Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වෙනස් ආකාරයට ඉදි වූ “මේසන් ඩි ජියෑන්”

නිතර දක්නට ලැබෙන ගෘහ නිර්මාණ ශිල්පවලට අනුව ඉදි කර ඇති නිවාස සහ වෙනත් ගොඩනැඟිලිවලට අමතර ව විශේෂිත ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම යොදා ගෙන සිදු කළ ඉදිකිරීම් බොහෝ රටවල දක්නට ලැබේ. සමහර එවැනි ගොඩනැඟිලි සුවිශේෂී ආකාරයෙන් ඉදිකිරීමට බලපෑ හේතු ද සුවිශේෂී වේ.

මීට සියවස් පහකට පෙර ඉදි කළ බවට සැලකෙන, ප්‍රංශයේ අවෙයිරොන් පළාතේ පිහිටි “මේසන් ඩි ජියෑන්” නමින් හඳුන්වන නිවස ද එවැනි සුවිශේෂී ඉදිකිරීමකි. මෙම නිවසේ ඇති පෞරාණික බව සහ එය ඉදිකිරීමට භාවිත කර ඇති සුවිශේෂී ගෘහ නිර්මාණ ක්‍රම නිසා එය ලොව පුරා බොහෝ දෙනකුගේ අවධානයට යොමු වී ඇත.

“මේසන් ඩි ජියෑන්” නිවස – www.tourismeaveyron.com

පිහිටීම

ප්‍රංශයේ දකුණු ප්‍රදේශයට වන්නට පිහිටි අවෙයිරොන්, වර්ග කිලෝමීටර් 8,735ක භූමි ප්‍රමාණයකින් යුතු, ලක්ෂ දෙකකට වැඩි ජනගහණයක් සිටින ප්‍රදේශයකි. ප්‍රංශයේ අනිකුත් ප්‍රදේශවලට සාපේක්ෂ ව ඉතා ග්‍රාමීය ස්වරූපයක් ගන්නා අවෙයිරොන් හි ඉපැරැණි නිවාස සහ ගොඩනැඟිලි ගණනාවක් පිහිටා තිබේ. එය විශාල වශයෙන් නාගරීකරණය නොවූ ප්‍රදේශයක් නිසා එහි පිහිටා තිබෙන බොහෝ ඉපැරණි නිවාස සහ ගොඩනැඟිලි ඒවායේ මුල් ස්වරූපයෙන් ම තව ම දක්නට ලැබේ.

එවැනි ඉපැරැණි ගොඩනැඟිලි අතරින් වඩාත් ම කතාබහට ලක් වූ ගොඩනැඟිල්ලකි, “මේසන් ඩි ජියෑන්” නිවස. අවෙයිරොන් ප්‍රදේශයට අයත් “Sévérac-le-Château” නම් කුඩා නගරයේ කෙළවරකට වන්නට පිහිටා ඇති මෙහි ඉදිකිරීම් 1478 දී ආරම්භ වී ඇති බව සැලැකේ.

සියවස් පහකට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන මෙම නිවස අවෙයිරොන් ප්‍රදේශයේ පිහිටි පැරැණි නිවාස සහ ගොඩනැඟිලි ගණනාවක් අතරින්, දැව සහ මැටි යොදා ගෙන ඉදිකර ඇති නිවාස අතරින් වඩාත් ම පැරැණි නිවස/ ගොඩනැඟිල්ල ලෙස සැලැකේ.

අවෙයිරොන් නගරය – www.neoZone.com

ගෘහ නිර්මාණ ශිල්පය

සියවස් පහක ඉතිහාසයකට හිමිකම් කීම හැරුණුකොට මෙම නිවස ලොව පුරා කතාබහට ලක් වීමට හේතුවක් වන්නේ එහි දැකිය හැකි සුවිශේෂී ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ යි. සියවස් කිහිපයකට පෙර බොහෝ රටවල නිවාස සහ ගොඩනැඟිලි ඉදිකිරීමේ දී භාවිත කළ ආකාරයට මෙම නිවස ඉතා ශක්තිමත් දැව සහ පිදුරු මිශ්‍ර කළ මැටි යොදා ගෙන ඉදි කර ඇත. මුල් කාලයේ එහි පිටත බිත්ති ගල් පතුරු යොදා ආවරණය කර තිබූ නමුත් මේ වන විට එම ගල් පතුරු දක්නට නොලැබේ.

