Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රට රටවල තනිකඩයන්ට පිළිපදින්න වෙන අමුතු චාරිත්‍ර

අද කාලේ කොල්ලෙක්ගේ කෙල්ලෙක්ගේ ජීවිතේ වයස අවුරුදු විසිපහ කඩඉම එක්තරා වැදගත් සංධිස්ථානයක්. උසස් අධ්‍යාපනයේ යෙදෙන කෙනෙකු නම් බොහෝ විට ඒ වයස වෙද්දී විශ්වවිද්‍යාලයයේ අවසන් වසර ගතකරමින් හෝ උපාධිධාරියෙකු වී ක්ෂේත්‍රයේ යම් රැකියාවක අත්දැකීම් ලබමින් සිටිනවා. නැතහොත් තමාගේම දක්ෂකමින් ගොඩනඟාගත් ව්‍යාපාරයක හෝ කාර්මික, කෘෂිකාර්මික පැත්තෙන් ගමනක යෙදෙනවා. කොහොම හරි තමන්ගේ සිහිනත් හඹාගෙන, ජීවිතයත් පුළු පුළුවන් විදිහට විඳ ගෙන යන මේ ගමන අතරතුරේ දී පොඩ්ඩකට තිරිංග ඉබේම තද වෙන එක්තරා ප්‍රශ්නයක් කොහෙන් හෝ කන වැකෙනවා.

“දැන් කලවයස හරි නේද?”

කොල්ලෙක්ට නම් තව අවුරුදු පහ හයකට මේ ප්‍රශ්නේ ගොඩින් බේරගෙන, තනිකඩ ජීවිතයේ ආශ්වාදය විඳින්න පුළුවන්. හැබැයි කෙල්ලෙක්ට නම් පොඩි පහේ අරගලයක් කරන්නම වෙනවා මේ ප්‍රශ්නය හමුවේ. කොහොම නමුත් ජීවිතය කියන්නේ රැස්වීමක න්‍යාය පත්‍ර‍යක් වගේ දෙයක් නොවෙයි. තාරුණ්‍යය මේ කාරණය තේරුම් ගත්තත්, වේගයෙන් වෙනස් වෙන සමාජ ක්‍රමයත් එක්ක එකට යන්න බැරිවුණ බොහෝ වැඩිහිටියන්, තම දරුවන්ගේ “තනිකඩ ජීවිතය” නිසි වයස පැමිණි වහාම අවසන් කරන්නට උත්සුක වන්නේ ආදරය පෙන්නන ක්‍රමයක් විදිහට යි. හැබැයි දරුවෝ තමන්ගේ ජීවිතය ගැන ගැන දරණ ආකල්පය දෙමව්පියන්ට වඩා වෙනස් වෙන්න පුළුවන්.

මේ කාරණය ශ්‍රී ලංකාවට විතරක් ආවේණික ගැටළුවක් නම් නොවෙයි. අසල්වැසි ඉන්දියාවත් මේ කාරණය තදින්ම සලකන රටක්. ඉතින් මේ ලිපිය වෙන්වන්නේ රටවල් කිහිපයක වැසියන්, විවාපත් වන සාමාන්‍ය වයස පසුකරමින් සිටින තරුණ තරුණියන් වෙනුවෙන් පවත්වන සම්ප්‍රදායන් කිහිපයක් ගැන ඔබට කියන්නට යි. හැබැයි මේ සම්ප්‍රදායන් බොහෝමයක්  විනෝදජනක ඒවා.    

ඩෙන්මාර්කයේ කුරුඳු කුඩු ප්‍රහාරය

ඩෙන්මාර්කය කියන්නේ බොහොම සාමකාමී, ඇති හැකි සෑම අවස්ථාවකම ජීවිතය විඳින සහ සමරන ජනතාවක් වෙසෙන රටක්. වයස අවුරුදු විසිපහ වන තෙක් කාටත් සාමාන්‍ය උපන් දින සැමරුමක් වගේම පවුලේ අයගෙන්, යහළුවන්ගෙන් තෑගි බෝග ලැබෙනවා. නමුත් අවුරුදු 25 ලැබුවාට පසුත් යමෙකු තනිකඩ නම්, අරවාට අමතරව තවත් ත්‍යාගයකුත් ඔහුගේ හෝ ඇයගේ යහළුවන්ගෙන් ලැබෙනවා. ඒ තමයි කුරුඳු කුඩු සංග්‍රහය!

