Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඕක් ලීයෙන් සාදා ඇති ප්‍රසිද්ධ නිර්මාණ 5ක්

පරිවර්තන කතා පොත් කියවන ඔබ “ඕක් ගස්”, “ඕක් ලීයෙන් තැනූ ගෘහ භාණ්ඩ” ගැන කියවා ඇති. ෂර්වුඩ් වනයේ රොබින් හුඩ්ට ද සෙවණ සැපයුවේ ඕක් ගසක්. සාමාන්‍යයෙන් උත්තරාර්ධගෝලයේ වැඩෙන ඕක් ශාක විශේෂයන් 450ක් පමණ දැනට වාර්තා වී තිබෙනවා.

අතීතයේ සිටම ඉදිකිරීම් සහ ගෘහ භාණ්ඩ තැනීම සඳහා ඕක් ගසේ දැවය භාවිතා කිරීමට මිනිසුන් පුරුදුව සිටියා. ඕක් දැවය සතු නම්‍යශීලී බව, සවිමත් බව, පෙනුම, කල් පැවැත්ම වැනි හේතූන් නිසා යි ඒ. එසේම, ලොව ප්‍රසිද්ධ ගොඩනැගිලි රැසක් නිර්මාණය කිරීම සඳහා ඕක් ලීය භාවිතා කළා. එයිනුත් ප්‍රසිද්ධම ගොඩනැගිලි 5ක් ගැන යි අපි ඔබට කියන්න යන්නේ.

ෂර්වුඩයේ පැරණි ඕක් ගස (The Treeographer)

1) වෙස්ට්මිනිස්ටර් ශාලාවේ දැව වහලය  

ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් මාළිගයේ පිහිටි වෙස්ට්මිනිස්ටර් ශාලාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ පිහිටා තිබෙන පැරණිතම ගොඩනැගිල්ල යි. එය 1097 වසරේ දී 2 වන විලියම් රජු විසින් ඉදිකරවනු ලැබුවා. මේ ශාලාවට ඕක් ලීයෙන් දැව වහලයක් ඉදිකිරීම ආරම්භ වුණේ 1393 වසරේ දී යි. එවකට බ්‍රිතාන්‍යය පාලනය කළේ දෙවන රිචඩ් රජතුමා යි. හැම්ර්බීම් ශිල්ප ක්‍රමයට අනුව ඉදිකළ වහලය අඩි 68×240 විශාලත්වයකින් යුක්ත වුණා. එය ඉදිකිරීම සඳහා ආසන්න වශයෙන් ඕක් දැව ටොන් 660ක් පමණ වැයවුණා. ඒ සඳහා අවශ්‍ය වුණු ඕක් දැවවලින් විශාල ප්‍රමාණයක් හර්ට්ෆර්ඩ්ෂයර් සහ හැම්ප්ෂයර් යන ප්‍රදේශවල පිහිටි රාජකීය වනාන්තරවලින් සපයාගත්තා. එසේම සරේ ප්‍රාන්තයේ ස්ටෝක් ඩි ඇබනොන් ගම්මානයේ ජීවත් වුණු විලියම් කෝසියර් නම් පුද්ගලයාත් මෙම අපූරු ඕක් දැව වහලය ඉදිකිරීම සඳහා විශාල දැව ප්‍රමාණයක් ලබාදී තිබුණා.

එම යුගයේ දී මෙම ශාලාවේ වහලය නිමා කිරීම සඳහා විශාල මුදලක් වැයවුණා. ඒ මුදල සොයාගැනීම සඳහා විශේෂ අරමුදලක් පවා එකල පිහිටවනු ලැබුවා. අවශ්‍ය වූ මුදල් සොයාගැනීම සඳහා එවකට බ්‍රිතාන්‍යය රජය අපූරු උපක්‍රමයක් ක්‍රියාත්මක කළා. ඒ, එරටින් පිටුවහල් කරන ලද පුද්ගලයන්ට නැවත රට තුළට පිවිසීම සඳහා මිල අධික බලපත්‍රයක් විකිණීම යි. එම උපක්‍රමය සාර්ථක වුණු නිසා වහලයේ වැඩ නිමා කිරීමට ප්‍රමාණවත් තරම් මුදලක් එකතු කරගැනීමට හැකියාව ලැබුණා. වෙස්ට්මින්ස්ටර් දේවස්ථානය, කැන්ටබරි ආසන දෙව්මැදුර, සහ ලන්ඩන් කුලුන ඉදිකිරීමට හවුල් වූ රාජකීය වඩු කාර්මිකයාගේ මූලිකත්වයෙන් ඉතාමත් අලංකාර අයුරින් නිම කරන ලද දැව වහලයේ දැකුම්කළු කැටයම් රැසක් අන්තර්ගත වුණා. ඒ අතරින්, රාජකීය ලාංඡනය ඇතුළත් පලිහක් සහිත දේවදූතයන් 26 දෙනෙකු එහි තිබෙන සෑම කුළුණකම කැටයම් කර තිබීම විශේෂත්වයක් ලෙසින් දක්වන්නට පුළුවන්.

