Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

‘ජීවත් වීම සඳහා දේශපාලනය’ තේමාව කර ගත් ගුස්ටාවෝ පෙට්‍රෝ

පසුගියදා පැවති කොලොම්බියානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලැබුවේ එරට ‘හියුමන් කොලොම්බියා’ පක්ෂයෙන් ඒ සඳහා තරග වැදුණු ගුස්ටාවෝ පෙට්‍රෝ යි. මෙම ජයග්‍රහණය ඉතා සුවිශේෂී එකක් වන්නේ ඔහු කොලොම්බියාවෙන් තේරී පත් වූ පළමු වාමාංශික ජනපති වීම නිසා යි. ඔහු ගරිල්ලා කණ්ඩායමක සාමාජිකයෙක් වී සිට තිබීමත් එම පත්වීම තවත් සුවිශේෂී වීමට හේතු වී තිබෙනවා.

උපත සහ දිවියේ මුල් අවධිය

ගුස්ටාවෝ පෙට්‍රෝ උපත ලැබුවේ කොලොම්බියාවේ සියෙනාගා දෙ ඔරෝ නම් කුඩා නගරයේ දී 1960 වසරේ අප්‍රේල් මස 19 වන දා  යි. අනතුරුව ඔහු කුඩා කල ම පවුලේ සාමාජිකයන් බොගොටා නුවර තදාසන්න ප්‍රදේශයකට සංක්‍රමණය වෙනවා. සිපකුයිරා නම් ඔවුන් මෙලෙස සේන්දු වුණ පෙදෙසේ ලුණු ආකර බහුල ව තිබුණු අතර, වැඩිමනත් ම සිටියේ දුප්පත්කමින් දැඩි ලෙස බැට කමින් සිටි උදවිය යි. ඔහුගේ මෙම ජීවන අත්දැකීම්, වාමාංශික දේශපාලනය වෙත ඔහු යොමු කරවීමට දැඩි ලෙස ඉවහල් වුණා.

ගුස්ටාවෝ පෙට්‍රෝ- thediplomatinspain.com

කුඩා කල සිට ම කියැවීමට සහ ලිවීමට ළැදි බුද්ධිමත් දරුවෙක් වූ ගුස්ටාවෝ කොලොම්බියානු ලේඛක ගබ්‍රියෙල් ගාසියා මාකේස් ගේ කෘතිවලට ඉතා දැඩි ළැදියාවක් දැක්වූවා. මෙමඟින් ද කොලොම්බියානු පීඩිත පන්තිය හා දේශපාලනය පිළිබඳ හොඳ අවබෝධයක් ඔහුට ලැබුණා. කුඩා කල පාසල් අධ්‍යාපනය ඉතා හොඳින් ලද ඔහු 17 වියැති ව සිටියදී ආර්ථික විද්‍යාව හැදෑරීම සඳහා බොගොටාවේ එක්ස්ටර්නඩෝ විශ්වවිද්‍යාලයට තේරුණා.  ගුස්ටාවෝ දේශපාලනයට මුලින් ම අත්පොත් තැබුවේ මෙහිදී යි.

ගරිල්ලා කණ්ඩායමක සාමාජිකත්වය

එක්ස්ටර්නඩෝ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියදී ම  තරුණ ගුස්ටාවෝ පෙට්‍රෝ ‘අප්‍රේල් 19 ව්‍යාපාරය’ නම් මාක්ස්වාදී ගරිලා කණ්ඩායමක සාමාජිකත්වය ලබා ගන්නවා. මෙය 1970 වසරේ අප්‍රේල් 19 වන දා පැවැත්වූ අන්ත දූෂිත කොලොම්බියානු මැතිවරණය හා සමගාමී ව ඇති කර ගත්තක් වූ අතර, රජයට එරෙහි ව ප්‍රචණ්ඩක්‍රියා කිහිපයක් ම සිදු කළ කණ්ඩායමක් වුණා. මෙම කණ්ඩායම හා බැඳුණු ගුස්ටාවෝ ප්‍රචණ්ඩ ක්‍රියා කිහිපයකට ම දායක වුව ද, එහි සාමාජිකයන් සහ බලධාරීන් ඔහු වැඩිමනත් ම යොදා ගත්තේ ප්‍රවර්ධන කටයුතු සහ සමාජ සුබසාධන කටයුතු හැසිරවීම සඳහා යි. ඒ එම කටයුතු සඳහා ඔහු වෙත තිබූ නිසග හැකියාව දුටු නිසා යි. 