මහල් තුනකින් සමන්විත මෙම නිවසේ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක් වන්නේ එහි තෙවන සහ දෙවන මහල්, පළමු මහලට වඩා ප්‍රමාණයෙන් විශාල වීම යි. පළමු මහලේ ඇති වර්ග අඩි ප්‍රමාණයට වඩා සැලකිය යුතු වර්ග අඩි ප්‍රමාණයකින් ඉහළ මහල් දෙක සමන්විත වේ.

නිවසේ පහළ මහලේ ආරුක්කුවක් ආකාරයට සකස් කළ සිවිලිමක් සහ සතුන්ට ආහාර දීම සඳහා භාවිත කළ බවට සැලකෙන ස්ථානයක් පිහිටා තිබේ. ඉතිහාසඥයන් පවසන්නේ නිවසේ මුල් පදිංචිකරුවන් සිය සතුන් සමඟ නිවසේ පහළ මහලේ ජීවත් වන්නට ඇති බව යි.

නිවස ඇතුළත – www.reddit.com

බදු ගෙවීමෙන් වැලකීමට යෙදූ උපක්‍රමයක්?

මෙම නිවසේ ඉහළ මහල් දෙක පහළ මහලට වඩා ප්‍රමාණයෙන් විශාල වීම පිළිබඳ ව අදහස් දක්වා ඇති බොහෝ දෙනෙක් පවසන්නේ එය තමන් ගෙවිය යුතු බදු මුදල් ප්‍රමාණය අඩු කර ගැනීමට නිවසේ මුල් හිමිකරු යෙදූ උපක්‍රමයක් බව යි. අතීතයේ අවෙයිරොන් ප්‍රදේශයේ පිහිටි නිවාස සහ වෙනත් ගොඩනැඟිලිවල පළමු මහලේ වර්ග අඩි ප්‍රමාණය ප්‍රමාණය අනුව ඒවායෙන් අයකරගත යුතු බදු මුදල ගණනය කර ඇත.

මෙම නිවස ඉදි කළ පුද්ගලයා තමන් ගෙවිය යුතු බදු මුදල අඩු කරගැනීමට නිවසේ පළමු මහල ප්‍රමාණයෙන් කුඩා වන ආකාරයටත්, දෙවැනි සහ තෙවැනි මහල් වැඩි වර්ග අඩි සංඛ්‍යාවක් සහිත වන ආකාරයටත් ඉදිකර ඇත.

ප්‍රතිෂ්ඨාපන කටයුතු

සියවස් ගණනාවක් තිස්සේ හිමිකරුවන් ගණනාවකට සෙවණ දුන් මෙම නිවසේ අවසන් වශයෙන් ජීවත් වූ පුද්ගලයා වන්නේ ජියෑන් නම් කලාකරුවෙක් වන අතර, ඔහුට ගෞරවයක් වශයෙන් එය “”මේසන් ඩි ජියෑන්” යනුවෙන් හැඳින්වේ. 1995 වසරේ දී නිවස පිහිටි ප්‍රදේශය අයත් වන නගර සභාව මෙම නිවස මිල දී ගත්තේ ය. ඒ වන විට තරමක් ජරාජීර්ණ වී තිබූ නිවස ප්‍රතිෂ්ඨාපනය කිරීමට නගර සභාව ගෘහ නිර්මාණ ශිල්පියෙක් වූ පිලිප් බ්ලොන්ඩින් ගේ අධීක්ෂණයෙන් යුතු විශේෂ වැඩපිළිවෙළක් සකස් කෙරිණි.

නැරඹීමට පැමිණි ළමයින් පිරිසක් – www.trip.com

එම වැඩපිළිවෙළ මීට වසර කිහිපයකට වසරේ දී ආරම්භ විය. ප්‍රතිෂ්ඨාපනය කිරීම් අතරතුර නිවසේ වහල සෙවිලි කර තිබූ උළු කැට ඉවත් කර නිසි ප්‍රමාණයට කැපූ උළු කැට සෙවිලි කර තිබේ. නිවසේ බාහිර සහ අභ්‍යන්තර පෙදරේරු වැඩ “Muzzarelli” නම් සමාගමකටත්, ජනෙල් දොරවල් අලුත්වැඩියාව ඇතුළු වඩු වැඩ “Drulhet” නම් සමාගමකටත්, විදුලි සහ ජලනළ කාර්මික වැඩ සඳහා “Molinié” නම් සමාගමකටත් පවරා තිබිණි. හුණුගල් බදාමයක් යොදා ගෙන නිවසේ ඇතුළත සහ පිටත බිත්ති අලුත්වැඩියා කර තිබේ.

