Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

භූමිකම්පාවෙන් සෙලවුණු තුර්කියේ දේශපාලන අනාගතය

තුර්කිය සහ සිරියාවේ වෙසෙන මිලියන ගණනක ගේ ජීවිතය එක නිමේෂයකින් වෙනස් වූ අන්දම ගැන අපි දැනුම්වත්. පසුගිය පෙබරවාරි 06 වැනිදා පැය නවයක පරතරයකින් ඇති වූ රිච්ටර් මාපක 7.8 ක් සහ 7.5 ක භූකම්පන හේතුවෙන් දෙරට තුළ සිදු ව ඇති මරණ සංඛ්‍යාව හතළිස්දහසකට අධික යි.

තුර්කිය සහ සිරියාව යනු අර්බුදකාරී කාල සීමාවක් ගත කරමින් සිටින රාජ්‍යයන් දෙකක්. තුර්කිය උද්ධමනයකට මැදි ව පීඩා විඳින අතර, සිරියාව යනු යුද ගැටුම් හේතුවෙන් අතිශයින් අසරණභාවයට පත් වූ රාජ්‍යයක්. දශකයකට අධික කාලයක් මුළුල්ලේ යුද්ධයෙන් සහ ත්‍රස්තවාදයෙන් විනාශ වූ රාජ්‍යයක් ලෙස සිරියාවට මෙවැනි ව්‍යසනයක් කළමනාකරණය කිරීම ඉතා අසීරු යි. ඔවුන් ගේ යටිතල පහසුකම් දැඩි ලෙස ක්ෂය වී ඇති අතර, බටහිර සම්බාධක හමුවේ තවදුරටත් පීඩාවට පත් වී සිටිනවා.

කම්පන තරංග තුර්කි දේශපාලනයටත්

සිරියාවට සාපේක්ෂ ව තුර්කියට මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයක් කළමනාකරණය කිරීමේ ඉහළ හැකියාවක් තිබුණ ද එය ප්‍රශස්ත මට්ටමකින් පවත්වා ගෙන යා නොහැකි තත්ත්වයකට පත්වී සිටිනවා. පවතින ආර්ථික තත්ත්වය සහ දේශපාලන ගැටලු ඊට හේතුව යි.

ආපදාවට ලක් වූ ප්‍රදේශවලට ළඟා වීම සඳහා තුර්කි සහන සේවා කණ්ඩායම්වලට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා. ඇතැම් ස්ථානවලට ළඟා වීමටවත් නොහැකි වුණා – balkaninsight.com

ප්‍රබල නේටෝ සාමාජිකයෙක් ලෙස දරන භූමිකාවට අමතර ව භූදේශපාලනික වැදගත්කමක් ඇති රාජ්‍යයක් ලෙස තුර්කිය වැදගත් වෙනවා. එබැවින්, ලෝක බල තුලනය සඳහා තුර්කියෙන් ලැබෙන දායකත්වය තරමක් ඉහළ යි. භූකම්පනය හමුවේ ඔවුන් ගේ දේශපාලනික ස්ථාවරයට කුමක් සිදුවේවි ද?

මේ ඒ ගැන කරන සොයා බැලීමක්.

මැතිවරණ වර්ෂයක්

2023 යනු තුර්කි දේශපාලන කාලසටහනේ ඉතා වැදගත් වර්ෂයක්. මෙම වසර මැද වනවිට තුර්කියේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිත ව තිබීම ඊට හේතුව යි. ස්වීඩනයට සහ ෆින්ලන්තයට නේටෝ සාමාජිකත්වය පිරිනැමීම අභියෝගයට ලක් කළ තුර්කි ජනපති රිසෙප් තායිප් එර්ඩෝවන්, පවතින ව්‍යසන තත්ත්වයට ප්‍රතිචාර දක්වන අන්දම ප්‍රබල මැතිවරණ සාධකයක් විය හැකි යි.

දැනටමත් භූමිකම්පාව සිදු වූ ප්‍රදේශය ආශ්‍රිත ගොඩනැඟිලි වල ගුණාත්මකභාවය‍ට සැලකිල්ලක් නොදැක්වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වෙමින් තිබෙනවා. භූ කම්පන ඇති වීමේ අධි අවදානම් කලාපයක් වුවත්, එම තත්ත්වයට ඔරොත්තු දෙන මට්ටමෙන් නගර සැලසුම් කිරීමට උනන්දු නොවීම එම චෝදනාවල පදනම වී තිබෙනවා.

