Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විදේශිකයන් කෙරෙහි වඩාත්ම මිත්‍රශීලි ආකල්ප දක්වන රටවල් 10ක්

ඔබ කවදා හෝ විදේශ රටක ජීවත්වී තිබෙනවා ද? නැතහොත් ඔබ දැනටමත් විදේශ රටක ජීවත්වන කෙනෙක් ද?

විදේශිකයෙකු ලෙස ආගන්තුක රටක ජීවත්වීම තරමක් අභියෝගාත්මක වන්නට පුළුවන්. එවැන්නෙකුට හුදෙකලාවක් දැනීම නිරායාසයෙන්ම සිදුවන්නක්. බොහෝවිට මේ අයගේ මිතුරන් බවට පත්වන්නේත් ඔවුන්ගේ මව් රටේම සිට පැමිණි සංක්‍රමණිකයන්. එමෙන්ම එය ඉංග්‍රීසි භාෂාව බහුලව භාවිතා නොවන රටක් නම් අදාළ රටේ සමාජය සමග මුසුවීම ඉතා දුෂ්කර වෙනවා. නමුත් පොදුවේ ඕනෑම විදේශිකයෙකුට බලපාන මේ කාරණා හමුවේ පවා විදේශිකයන් සාදරයෙන් පිළිගන්නා රටවල් තිබෙනවා. බොහෝදුරට එයට බලපාන්නේ විදේශිකයන් කෙරෙහි ඒ ඒ රටවල පුරවැසියන්ගේ ආකල්ප යි.

විදේශිකයන්ට දක්වන මිත්‍රශීලිබව එන්න එන්නම අඩුවන රටක් තමයි එක්සත් ජනපදය/theguardian.com

විදේශයන්හි ජීවත්වන සහ සේවය කරන පුද්ගලයන් උදෙසාම පිහිටවූ විශාලතම ගෝලීය ජාලය සහ තොරතුරු වෙබ් අඩවිය වන “ඉන්ටර්නේෂන්ස්” විසින් 2018 දී, ජනයාගේ මිත්‍රශීලිබව අතින් ජීවත්වීමට වඩාත්ම සුදුසු රටවල් මොනවා ද යන්න සම්බන්ධයෙන් සමීක්ෂණයක් පැවැත්වුණා. ඒ සඳහා රටවල් රැසක ජීවත්වන විදේශිකයන් 13,000ක් පමණ සහභාගී වුණා.

විදේශිකයන් හමුවේ ලෝකයේ වඩාත්ම මිත්‍රශීලි ලෙස සබඳතා පවත්වන පුරවැසියන් ජීවත්වන රටවල් දහය මේ ලිපියෙන් ඉදිරිපත් කෙරෙන්නේ මේ සමීක්ෂණ ප්‍රතිඵල උපයෝගී කරගෙන යි. සමීක්ෂකයින් මෙහිදී කිසියම් රටක ස්වදේශිකයන්ගේ මිත්‍රශීලිබව නීර්ණය කිරීමට සාධක තුනක් සැලකිල්ලට ගෙන තිබෙනවා.

  1. විදේශිකයන් හමුවේ අදාළ රටේ ස්වදේශිකයන් දක්වන මිත්‍රශීලි ආකල්ප
  2. විදේශිකයන්ට ස්වදේශික මිතුරන් ඇතිකර ගැනීමේ පහසුව
  3. අදාළ රටේ මුළු ජීවිත කාලයම ගත කිරීමට විදේශිකයන් දක්වන කැමැත්ත

යන සාධක ඔස්සේ ප්‍රතිශතාත්මකව ලබා ගන්නා ලකුණු අනුව තමයි මේ ශ්‍රේණිගත කිරීම සිදුකර තිබෙන්නේ. ඒ අනුව ලෝකයේ වඩාත්ම මිත්‍රශීලි රටවල් දහය ඔබට අනුමාන කළ හැකි ද?

