Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔයිමියාකොන්: ලොව වඩාත් සීතල ම ගම්මානය

අප ජීවත්වන ලෝකය ප්‍රධාන වශයෙන් දේශගුණික කලාප තුනකට බෙදී තිබෙනවා. ඒ, නිවර්තන, සෞම්‍ය සහ ධ්‍රැවීය යන කලාප අයුරිනු යි. එම කලාප අතුරින් ධ්‍රැවීය කලාපය ආශ්‍රිත ව පවතින්නේ අධික ශීත දේශගුණයක්. එනිසා එම ප්‍රදේශවල උෂ්ණත්වය බොහෝ විට සෙල්සියස් ඍණ අගයක් ගන්නවා. ඒ අනුව ධ්‍රැවීය කලාපයේ සමහර ප්‍රදේශ දරාගන්නට බැරි තරම් අධික සීතලකින් යුක්ත යි.

රුසියාවේ ඔයිමියාකොන් එවැනි අධික සීතලකින් යුක්ත ප්‍රදේශයක්. ලොව සීතල ම ගම්මානය ලෙසින් සැලකෙන එය මිනිසුන්ට ජීවත් වීමට අසීරු ප්‍රදේශයක්.  ඉතාමත් සුළු ජනගහනයක් එම නගරය තුළ කටුක ජීවිතයක් ගත කරනවා. මෙතැන් සිට ඔබට කියන්නට යන්නේ සීතල ඔයිමියාකොන් ගම්මානය පිළිබඳ ව අපූරු තොරතුරු යි. 

පිහිටා තිබෙන ප්‍රදේශය

ප්‍රමාණයෙන් ඉතාමත් විශාල රටක් වන රුසියාව ප්‍රධාන වශයෙන් දිස්ත්‍රික්ක 8කට බෙදී තිබෙනවා. ඒවා වයඹ, මධ්‍යම, දකුණ, වොල්ගා ප්‍රදේශය, යූරල් ප්‍රදේශය, ඈත පෙරදිග, උතුරු කොකේසියාව සහ සයිබීරියාව යන නම්වලින් හඳුන්වනවා. ඒ අතුරින් දෙවැනියට විශාල දිස්ත්‍රික්කය වන්නේ සයිබීරියාව යි. අධික ශීත දේශගුණයකින් යුත් ප්‍රදේශ රැසක් පිහිටා තිබෙන එම දිස්ත්‍රික්කයට සාකා පළාත ද අයත්.

අපි මෙම ලිපිය තුළ කතා කරන ඔයිමියාකොන් ගම්මානය ද සාකා පළාතේ පිහිටි එකක්.  මුහුදු මට්ටමේ සිට අඩි 2460ක් උසින් පිහිටා තිබෙන මෙම ගම්මානය යානා උස්බිම්වලට මායිම් ව පිහිටා තිබෙනවා. ඉන්දිගිර්කා නදිය ද මෙම ගම්මානය අසලින් ගලා බසිනවා. ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක පිහිටා තිබෙන මෙම ගම්මානය Pole of Cold යන නමින් ලොව පුරා ප්‍රසිද්ධියට පත් ව තිබෙනවා.

ඔයිමියාකොන් ගම්මානය – gettyimages.com

 

ගම්මානයේ ජනගහනය 500ටත් වඩා අඩුයි 

සාමාන්‍යයෙන් බොහෝ දෙනකු නිවාඩුවක් ගත කිරීම සඳහා ටිකක් සීතල පළාතකට යන්නට කැමතියි. සිය ජීවිත කාලය පුරා ම අධික සීතලකින් යුක්ත ප්‍රදේශයක ජීවත් වෙන්නට නම් අකමැති යි. ඒ හේතුව නිසා ම අද වන විට ඔයිමියාකොන් ගම්මානයේ ජනගහනය 500කටත් වඩා අඩු වී තිබෙනවා. 20 වන සියවසේ මුල් භාගය පමණ වන විට මෙම ගම්මානයේ 2500කට ආසන්න පිරිසක් ජීවත් වුණා.

