Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චීනයේ අඟුටුමිටි ගම්මානය

ලොව පුරා විවිධ ජාතීන්ට අයත් මිනිසුන් ජීවත් වෙනවා. මොවුන් හිසකෙස්වල වර්ණය, සමෙහි වර්ණය, උස, මුහුණෙහි අංගවල හැඩයන් වැනි දේවලින් එකිනෙකාට වෙනස් වෙනවා. උදාහරණ ලෙස අප්‍රිකා මහාද්වීපය ගතහොත් සාමාන්‍යයෙන් ඉතා උසැති මිනිසුන් සිටින මසායි ගෝත්‍රිකයින් මෙන්ම උසුන් අඩු බන්ටු ගෝත්‍රිකයින් ද එහි හමුවෙනවා.

මිනිසෙකුගේ උස ජානමය සාධක මෙන්ම වෙනත් භෞතික හා පාරිසරික සාධක අනුවත් වෙනස් වෙනවා. යුරෝපීයයෙකු වඩා උසින් වැඩිවෙද්දී ජපන් ජාතිකයෙකු උසින් අඩුවන්නේ ජානමය සාධක නිසා යි. එමෙන්ම අලස දිවි පෙවෙතක් ගෙවන්නෙකුට වඩා කුඩා කාලයේ ව්‍යායාම කළ අයෙකු උසින් වැඩිවිය හැකියි.

ඉහත දැක්වූ කරුණුවලට අමතරව ජානමය විකෘතියක් හේතුවෙන් යමෙකුට ‘කුරු’ බව උරුම විය හැකියි. මේ තත්ත්වයට ඕනෑම ජන කොටසක අයෙකු ලක් විය හැකි මුත් නියැදියක් ගත් විට එවැන්නන් හමුවන්නේ ඉතා කලාතුරකිනුයි. කෙසේ නමුත් චීනයේ එක්තරා ගම්මානයකින් ලොව අනෙකුත් ප්‍රදේශවලට සාපේක්ෂව මෙලෙස ‘කුරු’ තත්ත්වයට පත් වූවන් අතිශය බහුල ලෙස වාර්තා වෙනවා.

අඟුටුමිටි ගම්මානයේ තොරතුරු

නිරිතදිග චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ යැන්ග්සි නම් ගම්මානයක් පිහිටා තිබෙනවා. දුෂ්කර පෙදෙසක පිහිටා ඇති කුඩා ගම්මානයක් වන මෙය චීන ජනතාව විසින් හඳුන්වන්නේ ‘අඟුටුමිටි’ ගම්මානය ලෙස යි. එයට හේතුව මෙහි වෙසෙන ජනතාවගෙන් 40%ක් දෙනා ලොව වෙසෙන අනෙකුත් මිනිසුන්ට වඩා සැලකිය යුතු ලෙස උසින් අඩු ‘කුරු’ අය වීම නිසා යි.

යැන්ගිසි ගම්මානයේ 80 දෙනෙක් වාසය කරනවා. ඉන් 36 දෙනෙකුම කුරු තත්ත්වයට පත් වී තිබෙනවා. ඒ අයවලුන් අතරින් උසින් වැඩිම තැනැත්තා අඩි 3කුත් අඟල් 10ක් උස් අතර උසින් අඩුම තැනැත්තා උස් වන්නේ අඩි 2කුත් අඟල් 1ක් පමණයි. මෙම තත්ත්වය ඉතා අසාමාන්‍ය එකක් නිසා චීන විද්‍යාඥයින් හා බලධාරීන් එහි අක්මුල් සොයන්නට වෙහෙසුනමුත් අද වනතුරුත් ඒ පිළිබඳ නිසි අර්ථකථනයක් ලබාදෙන්නට කිසිවෙකුත් අසමත්ව තිබෙනවා.

යැන්ග්සි හි වැසියන්- doorfliesopen.com

පිළිතුරක් සොයා

යැන්ගිසි ගමෙහි වැඩිහිටියන් පවසන අන්දමට මීට වසර ගණනාවකට පෙර එහි යම් ව්‍යාධියක් පැතිරී තිබෙනවා. මෙයින් ගම්වැසියන් සියල්ලම පාහේ පීඩා විඳි අතර එය වැළඳුණු අවුරුදු 5-7 වයස්වල සිටි බොහෝ දෙනාගේ ශාරීරික වර්ධනය අඩාල වී කුරු බවට පත් වූ බව තවදුරටත් ඔවුන් සඳහන් කරනවා. කුරු වීමට අමතරව තවත් ශාරීරික රෝගාබාධ කිහිපයකින්ම ඔවුන් තැවෙන්නට පටන් ගෙන තිබෙනවා.

යැන්ග්සි වැසියන් පවසන රෝගාබාධය නිසාම මෙවැන්නක් සිදුවිය නොහැකි බැව් නිර්ණය කළ විද්‍යාඥයින් මේ අසාමාන්‍ය තත්ත්වය ඇති වීම සඳහා උරදෙන යමක් නිසියාකාරවම සොයාගැනීමේ අටියෙන් එහි වූ පස්, ජලය, ආහාර වැනි දේ පරීක්ෂා කළ ද ඒ කිසිවක අසාමාන්‍යතාවක් ඔවුනට නිරීක්ෂණය වූයේ නැහැ.

