Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ප්‍රකාශන නිදහසේ සියලු සීමාවලට එරෙහි චීනයේ ‘හිස් කඩදාසි’ විරෝධතා රැල්ල

නොවැම්බර් මාසයේ අවසාන දින කිහිපය තුළ චීන වැසියන් හිස් කඩදාසි අතැති ව වීදි බැස්සේ එරට රජයට යම් පණිවිඩයක් යොමු කිරීම සඳහා යි. ඒ කඩදාසිවල කිසිදු වාක්‍යයක්, සංකේතයක් හෝ පින්තූරයක් නොතිබූ අතර, බැලූ බැල්මට ම එය අර්ථ විරහිත ක්‍රියාවක් සේ පෙනෙන්න තිබුණා. නමුත්, ඇතුළාන්තයේ කතාව සැබැවින් ම වෙනස්!

“හිස් කඩදාසි පිටුපස තිබෙන දේ මිනිසුන්ට කියවන්න පුළුවන්. කෝපය, අතෘප්තිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහසට ඇති ආශාව, ඒ හැමදෙයක් ම මෙහි තිබෙනවා.”

මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් සහ නීතිඥයෙක් වන ටෙන්ග්, හිස් කඩදාසියේ සැඟ වී ඇති දෑ බොහොම අපූරුවට පැහැදිලි කර දුන්නා. ඔහු චීන ජාතිකයෙක් වුවත්, දැනට සිටින්නේ පිටුවහලකු ලෙස යි.

හිස් කඩදාසි අතැතිව සිටින විරෝධතාකරුවෝ – www.bbc.com/news

චීනයේ ප්‍රධාන නගර කිහිපයක ජනයා සුදු කඩදාසි අතැති ව වීදි බැස්සේ විරෝධතාවක් උදෙසා යි. චීන රජය පවත්වා ගෙන යන ප්‍රකාශන නිදහසේ සියලු සීමාවලට එරෙහි රූපකයක් ලෙස සුදු කඩදාසිය යොදා ගැනුණා. මෙය තරමක් පුදුම සහගත සිදුවීමක්. චීනය යනු විරෝධතාවලට හිතකර රටක් නොවෙ යි. ඉතා කලාතුරකින් විරෝධතා ඇති වුව ද ඒවා හුදෙකලා සිදුවීම් වශයෙන් යටපත් වී යනවා. එහෙත්, මෙවර සිදුවීම් දාමය සැබැවින් ම වෙනස්. එය විරෝධතා රැල්ලක් ලෙස නගර කිහිපයකට පැතිරුණා. රජයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් චීන ජාතිකයන් මෙතෙක් පෙන්වූ ඉවසීම, තවදුරටත් පවත්වා ගෙන යා හැකි ද යන ගැටලුව මෙම විරෝධතාව හරහා ඉස්මතු වෙනවා.

විරෝධයට හේතුව කුමක් ද?

කොවිඩ්-19 සම්බන්ධයෙන් චීන රජය අනුගමනය කරන දැඩි ප්‍රතිපත්ති තවමත් අවසන් වී නැහැ. කොවිඩ් සමඟ දෛනික කටයුතු සමාන්තර ව සිදුකර යෑමට ලෝකය ම උත්සහ ගන්නා විට චීනයේ තවමත් වසංගත පාලනය වෙනුවෙන් දැඩි සීමා පැනවෙනවා. වරින් වර මතුවන කොවිඩ් අවදානම හමුවේ තනි වෙළෙඳසල් මට්ටමේ සිට ප්‍රාන්ත මට්ටම දක්වා වූ ප්‍රදේශ හදිසි අගුළු ලෑමේ ක්‍රියා තවමත් චීනයේ සිදු වෙනවා. එය සිවිල් සමාජයට දරාගත හැකි උපරිම සීමාවත් පසුකර යෑමේ ප්‍රතිපලයක් ලෙස මේ විරෝධතා රැල්ල පැන නැඟුණා.

