් භාවිතයට ගන්නා ප්ලාස්ටික් මලු තහනම් කිරීමට කටයුතු යොදන්නේ මෙම වසරේ සිට යි. ඒ හා සමගාමීව ඉන්දුනිසියානු දූපතක් වන බාලි හි ද වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් නිෂ්පාදන තහනම් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

කවරයේ පින්තූරය- cdn.vox-cdn

මූලාශ්‍රය: 

BBC හි පල වූ Single-use plastic: China to ban bags and other items ලිපිය ඇසුරෙන්

Related Articles