2018 පැවති තුර්කි ජනාධිපතිවරණයේ සමස්ත ප්‍රතිපලය – www.electoralgeography.com

රිසෙප් තායිප්, මැයි මස මුල මැතිවරණය පැවැත්වීමේ සැලසුමට ප්‍රවිශ්ට වනවිට තුර්කියේ උද්ධමනය 57% ට වැඩි මට්ටමක පැවතුණා. සිය මතභේදාත්මක ආර්ථික ප්‍රතිපත්ති අසාර්ථක වීමට මත්තෙන් තවත් ධූර කාලයක් බලය රැක ගැනීමට රිසෙප් තායිප් උත්සහ කරන බව යි විශ්ලේෂකයන් අනුමාන කරන්නේ.

කාලය ගතවන විට අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තියේ අඩුලුහුඬුතා පහළ සමාජ ස්ථරය දක්වා සංක්‍රමණය විය හැකි බැවින්, කල් ඇතුව ම මැතිවරණය කැඳවීමෙන් රිසෙප් තායිප්ට යම් වාසි සහගත පසුබිමක් නිර්මාණය වෙනවා. එහෙත්, අනපේක්‍ෂිත​ භූමිකම්පාව මිනිස් ජීවිත පමණක් නොව රිසෙප් ගේ දේශපාලන අනාගතය පවා අනතුරකට ඇද දැමූ ස්වභාවයක් පෙනෙන්නට තිබෙනවා.

වැරදි මඟක යන රිසෙප්

තුර්කියේ ආර්ථික පීඩනයට ප්‍රධාන වශයෙන් බලපෑවේ කොවිඩ් වසංගතය සහ පවතින යුක්‍රේන-රුසියානු යුද්ධය යි. නිසි කළමනාකාරීත්වයක් යටතේ එවැනි අර්බුදකාරී වාතාවරණයක පවා තුර්කි ආර්ථිකය නිසි මඟක මෙහෙයවීමේ අවස්ථා නොතිබුණා නොවෙයි.

රිසෙප් තායිප් ගේ ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව “තුර්කි ලීරා” මුදල් ඒකකයේ වටිනාකම වාර්තාගත අන්දමින් පහළ ගිය අතර, මෑත වසර කිහිපය තුළ ඔවුන් ගේ විදෙස් මුදල් සංචිතය ද තියුණු ලෙස පහත වැටුණා. ඉන් තුර්කි පුරවැසියන් ගේ මිල දී ගැනීමේ හැකියාවට එල්ල වූයේ බලවත් පහරක්.

වත්මන් තුර්කි ජනපති රිසෙප් තායිප් එර්ඩෝවන් – www.timesofisrael.com

අර්බුදය ඔඩු දුවන විට ආයෝජකයන් තුර්කිය අතහැර දැමීමේ නැඹුරුතාවත් වර්ධනය වුණා. තත්ත්වය එසේ වුවත්, තුර්කි ජාතිකයන් ගේ ඇති නම්‍යශීලිභාවය නිසා තුර්කිය අතහැරීමට අකමැති ආයෝජකයන් පිරිසක් ද​ සිටිනවා. වර්තමාන තත්ත්වය යහපත් වනතුරු ඉවසීමෙන් කටයුතු කිරීමට යි ඔවුන් අදහස් කරන්නේ.

රිසෙප් තායිප් ගේ ආර්ථික ප්‍රතිපත්තිය පමණක් නොව විදෙස් ප්‍රතිපත්තියත් යම් අර්බුදකාරී වාතාවරණයකට ප්‍රවිශ්ට වී තිබුණා. රටින් පැනගිය කුර්දි විප්ලවකරුවන්ට රැකවරණය සපයා දීමේ චෝදනාව මත විශේෂයෙන් ම ස්වීඩනයේ නේටෝ සාමාජිකත්වය පිළි නොගැනීමට තුර්කිය කටයුතු කරන බැවින්, බෝල්ටික් කලාපයේ යුදමය කටයුතු දියුණු කිරීමට නේටෝ සංවිධානයට නොහැකි වී තිබෙනවා. යුක්‍රේන-රුසියානු යුද්ධයේ දී බෝල්ටික් මුහුද වැදගත් උපාය මාර්ගික ස්ථානයක් ලෙසින් පවතින අතර, එම කලාපයේ ස්වීඩනයට හිමි භූමිකාවත් ඉතා වැදගත්.

උපකාර සහ ප්‍රතිඋපකාර​

සිය ස්ථාවරය හේතුවෙන් නේටෝවේ අනෙකුත් සාමාජිකයන් ගෙන් එල්ල වන පීඩනය මැද කටයුතු කිරීමට තුර්කියට සිදු වුණා. භූමිකම්පාවෙන් පසු එම පීඩනය තාවකාලික ව යටපත් කර ගැනීමට තුර්කි රජය සමත් වූ නමුත්, නොබෝ දිනකින් තුර්කි-ස්වීඩන් රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය නැවතත් ඉස්මතු වනු ඇති.