2022 වර්ෂයේ නොවැම්බර් දක්වා චීනයේ කොවිඩ් ව්‍යාප්තිය – www.bbc.com/news

ගෝලීය ප්‍රජාව, කොවිඩ් සමඟ ජීවත් වීම අරඹා දැන් වසර තුනක් පමණ ගත වී තිබෙනවා. මේ කාල පරාසය පුරා සංචරණ සීමා සම්බන්ධයෙන් චීන රජයේ ක්‍රියාමාර්ග ඉවසීමට එරට ජනයා කටයුතු කර තිබුණත්, සිදුවීම් කිහිපයක් අරබයා එම ඉවසීමට සීමාවක් පැමිණියා. ප්‍රබලත ම සිදුවීම වාර්තා වන්නේ පසුගිය සැප්තැම්බර් මාසයේ දී යි. චීනයේ ග්වෙයිජෝ හි නිරෝධායන මධ්‍යස්ථානයකට ගමන් කරමින් සිටි බස් රථයක් එම මාසයේ දී අනතුරට පත් වූ අතර, අනතුරෙන් පුද්ගලයන් 27 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.

සිදුවීම් දාමයක්

දෙවැනි සිදුවීම පසුගිය නොවැම්බර් මාසයේ දී වාර්තා වුණා. ජන්ජෝ ප්‍රදේශයේ පිහිටි “Apple iPhone” කම්හලක කම්කරුවන් දහස් ගණනක් කොවිඩ් සීමා හේතුවෙන් කැරලි මර්නද පොලිසිය සමඟ ගැටීමක් ඇති කර ගත් බැවින්, විශාල කලබලයක් සිදු වුණා. එම කෝලාහලය දැඩි ව මර්නදය කිරීමට පොලිසිය පියවර ගෙන තිබූ බවත් වාර්තා වුණා. කොවිඩ් සීමා හේතුවෙන් ගෘහස්ථ මට්ටමින් සිදු වන ඛේදවාචකවල තොරතුරු චීනය පුරා පැතිරෙන්නේ කලක සිට යි. අගුළු දැමූ නගරවල සිරවුණු ඇතැම් නිවැසියන් සියදිවි නසා ගැනීමට පෙලැඹුණු බවත් පැවසෙනවා.

“Apple iPhone” කම්හලක කම්කරුවන් ඇතිකර ගත් ගැටුම – www.youtube.com

ආසන්නත ම සිදුවීම වාර්තා වුණේ සින්ජියැන් ප්‍රාන්තයට අයත් උරුම්චි ප්‍රදේශයේ ගොඩනැඟිල්ලකින්. කොවිඩ් හේතුවෙන් උරුම්චි ප්‍රදේශය පසුගිය අගෝස්තුවේ පටන් දැඩි සංචරණ සීමා යටතේ පැවතුණු අතර, එහි ගොඩනැඟිල්ලක් ගින්නට හසු වීමෙන් පුද්ගලයන් දස දෙනෙක් පමණ මිය ගියා. මරණවලට හේතුව ලෙස ප්‍රදේශවාසීන් ඇඟිල්ල දිගු කළේ රජයේ කොවිඩ් ප්‍රතිපත්තියට යි.

කෙසේ නමුත්, බලධාරියකු ගේ ප්‍රතිචාරය හමුවේ එම චෝදනා කෝපයකට පරිවර්තනය වුණා. ගොඩනැඟිල්ලේ නේවාසිකයන් සිය ආරක්ෂාව තහවුරු කර ගැනීමට අසමත් වීම හා සමාන ප්‍රකාශයක් බලධාරියා සිදු කළ බැවින්, උරුම්චි පෙදෙසේ විරෝධතා ඇවිළ ගියා.

උරුම්චි ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් ගින්නට හසු වූ අයුරු – abcnews.go.com

විරෝධතා “රැල්ල” ඇරඹේ!