ඩෙන්මාර්කයේ දී 25 ලබලත් තනිකඩ නම් කුරුඳු කුඩු ප්‍රහාරයකට ලක් වෙන්න සිදුවෙනවා/youtube.com/watch?v=A4VXn2oDgMk

මෙහිදී සිද්ධ වෙන්නේ අදාළ තනිකඩයා තම නිවසින් පිටතට කැඳවා ගෙන ගොස්, අසල වීදියේ පහන්කණුවක හෝ පුටුවක ගැටගසා ‍යහළුවන් විසින් මේ අහිංසකයාව ඇති පදම් කුරුඳු කුඩුවලින් නැහැවීම යි. සමහර විට කුරුඳු කුඩු සංග්‍රයට කලින් අදාළ තනිකඩ මිතුරාව බිත්තර සාරු හෝ ජල බෝම්බ ප්‍රහාරයකට ලක්කොට, ඉන් පසු කුරුඳු ප්‍රහාරය එල්ල කරනවා. මෙය හුදෙක්ම විනෝදය තකා කරන ක්‍රියාවක් වුණත්, මෙම සම්ප්‍රදායට යම් ඉතිහාසයක් ද තිබෙනවා.

16 වන සියවසේ දී ඩෙන්මාර්කයේ කුළුබඩු වෙළඳාම සෑහෙන දුරකට වර්ධනය වුණා. නමුත් මේ කුළුබඩු මූලිකවම ලබා ගන්න පුළුවන් වුණේ පෙරදිග රටවලිනු යි. ඉතින් ඩෙන්මාර්කයේ කුළුබඩු වෙළෙන්දන්ට, විශේෂයෙන්ම කුරුඳු සොයා සත් සමුදුර තරණය කරන නාවිකයන්ට, තම රැකියාවේ ස්වභාවය නිසාම විවාහයක් ගැන හිතන්න ඉඩක් ලැබුණේ නැහැ. නොදැනීම ඔවුන්ගේ කලවයස ගෙවී ගොස්, ඔවුන් තනිකඩ ජීවිතයට හුරු වෙන්න පටන් ගන්නවා. ඉංග්‍රීසි වහරට අනුව, එවැනි වෙළෙන්දන් ඩෙන්මාර්කයේ දී හැඳින්වූයේ “පෙපර් ගයිස්” නමිනු යි. වර්තමානයේ දී අවුරුදු 25 එළඹුණු තනිකඩයන්ව කුරුඳු කුඩු ප්‍රහාරයට ලක් කිරීමේ සම්ප්‍රදාය මඟින්, පෙර කාලයේ කුළුබඩු නාවික‍යෙකු මෙන් ජීවිතය ගත නොකොට ඉක්මණින්ම සුදුසු සහකරුවෙකු හෝ සහකාරියක සොයාගන්නා ලෙසට දිරිමත් කරනවා. එතනදීත් පාඩමක් ඉගෙනගත්තේ නැත්නම් වයස අවුරුදු 30 එළඹුණු හැටියේම සම්ප්‍රදාය නැවත ක්‍රියාත්මක කිරීමට මේ යහළුවන් සැදී පැහැදී සිටිනවා. 

මෙම සම්ප්‍රදායේ අවස්ථාවක් ඔබට මෙතනින් නැරඹිය හැකියි.

ජර්මනියෙ දී තනිකඩ නම් පරණ පෙට්ටි උරුම යි!

