Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුරපුරක් වන් විල් දහස් රට – ෆින්ලන්තය

යුරෝපය තුළ මනස්කාන්ත පරිසරයක් සහිත රටවල් රාශියක් පිහිටා තිබෙනවා. මින් ෆින්ලන්තයට හිමිවන්නේ ප්‍රමුඛතම ස්ථානයක්. විශේෂයෙන් ෆින්ලන්තය ප්‍රසිද්ධියක් උසුලන්නේ එහි පිහිටා ඇති විල් නිසා යි. මේ හේතුව නිසාම එයට ‘විල් දහස් රට’ යනුවෙන් අන්වර්ථ නාමයක් ද පටබැඳී තිබෙනවා. විල්වලට අමතරව එහි තවත් සුවිශේෂතා රාශියක් තිබෙනවා. මෙය සංචාරයට ඉතා සුදුසු රාජ්‍යයක්. ෆින්ලන්තයේ මනස්කාන්තභාවය පිළිබඳව ඔබ වෙත ගෙන එන්නට අප අදහස් කළේත් ඒ නිසාම යි.

ෆින්ලන්තයේ පිහිටීම

ෆින්ලන්තය යුරෝපයේ වඩාත් උතුරින් පිහිටි රාජ්‍යය යි. නෝර්වේ වැනි වෙනත් යුරෝපා රටවල සමහර භූමි ප්‍රදේශ ෆින්ලන්තයට වඩා උතුරින් පිහිටා තිබුණ ද සමස්ථයක් වශයෙන් ගත් කල්හී ෆින්ලන්තයේ භූමි ප්‍රදේශය සම්පූර්ණයෙන්ම පාහේ උතුරු අක්ෂාංශ 60ට වඩා උතුරින් පිහිටා තිබෙනවා. එමෙන්ම රටෙන් තුනෙන් එකක් ආක්ටික් කවය තුළ පිහිටනවා.

ෆින්ලන්තයේ පිහිටීම- researchgate.net

ෆින්ලන්තයේ සමස්ථ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 338,145ක්. එමෙන්ම එය තුළ වර්ග කිලෝමීටර 35,000කට ආසන්න ප්‍රදේශයක් ආවරණය වන පරිදි අභ්‍යන්තර ජලාශ පිහිටා තිබෙනවා. මෙහි ඇති විල් ගණන 187,000කට අධික යි. මෙය බටහිරින් ස්වීඩනයෙන් හා බොත්නියා මුහුදෙන් ද, උතුරින් නෝර්වේ රාජ්‍යයෙන් ද, නැගෙනහිරින් රුසියාවෙන් ද, දකුණින් ෆින්ලන්ත මුහුදෙන් ද, නිරිතදිගින් බෝල්ටික් මුහුදෙන් ද සීමා වී තිබෙනවා.

ෆින්ලන්තයේ අගනුවර හෙල්සිංකියි. එය එහි දකුණු අන්තයට ආසන්නව පිහිටා තිබෙනවා. මෙහි ජීවත් වන්නේ මිලියන 5.5ක ජනගහනයක් පමණ යි. ඒ අනුව එහි ජන ඝණත්වය වර්ග කිලෝමීටරයකට 16ක් තරම් අඩු යි.

ෆින්ලන්තයේ දේශගුණය

ෆින්ලන්තයේ දේශගුණය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදිය හැකියි. දකුණුදිගින් පිහිටි වඩාත් උණුසුම් කලාපය, රටෙහි වැඩි ප්‍රමාණයක විහිදී ඇති උප ආක්ටික් දේශගුණයක් සහිත කලාපය, හා වඩා උතුරින් පිහිටන තුන්ද්‍රා වශයෙනුයි. හෙල්සිංකිහි දෙසැම්බර් මස අග සිට මාර්තු මාසය දක්වා හිම වැස්ම දැකගත හැකි අතර, රට මධ්‍යයට වන්නට නොවැම්බර් මස සිට අප්‍රේල් දක්වා හිම පතනය සිදුවෙනවා. ෆින්ලන්තයේ බොහෝ ප්‍රදේශවල ශිශිරයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 0ට වඩා අඩු වෙනවා. 

