චිකාගෝවේ මිලේනියම් උද්‍යානය සරසන වලාකුළු දොරටුව

මේ ලෝකයට අලුතින් එකතු වන හැම මිනිසෙක්ම එක්තරා විදියක නිර්මාණකරුවෙක්. නව මිනිසාට තියෙන ලොකුම අභියෝගය තමයි මේ තාක් කිසිවෙකුත් විසින් බිහි නොකරන ලද ආකාරයේ නිර්මාණයක් මේ වනවිටත් බිහිකර තිබෙන නිර්මාණ ගොන්න අතරට එකතු කිරීම. අතීත මිනිසාට වඩා නිර්මාණශීලී වීමට එහිදී නූතන මිනිසාට සිදුවනවා. 

ලොව පවත්නා කර්මාන්ත අතරින් නිර්මාණශීලීත්වය වඩාත්ම ඇගයෙන කර්මාන්තයක් තමයි සංචාරක කර්මාන්තය කියන්නෙ. විචිත්‍රවත්ව සැකසූ උද්‍යාන, ප්‍රතිමා නැරඹීමටත්, ඒවා සමීපයෙහි හිඳ ඡායාරූප ගැනීමටත් සංචාරකයන් බෙහෙවින්ම ප්‍රිය කරනවා. චිකාගෝ නුවර පිහිටා තිබෙන මිලේනියම් උද්‍යානය කියන්නෙත් ඒ ආකාරයෙන් විශාල සංචාරක ආකර්ෂණයක් දිනාගත් මනරම් පාරාදීසයක්.

වළාකුළු ගේට්ටුවෙන් අහස දිස්වන ආකාරය (HDWallSource)

මිලේනියම් උද්‍යානයේ ඉදිකර තිබෙන ‘Cloud Gate’ හෙවත්The Bean’, චිකාගෝ නුවර මධ්‍යයේ පිහිටා තිබෙන අපූර්වතම නිර්මාණයක්. මෙය මේ වන විට ලොව ඉදිකර තිබෙන එළිමහන් කලාකෘතීන් අතරින් විශාලතම කලා නිර්මාණයක් ලෙස සැලකෙනවා. 2004 වසරේ දී ඉදිකිරීම් අවසන් කර සංචාරකයන් සඳහා නිරාවරණය කිරීමෙන් අනතුරුව මෙකී නිර්මාණය බොහෝ දෙනාගේ අවධානයට යොමු වුණා. McCormick Tribune Plaza නමැති වෙළඳ සංකීර්ණයට ඉහළින් පිහිටුවා තිබෙන මෙම ස්මාරකය, ඒ ආසන්නයේ පිහිටා තිබෙන Park Grill Restaurant නමැති අවන්හලට පැමිණෙන අමුත්තන්ගේ ආකර්ෂණය නිතැතින්ම දිනාගන්නවා. චිකාගෝ නුවර විවිධ පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පයන්ගෙන්, ගංගා, ඇවිද යාමේ මංතීරු, සිනමාහල්, සාප්පු සංකීර්ණ මෙන්ම ප්‍රණීත ආහාරපාන සහිත අවන්හල්වලින් යුත්, සංචාරකයන්ටම වෙන් කළාක් මෙන් පෙනෙන අසිරිමත් පුරවරයක්. වලාකුළු දොරටුව මෙම පුරවරයේ අසිරිය තවත් ගුණාකාර කිහිපයකින් වැඩි කර දක්වනවා.

බාහිර අලංකරණවලින් හැඩ ගැන්වුණු වලාගුළු ගේට්ටුව (millenniumparkfoundation.org)

‘Cloud Gate’හි මතුපිට රසදිය පැහැයෙන් දිස්නය දෙනවා. ඒ දෙස බලා සිටින්නෙක්ට උද්‍යානය පුරා ඇවිද යන මිනිසුන් සියලු දෙනාව ‘Cloud Gate’හි මතුපිට ආවරණය මතින් දැකගැනීමට පුළුවන්. හරියටම කිව්වොත් වලාකුළු දොරටුව කියන්නේ එක්තරා ආකාරයක කැඩපතක්. උද්‍යානය පුරා ඇති ගස්වැල්, ගොඩනැගිලි, නිල් අහස සහ වලාකුළු යන මේ සියල්ලක්ම වලාකුළු දොරටුවෙන් බොහොම අපූර්වත්වයෙන් යුක්ත හැඩයක් මවමින් දිස් වනවා. වලාකුළු දොරටුව අසලට පැමිණ එයින් පිළිබිඹු වන තමන්ගේ සේයාරූ කාචගත කරගැනීමට සංචාරකයන් වැඩි කැමැත්තක් දක්වනවා. වලාකුළු දොරටුව මත වඩාත් අලංකාරව චිත්‍රණය වන්නේ අහසෙහි දර්ශනය යි. එය සමස්ත දර්ශනයෙන් 80%ක පමණ ප්‍රමාණයක් වනවා. එසේම ‘Cloud Gate’හි මැද පවතින අඩි දොළහක් උසැති කවාකාර ආරුක්කුව හේතුවෙන් එකී නිරූපණය අහස වෙත යොමු වූ කවාකාර ගේට්ටුවක ස්වරූපයෙන් දිස්වෙනවා. මෙයට ‘Cloud Gate’ යන නම පටබැඳී තිබෙන්නේත් ඒ හේතුවෙන්ම යි. කෙසේ නමුත් චිකාගෝ වැසියන් මෙම නිර්මාණය හඳුන්වන සුරතල් නාමය The Bean’ යන්න යි. ඊට හේතුව මෙය ඈතට දිස් වන්නේ බෝංචි බීජයක් ආකාරයට වීම යි.

