දෙවියන් ඇසුරේ සිට පොළොවට වැ‍ටුණු දේවදාසීන්

කලක් දෙවියන් හා සරණ ගිය, එනිසාම මිනිසුන් හා සරණ යෑමට නොහැකි තරම් සමාජ තත්ත්වයෙන් උසස් බව සැළකුණු කාන්තාවන් කොටසක් ඉන්දියාවේ ජීවත් වුණා. ඔවුන් සංගීතය හා නර්තනය ද ඇතුළු සිව්සැට කලාවන් (කලාවන් 64ක්) උගත්තා. දෙවියන් ඉදිරියේ මෙන්ම රාජකීයයන් ඉදිරියේත් ගැයීමෙන් හා ‍රැඟීමෙන් උපයාගත් මහත් ධනයක් මොවුන් සතු වූ නිසා සැමියෙකු මත යැපීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ වෙනුවට ඔවුනට මහත් ලිංගික නිදහසක් උරුමව තිබුණා. විවාහක හෝ අවිවාහක ඕනෑම පුරුෂයෙකු සමග තමාට අවැසි තරම් කලක් දිවි ගෙවීමට මේ කතුන් වරම් ලැබ සිටියා.

දේවදාසියක මෙන්ම ප්‍රසිද්ධ භරත නැ‍ටුම් ශිල්පිනියක ද වූ බාලසරස්වතී  (idiva.com)

එදා එතරම් ඉහළ තැනක සිටි ඔවුන්, අද වන විට ළමා ගණිකාවන්, සහ ලිංගික වහළුන් ලෙස විකිණී යන තරම් පහත් අඩියකට ඇද වැටී තිබෙනවා. මේ ලිපිය දේවදාසීන්ට සිදු වූ දෙය ගැන යි.

දේවදාසී ක්‍රමයේ ආරම්භය

“දේවදාසී” යන වදනේ සරල අරුත “දෙවියන්ගේ සේවිකාව” කියන එක යි. නැගෙනහිර සහ දකුණු ඉන්දියාවේ දෙවිවරුන් සඳහා කැපවුණු හින්දු පන්සල්වල, එම දේවතාවාගේ සේවයට තමාවම කැප කළ කාන්තාවන් පිරිසකුයි දේවදාසීන්.

දේවදාසී ක්‍රමය ඇරඹුනේ 9වන හෝ 10වන ශතවර්ෂයේ යැයි පැවසුනත්, එය 7වන ශතවර්ෂය තරම් ඈතට දිව යන බව ඇතැමුන් පවසනවා. ඉන්දියාවේ බුදු දහමේ පරිහානියත් සමග බෞද්ධ සිද්ධස්ථානයන් හින්දූන් අතට පත්වුණු අතර, ඒවායේ වැඩ විසූ බෞද්ධ භික්ෂුණීන්ට දේවදාසීන් බවට පත්වීමට බල කෙරුණු බව යි තවත් සමහරුන්ගේ මතය.

මුල් කල මෙසේ වුවත්, පසුව දුප්පත් දැරියන් දේවදාසීන් ලෙස හින්දු පන්සල්වලට විකුණා දැමුණු අතර, ඔවුන්ගේ රාජකාරිය වුණේ එහි දේව ප්‍රතිමාවට සෙමර සැලීම, ආරති (ආලෝක පූජා) සිදුකිරීම, සහ දෙවියන් වෙනුවෙන් ගැයීම හා නර්තනය යි.

දේවදාසියගේ කාර්යය

ඈත යුගවල ඉන්දියාවේ හින්දු පන්සල්වල වැඩ සිටි දෙවිවරුන්ව සම කළ හැක්කේ වැඩවසම් යුගයක රදළයෙකුට පමණ යි. එම හින්දු දෙවියාට කැප කළ සශ්‍රීක භූමි තිබුණේ අක්කර ගණනින්. වැඩවසම් ක්‍රමයට අනුව පරම්පරාවෙන් පැවත ආ පහත්-කුල වැසියන් මේවායේ සේවය කළා. දෙවියන් වෙනුවෙන් පූජා කළේ ඉහළම තත්ත්වයෙන් යුතු රසවත් ආහාර, ඇඳුම් පැළඳුම්, සහ ආභරණ යි. මෙවැනි වැඩවසම් සමාජයක නටනවාට, ගයනවාට අමතරව දේවදාසීන්ට පැවරුණු තවත් කාර්යයක් වුණේ දෙවියාගේ බිරින්දෑවරුන් සහ ඇතොවුර කතුන් ලෙස සේවය කිරීම යි (වෙනත් වචනවලින් කිවහොත්, දෙවියාගේ මනුෂ්‍ය නියෝජිතයින් වුණු බ්‍රාහ්මණ පූජකයින් සමග ලිංගික කාර්යයේ යෙදීමට දේවදාසීන්ට සිදුවුණා).