ප්‍රතිෂ්ඨාපන කටයුතුවලින් පසු නිවසේ, විශේෂයෙන් ම ඇතුළත සහ පිටත බිත්තිවල, තිබූ පෞරාණික පෙනුමට හානි වී ඇති බව බොහෝ දෙනෙක් චෝදනා කරති. කෙසේ වෙතත් ප්‍රතිෂ්ඨාපන කටයුතු ආරම්භ කළ කාලය වන විට එය කඩා වැටීමට ආසන්න තත්ත්වයක තිබූ බවත්, ප්‍රතිෂ්ඨාපන කටයුතුවලින් පසු එය තවත් වසර ගණනාවක් නිරුපද්‍රිත ව තබාගත හැකි තත්ත්වයකට ගෙන ඒමට හැකි වූ බවත් එම කටයුතු භාරව සිටි කණ්ඩායම එම චෝදනාවලට පිළිතුරු වශයෙන් පවසා තිබේ.

ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් පසු – www.wikipedia.org

සමාජ මාධ්‍යයේ කතාබහක්

2017 වසරේ දී මෙම නිවස පිහිටි ප්‍රදේශයේ සංචාරයක යෙදුණු පුද්ගලයෙක් ජංගම දුරකතනයකින් ලබා ගත් ඡායාරූපයක්, ඡායාරූප පළ කිරීම සඳහා වෙන් වූ “Imgur” නම් වෙබ් අඩවියේ පළ කළේය. එම ඡායාරූපයට පැය 48ක් වැනි කෙටි කාලයක් තුළ කැමැත්ත පළකිරීම් (likes) මිලියන දෙකකට වැඩි ප්‍රමාණයක් ලැබි ණි. ඒ සමග මෙම නිවස පිළිබඳව සමාජ මාධ්‍ය ජාල හරහා විශාල කතාබහක් ඇති විය. එය ප්‍රංශයේ පැරැණිත ම නිවස බවට සමහරුන් සමාජ මාධ්‍ය ජාලවල පළ කර තිබුණත්, එහි සත්‍යතාවක් නොමැති බව අවෙයිරොන් හි සංචාරක කටයුතු පිළිබඳ රජයේ කාර්යාලයක් තහවුරු කර තිබිණි.

මහජනතාවට විවෘත වෙයි

වසර 70කට වැඩි කාලයක් තිස්සේ මෙම නිවසේ කිසිදු පුද්ගලයෙකු පදිංචි වී නොසිටි බැවින් එය විනාශ වීමේ අවදානමක පැවතිණි. එය නගර සභා පරිපාලනය යටතට ගැනීමේ ප්‍රධාන අරමුණ වූයේ මහජනතාවට මෙම නිවස නරඹා එහි පෞරාණික සහ ගෘහ නිර්මාණ ශිල්පීය වැදගත්කම පිළිබඳ ව හැදෑරීමට අවස්ථාව ලබා දීම යි.

නිතර මහජනතාව එහි පැමිණීම යම් යම් හානිකර තත්ත්වයන්ට හේතු විය හැකි බැවින් නිවස නැරඹීම සඳහා මහජනතාවට අවසර ලබා දෙන විශේෂ කාලසීමාවක් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත. ජූලි සහ අගෝස්තු මාසවල එය නැරඹීමට මහජනතාවට අවස්ථාව ලැබෙන අතර, දේශීය සහ විදේශීය සංචාරකයන් විශාල පිරිසක් එය නැරඹීමට පැමිණෙති.

නිවසේ ආකෘතියක් – www,etsi.com

කවරයේ ඡායාරූපය - මෙම නිවසේ අවසන් වශයෙන් ජීවත් වූ ජියෑන් නම් කලාකරුවාට ගෞරවයක් වශයෙන් එය "මේසන් ඩි ජියෑන්" යනුවෙන් හැඳින්වේ - www.www.tourisme-occitanie.com

මූලාශ්‍ර :
www.tourisme-aveyron.com
www.bbc.com
www.britannica.com

Related Articles