ගුස්ටාවෝ පෙට්‍රෝ අප්‍රේල් 19 ව්‍යාපාරයේ සාමාජිකත්වය ගෙන නොබෝ කලකින් ඔවුන් ඔහු වගකිවයුතු නිලතලවලට පත්කිරීම අරඹනවා. ඔහුට ඒ වන විට හොඳ ජන ප්‍රසාදයක් තිබූ අතර, 1981 වසරේ දී එම ව්‍යාපාරයේ, සිපකුයිරාවේ ඔම්බුඩ්ස්මන් වරයා බවට පත් වන විට 21 වියැති හිරිමල් යෞවන වියෙහි පසුවුණා. මෙලෙස ඇරඹි ගුස්ටාවෝගේ දේශපාලන ගමන දිනෙන් දින ශක්තිමත් වූ අතර, 1984 වසරේ දී නගර කවුන්සිලයට තේරී පත් වුණා. මේ කාලය වන විට ඔහු ‘ඔරලියානෝ’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු අතර, එය ඔහු උපුටාගෙන තිබුණේ ගබ්‍රියෙල් ගාසියා මාකේස් ගේ ‘සිය වසරක් හුදෙකලාව’ ග්‍රන්ථයෙනු යි. මේ වන විට ඔහු එම ව්‍යාපාරයේ ප්‍රධාන තම ‘අවි ආයුධ තොග හසුරුවන්නා’ බවට පත් ව සිටියා.

කොලොම්බියා සිතියම – www.gettyimages.com

අප්‍රේල් 19 ව්‍යාපාරය

1980 දශකයේ මැද භාගය වන විට කොලොම්බියානු ආණ්ඩුවට මෙම අප්‍රේල් 19 ව්‍යාපාරය දැඩි හිසරදයක් වී තිබුණා. රජයට එරෙහි කැරළි ගැසීමත්, යම් පමණකට ජනතා ප්‍රසාදය හිමි වෙමින් තිබීමත් නිසා, දැඩි ලෙස ඔවුන් මැඬපැවැත්විය යුතු යැයි කොලොම්බියානු බලධාරීන් තීරණය කළා. මේ අනුව මර්දනය ඇරඹුණු අතර, අප්‍රේල් 19 ව්‍යාපාරයේ සාමාජිකයන් පොලිස් භාරයට ගැනීම ආරම්භ වුණා.

ගුස්ටාවෝ කාන්තා වෙස් ගෙන සැඟවුණ ද ඉක්මනින් ම ඔහු හසු කර ගත් අතර, සිරගත කෙරුණා. ඉන් නොබෝ දිනක් ගත වන විට අප්‍රේල් 19 ව්‍යාපාරය බොගොටාවේ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැඟිල්ල අත්පත් කරගත් අතර, බොහෝ පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගැනුණා. අනතුරුව කොලොම්බියානු හමුදාව සමඟ ඇති වූ ගැටුම්වලින් 100 කට අධික පිරිසක් එම පරිශ්‍රය තුළ දී මිය ගිය අතර, එවකට එරට වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගෙන් අඩක් පමණත් මේ ගැටුමින් මිය ගියා.

ගුස්ටාවෝ පෙට්‍රෝ තුරුණු වියේ දී- fathersontv.one

1987 වසරේදී ගුස්ටාවෝ නිදහස් කෙරුණු අතර, ඒ වන විට අප්‍රේල් 19 ව්‍යාපාරය කොලොම්බියානු රජය හා සාම සාකච්ඡා ආරම්භ කර තිබුණා.  එහි ප්‍රතිඵලයක් ලෙස 1990 වසරේදී අප්‍රේල් 19 ව්‍යාපාරය නීත්‍යානුකූල දේශපාලනික ව්‍යාපාරයක් ලෙස කරළියට පැමිණියේ ‘ඇලියන්සා ඩිමොක්‍රැටිකා එම් – 19’ හෙවත් ‘එම් -19 ප්‍රජාතාන්ත්‍රික පෙරමුණ’ ලෙස යි.