ජර්මනියෙ දී මේ ඇබැද්දියට මුහුණදීමට සිද්ධවෙන්නේ විසිපස් විය එළඹුණු තරුණ ස්ත්‍රී පාර්ශවයට යි. අවුරුදු විසිපහක් ගෙවිලත් පෙම්වතෙක් හෝ පෙම්වතියක් නොමැතිව තනිකඩව සිටිනවා නම්, එම තරුණියට ජර්මනියේ දී “ස්චැච්ටල්ෆෙස්ට්” නම් අවස්ථාවට මුහුණ දීමට සිදු වෙනවා. ස්චැච්ටල්ෆෙස්ට්හි අර්ථය වන්නේ “පරණ පෙට්ටිය” යන්න යි. ඒ අනුව ජර්මනියේ දී විසිපස් විය එළඹුණු තරුණියන් ඇයගේ මිතුරන් ඉදිරියේ පරණ පෙට්ටියක් බවට පත් වෙනවා.

ජර්මනියේදී තනිකඩ කාන්තාවන්ට පරණ පෙට්ටිවලින් තම 25 වැනි උපන්දිනය සමරන්න සිද්ධ වෙනවා/wochenblatt.de

මේ සම්ප්‍රදාය පිළිපැදෙන්නෙත් ඉතාම විනෝදජනක ලෙසට යි. අදාළ තරුණියගේ යහළුවන්, ඇයගේ උපන්දිනයට පෙර දින රාත්‍රියේ හෝ උපන්දිනය දා උදෑසනින්ම විවිධ වර්ගයේ කාඩ්බෝඩ් පෙට්ටි හැකි උපරිමයෙන් එකතුකොට, ඇයගේ නිවසේ ඉදිරිපස දොරටුව ඉදිරියේ ගොඩගසා දොරටුව අවහිර කරනවා. ඉතින් උපන්දිනය සමරන්න උදෑසනින්ම එළියට බහින ඇයට, හැමදේකටම කලින් පෙම්වතෙකු හෝ පෙම්වතියක සිටිය යුතු බව මෙම පරණ පෙට්ටි මඟින් ඇයගේ යහළුවන් මතක්කරලා දෙනවා.

මීට අමතරව අවිවාහකයන් වෙනුවෙන් තවත් සම්ප්‍රදායන් ජර්මනිය තුළ පවතිනවා. ඒ අනුව 30 හැවිරිදි අවිවාහක කාන්තාවකට දත් බුරුසුවලින් මිතුරන්ගේ නිවෙස්වල දොර අඟුළු පිරිසිදු කරන්න සිදුවෙනවා. එම අවිවාහකයා පුරුෂයෙකු නම්, මිතුරන්ගේ නිවෙස්වල පඩි පෙළ අතු ගෑමෙන් අදාළ සම්ප්‍රදාය ඉටුකළ යුතු වෙනවා. නමුත් ඔහු හෝ ඇය විරුද්ධ ලිංගිකයෙකු සිපගන්නේ නම්, මේ විනෝදජනක දඬුවම්වලින් මිදිය හැකියි.

ප්‍රංශයේ දී තනිකඩ නම් යාච්ඤා කළ යුතු යි

ප්‍රංශ සම්ප්‍රදාය අනුව වාර්ෂිකව නොවැම්බර් 25 වැනිදා සැමරෙන ශාන්ත කැතරින්ගේ දිනයේ දී විසිපස් විය එළඹුණු තනිකඩ කාන්තාවක් ඉටු කළ යුතු විශේෂ චාරිත්‍රයක් තිබෙනවා. මේ චාරිත්‍රය සිදුකරන්නේ යම් යාච්ඤාවක් ආකාරයට යි. ශාන්ත කැතරින්ගේ දිනය ප්‍රංශ ජනතාව බොහොම ප්‍රීතිමත් ලෙස සමරන අතර තනිකඩ කාන්තාවන් මේ සියළු ප්‍රීතිදායක කටයුතුවලට යොමුවිය යුත්තේ පහත ආකාරයෙන් යාච්ඤාවක් සිදු කිරීමෙන් පසුව යි.

