Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව උණුසුම් ම ස්ථානය: මරණයේ මිටියාවත

 

අප ජීවත් වන ලෝකය විවිධ දේශගුණික කලාපවලට බෙදී තිබෙනවා. එම කලාපවල පිහිටි ඇතැම් ප්‍රදේශවල පවතින්නේ ජීවත් වීමට පවා අපහසු දේශගුණයක්. ලොව වඩාත් සීතල ම ගම්මානය ලෙසින් සැලකෙන සයිබීරියාවේ ඔයිමියාකොන් එවැනි ස්ථානයක්. ඒ වාගේම ලොව වැඩි ම වර්ෂාපතනයක් ලැබෙන ගම් ලෙසින් සැලකෙන ඉන්දියාවේ චිරාපුංජි සහ මවුසින්රාම් ද ජීවත් වීමට අපහසු ප්‍රදේශ බවට පත්ව තිබෙනවා.

අප මීට පෙර ලිපිවලින් එම ස්ථාන පිළිබඳව තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කළා. 

ලොව සීතල ම ගම්මානය ඔයිමියාකොන් – actualidadviajes.com

 

ඒ අයුරින් ජීවත් වීමට අපහසු දේශගුණයක් පවතින තවත් ප්‍රදේශයක් උතුරු අමෙරිකාවට අයත් කැලිෆෝනියා ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. මරණයේ මිටියාවත ලෙසින්  හැඳින්වෙන එය ලොව වඩාත් උණුසුම් ම ස්ථානය යැයි සැලකෙනවා. මේ කියන්නට යන්නේ මරණයේ මිටියාවත පිළිබඳව අපූරු තොරතුරු යි.

පිහිටා තිබෙන ප්‍රදේශය 

ලොව විශාලත ම රාජ්‍ය අතුරින් එකක් වන අමෙරිකා එක්සත් ජනපදය ප්‍රාන්ත 50කට බෙදී තිබෙනවා. ඒ අතුරින් කැලිෆෝනියා ප්‍රාන්තය තුළ වැඩි ම ජනගහනයක් වාසය කරනවා. අමෙරිකා එක්සත් ජනපදයේ බටහිර දෙසට වන්නට පිහිටි ප්‍රාන්තයක් වන කැලිෆෝනියාව වර්ග කිලෝ මීටර් 423,967ක් විශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිරී තිබෙනවා.

අප මෙම ලිපිය තුළ කතා කරන මරණයේ මිටියාවත පිහිටා ඇත්තේ නැගෙනහිර කැලිෆෝනියාව ආශ්‍රිත ව යි. අමුතු ආකාරයේ දේශගුණික රටාවක් පවතින එම ප්‍රදේශය අධික උෂ්ණත්වයකින් යුක්ත යි. වසරේ වැඩි මාස ප්‍රමාණයක් එම තත්ත්වය පවතින නිසා මෙම ප්‍රදේශය ප්‍රසිද්ධියට පත් ව තිබෙන්නේ මරණයේ මිටියාවත ලෙස යි. 

මරණයේ මිටියාවත – japantimes.co

 

උතුරු අමෙරිකාවේ පහළ ම ස්ථානය 

මරණයේ මිටියාවත වර්ග කිලෝ මීටර් 7800ක් පුරාවට විහිදී පවතිනවා. එම භූමි ප්‍රදේශය තුළ සුවිශේෂී ලක්ෂණ සහිත ප්‍රදේශ රැසක් පිහිටා තිබෙනවා. ඒවා අතුරින් බැඩ්වෝටර් බේසින් නම් ප්‍රදේශයට විශේෂ ස්ථානයක් හිමි වෙනවා. ඒ එම බිම් ප්‍රදේශය උතුරු අමෙරිකානු මහද්වීපයේ පහළින් ම පිහිටා තිබෙන ස්ථානය ලෙසින් සැලකෙන නිසා යි.