ගුස්ටාවෝ පෙට්‍රෝ ගේ දේශපාලනික ගමන

ඇලියන්සා ඩිමොක්‍රෙටිකා පක්ෂය 1990 වසරේ පටන් කොලොම්බියානු මැතිවරණවලට සිය සාමාජිකයන් ඉදිරිපත් කළ අතර, ගුස්ටාවෝ පෙට්‍රෝ ද ඒ අතර වුණා. ඒ අනුව 1991 වසරේදී ඔහුට කොලොම්බියානු  නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අසුනක් ලැබුණු අතර, ඔහු වසර තුනක් නිරුපද්‍රිත ව දේශපාලනයෙහි නිරත වුණා. කෙසේ නමුත් 1994 වසර වන විට ඔහු හා බිරියට එල්ල වූ මරණ තර්ජන නිසා රටින් පිටවීමට තීරණය කළ ඔහු 1996 වසර වන තුරු රැඳී සිටියේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර යි.

මේ කාලයේ දී ඔහු බෙල්ජියමේ ලෙවෙන් කතෝලික විශ්වවිද්‍යාලයේ පරිසර සහ සමාජය පිළිබඳව පාඨමාලාවක් හැදෑරුවේ සිය ආර්ථික විද්‍යා ශාස්ත්‍රපති උපාධියට අමතර ව තවත් අධ්‍යාපන සුදුසුකමක් සිය නමට එකතු කරගනිමිනු යි. කොලොම්බියාවට නැවත පැමිණි ගුස්ටාවෝ 1998 වසරේ පටන් ක්‍රියකාරී දේශපාලනය හා නැවත සම්බන්ධ වූ අතර නැවතත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් වුණා.

ඉතා චතුර කථිකයෙක්

ගුස්ටාවෝ පෙට්‍රෝ 2006 දී කොලොම්බියානු සෙනෙට් සභාවට තේරී පත් වුණා. මෙහිදී ඉතා චතුර කථිකයෙක් ලෙස පෙනී සිටි ඔහු, එවකට ජනපති ඇල්විරෝ උරිබේගේ ක්‍රිය කලාපය දැඩි දෝශදර්ශනයට ලක් කළේ ඔහුගේ සොයුරා වන සන්තියාගෝ කොලොම්බියාවේ දක්ෂිණාංශික මැර කණ්ඩායම්, මත්ද්‍රව්‍ය මෙන් ම අවි ආයුධ මාෆියව හා සම්බන්ධ බැව් පවසමිනු යි. මේ නිසා ඔහු වෙත වූ ජනප්‍රියත්වය තවත් දළු ලා වැඩුණු අතර, කොලොම්බියානු ව්‍යවස්ථා සංශෝධන කමිටුවට ද සම්බන්ධ වීමේ වරම ලැබුණා. 2010  වසරේ කොලොම්බියානු ජනපතිවරණයට ද ඔහු තරග කළ අතර, ඉන් ඔහුට ලැබුණේ සිව්වන තැන යි.

ඉන් වසර දෙකකට පසුව, 2012 වසරේ දී ගුස්ටාවෝ පෙට්‍රෝ බොගොටා හි නගරාධිපති වශයෙන් තේරී පත් වූවා. ඉන් පසු ඔහු ධූර දැරූ වසර තුනක කාලයේ දී ඔහු සාමාන්‍ය ජනතාවට හිතකර තීරණ කිහිපයක් ම ගෙන, ඒවා ක්‍රියාත්මක කළා. මේවා සාර්ථක වුව ද, ඔහු නගරයේ කැලි කසළ කළමනාකරණය කිරීමට ගෙන ආ ක්‍රමවේද සාර්ථක වන්නේ නැහැ. නගරයේ තැනින් තැන කැලි කසළ පිරී යන්නට පටන්ගත් අතර, මේ නිසා වරෙක ඔහු එම ධූරයෙන් ඉවත් කිරීම තරමටම එම ගැටලුව දුරදිග යනවා. කෙසේ නමුත් එය විසඳා ගැනීම වෙනුවෙන් ඔහු, 2015 වසර වන තුරු එම තනතුර හොබවනවා.

