Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකයේ මිනිසුන් වඩාත් ම සතුටින් සිටින රටවල්

මුළුමහත් ලෝකය පුරා ම ප්‍රකට සහ අප්‍රකට සියලු සමාජවල ජීවත් වන්නේ මිනිසුන් ය. සියලු ම මිනිසුන්ගේ ප්‍රමුඛ මූලික මිනිස් අයිතිවාසිකමක් වන්නේ සතුටින් ජීවත් වීම ය. මිනිසුන්ගේ සිතුම් පැතුම් සියල්ල ඒකරාශි වී තිබෙන්නේ ඔනුනොවුන්ගේ සමාජ, සංස්කෘතික, භෞතික පරිසර තුළ බියෙන් සැකෙන් තොර ව සතුටින් සැනසීමෙන් ජීවත්වීමට ය. ඒ සඳහා ආහාර, ඇඳුම් පැළඳුම්, වාසස්ථාන, සහ සෞඛ්‍යය ආරක්ෂණය සහ සුබසාධනය මූලික වේ. ඊටත් අමතරව ගමනාගමනය, සන්නිවේදනය, විනෝදාස්වාදය, ක්‍රීඩාව, අධ්‍යාපනය, රැකියා අවස්ථාව, ප්‍රමාණවත් ආදායම් මෙන් ම ස්වභාවික විපත් සහ පුද්ගල අපරාධවලින් ජනසමාජයේ ආරක්ෂාව තහවුරුවීම අපේක්ෂා කෙරේ.

ඉහත වුවමනා සපුරා ගෙන වඩාත් ම සතුට සහ නිදහස භුක්ති විඳින මිනිසුන් සහ රටවල් පිළිබඳ ව විමසා බැලීමකි මේ.

සතුට සැනසුම සහ රැකවරණය – anandaindia.org 

 

ලොව සතුටින් ම සිටින රටවල් නිර්ණය කිරීම

2002 වසරේ සිට ලෝක සතුට වාර්තාව ලොව සතුටින් ම සිටින රටවල් නිර්ණය කිරීම සඳහා සංඛ්‍යානමය විශ්ලේෂණ භාවිත කර ඇත. එහි 2021 යාවත්කාලීන වාර්තාව නිගමනය කළේ ලෝකයේ ප්‍රීතිමත් ම රට ෆින්ලන්තය බව යි. ලෝකයේ ප්‍රීතිමත් ම රට කුමක්දැයි නිර්ණය කිරීම සඳහා, පර්යේෂකයන් පසුගිය වසර තුන තුළ රටවල් 149 කින් විස්තීර්ණ දත්ත විශ්ලේෂණය කළ අතර, විශේෂිත කාණ්ඩ හයක් තුළ එහ රටවල කාර්ය සාධනය විශේෂයෙන් නිරීක්ෂණය කෙරිණි. ඒ සාධක අතර

1.ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය
2.සමාජ සහයෝගය
3.සෞඛ්‍ය සම්පන්න ආයු අපේක්ෂාව
4.ස්ව කැමැත්ත අනුව තමන්ගේ ජීවිතය තෝරාගැනීමේ නිදහස
5.සාමාන්‍ය ජනතාවගේ ත්‍යාගශීලීත්වය
6.අභ්‍යන්තර හා බාහිර දූෂණ මට්ටම් පිළිබඳ අවබෝධය යන ඒවා අඩංගු ය.

සෑම රටක ම දත්ත නිසි ලෙස සංසන්දනය කිරීම සඳහා, පර්යේෂකයන් ලෝකයේ අඩුම සන්තෝෂයෙන් සිටින මිනිසුන් ගෙන් පිරුණු මනඃකල්පිත රටක් උපකල්පණය කොට එය ඩිස්ටෝපියාව ලෙස නම් කර තිබිණි. ඉන්පසු ඔවුන් එක් එක් කාණ්ඩ හයේ පහළ ම අගය ලෙස ඩිස්ටෝපියාව සැකසූ අතර මෙම අගයට එරෙහි ව සැබෑ ලෝකයේ රටවල් ගන්නා ලකුණු ප්‍රමාණය විශ්ලේෂණය කළහ. විචල්‍ය සාධක හය ම මිශ්‍ර කර එක් එක් රට සඳහා තනි ඒකාබද්ධ ලකුණු නිර්මාණය කෙරිණි.