ඔයිමියාකෝන් හි ජීවිතය දුෂ්කර එකක් නිසා සැලකිය යුතු තරම් පිරිසක් ක්‍රමක්‍රමයෙන් ගම්මානය අතහැර ගියා. එනිසා 2010 පමණ වන විට එහි ජනගහනය 900ක් දක්වා අඩු වී තිබුණා. ඔයිමියාකොන් ගම්මානයේ ජීවත් වීම ඉතාමත් දුෂ්කර නිසා ඉදිරි අනාගතයේ දී මෙහි ජනගහනය තවත් අඩුවනු ඇති බව බොහෝ දෙනකුගේ විශ්වාසය යි. 

ගම්මානයේ ජීවත් වන උදවිය – gettyimages.com

 

වසරේ මාස 9ක් පවතින්නේ ඍණ උෂ්ණත්වයක් 

ඔයිමියාකොන් ගම්මානයේ වාර්ෂික උෂ්ණත්වය පිළිබඳ ව දත්තයන්ට අනුව මාස 9ක් පුරාවට එහි උෂ්ණත්වය ඍණ අගයක් ගැනීම විශේෂත්වයක්. ඒ අනුව ජනවාරි සිට මැයි දක්වාත්, සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වාත් ගෙවෙන මාසවල දී ඔයිමියාකොන් ගම්මානයේ උෂ්ණත්වය සෙල්සියස් 0ට වඩා පහළ අගයක් ගන්නවා. එම මාස 9දී ඔයිමියාකොන් හි සාමාන්‍ය උෂ්ණත්වයේ සාමාන්‍ය අගය  සෙල්සියස් ඍණ 40ක් තරම් පහළ අගයක් ගැනීම විශේෂත්වයක්.

මෙම අපූරු ගම්මානයේ උෂ්ණත්වයේ ගොඩාක් ම අඩුවන්නේ ජනවාරි සහ දෙසැම්බර් යන මාසවල දී. ඇතැම් වසරවල එම මාසවල දී මෙහි උෂ්ණත්වය ඍණ 60ටත් වඩා අඩු අගයක් ගන්නවා. ඒ අයුරින් මාස 9ක් පුරා අධික සීතලක් පවතින මෙම ගම්මානයට ගිම්හානය උදා වන්නේ ජූනි, ජූලි සහ අගෝස්තු යන මාසවල දී යි. එම කාලයේ ඔයිමියාකොන් හි උෂ්ණත්වය සෙල්සියස් 30 පවා ඉක්මවා ගිය අවස්ථා තිබෙනවා. එදාමෙදා තුර ඔයිමියාකොන් ගම්මානයෙන් ඉහළ ම උෂ්ණත්වය වාර්තා වුණේ 2010 වසරේ ජූලි 28 වැනිදා යි. එහි දී උෂ්ණත්වය සෙල්සියස් 34.6ක් තරම් ඉහළ අගයක් ගත්තා. 

ශීත කාලයේ දී ගම්මානයේ පරිසරය – weather.com

 

මිනිස් ජනාවාසයකින් වාර්තා වුණු අවම උෂ්ණත්වය 

ගෙවුණු සියවසක පමණ කාලය තුළ ඔයිමියාකොන් ගම්මානයෙන් ඉතාමත් පහළ උෂ්ණත්ව වාර්තා වුණා. 1924 ජනවාරි මාසයේ එක්තරා දිනයක ඔයිමියාකොන් හි  උෂ්ණත්වය ඍණ 71.2ක් ලෙසින් සටහන් වුණත් එය නිල වශයෙන් පිළිගෙන නැහැ. එලෙස සටහන් වුණු ඉතාමත් අඩු උෂ්ණත්ව අගය සිහිපත් කිරීම සඳහා එහි ස්මාරකයක් ඉදි කර තිබෙනවා. 1933 පෙබරවාරි 6 වැනිදා ඔයිමියාකොන් ගම්මානයේ උෂ්ණත්වය ඍණ 67.7ක් ලෙසින් සටහන් වුණා.