දැනටමත් බටහිර මිත්‍ර රටවල් තුර්කියේ ආපදා කළමනාකරණ සහ ආධාර සැපයීමේ ක්‍රියාවලියට සක්‍රීය ව දායකත්වය සපයමින් සිටින අතර, රිසෙප් තායිප් ඇතුළු තුර්කි රජයට තම ස්ථාවරය ගැන යළි සිතා බැලීමේ පෙලඹවීමක් ඇති කරන තරමට ම ඔවුන් ලබා දෙන සහන සේවා පුළුල් විය හැකි යි.

තුර්කිය මූලික වූ නේටෝ අර්බුදය සම්බන්ධයෙන් ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පැවති විරෝධතාවයක් – edition.cnn.com

විනාශ වූ නගර ප්‍රතිසංස්කරණය කරමින් වින්දිතයන් යළි පදිංචි කිරීමේ ක්‍රියාවලිය සඳහා තුර්කි රජයට ඉතා විශාල පිරිවැයක් දැරීමට සිදු වෙනවා. ඔවුන් දැන් මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදයත් සමඟ එය කොහෙත් ම දරාගත හැකි මට්ටමේ වැඩපිළිවෙළක් නොවෙයි. ඒ සඳහාත් සහය දිය හැකි ඉදිරිගාමී කණ්ඩායම තුළ නේටෝ සාමාජිකයන් ඕනෑ තරම් සිටිනවා. එළඹෙන මහ මැතිවරණයට සාර්ථක ව මුහුණ දීමට නම් පැමිණෙන ආධාර තුර්කිය සක්‍රීය ව ලබා ගත යුතු අතර, ඒ සඳහා ආපසු මිලක් ද ගෙවිය යුතු යි. බොහෝ දුරට ඒ මිල ස්වීඩනයේ නේටෝ සාමාජිකත්වය සම්බන්ධයෙන් ඇති ස්ථාවරය වෙනස් කිරීම හරහා ගෙවීමට සිදු විය හැකි යි.

චූදිතයා භූමිකම්පාව පමණක් ම ද​?

භූමිකම්පාවෙන් සිදු වූ විනාශයට හුදෙක් ම වගකිව යුත්තේ භූමිකම්පාව පමණක් ද යන පැනයත් දැන් රිසෙප් තායිප් ගේ රජයට දිශාගත වෙමින් තිබෙනවා. අප මුලින් සඳහන් කළ පරිදි තුර්කිය යනු භුමිකම්පා සිදුවීමේ අධි අවදානම් කලාපයක පිහිටා ඇති රාජ්‍යයක්. එසේ නම්, හානි අවම කර ගැනීම සඳහා ඉදිකිරීම් සිදු කරන විට භූමිකම්පා අවදානම සැලකිල්ලට ගනිමින් කටයුතු කිරීම ඉතා වැදගත්. ජපානයේ ඉදි කිරීම් කර්මාන්තය තුළ මෙම කාරණය කෙරෙහි විශාල සැලකිල්ලක් දක්වන අයුරු දැකිය හැකි යි.

තුර්කියේ බොහෝ ගොඩනැඟිලි භූමිකම්පා සඳහා පෙර සූදානමක් නොමැතිව ගොඩනැඟූ අවිධිමත් ඒවා යි – www.livescience.com

තුර්කියේ අධිකරණ අමාත්‍යාංශය සිදුකළ ප්‍රකාශයකට අනුව භූමිකම්පාව අතරතුර කඩා වැටුණු ගොඩනැඟිලි ඉදි කළ පුද්ගලයන් 134 දෙනකු ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විමර්ශනයක් ඇරඹීමට ඔවුන් කටයුතු කරමින් සිටිනවා. අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනෙක් දැනට අත් අඩංගුවට ගෙන ඇති අතර, තවත් පිරිසකට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. එරට අධිකරණ අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරන පරිදි ඔවුන් ඉදිරියේ දී භූමිකම්පා අපරාධ විමර්ශන කාර්යාංශයක් නිර්මාණය කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

දූෂිත ජාලය​

1999 දී තුර්කිය මෙවැනි ම බිහිසුණු භූමිකම්පාවකට මුහුණ දුන් අතර, එම විනාශයෙන් පසු රටේ ගොඩනැඟිලි ඉදිකිරීම් සම්බන්ධයෙන් නව නීති සම්පාදනය කිරීමත් සිදු කළා. එහෙත්, ඒවා අඛණ්ඩ ව ක්‍රියාත්මක වූයේ නැහැ. ඉදිකිරීම් කර්මාන්තයේ නියැළෙන්නන් දිගින් දිගට ම තත්ත්වයෙන් බාල අමුද්‍රව්‍ය භාවිත කරමින් අවිධිමත් ඉදි කිරීම් සිදු කරන අතරතුර එම සේවා ලබාගන්නා පාර්ශව ද තම රටේ නිසග අනතුරක් මෙන් පවතින භූමිකම්පා අවදානම සැලකිල්ලට ගත්තේ නැහැ. ඉදිකිරීම් සඳහා නිකුත් කරන බලපත්‍ර ක්‍රියාවලියත් පැවතුණේ දූෂිත මට්ටමක යි.