සිත්ගන්නා කරුණ නම්, 2021 සඳහා ලෝකයේ ප්‍රීතිමත් ම රටවල් හත අතරට එන රටවල් සියල්ල ම උතුරු යුරෝපීය රටවල් වීම යි. ෆින්ලන්තය, පිට පිට ම සිව්වන වසර සඳහාත් සමස්ත ලකුණු 7.842 සමඟින් ඉහ ළම ගෞරවය ලබා එහි පළමු ස්ථානයට පත්විය. පිළිවෙළින් ඩෙන්මාර්කය (7.620), ස්විට්සර්ලන්තය (7.571), අයිස්ලන්තය (7.554), නෙදර්ලන්තය (7.464), නෝර්වේ (7.392) ), සහ ස්වීඩනය (7.363) ලකුණු ලබා ගනිමින් ඉදිරි පෙළට පත්විය.

2021 සඳහා ලෝකයේ අව ම සතුට පැවති රට වූයේ ඇෆ්ගනිස්ථානය යි. එහි 149 වැනි ස්ථානය වන 2.523 ශ්‍රේණිගත කිරීම, අඩු ආයු අපේක්ෂා අනුපාතයක් සහ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ අඩු අගයක් ලෙස සැලකිය හැකි ය. ඒ අතර සිම්බාබ්වේ (3.145), රුවන්ඩාව (3.415), බොට්ස්වානා (3.467) සහ ලෙසෝතෝ (3.512) අවසන් පස් දෙනා අතරට පැමිණ ඇත. රටවල් 149 ශ්‍රේණිගත කිරීම් අනුව අප ජීවත්වන ශ්‍රී ලංකාව 126 වන අවස්ථාවේ පසුවෙයි.

 ෆින්ලන්තයේ උතුරු එළි- www.insider.com

 

ප්‍රථම ස්ථානය- ෆින්ලන්තය

 නොකඩවා සිව් වාරයක් ලෝකයේ වඩාත් ම සතුටින් සිටින ජනතාවගේ දේශය ලෙස ගෞරවයට පත්වූ ෆින්ලන්තය කෙරෙහි මූලික අවධානය යොමු කිරීම ඉතා වැදගත් ය. 2021 වාර්තාව මත පදනම්ව ලොව සතුටින් ම සිටින රට ලෙස ෆින්ලන්තය ශ්‍රේණිගත කර ඇත්තේ, මුළු ලකුණු 10 න් 7.842 ක ලකුණු ලබා ගැනීමට එරට සමත්වීම නිසා ය. ෆින්ලන්තයේ ප්‍රබල වාර්ගික සහය සහ අන්‍යෝන්‍ය විශ්වාසය පුරවැසියන්ට උපරිම ගෞරවය ලබා දුන්නේ ය. ෆින්ලන්ත වැසියන්ට ඔවුන්ගේම කැමැත්ත මත තේරීම් කිරීමට නිදහස ඇති බව දැඩි ලෙස හැඟී ගිය අතර, රජයේ දූෂණ පිළිබඳ අවම සැකයක් පවතින පෙන්නුම් කළේ ය.

මෙම සාධක දෙක ම සමස්ත සතුට සඳහා ප්‍රබල ව දායක වේ. ලෝක බැංකුවේ දත්ත හා මූලාශ්‍රවලට අනුව ෆින්ලන්තයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අවසන් වරට වාර්තාගත පරිදි 2020 දී අමෙරිකානු ඩොලර් 44773.20 ක් ලෙසිනි. ෆින්ලන්තයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ලෝකයේ සෙසු රටවලට සාපේක්ෂ ව සාමාන්‍යය අගය සියයට 355 ට සමාන වේ. ෆින්ලන්තයට සාපේක්ෂව බලද්දී ලෝක බැංකුවේ 2020 දත්තයන්ට අනුව ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 2020 දී අමෙරිකානු ඩොලර් 4052.759( රුපියල් 818820.04) කි. ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ලෝක සාමාන්‍යය අගයෙන් සියයට 32 ට සමාන වේ.