“දෙවියනි, මට හොඳ ස්වාමිපුරුෂයෙක් ලබාදෙන්න. ඔහු මෘදු, පොහොසත්, ත්‍යාගශීලී, හා ප්‍රසන්න තැනැත්තෙක් විය යුතු යි! ”

ප්‍රංශයේ ශාන්ත කැතරින්ගේ දිනය සමරන යුවතියන්/pickyourtrail.com

යාච්ඤාවෙන් පසු අදාළ තැනැත්තිය විසින් ශාන්ත කැතරින් හට ගෞරවයක් වශයෙන් තැපැල්පත් අනෙකුත් තනිකඩ‍යන්ට යවනු ලබනවා. මෙම තැපැල්පත් මඟින් අනෙකුත් අවිවාහක තරුණියන් දිරිමත් කිරීමක් සිදුකරන අතර, ඉන්පසු ඒවා ලැබුණු මිතුරියන් ඒවා එවූ මිතුරියන්ට කහ සහ කොළ පැහැයෙන් විචිත්‍ර තොප්පි සකසනවා. ඒවා පැළඳ ගනිමින් තමයි ඔවුන් මෙම සාම්ප්‍රදායික උත්සවයට සහභාගී වෙන්නේ. අවිවාහක කාන්තාවන් මෙදිනට “කැතරිනට්” යනුවෙන් හඳුන්වනු ලබනවා.

කෙනෙකුගේ තනිකඩබව සාදයක් කරගත් ඔස්ට්‍රියාව

ඔස්ට්‍රියාවේ දී තනිකඩයෙකු ලෙස තිස්වැනි වියට පා තබන කෙනෙක් ඕනෑම මොහොතක මිතුරන් අතින් පුදුම‍යට පත් වෙන්න පුළුවන්. කාර්යාලයක වගේ නම් මේ අවිවාහකයා දහසක් වැඩ රාජකාරීවල නිරත වෙන අතරතුරේ දී එකට වැඩ කරන සගයන් හොර රහසේම විකාරරූපී ඇඳුමක් ඔහුට හෝ ඇයට පිළිගන්වනවා. ඉන්පසු තනිකඩ ජීවිතය බුක්ති විඳින තැනැත්තා මේ අපහසු ඇඳුම ඇඳගෙන දවසෙම සිටිය යුතු යි. නරකම කාරණය නම් ඒක නොවෙයි. මේ ඇඳුම පිටින්ම අදාල තැනැත්තා නගරයේ ඇවිදිමින් විවිධ රසකැවිලි, මත්පැන් පානයන් වගේ සුළු සුළු දේවල් ආගන්තුකයන්ට විකුණමින් මුදල් එකතු කළ ‍යුතු යි. පසුව එම මුදල්වලින් තමන්ව අමාරුවේ දාපු මිත්‍රයන්ටම පොඩි පහේ සාදයක් ලෑස්ති කරන්න අර තනිකඩයට සිද්ධ වෙනවා.

දොඩම් මත දුරකථන අංක ලියනා මැලේසියානු තරුණියෝ

චන්ද්‍ර දින දර්ශනයේ හත්වන මාසයේ හත්වන දින මැලේසියානු තනිකඩ තරුණියන් අනුගමනය කරන්නා වූ සම්ප්‍රදායක් ගැන යි මේ කියන්න යන්නේ. “චොප් ගහ් මේ” යනුවෙන් හැඳින්වෙන මෙම සම්ප්‍රදායේ දී තරුණියන් තම දුරකථන අංකය දොඩම් ගෙඩියක ලියා අසල පිහිටි ගංගාවකට විසිකරනවා. ඔවුන් සිහින දකින තරුණයා එම දොඩම් ගෙඩිය කොතනක දී හෝ අහුලාගෙන එම දුරකථන අංකයට ඇමතුමක් ගනිවීයැ යි ඔවුන් විශ්වාස කරනවා.