සීත සෘතුවේදී වලාකුළු ගේට්ටුව දිස්වන ආකාරය (millenniumparkfoundation.org)

මෙම නිර්මාණයේ පීතෘත්වය හිමි වන්නේ අනිෂ් කපූර් නමැති, ඉන්දියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික අතිදක්ෂ ප්‍රතිමා නිර්මාණ ශිල්පියාට. අනිෂ් කපූර් එළිමහන්හි සිදු කරන විශාල පරිමාණයේ ප්‍රතිමා, ස්මාරක නිර්මාණයන්ට කීර්තිය උසුලන්නෙක්. ඔහු නිමකළ බොහෝ නිර්මාණයන්හි මතුපිට පැවති පරාවර්තන ගුණය දේශ දේශාන්තරයන්හි ප්‍රචලිත වූවා. ඔහුට මෙම නිර්මාණය ඉදිකිරීම සඳහා ආරාධනා ලැබෙන්නේත් ඔහු සතුව පැවති එකී අපූර්ව නිර්මාණ ගුණය හේතුවෙන්ම යි. 

අනිෂ් කපූර්ගේ නිර්මාණ යෝජනාව තේරී පත්වන්නේ නිර්මාණ යෝජනාවන් දෙකක් අතරින්; ඒ වර්ෂ 1999 දී. ‘Cloud Gate’ යනු අනිෂ් කපූර් එක්සත් ජනපදයේ සිදුකළ සිය පළමුවන නිර්මාණය සේම, ඔහුගේ නම වඩාත් ප්‍රචලිත කරවූ නිර්මාණය යි. මෙය ඉදිකෙරෙමින් පවතින විටත් එය දකින කිසිවෙකුට මේ ඉදිවන්නේ කුමක්දැ යි යන්න පිළිබඳ හරිහැටි අවබෝධයක් තිබුණේ නැහැ. ඊට විශේෂතම හේතුව වූයේ කිසිවෙකුත් එවැනි වෙනස් නිර්මාණයක් මින් පෙර දැක නොතිබීම යි. එබැවින් මෙකී නිර්මාණය සිදුවන අවස්ථාවේ දී එය දකින්නන්ට ඒ පිළිබඳව පැවතියේ සාධාරණ කුතුහලයක්.

නිර්මාණ ශීල්පී අනිෂ් කපූර් (Britannica)

 

වලාකුළු ගේට්ටුවෙන් දිස්වන අහස (millenniumparkfoundation.org)

වර්ෂ 2006 මැයි මස වන තෙක් අනිෂ් කපූර් අතින් මෙම නිර්මාණය සම්පූර්ණයෙන්ම නිම වන්නේ නැහැ. වර්ෂ 2004 දී මහජන ප්‍රදර්ශනයට මෙය විවෘත කරන ලද නමුත් එය සතු මායාකාරී පෙනුම ඊට මුළුමනින්ම ලැබෙන්නේ වර්ෂ 2006 මැයි මාසය වන විට දී යි. ‘Cloud Gate’හි බාහිර ආවරණය සකසා තිබෙන්නේ දර්පණයකින්යැ යි බැලූ බැල්මට දිස්වුවත් එය සැබවින්ම සකසා තිබෙන්නේ සුදු යකඩවලින්. පරිගණක තාක්ෂණය භාවිතයෙන් ටොන් සියයක බරින් යුත් විශාල සුදු යකඩ තහඩු 168ක් නිවැරදිව කපා, ඉන් අනතුරුව එසේ කපන ලද සුදු යකඩ තහඩු එකට තබා පෑස්සීමට ලක් කර ‘Cloud Gate’හි බාහිර ආවරණය මූට්ටු නොපෙනෙන සේ මූට්ටු රහිත නිමාවක් කරා ගෙන ඒමට තරම් අනිෂ් කපූර් දක්ෂ වී තිබෙනවා. මෙම නිර්මාණය දකින්නෙකුට කිසිවිටෙකත් සිතා ගැනීමට නොහැකියි මෙහි සුදු යකඩ තහඩු 168ක් අන්තර්ගත බව. එය කිසිදු පෑස්සුම් සලකුණක් සොයාගැනීමට නොහැකි වන තරමට අතිවිශිෂ්ඨ අන්දමින් පෑස්සුම් කර තිබෙනවා.