ෆින්ලන්තය නැවත වරක් ලෝකයේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව අංක එකට පැමිණීමේ හේතු අතර, ෆින්ලන්ත වැසියන්ට අඛණ්ඩ පුළුල් සුබසාධන ප්‍රතිලාභ ලැබීම, රාජ්‍යයේ අඩු දූෂණ මට්ටම, හොඳින් ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදය සහ වැසියන්ගේ සතුටට හේතු වන පුළුල් නිදහස සහ ස්වාධීනත්වය පිළිබඳ හැඟීම, ප්‍රගතිශීලී බදුකරණය සහ ධනය බෙදා හැරීම සහ ලොව ප්‍රමුඛ සමෘද්ධිමත් සෞඛ්‍ය සේවා පද්ධතියක් තිබීම මුලික ය. එරට වැසියන්ට නිවාස නොමැතිකම අවසන් කිරීමට රට ගෙන ඇති සාර්ථක ප්‍රවේශය එක් උදාහරණයකි. වැසියන්ට ඔවුන්ගේම නිවසක් හිමිකර දීමේ අවසාන ඉලක්කය සමඟ කටයුතු කළ රජයේ ප්‍රයත්නවල ප්‍රතිඵලය වූයේ, ෆින්ලන්තය ගෝලීය වශයෙන් අඩුම නිවාස නොමැති රටවල්වලින් එකක් වීම ය.

ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය අවම කිරීම

ෆින්ලන්තය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය අවම කිරීම කෙරෙහි ද ඉහළ අවධානයක් යොමු කරයි. මව්වරුන්ට වඩා පියා පාසල් යන වයසේ දරුවන් සමඟ වැඩි කාලයක් ගත කරන සංවර්ධිත ලෝකයේ එක ම රට එය යි. රට වැඩ කරන සහ සමාජ ආර්ථික සංස්කෘතියේ සීමා මායිම් නිරන්තරයෙන් තල්ලු කරන්නේ තමන් වෙනුවෙන් නොව, තම ජනතාව වෙනුවෙන් සහ අනෙකුත් ජාතීන් එහි සාර්ථකත්වයෙන් යමක් ඉගෙන ගනු ඇතැයි යන අපේක්ෂාවෙන්, වඩාත් ම ප්‍රගතිශීලී සහ ඉදිරිගාමී ව ය.

ශීත දේශගුණයක් සහ මාස හයක ශීත ඍතුවක් සහ අඳුරක් සහිත ලෝකයේ උතුරු කෙළවරේ ජීවත් වන ජාතිය ලෝකයේ වඩාත් ම සතුටින් සිටින්නේ ඇයි? සියලු ස්වභාවික සම්පත්වලින් ගහණ සමතුලිත දේශගුණයක් ඇති සාරවත් බිමක් ඇති සමහර රටවල්වල ජනතාව අඳුරු ජීවිත ගතකරමින් අසන්තෝෂයෙන් සිටින්නේ ඇයි?

ෆින්ලන්තය ජීවත් වීමට එතරම් ප්‍රීතිමත් ස්ථානයක් වීමට තවත් ප්‍රධාන හේතුවක් වන්නේ නිදහස්, සැහැල්ලු ජීවන රටාව යි. බොහෝ බටහිර ලෝකය හා සසඳන විට, ෆින්ලන්තය වඩාත් විවේකී ව සිටින අතර වඩාත් සාමකාමී ය. ෆින්ලන්ත සංස්කෘතිය ද තරගකාරීත්වයට වඩා සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කරයි. ෆින්ලන්ත වැසියන්ට ආරක්ෂිත බවක් දැනෙන අතර වෙනත් බොහෝ ජාතීන්ගේ මිනිසුන් මෙන් බාහිර ලෝකය ගැන ඔවුන් කරදර නොවන බව ද පැහැදිලි ය. 