ඇත්ත වශයෙන්ම පළමු දහය තුළ වැඩි වශයෙන් අඩංගුව තිබෙන්නේ ආසියාතික රටවල්. ජීවන මට්ටමෙන් ඉතා ඉහළයැ යි සැලකෙන රටවල් බොහෝමයක් මේ ශ්‍රේණිගත කිරීමේ සිටින්නේ ඉතා පහළින්. ඒ වගේම දැඩි නීති පද්ධතීන් තිබෙන ඇතැම් මැදපෙරදිග රටවල් පවා මේ පළමු දහය අතර සිටීම සුවිශේෂ කරුණක්.

10. කැනඩාව

2016 සංගණනයකට අනුව කැනඩා වැසියන්ගෙන් 21%ක් පමණම විදේශයන්හි උපත ලද්දවුන්/ctvnews.ca/

ලැයිස්තුවේ දහවන ස්ථානය හිමිකර ගෙන තිබෙන්නේ කැනඩාව යි. සමීක්ෂණයට අනුව කැනේඩියානුවන් විදේශිකයන් කෙරෙහි දක්වන මිත්‍රශීලි ආකල්පය ප්‍රතිශතාත්මකව 81%ක් තරම් ඉහළ අගයක් ගන්නවා. නමුත් විදේශිකයන්ට කැනඩාව තුළ ස්වදේශික මිතුරන් ඇතිකර ගැනීමට ඇති හැකියාව 43%ක අගයක් ගන්නා අතර, කැනඩාව තුළ මුළු ජීවිත කාලයම ගත කිරීමට විදේශිකයන් තුළ ඇති කැමැත්ත 45%ක් වෙනවා.

09. වියට්නාමය

ලැයිස්තුවේ නවවන ස්‍ථානය ආසියාතික රටක් වූ වියට්නාමයට හිමිවී තිබෙනවා. වියට්නාම ජාතිකයන් විදේශිකයන් හමුවේ ඉතා ඉහළ මිත්‍රශීලි ආකල්පයක් දක්වනවා. ප්‍රතිශතාත්මකව එය 83%ක්. එමෙන්ම කැනඩාවට සාපේක්ෂව, වියට්නාමය තුළ ස්වදේශික මිතුරන් ඇතිකර ගැනීමත් පහසු යි. අගයක් ලෙස ගතහොත් එය 56%ක්. නමුත් විදේශිකයෙකු ලෙස මුළු ජීවිත කාලයම වියට්නාමය තුළ ගතකිරීමට ඇති කැමැත්ත 16%ක් තරම් අඩු අගයක් ගන්නවා.

08. කොළොම්බියාව 

විදේශිකයන් කෙරෙහි මෙරට ස්වදේශිකයන්ගේ මිත්‍රශීලි ආකල්පය ප්‍රතිශතයක් ලෙස 87%ක්/colombiareports.com

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් නිතර කතාබහට ලක්වන පසුබිමක පවා කොළොම්බියාව මෙම ලැයිස්තුවේ අටවැනි තැනට පත්ව තිබෙනවා. කොළොම්බියාණු ජාතිකයන්ගේ තිබෙන සරල ගතිපැවතුම් නිසා විදේශිකයන් ඔවුන්ට කැමති යි.

විදේශිකයන් කෙරෙහි මෙරට ස්වදේශිකයන් තුළ ඇති මිත්‍රශීලි ආකල්පය ප්‍රතිශතයක් ලෙස 87%ක් වන අතර, විදේශිකයෙකුට කොළොම්බියාව තුළ ස්වදේශික මිතුරන් ඇති කරගැනීමේ හැකියාව  62% යි. කොළොම්බියාව තුළ දිගටම ජීවත්වීමට විදේශිකයන්ට ඇති කැමැත්ත 33%ක් ලෙස සඳහන් වෙනවා.