ෆින්ලන්තයේ වන වැස්ම වැඩිමනක්ම ටයිගාවන්. මෙහි වන වැස්ම එහි භූමි ප්‍රමාණයෙන් 73%ක් වෙනවා. ෆින්ලන්තයේ උස්ම ස්ථානය හල්ටි කන්ද යි. එය උසින් මීටර 1328ක්. 

ෆින්ලන්තයේ විල්- visitfinland.com

ෆින්ලන්තයේ ඉතිහාසය

ෆින්ලන්තය ජනාවාසකරණය වී තිබෙන්නේ මීට වසර දහස් ගණනකට පෙර යි. මෙහි සිටි ස්වදේශික ජනයා පළවා හැර පසුකාලීනව ෆින්ලන්ත ජාතිකයින් පදිංචි වී තිබෙනවා. 1157 වසරේ දී ස්වීඩනයේ සිව්වැනි එරික් රජු ෆින්ලන්තය ආක්‍රමණය කොට එය ස්වීඩනයට ඈඳාගත්තා. ඊට වසර සිය ගණනකට පසුව, 1809 වසරේ දී රුසියාවේ පළමුවන ඇලෙක්සැන්ඩර් රජු ෆින්ලන්තය ආක්‍රමණය කළ අතර එය රුසියානු පාලනයට නතු කරගත්තා. මෙය 1914 වසර වනතුරු තිබුණේ රුසියානු පාලනයට යටත්ව යි. ඒ කාලයේ දී මෙහි රාජ්‍ය භාෂාව රුසියානු බවට පත් වුණා. 1917 වසරේ රුසියානු විප්ලවය ප්‍රයෝජනයට ගෙන් රුසියාවෙන් නිදහස් වූ ෆින්ලන්තය එම වසරේ දෙසැම්බර් මස 6 වන දා සිය නිදහස ප්‍රකාශයට පත් කළා.

දශක කිහිපයකට පෙර ෆින්ලන්තය- Wikimedia Commons

1939 වසරේ නොවැම්බර් මස 30 වන දා දෙවන ලෝක යුද්ධය අතරේ සෝවියට් හමුදා නැවත ෆින්ලන්තය ආක්‍රමණය කළා. කෙසේ නමුත් එවර සම්පූර්ණ ෆින්ලන්තය අල්ලා ගන්නට ඔවුනට හැකි වූයේ නැහැ. ෆින්ලන්තය 1941 වසරේ නාසි හමුදා හා එක්ව රුසියාවට එරෙහිව සටන් වැදුණා. 1948 වසරේ දෙරට අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණ ද සෑහෙන කාලයක් ගත වන තුරු දෙරට අතර ශීතල යුද්ධයක් තිබුණා.

ෆින්ලන්තයේ සංචාරක ස්ථාන

ෆින්ලන්තයට පැමිණෙන්නෙකු හට සංචාරයට සුදුසු ස්ථාන රාශියක් හමුවනවා. විශේෂයෙන් එහි අගනුවර වන හෙල්සිංකි නුවරත් සංචාරකයින් අතර ඉතාමත ජනප්‍රිය යි. මෙහි 19 වන සියවස ආරම්භයේ රුසියානු ආභාෂයට අනුව ගොඩනැගී ඇති ඉපැරණි ඉදිකිරීම් රාශියක් තිබෙනවා. මෙහි ෆින්ලන්ත ජාතික කෞතුකාගාරය පිහිටා ඇති අතර එහි එම රටෙහි ඉතිහාසය කියාපාන දේ බොහොමයක් තිබෙනවා. 1952 වසරේ ග්‍රීෂ්ම ඍතු ඔලිම්පික් උළෙලට සත්කාරකත්වය ලබා දුන්නේ ද හෙල්සිංකි නුවර යි.