එම උෂ්ණත්ව කියවීම ඔයිමියාකොන් කාලගුණ මධ්‍යස්ථානයේ සටහන් වී තිබෙනවා. එනිසා එදාමෙදා තුර ඔයිමියාකොන් ගම්මානයෙන් වාර්තා වුණු අවම උෂ්ණත්වය ලෙස සටහන් වුණේ එම ඍණ 67.7ක අගය යි. මිනිස් ජනාවාස සහිත ප්‍රදේශයකින් වාර්තා වුණු අවම උෂ්ණත්වය වන්නේ 1933දී මෙම ගම්මානයෙන් වාර්තා වුණු ඍණ 67.7ක උෂ්ණත්වය යි. 1931 වසරේ ජනවාරි මාසයේ දී වාර්තා වුණු ඍණ 54.1ක උෂ්ණත්වයත් ගෙවුණු සියවස තුළ ඔයිමියාකොන් ප්‍රදේශයෙන් වාර්තා වුණු අවම උෂ්ණත්ව අගයන් අතරට එකතු වන බව මෙහි දී සිහිපත් කළ යුතු යි.

වාර්තා වුණු අවම උෂ්ණත්වය පිළිබඳව ස්මාරකය – gettyimages.com

පැය 21ක දිවා කාල සහ රාත්‍රීන් 

ඔයිමියාකොන් ගම්මානය උතුරු අර්ධ ගෝලයේ ඉහළ ම කොටසේ පිහිටා තිබෙනවා. එනිසා මෙම ප්‍රදේශයට ඍතු භේදය තදින් ම දැනෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශීත කාලයේ දී ඔයිමියාකොන් හි රාත්‍රී කාලය පැය 21ක් තරම් දීර්ඝ වෙනවා. එම කාලයේ මෙම ප්‍රදේශයට උතුරු එළි ද දිස්වෙනවා. ශීත කාලයේ මෙහි උෂ්ණත්වය ඍණ 40ක් පමණ වන නිසා බොහෝ දෙනෙකු නිවසින් එළියට යන්නේ නැහැ.

ඒ දරා ගැනීමට අපහසු සීතලක් පවතින නිසා යි. ශීත කාලයට ඔයිමියන්කෝ ගම්මානයේ ජීවත් වන බොහෝ උදවිය ඇඟ උණුසුම් කරන උදුන් ළඟට වී කාලය ගත කරනවා. ඒ අයුරින් පැය 21ක රාත්‍රී කාලයක් පවතින ශීත ඍතුව ඉතාමත් අලස අයුරින් ගෙවාදැමීමට මෙම ගම්මානයේ ජනයා පුරුදු ව සිටිනවා.

ගිම්හානය ආරම්භ වෙද්දී ඔයිමියාකොන් ගම්මානය – gettyimages.com 

 

මෙම ගම්මානයේ ජීවත් වන ජනතාව ගිම්හාන සමය වඩාත් ප්‍රීතියෙන් ගත කරනවා. ඒ එම කාලයේ සාමාන්‍ය උෂ්ණත්වය 20 ඉක්මවා යන නිසා යි. ගිම්හාන ඍතුවේ දී දිවා කාලය පැය 21ක් තරම් දීර්ඝ වන නිසා ගම්මානයේ ජීවත් වන ජනතාව එළිමහනට ගොස් දවස පුරාම විනෝද වෙනවා. සාමාන්‍යයෙන් ගිම්හාන සමය ලෙසින් සැලකෙන ජූනි-අගෝස්තු අතර කාලයේ දී ඔයිමියාකොන් වැසියන්ට විනෝද සාදවලින් නම් කිසිම අඩුවක් නැහැ. දහවල් කාලයේ පරිසරයට හොඳින් හිරු එළිය වැටෙන නිසා බොහෝ දෙනකු විනෝද සවාරි යන්නටත් අමතක කරන්නේ නැහැ. 