07. ඕමානය

ශ්‍රී ලාංකිකයන් අතර පවා සංක්‍රමණයට ජනප්‍රිය වූ ඕමානය මේ ලැයිස්තුවේ හත්වන තැනට පත්වී තිබෙනවා. විදේශිකයන් කෙරෙහි ඕමාන ජාතිකයන් තුළ ඇති මිත්‍රශීලි ආකල්පය සහ ස්වදේශික මිතුරන් ඇතිකර ගැනීමේ හැකියාව ප්‍රතිශතයන් ලෙස පිළිවෙලින් 86%ක් සහ 60%ක් වෙනවා. මෙම සාධක දෙක අතින් ඕමානය ඉතා ඉහළින් සිටියත්, විදේශිකයෙකු ඕමානයේ දිගටම රැඳීමට ඇති කැමැත්ත 12%ක් පමණ යි.

ඕමාන වැසියන් ඉතා මිත්‍රශීලි යි/theculturetrip.com

 

06. කොස්ටාරිකාව

මධ්‍යම ඇමරිකානු රටක් වන කොස්ටාරිකාව සොබා සෞන්දර්යයෙන් අනූන වූ රටක් ලෙස ලෝකය පුරා ප්‍රසිද්ධ යි. එමෙන්ම ලෝකයේ වඩාත්ම මිත්‍රශීලි රටවල් අතරින් ඔවුන්ට හයවැනි ස්ථානයත් හිමිව තිබෙනවා. 87%ක් තරම් ඉහළ ප්‍රතිශතයකින් ඔවුන් විදේශිකයන් හමුවේ මිත්‍රශීලි ආකල්ප පෙන්වනවා. කොස්ටාරිකාවේ සංචාරය කරන හෝ ජීවත්වන විදේශිකයෙකුට එම රටේ ස්වදේශිකයෙකු තම මිතුරෙකු කර ගැනීමත් එතරම් අසීරු නැහැ. ප්‍රතිශතයක් ලෙස එය 78%ක් ලෙස දැක්වෙනවා. විදේශිකයෙකු ලෙස තම ජීවිතයේ ඉතිරි කාලය කොස්ටාරිකාවේ ගෙවා දැමීමට ඇති කැමැත්තත් 48%ක් තරම් සැළකිය යුතු අගයක් ගන්නවා.

05. බහරේන්

මේ ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට යන විට අපට නැවතත් මැද පෙරදිගට යාමට සිදු වෙනවා. බහරේන් රාජ්‍යය මේ ශ්‍රේණිගත කිරීමේ පස්වැනි තැනට පත්ව ඇත්තේ 86%ක් තරම් විදේශිකයන්ට ඉහළ මිත්‍රශීලි ආකල්පයක් දක්වන පසුබිම තුළ යි. ස්වදේශික මිතුරන් ඇතිකර ගැනීමේ හැකියාවත් 55%ක් වෙනවා. කෙසේ නමුත් මැදපෙරදිගට සංක්‍රමණය වන බොහෝ විදේශ ශ්‍රමිකයන් මෙන් බහරේන් තුළත් විදේශිකයන් රැඳීමට කැමති නැහැ. බහරේනය තුළ එලෙස දිගටම රැඳීමට කැමති විදේශිකයන්ගේ ප්‍රතිශතය 11%ක් පමණ යි.

04. කාම්බෝජය

ආසියාවේ දිළිඳුම රාජ්‍යයක් වුවත්, මිත්‍රශීලිබව අතින් ඉතා ඉහළින් සිටින රාජ්‍යයක්/gocambodia.tours

ආසියාවේ දිළිඳුම රාජ්‍යයක් වුවත්, මිත්‍රශීලිබව අතින් ඉතා ඉහළින් සිටින රාජ්‍යයක් බවට කාම්බෝජය පත්ව තිබෙනවා. විදේශිකයන් කෙරෙහි ඔවුන්ගේ යහපත් ආකල්පයන් අගයක් ලෙස ගතහොත් 92%ක්. එමෙන්ම 59%ක් තරම් ඉහළ හැකියාවකින් කාම්බෝජය තුළ සංචරණය කරන ඔබට ස්වදේශික මිතුරන් ඇතිකර ගත හැකියි. නමුත් පහළ ජීවන මට්ටම නිසා විදේශිකයන් කාම්බෝජය තමන්ගේ දෙවැනි නිවහන කර ගැනීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. ප්‍රතිශතයක් ලෙස එය 23%ක් තරම් පහළ අගයක් ගන්නවා. ඒ අනුව මෙම ශ්‍රේණිගත කිරීම තුළ කාම්බෝජය සිව්වන තැනට පත්ව තිබෙනවා.