විද්‍යාත්මක පදනම

සිද්ධිය පිළිබඳව පර්යේෂණ සිදුකළ අයවලුන් සිචුවාන් ප්‍රාන්තයේ රෝහල්වල වාර්තා ගෙන පරීක්ෂා කිරීම සිදුකළා. එහිදී අනාවරණය වූයේ සැබවින්ම මේ පෙදෙසේ ‘අද්භූත’ රෝගයක් කලකට ඉහත පැතිරී ගොස් තිබූ බවයි. එය 1951 වසරේ දී පැතිරී ගොස් තිබූ අතර මින් බැට කෑ දරුවන්ගේ අත් පාවල වැඩීම බාල වූ බව ඒවායේ සඳහන් වී තිබුණා. 1985 වසර වන විට මේ ගමානයේ වර්තමානයට වඩා බොහෝ දෙනා ජීවත්ව සිටි අතර එම වසරේ සිදුකරන ලද සංගණනයකින් එහි අත්පා වර්ධනය බාල වීම සබැඳි අයවළුන් 100කට වඩා පිරිසක් ජීවත් වූ බැව් අනාවරණය වී තිබෙනවා. කෙසේ නමුත් මේ රෝගාබාධය හා කුරු වීම අතර කිසිදු විද්‍යාත්මක පදනමකින් යුක්ත සම්බන්ධයක් සොයාගන්නට මේ වන තුරුත් කිසිවෙකුට හැකි වී නැහැ.

කුරු බව ඇතිවන්නේ 20000 දෙනෙකුගෙන් කෙනෙකුටයි- Pinterest.com

චීන රජය තවමත් මේ ගම්මානය විදෙස් සංචාරකයින් සඳහා විවෘත කර නැහැ. එය එහි වැසියන්ට කරදරයක් මෙන්ම අගෞරවයක් යැයි ඔවුන් සිතනවා. මේ නිසා බාහිර ලෝකයට මේ වන විටත් අනාවරණය වී තිබෙන්නේ එහි වැසියන්ගේ සේයාරූ කිහිපයක් පමණයි. කලක් තිස්සේ මේ පිළිබඳ බාහිර වැසියන් හට අනාවරණය වී තිබුණේ කටින් කට ආ ඕපාදූප කිහිපයක් පමණක් මඟින් නිසා මෙය ප්‍රබන්ධයක් යැයි මෑතක් වනතුරුම බොහෝ දෙනාගේ සිත් තුළ කුකුසක් හටගෙන තිබුණා. ඒවා වියැකී ගියේ එහි වැසියන්ගේ පැහැදිළි සේයාරූ කිහිපයක් ලෝකයාට නිරාවරණය වීමත් සමග යි.

මේ අතර අළුතින්ම සොයාගෙන ඇත්තේ 1951 වසරට පෙරත්, එනම් 1911 හා 1947 වසරේ පවා මෙම ගම්මානයේ කුරු මිනිසුන් පිළිබඳව විවිධ අය සඳහන් කර ඇති බව යි. මේ නිසා මෙහි පැතිරුණු රෝගාබාධයට එහා ගිය සාධකයක් මගින් මේ කුරු බව ඇති කරන බැව් නිර්ණය කරන්නට සිදු වී තිබෙනවා.

මේ ගම්මානයේ මිනිසුන් වැඩියෙන්ම ජීවත් වූ සමයෙහි එහි කුරු අයවලුන් 120ක් පමණ ජීවත් වූ බැව් පැවසෙනවා. සාමාන්‍යයෙන් ලෝක ජනගහනය ගත්කල්හි කුරු බව ඇතිවන්නේ 20,000කින් එක් අයෙකුට යි. එබැවින් මෙය හුදු අහම්බයක් වීමට කිසි සිත්ම නොහැකි බව විද්වතුන් පවසනවා. 1997 වසරේ දී මේ ගම්මනයේ පස්වල ඇති අධික රසදිය සාන්ද්‍රණය නිසා කුරු බව ඇතිවන බවට මතයක් පල වුව ද එය කිසි දිනෙක ඔප්පු වූයේ නැහැ.
සාම්ප්‍රාදයිකව සිතන සමහරෙක් මේ ගම්මානයට යක්ෂයාගේ බැල්ම වැටී ඇති බවත්, එහි ෆෙංශුයි දෝෂ‍යක් ඇති බවටත් විශ්වාස කරනවා. කෙසේ නමුත් බලධාරීන් එය හුදු දුර්මතයක් ලෙස බැහැර කරනවා.

තවත් සමහරෙක් පවසන්නේ මීට බොහෝ කලකට පෙර ජපන් ජාතිකයින් චීනය ආක්‍රමණය කළ විට මේ පෙදෙසට එල්ල කළ විෂ වායු ප්‍රහාරයක් නිසා මෙසේ සිදු වී ඇති බව යි. නමුත් කිසි දිනෙක ජපානය යැන්ග්සි ගම්මානය පිහිටා ඇති පෙදෙස අහලකටවත් පැමිණ නැති බවට ඉතිහාස වාර්තා සාක්ෂ්‍ය දරනවා.

ජපානයේ චීන ආක්‍රමණය(1937)- ussastoria.org

පසුවදන

පසුගිය දශකය දෙක තුළ බොහෝ දෙනා ප්‍රදේශය අතැර ගොස් තිබෙන්නේ තමන් හා තම දරුවන් ද මේ ‘අද්භූත’ තත්වයට ගොදුරු වේ යැයි බියෙනුයි. කෙසේ නමුත් කලින් පරම්පරාව මෙන් නොව මේ ගම්මානයේ ජීවත් වන නව පරපුරේ බෝහෝ දෙනා කුරු බවෙන් තොරව වැඩී තිබෙනවා. ඒ අනුව මේ අසාමාන්‍ය තත්ත්වයට ජානමය බලපෑමක් ඇතැයි යන්න සඳහා වූ සම්භාවිතාවත් කෙමෙන් කෙමෙන් අඩු වී යන්නේ තවත් නොවිසඳුණු අභිරහසක් ලෝකයා හමුවේ තබමිනුයි.

කවරයේ පින්තූරය- procaffenation.com

Related Articles