චීනය “ශූන්‍ය කොවිඩ්” ප්‍රතිපත්තියක් මත පිහිටමින් ක්‍රියා කරන නිසා පුරවැසියන් ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය තැකීමට ලක් නොකරන බව මින් පෙනී යනවා. චීන රජය සහ එරට පුරවැසියන් අතර පවතින සබඳතා ඩිස්ටෝපියානු සමාජ ස්වභාවයකට ආසන්න ව පවතිනවා. 

කොවිඩ් මර්දන නීති හමුවේ මහජනයාගේ ප්‍රතික්‍රියා වර්ධනය වන පසුබිමක පවා චීන බලධාරීන් තොරතුරු සහ ජන සමාජයේ පොදු ආකල්ප නොතකා හැරීමට කටයුතු කළ බව සඳහන්. ඊට සමානුපාතික ව පුරවැසියන් ගේ නොඉවසිලිමත් බව සහ පාලන තන්ත්‍රය කෙරෙහි ඇතිකර ගත් සැක සංකා වර්ධනය වුණා. අවසාන ප්‍රතිපලය ලෙස තම අයිතීන් වෙනුවෙන් මහ මඟට බැසීමට චීන ජනයා තීරණය කළා.

 මීට පෙරාතු ව විරෝධතා සංවිධානය වුණේ හුදෙකලා සිදුවීම් ආශ්‍රය කර ගෙන යි. මෙවර විරෝධතා ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් පැතිර යන අතර, විරෝධතාකරුවන් අවධාරණය කරන කරුණු වල පරාසය ක්‍රමික ව විකාශනය වෙමින් තිබෙනවා.

විරෝධතා රැල්ලේ පැතිරීම සතියක් පුරා සිදු වූ අයුරු – edition.cnn.com

පසුගිය නොවැම්බර් 26 වැනි දා (සෙනසුරාදා) ෂැංහයි නගරයේ උරුම්චි දක්වා දිවෙන මහා මාර්ගයකට එක්රැස් වූ චීන ජනයා, මර්දනයක විශාල අවදානමක් දරා ගනිමින් චීන කොමියුනිස්ට් පක්ෂයට සහ ජනපති ෂී ජින් පින්ට විරෝධය දැක්වූවා. විරෝධතාකරුවන් චීන ජනපතිට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බලපෑම් කළ අතර, එය විරෝධතාවේ සුවිශේෂී ලක්ෂණයක් ලෙසත් පෙනෙන්න තිබුණා.

ඉරිදා වනවිට උරුම්චි ඛේදවාචකය හමුවේ නැඟී සිටි ප්‍රදේශවාසීන්ට සහයෝගය දැක්වීමක් ලෙස පෙළපාලි රැල්ලක් චීනය පුරා පැතිර ගියා. ෂැංහයි නගරයට අමතර ව චංග්ඩු, වුහාන්, ලැන්චෝ, නැංජින් යන ප්‍රදේශ වල සහ විශ්ව විද්‍යාල කිහිපයකත් විරෝධතා සංවිධානය වුණා.

නොවැම්බර් 27දා බීජිං හි පැවති විරෝධතාවයක් අතරතුර ලබාගත් ඡායාරූපයක් – edition.cnn.com

කොවිඩ් පිටුපස ඇති යතාර්ථය

හිස් කඩදාසි සංකේතාත්මක අංගයක් ලෙස විරෝධතාවලට එකතු වුණේ මේ අතරතුර යි. ආරම්භයේ දී රජයේ කොවිඩ් ප්‍රතිපත්තිවලට එරෙහි ව විරෝධතා ඇරඹුණත්, ප්‍රජාතන්ත්‍රවාදය, භාෂණයේ නිදහස වැනි පුළුල් කාරණා ෂී ජින් පින් ඇතුළු අධිකාරීවාදී පාලනය යටපත් කොට ඇති ආකාරය ඒ හරහා කරළියට පැමිනුණා. කොවිඩ් ප්‍රතිපත්තිය පිටුපස තිබූ සැබෑ ගැටලුව මතු කර පෙන්වා දීමට චීන ජනයා සමත් වුණේ ඒ ආකාරයෙන්.

භාෂණයේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින චීන වැසියෝ – www.bbc.com/news

වාර්තාවලට අනුව “සුදු කඩදාසිය” විරෝධතා සංකේතයක් ලෙස මුලින් ම ප්‍රදර්ශනය වූයේ බීජිං නුවර ෂින්හුවා විශ්වවිද්‍යාලයේ යි. එක්තරා සිසුවෙක් සුදු කඩදාසියක් අතැති ව විශ්වවිද්‍යාලයේ ආපනශාලාව අසල විරෝධය දක්වා ඇති අතර, කාර්ය මණ්ඩලය එය ඉවත් කිරීමට පියවර ගත් බව සඳහන්. එහෙත්, හුදෙකලා විරෝධතාකරු වටා තවත් සිය ගණනක් එකතු වූ බව පැවසෙනවා. 

අපිට කීමට අවශ්‍ය එහෙත්, එසේ පැවසිය නොහැකි සියල්ල මේ සුදු කඩදාසිය නියෝජනය කරනවා.”

“මේ කඩදාසිය හරහා අපි මොනවා හරි ප්‍රකාශ කරනවා ද?

නෑ..!

හැම චෝදනාවක් ම තියෙන්නේ අපේ හිතේ. සියලු සිතුවිලි තියෙන්නේ අපේ හදවත් තුළ යි.”

සුදු හෝ හිස් කඩදාසියේ ගැඹුරු යතාර්ථය විරෝධතාකරුවන් දෙදෙනෙක් පැහැදිලි කළේ ඒ අයුරින්.

කඩාකප්පල්කාරී ක්‍රියාවක්..?

අපේක්ෂා කළ පරිදි චීන ආරක්ෂක අංශවල මර්දනය මෙම විරෝධතා රැල්ල වෙතත් කඩා වැදුණා. අවම වශයෙන් එක් විදේශීය මාධ්‍යවේදියෙක් සහ විරෝධතාකරුවන් නොදන්නා සංඛ්‍යාවක් දැනටමත් අත් අඩංගුවට ගෙන අවසන්. ප්‍රකෝපයට පත් ජනතාව මැඬපැවැත්වීම සඳහා විරෝධතා ස්ථාන වෙත අමතර පොලිස් කණ්ඩායම් යෙදවීමට චීන පරිපාලනය ක්‍රියා කළ අතර, ෂැංහයි හි පදික වේදිකා වල සෙනඟ එක්රැස් වීම වැලැක්වීම සඳහා විශාල බාධක ද ඉදි කෙරුණා.

ඇසින් දුටුවන් ගේ අත්දැකීම් සහ සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරුණු වීඩියෝ දර්ශනවලට අනුව වීදිවල සහ උමං දුම්රියවල ගමන් කරන මගීන් ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමට පවා පොලිසිය පෙලඹුණු බව සඳහන්.

ෂැංහයි නගරයේ විරෝධය – edition.cnn.com

කොමියුනිස්ට් පක්ෂයේ අභ්‍යන්තර ආරක්ෂක කමිටුව උද්ගත ව ඇති තත්ත්වය අර්ථ ගන්වා තිබුණේ සතුරු බලවේගවල කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙසට යි. සාපරාධී ක්‍රියා හමුවේ දැඩි ව ක්‍රියා කරන බවත් ඔවුන් සපථ කර සිටියා. ඒ අනුව විරෝධතාවේ ඉදිරි ස්වභාවය අනුව රජය ප්‍රතික්‍රියා කරන ස්වභාවයත් වෙනස් වීමට ඉඩ තිබෙනවා.