මුහුදු මට්ටමේ සිට මීටර් 86ක් පහළින් පිහිටි එම ප්‍රදේශය ලවණ සහිත ජලය පිරුණු විල්වලින් වැසී පවතිනවා. එම ප්‍රදේශය ආශ්‍රිත ව උෂ්ණත්වය ඉතාමත් අධික නිසා වාෂ්පීකරණ ක්‍රියාවලිය ඉතාමත් හොදින් සිදුවෙනවා. එනිසා  බොහෝ කාලවල දී ලවණ විල්වල ජලය වාෂ්පීකරණය වී ඝන ලුණු තට්ටුවක් ඉතිරි වෙනවා. එවිට එම ප්‍රදේශය හිම තට්ටුවක් අයුරින් ඈතට දිස්වෙනවා. 

බැඩ්වෝටර් බේසින් ප්‍රදේශය – worldatlas.com

 

ගිම්හාන කාලයේ දී උෂ්ණත්වය සෙල්සියස් 40 ඉක්මවා යනවා 

මෙම ප්‍රදේශයේ වාර්ෂික උෂ්ණත්ව දත්තවලට අනුව ගිම්හාන කාලයේ දී අධික උෂ්ණත්වයක් පවතින බව පෙනී යනවා. ඒ අනුව ජූනි සිට සැප්තැම්බර් දක්වා ගෙවෙන මාසහ හතරේ දී මෙහි උෂ්ණත්වය සෙල්සියස් 40 ඉක්මවා යනවා.

එයිනුත් වැඩිම උෂ්ණත්වය වාර්තා වන්නේ ජූලි සහ අගෝස්තු මාසවල දී යි. එම අගය සෙල්සියස් 45 ඉක්මවා යනවා. ඒ වාගේ ම සමහර වසරවල දී එම මාසවල වාර්තා වුණු උෂ්ණත්වය සෙල්සියස් 50 ඉක්මවා යාම සුවිශේෂී සිදුවීමක්.

මරණයේ මිටියාවත ගිම්හාන කාලයේ දී – morethanjustparks.com

 

එලෙස ගිම්හානයේ දී ඉහළ උෂ්ණත්වයක් පවතින මෙම ප්‍රදේශයේ අවම උෂ්ණත්වයක් වාර්තා වන කාලයක් ද තිබෙනවා. ඒ නොවැම්බර් සිට පෙබරවාරි දක්වා කාලයේ දී යි. එයිනුත් දෙසැම්බර් සහ ජනවාරි මාසවල දී මරණයේ මිටියාවත ආශ්‍රිත උෂ්ණත්වය සෙල්සියස් 20ට වඩා අඩු වෙනවා. ඒ වාගේ ම සමහර වසරවල දී නොවැම්බර්-පෙබරවාරි කාලයේ මෙම ප්‍රදේශයෙන් ඍණ 9ක් තරම් ඉතාමත් අඩු උෂ්ණත්ව වාර්තා වී තිබෙනවා. 

උපරිම උෂ්ණත්වයක් වාර්තා වුණු අවස්ථා 

ඉතාමත් උණුසුම් කාලගුණයක් පවතින මරණයේ මිටියාවතෙන් ඇතැම් අවස්ථාවන්වල දී ඉතාමත් ඉහළ උෂ්ණත්ව වාර්තා වී තිබෙනවා. 1913 ජූලි 10 වැනිදා මෙම මිටියාවතේ ෆර්නස් ක්‍රීක් නම් ප්‍රදේශයේ වායුගෝලීය උෂ්ණත්වය සෙල්සියස් 56.7ක් ලෙසින් සටහන් වුණා. එය එදාමෙදා තුර ස්වභාවික පරිසරයෙන් වාර්තා වුණු ඉහළම උෂ්ණත්වය බවට පත්වුණා.

ඊට වඩා වැඩි උෂ්ණත්ව සමහර ස්ථානවලින් වාර්තා වුණු බව සමහර මූලාශ්‍රවල සටහන් වුණත් ඒවා නිල වශයෙන් පිළිගෙන නැහැ. එනිසා යම් ස්ථානයකින් වාර්තා වුණු වැඩි ම වායුගෝලීය උෂ්ණත්වයේ ගිනස් වාර්තාව හිමි වන්නේ මරණයේ මිටියාවතේ ෆර්නස් ක්‍රීක් නම් ස්ථානයෙන් වාර්තා වුණු සෙල්සියස් 56.7ක උෂ්ණත්ව අගයට යි.