වෙස්මිනිස්ටර් ශාලාවේ දැව වහලය (Parliament.uk)

2) නොත්‍ර දාම් ආසන දෙව්මැඳුරේ ලී රාමුව 

ප්‍රංශයේ පැරිස් නගරයේ පිහිටා තිබෙන නොත්‍ර දාම් ආසන දෙව්මැඳුර 1220 වසරේ දී පමණ ඉදිකරනු ලැබුවා. ගොතික් සම්ප්‍රදායට අනුව ඉදිවුණු එම දෙව්මැඳුරේ ඊයම් වහලය ටොන් 210ක බරකින් යුක්ත වුණා. එනිසා වහලය දරා සිටීම සඳහා හොඳ සවි ශක්තියෙන් යුත් ලී රාමුවක් අවශ්‍ය වුණා. දෙව්මැඳුර ඉදිකළ නිර්මාණකරුවා සවිමත් ඕක් ලීය භාවිතා කළ වහලයේ බර දරා සිටීමට හැකිවන ආකාරයට දැවැන්ත ලී රාමුවක් ඉදිකිරීමට තීරණය කළා. එම ලී රාමුව ඉදිකිරීම සඳහා එකල විශාල ඕක් ගස් 1300ක් පමණ භාවිතා කරන්නට ඇතැ යි අනුමාන කරනවා. භාවිතා කරන ලද දැවැන්ත ඕක් ගස් වසර 300-400 පමණ පැරණි ගස් වුණු නිසා, ඒවායේ ලී සවි ශක්තිය අතින් ඉහළ මට්ටමක පැවතුණා. 

2019 වසරේ අප්‍රේල් 15 වැනිදා දෙව්මැදුර ගින්නෙන් විනාශ වුණා. එම ගින්න හේතුවෙන් වහලයේ බර දරාගෙන සිටි දැවැන්ත ඕක් ලී රාමුව ද විනාශයට පත්වුණා. ඉන් පසුව ඇරඹි ප්‍රතිසංස්කරණයේ දී අළුතින් ඕක් ලී රාමුවක් ඉදිකිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතිනවා. ඕක් ලී රාමුව පෙර පැවති තත්ත්වයට සකස් කිරීම සඳහා ඕක් ගස් 1000ක් පමණ අවශ්‍ය වනු ඇති බවට ගණන් බලා තිබෙනවා. 

දෙව්මැඳුරේ ලී රාමුව (notradamedeparis.fr)

3) ග්ලෝබ් රඟහල 

නාට්‍යවේදියෙකු, කතුවරයෙකු, සහ කවියෙකු වන විලියම් ෂේක්ෂ්පියර්ට අයත් වුණු ග්ලෝබ් රඟහල ලන්ඩන් නගරයේ දී ඉදිකෙරුණේ 1599 වසරේ දී යි. ටියුඩර් ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමයට අනුව ඉදිවුණු එම රඟහල හරිත ඕක් ලීයෙන් ඉදිකරනු ලැබුවා. එහි දී ලී කූරු භාවිතයෙන් දැව එකට සම්බන්ධ කර ගොඩනැගිල්ල නිර්මාණය කළා. ඒ සඳහා ඕක් ගස් විශාල ප්‍රමාණයක් භාවිතා කළ බව පැරණි සටහන්වල දක්වා තිබුණත් භාවිතා කළ නිශ්චිත ගස් ප්‍රමාණයක් පිළිබඳව එහි සටහන්ව නැහැ. තට්ටු 3කට ඉදිව තිබුණු රඟහල තුළට 3000ක පමණ ජනකායක් එකවර ඇතුළත් කිරීමට හැකියාව ලැබුණා. මේ රඟහල 1613 වසරේ දී ගිනිගෙන විනාශ වුණත් ඉන් වසරකට යළි ඉදිකෙරුණා. එම අවස්ථාවේ දීත් රඟහල ඉදිකිරීම සඳහා හරිත ඕක් දැව විශාල ප්‍රමාණයක් අවශ්‍ය වුණා. 