 උසස් ජීවන තත්ත්වය සහ විශිෂ්ට අධ්‍යාපන ක්‍රමය

ෆින්ලන්තය වසර ගණනාවකට පෙර එහි අධ්‍යාපන ක්‍රමය රැඩිකල් ලෙස ප්‍රතිසංස්කරණය  කළේය. මෙහි පාසල් පද්ධතිය යුරෝපයේ උසස්ත ම පද්ධතියකි. විශ්වසනීය විශිෂ්ට ප්‍රතිඵල ඒ තුළින් ලැබෙන හෙයින් තරුණ තරුණියන්ට ඉදිරියට යාමට වැඩි අවස්ථා උදා වේ. ෆින්ලන්තයේ විශ්වීය සෞඛ්‍ය සේවා පද්ධතියක් ද ඇති අතර එය එහි පුරවැසියන්ට කොතරම් සතුටක් දැනෙනවාද යන්න සැලකිය යුතු සාධකයකි.  

ෆින්ලන්තය බොහෝ බටහිර රටවලට වඩා වෙනස් කරන තවත් එක් සාධකයක් වන්නේ සමානාත්මතාව යි. එය ඔවුන් කුමන සමාජ-ආර්ථික පසුබිමක වුව ද සෑම කෙනකුට ම අවස්ථා ඇති තැනක් බවට පරිවර්තනය කරයි. ෆින්ලන්තයේ ඉතා විශාල මධ්‍යම පන්තියක් සිටින අතර දුප්පත්කම ඉතා අල්ප ය. ෆින්ලන්තයේ ධනවතුන් ද සාම්ප්‍රදායික ව තම ධනය පෙන්වීමට උකටලී වෙති.  

කාන්තා අත්පන්දු රන් පදක්කම් තරගය රසවිඳිමින් සිටින ඩෙන්මාර්ක ආධාරකරුවන් – www.politico.eu 

 

ඩෙන්මාර්කය

ලෝකයේ රටවල් අතර සතුටින් ම සිටින දෙවන රට ඩෙන්මාර්කය යි. එය ලද ලකුණු 7.620 කි. ඩෙන්මාර්කය ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, ත්‍යාගශීලිත්වය සහ දූෂණයේ අවමභාවය ඇතුළු විවිධ කාණ්ඩවලින් නුදුරු අනාගතයේ දී ඉහළ ම ස්ථානයට පත්විය හැකි බව පෙන්නුම් කරයි. ලෝක බැංකුවට අනුව ඩෙන්මාර්කයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අවසන් වරට වාර්තා වූයේ 2020 දී අමෙරිකානු ඩොලර් 56202.17 (රුපියල් 11355120.15)ක් ලෙසිනි. ඩෙන්මාර්කයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ලෝක සාමාන්‍යය අගයෙන් සියයට 445 ට සමාන වේ.

ස්විස් කන්දක ජීවිතය ගැන මෙනෙහි කිරීම -www.flightcentre.com.au 

 

ස්විට්සර්ලන්තය

ලෝකයේ තුන්වන ප්‍රීතිමත්ම රට ලෙස, ස්විට්සර්ලන්තය ප්‍රසාද ලකුණු 10 න් 7.571 ක් ලබා ගෙන ඇත. පොදුවේ ගත් කල, ස්විට්සර්ලන්ත ජාතිකයන් ඉතා සෞඛ්‍ය සම්පන්න ය, ලෝකයේ අඩු ම තරබාරුකම සහ දිගු ආයු අපේක්ෂාව ඇත්තේ එහි ය. ස්විට්සර්ලන්ත ජාතිකයන්ට ද ඉතා ඉහළ මධ්‍යම පරිමාණ වැටුපක් ඇත. එක්සත් ජනපදයට වඩා 75%ක් පමණ වැඩි, සහ ඉහළ ම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඔවුන් සතු ව ඇත. ස්විට්සර්ලන්තයේ ප්‍රජාව තුළ තම රට පිළිබඳ දැඩි හැඟීමක් පවතියි. තම රට ආරක්ෂිත සහ පිරිසුදු රටක් බවට දැඩි විශ්වාසයක් ඔවුන් තුළ ඇත.