03. මෙක්සිකෝව

මෙක්සිකෝ සංස්කෘතිය ඉතාම වර්ණවත්/static.wixstatic.co

අනවසර සංක්‍රමණය සහ මත්ද්‍රව්‍ය ජාවාරම නිසා ඇමරිකා එක්සත් ජනපදයට මෙක්සිකෝව සමග තිබෙන්නේ එතරම් හොඳ සබඳතාවයක් නොවෙයි. සමාජ ගැටළු රැසක් මැද වුණත්, මෙක්සිකෝවේ මිනිසුන් බොහොම සැහැල්ලුවෙන් කල් ගෙවන උදවිය බව පිළිගැනීමක් තිබෙනවා. මේ නිසා මෙක්සිකානු ජාතිකයින් බොහොම මිත්‍රශීලි මිනිසුන් ද වෙනවා. විදේශිකයන් කෙරෙහි ඔවුන් දක්වන මිත්‍රත්වය “ඉන්ටර්නේෂන්ස්” කළ සමීක්ෂණයේ දී 87%ක් තරම් ඉහළ අගයක් ගෙන තිබෙනවා. එමෙන්ම විදේශිකයෙකුට ස්වදේශික මිතුරන් ඇති කර ගැනීමේ හැකියාවත් 73%ක් වෙනවා. විදේශිකයන්ගෙන් 39% ප්‍රමාණයක් මෙක්සිකෝව තුළ දිගටම රැඳීමට කැමැත්ත පළ කර තිබෙනවා. ඒ අනුව ලැයිස්තුවේ තුන්වැනි තැන මෙක්සිකෝව හිමිකර ගන්නවා.

02. තායිවානය

සමලිංගික විවාහයන් සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ආසියාවේ වඩාත්ම ඉදිරිගාමී ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරන රාජ්‍යයක් ලෙස තායිවානය මෑතක දී කතාබහට ලක්වුණා. මේ නිසා එවැනි අයිතිවාසිකම් ලබාදුන් අනෙකුත් රටවල්වල පිරිස් කිසිදු චකිතයකින් තොරව දැන් තායිවානයට පැමිණෙනවා. ඉන්ටර්නේෂන්ස් ලෝකයේ දෙවැනියට මිත්‍රශීලීම රට ලෙස තායිවානය නම්කර තිබෙනවා. විදේශිකයන් කෙරෙහි ඔවුන් දක්වන මිත්‍රශීලී ආකල්පය අගයක් ලෙස 86%ක් වශයෙනුත්, ස්වදේශික මිතුරන් ඇතිකර ගැනීමෙට ඇති හැකියාව පැත්තෙන් 61%ක්, සහ විදේශිකයෙකු ලෙස තායිවානයේ දිගටම ජීවත්වීමට දක්වන කැමැත්ත 30%ක් වශයෙනුත් සටහන් වී තිබෙනවා.

සමාජ සමානාත්මතාවය අතින් තායිවානය ප්‍රගතිශීලි ගමනක යෙදෙනවා/theculturetrip.com/

01. පෘතුගාලය

මෙම ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානය පෘතුගාලයට හිමිවී තිබෙනවා. මිත්‍රශීලිම මිනිසුන් වෙසෙන රටක් විදිහට මෙම ශ්‍රේණිගත කිරීමේ පළමු දහයට ඇතුළත් වූ එකම යුරෝපීය රාජ්‍යය වන්නේත් පෘතුගාලය යි. විදේශිකයන් කෙරෙහි ඔවුන් දක්වන මිත්‍රශීලි ආකල්පය ප්‍රතිශතාත්මකව 94%ක් වෙනවා. එමෙන්ම ස්වදේශික මිතුරන් ඇති කර ගැනීමේ හැකියාවත් 58% තරම් මට්ටමක තිබෙනවා. පෘතුගාලයට පැමිණෙන විදේශිකයන් ගෙන් 47%ක් දිගටම පෘතුගාලයේ රැඳීමට වුවත් කැමති බව අදහස් දක්වා තිබෙනවා.