දේවදාසීන් පිරිසක් (Awaaz Nation)

ඉන්දියානු පුරාණ ග්‍රන්ථයන්ට අනුව මුල්ම දේවදාසීන් බවට පත්වන්නේ ක්‍රිෂ්ණ දෙවියන්ගේ භාර්යාවන් දහස් ගණනක්. ඔවුන්ව රවටා පැහැරගන්නා සොරුන් පිරිසක් විසින් ඔවුන් සමග ලිංගිකව හැසිරෙන නිසා මේ දිව්‍යාංගනාවන්ගේ දිව්‍යමය බලයන් අහිමි වෙනවා. තමන් මින්පසු කුමක් කළ යුතුදැ යි සෘෂිවරයෙකුගෙන් අසන ලදුව, ඔවුනට ලැබෙන පිළිතුර වන්නේ ඔවුන් හින්දු පන්සල්වල සහ නගරවල ගණිකා වෘත්තියේ නියැලිය යුතු බව යි. රජුන් සහ කුමරුන් සිය ස්වාමි පුරුෂයින් සේ සලකන ලෙසත්, මුදලට ලිංගික සේවා සැපයීමට ද ඔවුනට අවසර ලැබෙන බවත් සෘෂිවරයා පවසනවා. එසේම ඉරිදා දිනයන්වල බ්‍රාහ්මණයින් සඳහා නොමිලේ ලිංගික සේවා සැපයිය යුතු ය යන උපදෙසක් ද මොවුනට ලැබෙන අතර, පුරාණ ග්‍රන්ථවල තව දුරටත් සඳහන් කරන්නේ හින්දු පන්සල්හි සේවය සඳහා රූමත් ලාබාල දැරියන්ව මිළට ගැනීම ද යුතු බව යි.

“Dancing Girls” – ටිලී කෙට්ල් විසින් 1772 දී ඇඳි චිත්‍රයක් (researchdirect.uws.edu.au)

සරලවම කිවහොත්, බ්‍රාහ්මණ ඉන්දියාවේ බමුණන්ගේ සහ උසස් කුල රදළයින්ගේ ලිංගික අවශ්‍යතා සංතෘප්ත කරගැනීමටත්, වක්‍රාකාරව ගණිකා වෘත්තිය නීතිගත කිරීමටත් මේ “දේවදාසී” ක්‍රමය ඇරඹූ බවයි ලිඛිත සාධකවලින් පෙනී යන්නේ.  

පරම්පරාවෙන් පරම්පරාවට

දේවදාසියකට ලැබෙන දූවරුන්ගෙන් එකියක කෝවිලේ දෙවියන්ට පූජා කිරීම චාරිත්‍රය වුණා. ඇය ද ඉන්පසු දේවදාසියක් සේ සේවය කිරීමයි සාමාන්‍යයෙන් සිදු වුණේ. දේවදාසියකගේ ධනය ඇගේ දූන් සහ පුතුන්ට සමසේ බෙදී යෑම ද විශේෂ කරුණක් (සාමාන්‍යයෙන් දූන්ට වඩා වැඩි ධනයක් පුතුන්ට දීමයි ඉන්දියානු සිරිත). ඇතැම් ප්‍රධාන හින්දු පන්සල්වල දේවදාසීන් 100 – 500 අතර ප්‍රමාණයක් සේවය කළා.

20වන ශතවර්ෂයට පෙරත් දේවදාසීන්ගේ ජීවිතය දුක්බර වුවත්, ඔවුන්ට අඩු තරමින් ධනය හෝ තිබුණා. නමුත් එයින් පසු බොහෝවිට දේවදාසීන් බවට පත් වුණේ අඩු-කුල, දුප්පත් කාන්තාවන්. ඔවුන්ගේ ජීවිත ඉතාමත් දුක්ඛිත වුණා.

මේ බාලසරස්වතී නම් නාට්‍ය ශිල්පිනිය 1949 දී යි. ගෞරවනීයව එම වෘත්තිය ‍තෝරාගත් දේවදාසීන්ගේ අවසන් පුරුක ලෙස සැලකෙන්නේ මැයයි. (filmoteca.cat)

අහසින් පොළොවට

වර්තමානයේ නම් දේවදාසියක් කියන්නෙ ළමා ගණිකාවකට හෝ ලිංගික වහලියකට සමාන පදයක් වෙලා. දාලිත්, මදිගා, හෝ වාල්මිකී වැනි ඉතාම පහත් කුලයන්ගෙන් පැවතෙන මොවුන් අන්ත දරිද්‍රතාවයෙන් පෙලෙන පවුල්වල දැරියන්. සිය දියණිය විකුණාදැමීම හැර යැපීමේ අන් මඟක් නැති දෙමාපියන් නිසා වයස අවු. 4 -5 තරම් ලාබාල දැරියන් දේවදාසීන් සේ හින්දු පන්සල්වලට විකිණෙනවා. මේ සිරිත අද වන විට ප්‍රචලිතව පවතින්නේ කර්ණාටක, ආන්ද්‍ර ප්‍රදේශ්, සහ මහාරාෂ්ඨ්‍ර ප්‍රාන්තයන් වල යි.