ලෙමෙන්යොකි ජාතික උද්‍යානය- korpikartano.fi

ලෙමෙන්යොකි ජාතික උද්‍යානය ෆින්ලන්තයේ අලංකාරතම ස්ථානවලින් එකක්. එය වර්ග කිලෝමීටර 2,589ක භූමි ප්‍රදේශයක් වසාගෙන පැතිරී තිබෙනවා. මෙහි ඇති ආක්ටික් දේශගුණයට හුරු වූ ගහ කොළ අතුරින් සංචාරකයෙකුට කිලෝමීටර ගණනාවක් පයින් ඇවිද යා හැකියි. මෙහි එවැන්නන් හට නැවතීමට හැකි කූඩාරම් වැනි දේ ද තිබෙනවා. මේ තුළින් ගලා බසින ලෙමන්යොකි ගංගාව ද ඉතාමත් අලංකාර එකක්. මේ මතින් බෝට්ටු සවාරියක් යෑමේ හැකියාවත් සංචාරකයින්ට තිබෙනවා. මේ උද්‍යානය තුළ දුඹුරු වලසුන්, වෘකයින්, රාජාලීන්, ගෝනුන් සහ පිනිමුවන් වැනි සතුන් ද සිටිනවා.

වාසා- beta.vaasa.fi

ක්‍රි.ව 1300 දශකයේ දී නිර්මාණය කර ඇති වාසා නුවර, ඒ වන විට ෆින්ලන්තය යටත් කරගෙන සිටි ස්වීඩනයේ ආභාෂය ගත් එකක්. මෙහි පැරණි නගරය 1852 වසරේදී ගින්නෙන් විනාශ වී තිබෙනවා. මෙහි ස්වීඩන භාෂාව කතා කරන ජනයා ද සෑහෙන ප්‍රමාණයක් වෙසෙනවා. වාසා හි සංචාරකයෙකුට දැකබලාගත හැකි ස්ථාන රාශියක් තිබෙනවා. එහි සංචාරකයින් සඳහාම වෙන් වූ සම්භාෂණ වැනි දේ නිතිපතා සිදුකෙරෙනවා. මෙහි කෞතුකාගාර හා සෞන්දර්ය මධ්‍යස්ථාන රාශියක් ඇති අතර, මීට වසර මිලියන ගණනකට පෙර ග්‍රහකයක් වැටීමෙන් ඇති වූ සූඩෆියාඩෙන් ආවාටය හා ක්වාකෙන් ජාතික උද්‍යානය පිහිටා ඇත්තේත් මේ ආසන්නවම යි. මේ නගරය ආසන්නව ඇති ජල මූලාශ්‍රත් ඉතාමත් රමණීය වෙනවා.

ඉපැරණි මාලිගයක් ආශ්‍රයෙන් තැණුනු හැමෙලින්නා නගරයත් සංචාරය සඳහා සුදුසු ස්ථාන රාශියකින් සැදුම්ලත් එකක්. මෙහි ඇති අලංකාර මාලිගය 13 වන සියවසෙහි තැණුනු එකක් වෙනවා. මීට අමතරව මෙහි පිහිටා ඇති ඖලන්කෝ ස්වභාවික රක්ෂිතයත් සංචාරක ආකර්ෂණය මොනවට දිනාගත් ස්ථානයක්. මෙහි ඇති ඖලන්ගොන්වොරි කන්ද තරණය කරන අයෙකුට ෆින්ලන්ත විල් ඇතුළු තවත් සොභාවික අලංකාර භූ දර්ශන කිහිපයක්ම දැකබලාගන්නට පුළුවන්. 

හැමෙලින්නා- hvcasunnot.fi

උක්ත ස්ථාන වලට අමතරව ෆින්ලන්තයේ සංචාරය කරන්නනන් යා යුතුම ස්ථාන දුසිම් ගණනක් තිබෙනවා. මේවායේ සංචාරය කිරීමට අමතරව හිම ක්‍රීඩා කිරීම, හුමාල හා උණු ජල ස්නානය, ෆින්ලන්ත විල් හි බෝට්ටු සවාරි යාම වැනි ක්‍රියාකම් රාශියක නිරත වීමේ අවස්ථාව මෙහි යන්නෙකුට ලැබෙනවා.

කවරයේ පින්තූරය- adventurouskate.com

Related Articles