පෘතුගාලය, ලෝකයේ විදේශිකයන් කෙරෙහි වඩාත්ම මිත්‍රශීලි ආකල්ප දක්වන රට ලෙස තේරී තිබෙනවා/discoverwalks.com

සමීක්ෂණයේ විශේෂතා

මෙම සමීක්ෂණයේ කැපී පෙනෙන විශේෂත්වය වන්නේ ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රේණිගත කිරීම්වල 36 වැනි තැනට පත්වීම යි. උගන්ඩාව, රොමේනියාව, ඉන්දුනීසියාව, ඊශ්‍රායලය, කසක්ස්තානය වැනි රටවලටත් වඩා එක්සත් ජනපදය විදේශිකයන් පිළිගන්නේ අඩුවෙන්. 2016 වර්ෂයේ දී එක්සත් ජනපදය මේ ශ්‍රේණිගත කිරීමේ 19 වැනි තැනට පත්ව සිටියා. ඒ අනුව අවුරුදු දෙකක් තුළ ඇමරිකාව දැවැන්ත පසුබෑමකට ලක්ව තිබෙනවා.

විදේශිකයන්ට වඩාත්ම මිත්‍රශීලි සහ එතරම් මිත්‍රශීලි නොවන රටවල් එකම සටහනකින්. ශ්‍රී ලංකාව කිසිදු වර්ණයකින් නොදැක්වෙන්නේ සමීක්ෂණයට ඇතුළත් වී නැති නිසා යි/internations.org/

මේ අතර එක්සත් රාජධානිය, ඇමරිකාවටත් වඩා පිටුපසින්, එනම් 56 වැනි ස්ථානයට පත්ව තිබෙනවා. යුරෝපා සංගමයෙන් ඉවත්වීමට එක්සත් රාජධානිය ගත් තීරණයත් සමග එරට පුරවැසියන් විදේශිකයන් එතරම් සුහදව පිළිනොගන්නා බවට වූ මතයක් නිර්මාණය වී තිබෙනවා.

විදේශිකයන් කෙරෙහි වඩාත් අවම මිත්‍රශීලි බවක් දක්වන රට ලෙස කුවේට් රාජ්‍යය තේරී පත්ව තිබෙනවා. කුවේට්වල වෙසෙන එක් ඉන්දියානුවෙක් පවසා ඇත්තේ, විදේශිකයන් කෙරෙහි කුවේට් ස්වදේශිකයන් අතර යම් විරෝධයක් පැන නැඟෙමින් පවතින බව යි.

කුවේට්, ලොව විදේශිකයන් කෙරෙහි අවම මිත්‍රශීලි බවක් දක්වන රට බවට සමීක්ෂණයෙන් හෙළි වී තිබෙනවා/washingtoninstitute.org/

කෙසේ නමුත්, ඉදිරියේ දී ඉන්ටර්නේෂන්ස් පවත්වනු ලබන සමීක්ෂණවල දී මේ තත්ත්වය වෙනස් වන්නටත් පුළුවන්. එමෙන්ම ඉන්ටර්නේෂන්ස් හැරුණකොට මෙවැනි සමීක්ෂණ පවත්වන ආයතනයන් තවත් තිබෙනවා. ඔවුන්ට අනුව ඉහත ලැයිස්තුවේ යම් යම් වෙනස්කම් තිබෙන්නට පුළුවන්. එහෙත් පොදුවේ ගත්කල ඉහත රටවල් දහය ලෝකයේ මිත්‍රශීලිම ජනතාවක් ජීවත්වන රටවල් ලෙස කලක පටන් පිළිගැනෙනවා.

Cover photo: unsplash.com/

මූලාශ්‍රයයන්: hrw.org/

forbes.com/

internations.org/

worldpopulationreview.com/

Related Articles