මේ කුඩා දැරිය දේවදාසියකි.  (Khurpi)

මහාරාෂ්ඨ්‍රයේ දී මේ දැරියන්ව හැඳින්වෙන්නේ “මාතාංගී” යන නමින්. ඔවුන් ආන්ද්‍ර ප්‍රදේශයට ජෝගිනී, හෝ මාතම්මා වන අතර, කර්ණාටකයට දේවදාසීන් වනවා.

දේවදාසියක් බවට පත්වන්නේ කොහොම ද?

වර්තමානයේ නම් දේවදාසීන් බවට පත්වන බොහොමයක් දැරියන්ව කැප කෙරෙන්නේ යේලම්මා නම් දේවතාවියකට යි. උතුරු කර්ණාටකයේ යේලම්මා දේවස්ථානයේ වසරකට වරක් පැවැත්වෙන සෞන්දතී උත්සවයේ දී යි සාමාන්‍යයෙන් මෙය සිදුවන්නේ.

මේ කුඩා දැරිය සරසවා ඇත්තේ දේවදාසි උත්සවයක් සඳහා යි. (National Museums Liverpool)

උත්සවය පැවැත්වෙන කාලයේ තමාට පහසු දිනෙක දැරියව කොළ පැහැ වස්ත්‍රයෙන් සරසන දෙමාපියන්, ඇයව දෙවියන්ට කැප කිරීම උදෙසා කෝවිලේ දේවදාසීන් වෙත බාර කරනවා.

දැරිය වැඩිවිය පත් වූ පසු දෙමාපියන් විසින් එම කරුණ දේවදාසී ප්‍රජාවට සැල කළ යුතු යි. එයින් අනතුරුව පොහොසත් ඉඩම් හිමියෙකු, හෝ බලවතෙකු සෙවීම සිදුවන්නේ දැරියගේ කන්‍යාභාවය ඉහළම මිළකට විකුණා දැමීමේ අරමුණෙන්. දැරිය මිලට ගන්නා මිනිසාට අවැසි කලක් ඇයව ලිංගික ශ්‍රමිකයෙකු සේ සේවයේ යොදවාගත හැකි අතර, ඇගේ නඩත්තු වියදම් ඔහු විසින් සැපයිය යුතු වෙනවා. ඇතැම් දැරියන් සිය පළමු ලිංගික අත්දැකීම ලබන්නේ අවු. 12 – 13 තරම් ලාබාල වයසේ දී යි.

දේවදාසියක වශයෙන් සේවය කළ හැක්කේ වයස අවු. 36ක් පමණ වන තෙක් පමණ යි. (India Tribune)

පොළවෙන් අපායට

පෙර කල මෙන්, වර්තමාන දේවදාසියන්ට මිනිසෙකු හා ස්වකැමැත්තෙන් වසනු බැහැ. ඔවුන් බැඳී සිටින්නේ දේවතාවියකට නිසා යි ඒ. සිය තරුණ කාලයම ලිංගික ශ්‍රමිකයෙකු සේ ගත කරන දේවදාසීන්ට සිය රූපය වියැකී යන 30 වයස් සමයෙන් පසු තව දුරටත් ගණිකා වෘත්තියේ යෙදීමට බැරි නිසාත්, විවාහයකට අවසර නැති නිසාත් යැපීමේ ක්‍රමයක් ද අහිමි වෙනවා. දිවියේ මුල් කල මුහුණ පෑමට සිදු වූ ආහාර හිඟකම, දුක් කරදර, සහ AIDS වැනි සමාජ රෝගයන් නිසා රෝගීන් බවට පත්ව සිටින ඔවුනගේ එකම සහනය වන්නේ සිය මාපියන් කළා සේම, තම දැරියක ද දේවදාසියක ලෙස හින්දු පන්සලකට විකිණීම යි.

මේ වයෝවෘධ කතුන් කලක් දේවදාසීන් ලෙස සේවයේ යෙදුණු අය යි. (KenFolios)

ඉන්දියාව නිදහස ලැබීමට පෙරත්, පසුත්, දේවදාසී ක්‍රමය අහෝසි කිරීමට විවිධ නීති ගෙන එනු ලැබුවා. 1988 දී මේ ක්‍රමය ඉන්දියාව පුරාම සහමුලින්ම තහනම් කර දැමුනත්, 2013 දී වාර්තා වුණේ 450 000ක් පමණ දේවදාසීන් රට පුරා ලිංගික ශ්‍රමය සපයමින් සිටින බව යි.

මූලාශ්‍රයයන්:

Britannica

The Guardian

Your Story

The Hindu

Interactive Media Lab, College of Journalism and Communications, University of Florida

Times of India

Origin of the Devadasi System by Awadh Kishore Prasad (Proceedings of the Indian History Congress – Vol. 60, Diamond Jubilee (1999), pp. 129-136)

Cover: (premioceleste.it)

Related Articles