ප්‍රධාන ආහාරපාන 

ඔයිමියාකොන් ගම්මානය ආශ්‍රිත ව භෝග වගා කිරීමට හැකියාවක් නැහැ. එනිසා ඔයිමියාකොන් හි ජීවත් වන වැසියන්ට එළවළු හෝ පලතුරු ආහාරයට ගැනීමට අවස්ථාව ලැබෙන්නේ හරිම අඩුවෙන්. මෙම ගම්මානය ආශ්‍රිත ව පවතින අධික සීතලට ඔරොත්තු දීම සඳහා සමේ සැලකිය යුතු තරම් තෙල් තට්ටුවක් තිබිය යුතු යි. එනිසා ඔයිමියාකොන් හි වැසියන් අධික ලෙස මස් සහ මාළු ආහාරයට ගැනීමට පුරුදුව සිටිනවා.

එහි දී ඔවුන් අධික ලෙස ආහාරයට ගන්නේ මුව මස්, අශ්ව මස් වැනි මස් වර්ග යි. ඒ වගේම මෙම ගම්මානයේ ජීවත් වන මිනිසුන් ඔවුන්ට අයත් ගොවිපොළවල්වල සිටින සතුන්ගෙන් දොවා ගත් කිරි පානය කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා. ඔවුන් අනුගමනය කරන එම ආහාර රටාව නිසා අධික සීතලට ඔරොත්තු දීමට හැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. 

ඔයිමියාකොන් වැසියන්ගේ ආහාර – gettyimages.com

දුෂ්කර ජීවිතය 

ඔයිමියාකොන් ගම්මානය තුළ පිහිටා ඇත්තේ එකම එක වෙළෙඳ සලක් පමණ යි. ගම්වැසියන්ට අවශ්‍ය කරන භාණ්ඩ වෙළෙඳ සලේ අයිතිකරුවාට ඒ බව දැනුම් දුන් පසු ඔහු ටික දිනකින් එම භාණ්ඩ ගෙනැවිත් දෙනවා. ඉන් පැහැදිලි වන්නේ ඔවුන්ට අවශ්‍ය බොහෝ භාණ්ඩ ඒ මොහොතේ ම ලබාගැනීමට නොහැකි බවයි. මෙහි පවතින අධික සීතල හේතුවෙන් බැටරි සහිත උපාංග භාවිතා කිරීම ඉතාමත් අපහසුයි.

එනිසා ගම්වාසීන්ට ජංගම දුරකථන භාවිත කිරීමේ අවස්ථාව පවා අහිමි වී තිබෙනවා. බැටරිවල ආයු කාලය ද ඉතාමත් අඩු යි. මෙහි ජීවත් වීම කෙතරම් අපහසු ද කිවහොත් ලිවීම සඳහා භාවිත කරන පෑන්වල තීන්ත පවා මිදීමක් සිදු වෙනවා. 

ශීත කාලයේ දී එළිමහනේ නවතා තිබෙන මෝටර් රථ – gettyimages.com 

 

මෙම ගම්මානය ආශ්‍රිත ව රථවාහන නවතා තැබීමට ද තරමක් අපහසු යි. ඒ අධික සීතල නිසා වාහනයේ එංජිම ක්‍රියා විරහිත වන නිසා යි. එනිසා බොහෝ පුද්ගලයන් වාහනයේ එන්ජිම ක්‍රියාත්මක ව තිබිය දීම සිය වාහනය නවතා තබනවා. ඇතැම් උදවිය ඒ සඳහා විකල්ප ක්‍රම භාවිත කරනවා. හීටර් සවි කළ ගරාජයක වාහනය නතර කිරීම ඊට උදාහරණයක් ලෙසින් දක්වන්නට පුළුවන්. එම උදාහරණවලින් මෙම ගම්මානයේ ජීවත්වන ජනයා ගත කරන දුෂ්කර ජීවිතය පිළිබඳව ඔබට අවබෝධ වනු ඇති බවට සැකයක් නැහැ. 

කවරයේ ඡායාරූපය- ශීත කාලයේ ඔයිමියන්කෝ ගම්මානය - pinterest.com

මූලාශ්‍ර:

pickyourtrail.com 

slmobi.com 

morethanshipping.com 

Related Articles