දොඩම් ගෙඩි මත තම දුරකතන අංක ලියනා මැලේසියානු යුවතියන්/asiaone.com

චන්ද්‍රයා මත ජීවත්වන “ජෝඩුකරන්නෙකු” විසින් එකිනෙකාගේ දෛවයන් රතු පටියකින් බැඳ දැමෙන බවත්, දුරකථන අංකය ලියූ දොඩම් ගෙඩිය අහුලාගන්නා තරුණයාට සහ එය අයත් තරුණියට මෙම ගැළපීම් සිදු කරන තැනැත්තා ආශිර්වාද කරන බවත් සාම්ප්‍රදායික විශ්වාසයක් පවතිනවා. කෙසේ නමුත් දොඩම් වෙළෙන්දන් මෙම දොඩම් ගෙඩි වාසනාවන්ත බව විශ්වාස කරන හෙයින් ලියූ දුරකථන අංක තිබිය දීම එම දොඩම් නැවත අහුලාගෙන විකුණන අවස්ථා ද තිබෙනවා !

ආර්මේනියාවේදී තනිකඩයන්ට දෙන ලුණු සහිත පාන්

මේ සම්ප්‍රදාය ආර්මේනියාවේ දී සිදු වෙන්නේ ශාන්ත සර්කිස් දිනය නම් උත්සවයට අයත් අංගයක් ලෙසට යි. ආර්මේනියානු විශ්වාසයන්ට අනුව ශාන්ත සර්කිස් කියන්නේ ආදරය හා තාරුණ්‍යය වෙනුවෙන් පෙනී සිටින සාන්තුවරයෙක්. එදින තම අනාගත සහකරුවා හෝ සහකාරිය බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන්ට ලුණු අධික පාන් කැබැල්ලක් ආහාරයට ගන්න සිදුවෙනවා. ලුණු නිසා හටගන්නා පිපාසයෙන් යුතුවම ඔවුන් නින්දට ගියහොත්, අදාළ සහකරු සිහිනයකින් දර්ශනය වී ඔවුන්ට දිය පොදක් ලබා දෙන බවට විශ්වාසයක් ආර්මේනියානුවන් අතර පවතිනවා. මෙම ලුණු සහිත විශේෂිත පාන් සාදනු ලබන්නේ බොහෝ දුරට එම තනිකඩයන්ගේම මිත්තණිය හෝ විවාහ ජීවිතය සතුටින් ගත කරනා මැදිවියේ කාන්තාවක් විසිනු යි.

ආර්මේනියානු සම්ප්‍රදාය අනුව තනිකඩයන්ට ලුණු සහිත පාන් අනුභව කිරීමට සිදු වෙනවා/weddedwonderland.com

 

කෙසේ නමුත් මේ සියළු සම්ප්‍රදායන් බොහොම විනෝදජනක ලෙස සහ ජීවිතයේ ඉදිරි කාලය ගැන යම් වගකීම් සහගත ලෙස සිතීමට යොමු කරන සුන්දර සම්ප්‍රදායන් බව නම් සඳහන් කළ යුතු යි. හැබැයි ශ්‍රී ලංකාවේ දී විවාහ වීමට සුදුසුයැ යි සළකන වයස් සීමාවට කෙනෙක් එළඹුණාම, ඔවුන්ට මුහුණපාන්නට වෙන්නේ වෙනස්ම විදිහේ අත්දැකීමකට. අනෙකාගේ පෞද්ගලික ජීවිතය ගැන අනවශ්‍ය ලෙස සොයා බලන හෝ වධ වෙන සමාජයක් මැද්දේ තමයි අපිට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් ජීවිතය හැමෝටම පොදු සේ ගෙවෙන්නේ නැහැ. ඒ ඒ පුද්ගලයා තම ජීවන දර්ශනය, තමන්ගේ අරමුණු, සිතුම් පැතුම් මත අනන්‍ය වන ලෙස ගොඩනඟාගන්නා බව අප තේරුම් ගත යුතු යි.

Cover photo: heyyouau.com

මූලාශ්‍රයයන්: matadornetwork.com

weddedwonderland.com/

Related Articles