“රිසෙප් තායිප් එර්ඩෝවන් විසින් ගොඩනඟන ලද සමස්ත පද්ධතිය ගැනයි අපි මේ කතා කරන්නේ. එතන තියෙන්නේ දේශපාලනය විතරක් නෙවෙයි. ආර්ථිකයත් තියෙනවා. සමස්ත පද්ධතිය ම දූෂිත ජාල සහ ගජමිතුරු ජාල වටා තමයි ගොඩනැඟී තිබෙන්නේ. ඒවායේ විවිධ මට්ටම් දකින්න ලැබෙනවා. ප්‍රාදේශීය මට්ට්ම, ජාතික මට්ටම, ඔවුන් ගේ දේශපාලන පක්ෂයේ ශාඛා, ප්‍රාදේශීය ඉදිකිරීම්, සංවර්ධකයන්, මේ සියල්ලෝ ම ඉන්නේ එකට!”

තුර්කියේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ඒකාධිපතිවාදය හැදෑරූ මිඩ්ල්බරි විද්‍යාලයේ දේශපාලන විද්‍යා මහාචාර්යවරයෙක් වන ශෙබ්නම් ගුමුස්කු පවසනවා.

අලුතෙන් සිතීමට අවස්ථාවක්

දින කිහිපයකට පෙර සිදු වූ භූමිකම්පාව ඉතා ප්‍රබල එකක් වුවත්, හානියේ බරපතලකම හැකිතාක් අවම කර ගැනීමේ අවස්ථා තිබූ බව මින් ගම්‍ය වෙනවා. 1999 පටන් ඉදිකිරීම් කර්මාන්තය තුළ ඔවුන් සම්පාදනය කරගත් නීති ඉතා ශක්තිමත් ව පවත්වා ගෙන ආවේ නම්, මෙතරම් දේපළ හානි සිදු නොවීමට ඉඩ තිබුණා.

ගැටලුව ඇත්තේ ඉදිකිරීම් කර්මාන්තයේ ඇති ගුණාත්මකභාවය තුළ නොවෙයි. එය ඇත්තේ ඔවුන් මෙතෙක් පවත්වා ගෙන ආ දේශපාලන ක්‍රමවේදය තුළ යි – edition.cnn.com/

තුර්කි අධිකරණ අමාත්‍යාංශය සිදු කිරීමට නියමිත විමර්ශන කටයුතු අතීත අකටයුතුකම් වෙත පමණක් දිශාගත වීමත් ගැටලුවක්. භූමිකම්පාව සම්බන්ධයෙන් රජය දක්වන ප්‍රතිචාරය, විවේචන, පීඩනය සහ පැමිණිලි මින් යටපත් කිරීමට උත්සහ කරන බවත්, ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. රෝග නිධානය ඇත්තේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඇති ගුණාත්මකභාවයේ අඩුලුහුඬුතා තුළ නොවෙයි. එය පවතින්නේ රටේ සමස්ත පද්ධතිය තුළ යි. රිසෙප් තායිප් ගේ රජය විනිවිදභාවයකින් රාජ්‍ය කටයුතු සිදු කළා නම් භූමිකම්පාවලට මුහුණ දිය හැකි ජාතියක් ගොඩනැඟීමේ අවස්ථා සහ අත්දැකීම් ඕනෑ තරම් තිබෙනවා.

මේ සියලු කරුණු සහ දරුණු ව්‍යසනයක අඳුරු මතකය මැදින් තුර්කිය සිය දේශපාලන අනාගතයේ තීරණය මෙම වර්ෂයේ දී ලබා ගැනීමට නියමිත යි. තවදුරටත් බලය රැක ගැනීමේ උත්සාහයක යෙදෙන රිසෙප් තායිප් හට භූමිකම්පාව අනවශ්‍ය අභියෝගයක් සේ පෙනෙන්නට තිබුණත්, මෙතෙක් පැවති පාලන තන්ත්‍රය සම්බන්ධයෙන් අලුතින් ම සිතීමේ අවස්ථාවක් භූමිකම්පාව හරහා තුර්කි වැසියන්ට ලැබී තිබෙනවා. ඔවුන් මෙවර කෙසේ ක්‍රියා කරාවි ද?

කවරයේ ඡායාරූපය: ආපදා තත්ත්වය කළමනාකරණය කිරීමේ දී සිරියාවට සාපේක්‍ෂ ව තුර්කියට ඉහළ ශක්තියක් තිබුණත්, එය ප්‍රශස්ත මට්ටම නොවෙයි - themedialine.org
මූලාශ්‍ර​:
www.cnbc.com
www.vox.com

Related Articles