උපරිම උෂ්ණත්වය වාර්තා වුණු ස්ථානය – news.artmotion.com

 

2012 ජූලි 12 වැනිදා මරණයේ මිටියාවතේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් 47.7ක් ලෙස සටහන් වුණා. එය පැය 24ක් පුරා අඛණ්ඩ ව මෙම ප්‍රදේශයේ පැවති වැඩිම උෂ්ණත්වය ලෙසින් වාර්තා අතරට එක් වුණා. 1972 ජූලි 15 වැනි දින ෆර්නස් ක්‍රීක් හි පොළොව මතුපිට උෂ්ණත්වය සෙල්සියස් 93.3ක් ලෙසින් සටහන් වුණා. එය මරණයේ මිටියාවත ආශ්‍රිත ව පොළොව මතුපිටින් වාර්තා වුණු වැඩිම උෂ්ණත්වය බවට පත්වුණා.

2013 ජූනි 30 සහ 2020 අගෝස්තු 16 යන දිනවල දී ෆර්නස් ක්‍රීක් ප්‍රදේශයෙන් පිළිවෙළින් සෙල්සියස් 54 සහ 54.4 තරම් ඉහළ වායුගෝලීය උෂ්ණත්ව අගයයන් වාර්තා වුණා . ඒවා ද මරණයේ මිටියාවතෙන් වාර්තා වුණු ඉහළ ම වායුගෝලීය උෂ්ණත්ව අගයන් ලෙසින් සැලකෙනවා.

මෙම මිටියාවතේ තවමත් මිනිසුන් ජීවත් වෙනවා 

මීට වසර 1000කට පමණ පෙර ටිම්බිෂා ෂෝෂෝන් ගෝත්‍රික  කණ්ඩායම් රැසක් මෙම  මිටියාවත  ආශ්‍රිත ව ජීවත් වුණා. ඒ වාගේ ම 19 වන සියවසේ මෙහි පැමිණි සංචාරක කණ්ඩායම් පිළිබඳ ව තොරතුරු පැරණි මූලාශ්‍රවල ලියැවී තිබෙනවා. මෙම මිටියාවතට මරණයේ මිටියාවත යන නම ලැබුණේ ද එක්තරා සංචාරකයන් කණ්ඩායමකට මුහුණදීමට සිදුවුණු අකරතැබ්බයක් නිසා යි.

1880 වසරේ දී පමණ මෙම මිටියාවතට පැමිණි එම සංචාරක කණ්ඩායම් ටික කලක් මෙහි වාසය කළා. නමුත් ඔවුන්ට මෙහි ජීවත් වීම එතරම් ලෙහෙසි පහසු වුණේ නැහැ. ඒ මෙම මිටියාවතේ තිබුණු දැඩි උණුසුම් තත්ත්වය නිසා යි. 

ටිම්බිෂා ෂෝෂෝන් ගෝත්‍රිකයන් – legendsofamerica.com

 

අවසානයේ දී එම කණ්ඩායමේ සිටි බොහෝ දෙනකු බරපතළ ලෙස රෝගී වුණා. ඔවුන් මරණය ආසන්නයට ම ගොස් අසීරුවෙන් සිය ජීවිතය බේරා ගත්තා. ඒ අයුරින් ඔවුන්ට මරණාසන්න අත්දැකීම් ලබාදුන් මෙම ප්‍රදේශය පසු කලෙක මරණයේ මිටියාවත ලෙසින් හැඳින්වුණා. මෙම මිටියාවතේ ජීවත්වීමට තිබුණු අපහසුකම නිසා ක්‍රමයෙන් එහි සිටි ජනගහනය අඩු වුණා.

2001 වසරේ දී සිදු කළ සංගණනයකින් පසුව පුද්ගලයන් 525ක් මෙහි ජීවත් වන බව හෙළිදරවු වුණා. වර්තමානය වන විට මෙම මිටියාවතේ ජීවත් වන්නේ 300කටත් වඩා අඩු පිරිසක්. ඉදිරි අනාගතයේ දී මරණයේ මිටියාවතේ උෂ්ණත්වය තවත් ඉහළ ගියොත් බොහෝ විට මෙය ජනශුන්‍ය ප්‍රදේශයක් බවට පත්වනු ඇති.