එය සංඛ්‍යාත්මක වශයෙන් ද සත්‍ය වේ. අයිස්ලන්තය සහ ඩෙන්මාර්කය සහ ස්විට්සර්ලන්තය ද ලෝකයේ ආරක්ෂිත ම රටවලින් එකකි. ලෝක බැංකුවට අනුව ස්විට්සර්ලන්තයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අවසන් වරට 2020 දත්තයන් අනුව අමෙරිකානු ඩොලර් 85681.97ක් ලෙස වාර්තා විය. ස්විට්සර්ලන්තයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ලෝක සාමාන්‍යය අගයෙන් සියයට 678 ට සමාන වේ.

අයිස්ලන්තයේ ගිම්හානයේ පළමු දිනය, රජයේ නිවාඩු දිනයකි – celandmonitor.mbl.is 

 

අයිස්ලන්තය

අයිස්ලන්තය මුළු ලකුණු 7.554ක් සමඟින් 2021 මුළු ලෝකයේ ම සතුටින් සිටින සිව්වන රට ලෙස ශ්‍රේණිගත ව ඇත.ලොව  ප්‍රීතිමත් ම රටවල් හත අතුරින්, අයිස්ලන්තයට සමාජ සහයෝගය පිළිබඳ ව ෆින්ලන්තය, නෝර්වේ සහ ඩෙන්මාර්කය යන සියල්ලටම වඩා ඉහළ අගයක් ඇත. අයිස්ලන්තයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අවසන් වරට 2020 දී අමෙරිකානු ඩොලර් 53193.56 ලෙස වාර්තා විය. ලෝක බැංකුවේ දත්තයන්ට අනුව අයිස්ලන්තයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ලෝක සාමාන්‍යය අගයෙන් සියයට 421 ට සමාන වේ.

නෙදර්ලන්තය

නෙදර්ලන්තය ලෝකයේ සතුටින් ම සිටින පස්වන රට යන ගෞරවයට පාත්‍ර වන්නේ ලකුණු 7.464ක් ලබා ගනිමිනි. ත්‍යාගශීලීත්වයේ කාණ්ඩයේ වෙනත් ඉහළ ම රටවල් හතකට වඩා ඉහළ ලකුණු නෙදර්ලන්තය ලබා ගත් අතර දූෂණයේ කැපී පෙනෙන අඩුවක් ද පෙන්නුම් කළේය. නෙදර්ලන්තයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අවසන් වරට වාර්තා වූයේ 2020 දී අමෙරිකානු ඩොලර් 46327.67 ලෙසට ය. නෙදර්ලන්තයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ලෝක සාමාන්‍යය අගයෙන් සියයට 367 ට සමාන වේ.

නෝර්වීජියානුවන් ද සෞඛ්‍ය සම්පන්න ජීවිත සමතුලිතතාවක් භුක්ති විඳියි – gettyimages.com

 

නෝර්වේ

හයවන ස්ථානයේ සිටින නෝර්වේ රාජ්‍යය, එහි පුරවැසියන් ප්‍රශස්ථ සෞඛ්‍ය සේවා සහ නිදහස් අධ්‍යාපනය මඟින් එරට රජය හොඳින් රැකබලා ගන්නා බව හැඟේ. නෝර්වීජියානුවන් ද සෞඛ්‍ය සම්පන්න ජීවිත සමතුලිතතාවක් භුක්ති විඳියි. නෝර්වේහි අපරාධ අනුපාතය අවම ය. 
නෝර්වේහි ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 2020 වර්ෂයේ දී අමෙරිකානු ඩොලර් 90884.61 ලෙස ලෝක බැංකු දත්ත වෙතින් වාර්තා වෙයි. නෝර්වේහි ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ලෝක සාමාන්‍ය අගයෙන් සියයට 720ට සමාන වේ.