නගරාධිපති ව සිටි සමයේ සාමාන්‍ය ජනතාවට සිදුකළ සේවය නිසා ගුස්ටාවෝ ගේ ජනප්‍රියභාවය වැඩි දියුණු වූ අතර, මේ හේතුවෙන් 2018 වසරේ කොලොම්බියා ජනපතිවරණයෙන් ඔහුට 42% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබෙනවා. කෙසේ නමුත් එවරත් ඔහුට දෙවැනි ස්ථනයෙන් සෑහීමකට පත් වීමට සිදුවුණා.

2022 කොලොම්බියානු ජනපතිවරණයට ගුස්ටාවෝ ඉදිරිපත් වන විට එරට පැවතියේ ගැටලු රැසක් මැද යි – YURI CORTEZ/AFP via Getty Images

2022 කොලොම්බියානු ජනපතිවරණය

2022 කොලොම්බියානු ජනපතිවරණයට ගුස්ටාවෝ ඉදිරිපත් වන විට එරට පැවතියේ ගැටලු රැසක් මැද යි. කොවිඩ් වසංගතය හේතුවෙන් එරට ආර්ථිකය අඩපණ වී තිබූ අතර, මේ නිසා වෙනත් ගැටලු රාශියක් ද ඇති ව තිබුණා. මෙවර ඔහු සිය ඡන්ද ව්‍යාපාරය සිදු කළේ වෙනත් ම ආකාරයට යි. වාමාංශික සහ දක්ෂිණාංශික ක්‍රමවේද 21 වන සියවසට නොගැළපෙන බැව් හුවා දැක්වූ ඔහු ‘ජීවත් වීම සඳහා දේශපාලනය’ යන මැයෙන් වඩාත් පරිසර හිතකාමී දේශපාලන ප්‍රවර්ධන වැඩසටහනක් ඇරඹුවා.

සිය පක්ෂයේ නම ‘හියුමන් කොලොම්බියා’ ලෙස වෙනස් කළ ඔහු, මෙතෙක් කල් කොලොම්බියාවේ බහුතර ආර්ථිකය රැඳී පැවති, පරිසර හිතකාමී නොවන පොසිල ඉන්ධන සහ ගල් අඟුරු නිස්සාරණ කර්මාන්තවල පැවැත්මට අමතර ව සංචාරක ක්ෂේත්‍රය සහ දැනුම පාදක කොට ගත් කර්මාන්ත වැඩිදියුණු කිරීම ද කළ යුතු යැයි මතයක් ගෙන ආවා. මේ අතර ඇමසෝන් වනය ආරක්ෂා කරන බවට පොරොන්දුවක් ද වුණා.

ගුස්ටාවෝ පෙට්‍රෝ සමඟ ජයග්‍රහණයේ උද්දාමය සමරන ජනතාව- Guillermo Legaria/Getty Images

2022 ජනපතිවරණය සඳහා ගුස්ටාවෝ පෙට්‍රෝ ඉදිරිපත් කළ පොරොන්දුවලට දැන් වන විට එහි ජනතාවගේ වැඩි කැමැත්තක් ලැබී තිබෙනවා. එහි ප්‍රතිඵලය වූයේ මෙවර කොලොම්බියානු ජනපතිවරණයෙන් ඔහු එරට පළමු වාමාංශික ජනපති ලෙස තේරී පත් වීම යි.

ජනපති වීමෙන් පසු තමන් සමානාත්මතාව අගයන බැව් පසක් කරමින් ඔහු තම උප ජනපතිනිය ලෙස කළු ජාතික කාන්තාවක වන ෆ්‍රැන්සියා මාකේස් පත් කර තිබෙනවා. ඇය එරට පළමු කළු ජාතික උප ජනපති ද වෙනවා. ජනපතිවරණ ව්‍යාපාරයේ ඔහු ගෙන ආ පොරොන්දු එලෙසම ඉටු කෙරෙනවා දැකීම කොලොම්බියානු ජනතාවගේ පැතුම බැව් දේශපාලන විද්වතුන් පවසනවා.

කවරයේ ඡායාරූපය - ගුස්ටාවෝ පෙට්‍රෝ - adncuba.com
මූලාශ්‍ර:
Britannica.com
Economist.com
Directoriolegislativo.org

Related Articles