වෘක්ෂලතා සහ සතුන් දැකගන්නට පුළුවන් 

මරණයේ මිටියාවත බැලූ බැල්මට ම මුඩුබිමක් සේ දිස්වෙනවා. නමුත් එහි උල්පත් සහ විල් විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. ඒ වාගේම මෙම ප්‍රදේශය ආශ්‍රිත ව දිය ඇලි පවා නිර්මාණය වී තිබෙනවා. එම දිය ඇලි අතුරින් අඩි 100ක් පමණ උස ඩාවින් දිය ඇල්ල කාගේත් අවධානයට ලක් වන සුන්දර සංචාරක ඉසව්වක්. මෙම මිටියාවත ආශ්‍රිත ව ජල මූලාශ්‍ර පවතින නිසා කපු, ජෝෂුවා, විලෝ, පයින්, බ්ලැක්බ්‍රෂ්, ෂැඩ්ස්කේල්, ක්‍රිසෝට් බුෂ් වැනි ශාක වර්ග මෙහි දී දැකගන්නට පුළුවන්.

මරණයේ මිටියාවතේ දක්නට ලැබෙන ශාක – nps.gov

 

ඒ වාගේම කාන්තාර බැටළුවා, රතු වල්ගය සහිත උකුස්සා, වල් බූරුවා, කැලෑ වෘකයා, කැංගරු මීයා, කාන්තාර කැස්බෑවා, ජැක් හාවා වැනි සතුන් විශේෂ මෙහි දී සුලබ ව දැකගන්නට පුළුවන්. ඒ අයුරින් මෙහි තිබෙන ශාක සහ ජීවත් වන සතුන් ශුෂ්ක පරිසරයට හොඳින් ම අනුවර්තනය වී සිටීම දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක්.

මෙම මිටියාවත ආශ්‍රිත ව විශේෂ පරිසර පද්ධතියක් දක්නට ලැබෙන නිසා 1994 වසරේ දී මෙය ජාතික වනෝද්‍යානයක් ලෙසින් නම් කළ බවත් මෙහි දී කිව යුතුයි. 

මරණයේ මිටියාවතේ ජීවත් වන සත්තු – visitcalifornia.com

 

චිත්‍රපට සහ රූපවාහිනි කතා මාලා රූගත කළ ස්ථානයක්

මෙම මිටියාවත තුළ සුවිශේෂී භූගෝලීය ලක්ෂණ සහිත ප්‍රදේශ රැසක් දක්නට ලැබෙනවා. එනිසා ගෙවුණු සියවස තුළ චිත්‍රපට 35කට අධික ප්‍රමාණයක් මෙහි රූගත කළා. The Air Mail, The Brute, Three Godfathers, The Legend of God’s Gun, Six-string Samurai, Star Wars, City of Bad Men, The Chinese Parrot  ඒවා අතුරින් කිහිපයක්.

ඒ වාගේම Death Valley රූපවාහිනි කතා මාලාවේ රූගත කිරීම් මෙහි දී සිදුවුණා. එලෙස මරණයේ මිටියාවත ආශ්‍රිත ව චිත්‍රපට සහ රූපවාහිනි කතා මාලා රැසක් රූගත කිරීම හේතුවෙන් මෙම ප්‍රදේශයට විශාල ජනප්‍රියත්වයක් ලැබුණා. එනිසා අද වන විට මෙම ප්‍රදේශය සංචාරකයන් අතර වඩාත් ජනප්‍රිය ස්ථානයක් බවට පත් ව තිබෙනවා. 

මරණයේ මිටියාවතේ සිදුකළ චිත්‍රපට රූගත කිරීමක් – rjfilms.com

කතු හිමිකම ©roar.media/sinhala. සියලු හිමිකම් ඇවිරිණි. නිසි අවසරයක් නැතිව උපුටා ගැනීම සපුරා තහනම්.

කවරයේ ඡායාරූපය- මරණයේ මිටියාවත - italy24news.com

මූලාශ්‍ර:

doi.gov/blog 

vanlifewanderer.com 

guinnessworldrecords.com

Related Articles