ස්වීඩනය සෑම කාණ්ඩයකින් ම පාහේ ඉහළම ශ්‍රේණිගත කිරීමක – gettyimages.com

 

ස්වීඩනය

හත්වන ස්ථානය වන ස්වීඩනය සෑම කාණ්ඩයකින් ම පාහේ ඉහළම ශ්‍රේණිගත කිරීමකට ඇතුළත් වේ. ස්වීඩනය ලොව පුරා රටවල් හතරක් හැර අනෙක් සියලුම රටවලට සාපේක්ෂ ව දූෂණය පිළිබඳ  අවම අගයක සිටියි.එය ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළම දළ දේශීය නිෂ්පාදිතය සහ ඉහළ ම ස්ථානය සහ ඉහළ ම ආයු අපේක්ෂාවේ හතරවැනි ස්ථානය ලබා ගනි යි.

ලෝක බැංකුවට අනුව ස්වීඩනයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 2020 දී ඇමෙරිකානු ඩොලර් 51620.70 ක් ලෙසිනි. එහි ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ලෝක සාමාන්‍යය අගයෙන් සියයට 409 ට සමාන වේ.

භූතානයේ ප්‍රීතිමත් දරුවන් – titotraveldesigners.com 

 ශ්‍රේණිගත නොවූවත් භූතානය ගෞරවනීය ස්ථානයක

තාක්ෂණික කරුණක් හේතුවෙන් භූතානය 2021 වාර්තාව සඳහා තවමත් විශ්ලේශණයට භාජනය කර නොමැත. කෙසේ වෙතත්, වාර්තාවේ කතුවරු භූතානයට උපහාර දැක්වීමට විශේෂ උත්සාහයක් ගත් අතර, එය “යළිත් වරක් සෞඛ්‍යය සහ සතුට ඒකාබද්ධ කරන ආකාරය පිළිබඳව ලෝකයට ආශ්වාදජනක ආදර්ශයක් සැපයූ බව’ පවසති. ආසියානු කලාපයට අයත් අසල්වාසී රාජ්‍යයක් වන භූතානයේ ජනතාව ඉතාමත් තෘප්තිමත් සැහැල්ලු සැනසීම පිරි ජීවිතයක් ගතකරන බව ලොව පිළිගත් මතය යි.

ප්‍රීතිමත් භූතාන යුවතියන් – www.bbc.com

යුරෝපීය රටවල් මෙන් ධනවත් රාජ්‍යයක් නොවුව ද භූතාන වැසියන් බටහිර පොහොසත් රාජ්‍යයක වැසියන් හා සමාන ව සතුටින් ජීවත්වන බව ඔවුන් සොයාගෙන ඇත.  භූතාන ජාතිකයන් ඔවුන්ගේ සංස්කෘතිය සහ සම්ප්‍රදාය කෙරෙහි නොමැකෙන නැඹුරුවක් දක්වයි. භූතානය වර්තමානයේ නව අදහස් සහ දර්ශන සඳහා විවෘත වුවද, සංස්කෘතිය රැක ගැනීම ඔවුන්ගේ රාජ්‍ය ප්‍රතිපත්තියේ හරයයි. භූතානයේ අසල්වැසියකු වන ශ්‍රීලංකාවට ද සතුට ඉපයීම පිළිබඳ ව භූතානයෙන් ගත හැකි පාඩම් රාශියකි.

කවරයේ ඡායාරූපය- සතුට සහ නිදහස භුක්ති විඳින අය -  3.bp.blogspot.com 

මූලාශ්‍ර:

www.happy-or-not.com

www.helsinkitimes.fi

worldpopulationreview.com

tradingeconomics.com

Related Articles