විරෝධතාවේ අනාගතය

වසංගතයේ මුල් අවධිය තුළ චීනයේ ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය අතිශයින් සාර්ථක වූ බව සත්‍යයක්. ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් ඇති නව ප්‍රභේද පැතිරී යෑමත් සමඟ ඔවුන් ගේ කොවිඩ් ප්‍රතිපත්ති අභියෝගයට ලක් වී තිබෙනවා. කොවිඩ් වසංගතයත් සමඟ පැමිණි ප්‍රධානතම පසුබිම් ගැටලුව වන්නේ ආර්ථිකය යි. සංචරණ සීමා හෝ අගුළු දැමීමේ කාලපරිච්ඡේදවලට ඇතුළු වූ පසු බොහෝ රටවල් ආර්ථික පසුබෑමක් පෙන්වූ බැවින්, එන්නත්කරණය ශක්තිමත් කරමින් යළි විවෘත වීමට ලෝකයට සිදු වුණා. දැන් ලෝකයේ අති බහුතරයක් වසංගතය සමඟ වාසය කිරීමට හුරු වී අවසාන යි. එහෙත්, චීනය වරින් වර ඔවුන් ගේ සාම්ප්‍රදායික දැඩි ප්‍රතිපත්තිය අනුගමනය කරනවා. එය මිනිසුන්ට විශාල පීඩනයක්.

විරෝධතා චීනයට අතිශයින් ආගන්තුක නොවූව ද මෙවර විරෝධතා රැල්ලේ පැතිරීම සහ පරාසයේ විශේෂත්වයක් තිබෙනවා. නිරීක්ෂකයන් පවසන අන්දමට වත්මන් තත්ත්වය 1989 සිදු වූ ටියැනන්මෙන් විරෝධතාවේ ස්වභාවය දක්වා වර්ධනය විය හැකි යි. ටියැනන්මෙන් විරෝධතාවයමාරාන්තික ලෙස මර්දනය කිරීමට එවකට චීන පාලනය ක්‍රියා කළ අතර, ලෝක ඉතිහාසයේ ඛේදාන්තයක් ලෙස අදටත් මතකයේ පවතිනවා.

පොලිසිය සීරුවෙන්! – edition.cnn.com

විරෝධතාවය හරහා අවධාරණය කළ ඉල්ලීම් යම්තාක් දුරකට චීන වැසියන්ට ලැබෙමින් පවතිනවා. දෛනිකව වාර්තා වන ඉහළ ආසාදිතයන් සංඛ්‍යාව නොසළකා හරිමින් කොවිඩ් සීමා ලිහිල් කිරීමට චීන බලධාරීන් උත්සුක වීම ඊට හේතුව යි. එලෙස සීමා ලිහිල් වූ ප්‍රදේශ අතර ෂැංහයි සහ ගුවැංෂු හි දිස්ත්‍රික්ක ගණනාවක් තිබෙනවා. අනපේක්ෂිත ජන නැඟිටීම හමුවේ රජය ගත් ඉතා කුඩා සහනදායී පියවරක් ලෙස කොවිඩ් සීමා ලිහිල් කිරීම් හැඳින්විය හැකි යි.

ඉන් විරෝධතාවේ සත්‍ය අරමුණු යටපත් කිරීමේ උත්සාහයක් ද තිබීමට පුළුවන්. සුදු කඩදාසියේ සංකේතාත්මක ප්‍රකාශනය කොතරම් දුරකට ජනතා සිත් තුළ තැන්පත් වී ඇති ද යන කාරණය මත විරෝධතා රැල්ලේ අනාගතය තීරණය වනු ඇති. චීන රාජ්‍ය මාධ්‍ය විරෝධතා සම්බන්ධයෙන් අක්‍රීය පිළිවෙතක් අනුගමනය කිරීමත් විශේෂත්වයක්.

විරෝධතාවේ අවස්ථා – www.youtube.com

කවරයේ ඡායාරූපය: චීන රජය සහ පුරවැසියා අතර මෑත කාලයේ සිදු වූ විශාලතම දෙදරීම මෙම විරෝධතා රැල්ල හරහා සිදු වෙමින් පවතිනවා - www.ft.com
මූලාශ්‍ර:
www.bbc.com
www.theguardian.com
www.cbc.ca
www.bbc.com/news/world-asia-china
edition.cnn.com

Related Articles