වලාකුළු ගේට්ටුව ඉදි කළ ආකාරය (millenniumparkfoundation.org)

 

ඉදිකිරීම් කටයුතු අතරතුර (Chicago Public Library)

‘Cloud Gate’හි අභ්‍යන්තරය සකසා තිබෙන්නේ විශාල යකඩ මුදු දෙකක් එකිනෙකට බද්ධ කිරීමෙන්. මෙම මුදු හැඩයේ යකඩ සැකිලි දෙක මඟින් අදාළ නිර්මාණයෙහි බර පොළොම මත සමතුලිත කරවනවා. එසේම ‘Cloud Gate’හි විශේෂිත හැඩයට, අභ්‍යන්තරයේ යොදා ඇති මෙම යකඩ මුදු ද්විත්වය හේතුවක් වනවා. ‘Cloud Gate’හි බාහිර සුදු යකඩ ආවරණය අභ්‍යන්තරය සැකිල්ල සමග සම්බන්ධ කර තිබෙන්නේ නම්‍යශීලී සම්බන්ධකවලින්. ඒ, චිකාගෝ නුවරට උදාවන විවිධ කාලගුණික තත්ත්වයන්හි දී සුදු යකඩ ආවරණයට ප්‍රසාරණය වීමට හැකි වන ආකාරයටත්, අදාළ කාලගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමට හැකි වන ආකාරයටත්. ‘Cloud Gate’ නිර්මාණය කිරීම සඳහා මිලේනියම් පාර්ක් පදනම පෞද්ගලික ධන පරිත්‍යාගයන් යොදාගෙන තිබෙනවා.

ඉදිකිරීම් කටයුතු අතරතුර (Reddit)

 

ගුවනට දිස්වන ආකාරය (Reddit)

චිකාගෝ නගරයට මෙය හුදු නගර අලංකරණ ප්‍රතිමා නිර්මාණයක් වුවත්, සංචාරකයන්ට නම් එය සෙල්ෆි ඡායාරූප ගැනීම සඳහා සකසන ලද පසුතලයක්. චිකාගෝ නගරයට පැමිණෙන කිසිවෙක් වලාකුළු දොරටුව නැරඹීම නම් කිසි ලෙසකින්වත් මඟහැර ගන්නේ නැහැ. මෙය ස්පර්ශ කර බලා එහි පිළිබිඹු වන තමන්ගේ සේයාව ඡායාරූපගත කර ගැනීමට සංචාරකයන් දක්වන්නේ විශේෂ උනන්දුවක්. ඒ හේතුවෙන්ම දිනකට දෙවරක් වලාකුළු ගේට්ටුව පිරිසිදු කිරීම සඳහා Millennium Parkහි සේවක මඬුල්ල කටයුතු කරනවා. ඒ උදෑසන එක්වරකුත්, රාත්‍රී කාලයේ දී තවත් වරකුත් ලෙසින්. එහිදී වලාකුළු ගේට්ටුවේ මතුපිටට කිසිදු සීරීමක් හෝ හානියක් නොවන පරිද්දෙන් ඉතා ප්‍රවේසම් සහගතව සම්පූර්ණයෙන්ම පිස දැමීම සහ ඔප දැමීම සිදු කරනවා.

ඊට අමතරව මිනිසුන් විසින් නිතර ස්පර්ශ කෙරෙන වලාකුළු ගේට්ටුවේ පහළ අඩි හයක කොටස, ඔවුන්ගේ ඇඟිලි සලකුණු මැකී යන පරිදි පිස දමා ඔප ගැන්වීම උක්ත දක්වන ලද අවස්ථා දෙකට අමතරව දිනකට හත් වරක් සිදු කිරීමට උද්‍යාන පාලක කණ්ඩායම විසින් පියවර ගැනෙනවා. 

 

 

මූලාශ්‍රයයන්:

  • The Bean (Cloud Gate) in Chicago, choosechicago.com
  • A Brief Story of the Chicago Bean, theculturetrip.com
  • Cloud Gate in Millennium Park, chicago.gov
  • Cloud Gate, millenniumparkfoundation.org
  • Cloud Gate, anishkapoor.com

Cloud Gate in Millennium Park, statuestorieschicago.com

Related Articles