කෙසේ නමුත්, යළි ඉදිවුණු ග්ලෝබ් රඟහල 1642 වසා දැමුණා. අභාවයට ගිය ග්ලෝබ් රඟහල යලි කරළියට පැමිණියේ 20 වන සියවසේ දී යි. ඒ සෑම් වනමේකර් නම් ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂවරයා ග්ලෝබ් රඟහල යළි පිහිටුවීම සඳහා අවධානය යොමුකිරීමත් සමග යි. එම කාර්යය සිදුකිරීම සඳහා 1971 වසරේ දී අරමුදලක් පිහිටුවාගත් වනමේකර් දශක 2ක පමණ කාලයක් වැයකර රඟහල ඉදිකිරීමට ප්‍රමාණවත් තරම් මුදලක් සොයාගත්තා. ඉන් පසුව පැරණි ග්ලෝබ් රඟහල ඉදිකර තිබුණු ආකාරය හොඳින්ම අධ්‍යයනය කර නව ග්ලෝබ් රඟහලේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළා. එහි වැඩ කටයුතු සිදුවෙමින් තිබිය දී වනමේකර් අභාවයට පත්වුණත් ග්ලෝබ් රඟහල ඉදිකිරීමේ වැඩ කටයුතු අඛණ්ඩව සිදුවුණා. එනිසා 1997 වසරේ දී ශේක්ස්පියර්ගේ ග්ලෝබ් රඟහල ලෙසම තැනූ මේ නව ග්ලෝබ් රඟහල විවෘත කරන්නට හැකිවුණා.

ග්ලෝබ් රඟහල (Time Out)

4) ප්‍රංශ ඕක් දේවස්ථානය 

ප්‍රංශයේ ගොවි ගම්මානයක් වන ඇලුවිල්-බෙලෙෆොස්හි වසර 1000ක් පමණ පැරණියැ යි විශ්වාස කරන ඕක් ගසක් පිහිටා තිබෙනවා. බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ එය ප්‍රංශයේ පැරණිතම ඕක් ගස බව යි. ඈත අතීතයේ සිටම ඇලුවිල්-බෙලෙෆොස් ගම්මානයේ වැසියන්ගෙන් සත්කාර ලැබූ එම ඕක් ගසට 17 වන සියවසේ මුල් භාගයේ දී විශාල අකුණු සැරයක් වැදුණා. එයින් ඕක් ගසට දරුණු ලෙස හානි සිදුවී එහි කඳ සිදුරු වුණා.

එම ප්‍රදේශයේ සිටි පූජකයන් දෙදෙනෙකු වුණු ඇබට් ඩූ ඩෙට්‍රොයිට් සහ ඩූ සර්සියෝ අකුණු වැදුණු ඕක් ගස භාවිතා කරමින් දේවස්ථානයක් ඉදිකිරීමට මූලිකත්වය ගත්තා. ගසෙන් පිටතට සර්පිලාකාර පඩිපෙළක් ඉදිකර ගස් කුහරය ඇතුළත දේවස්ථානය ඉදිවුණා. ඒ අයුරින් ඉදිකරන ලද දේවස්ථානය චේන් යනුවෙන් හඳුන්වනු ලබනවා. මීට සියවස් ගණනාවකට පෙර ඉදිවුණු මෙම ඕක් දේවස්ථානයට ප්‍රදේශයේ සැලකිය යුතු තරම් බැතිමතුන් පිරිසක් වාර්ෂිකව පැමිණෙනවා. එසේම එය සංචාරකයන් අතර ද වඩාත් ජනප්‍රිය ස්ථානයක් බවට පත්ව තිබෙනවා.

 ඕක් දේවස්ථානය (pintandaport)

5) ඕක් මන්දිරය 

එංගලන්තයේ බටහිර බ්‍රොමිච් ප්‍රදේශයේ ග්‍රීට්ස් ග්‍රීන් නම් ගම්මානයේ ඕක් මන්දිරය නමින් හැඳින්වෙන පැරණි නිවසක් දක්නට ලැබෙනවා. 1634 වසරේ දී ඕක් ලී භාවිතා කර ටියුඩර් ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමය භාවිතා කරමින් මෙම නිවස ඉදිකර තිබෙනවා. ඒ අයුරින් ඕක් ලීයෙන් ඉදිවුණු අලංකාර නිවස 1837 වසරේ දී රූබන් ෆාර්ලි නම් පුද්ගලයා මිල දී ගත්තා. එය කෞතුකාගාරයක් බවට පත්කිරීමට ෆාර්ලි කටයුතු කළේ එහි පැරණි ගෘහභාණ්ඩ රාශ්‍රියක් දක්නට ලැබුණු නිසා යි. 

ෆාර්ලිගේ මරණයෙන් පසුව ඔහුගේ පුතුන් ඕක් මන්දිරය විධිමත් අයුරින් ප්‍රතිසංස්කරණය කළා. එහි දී වුඩ් සහ කෙන්ඩ්‍රික් නම් දේශීය ගෘහනිර්මාණ ශිල්පීන් යුගලය ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළා. එම ප්‍රතිසංස්කරණයෙන් පසුව ඕක් මන්දිරය අංග සම්පූර්ණ කෞතුකාගාරයක් ලෙස 1898 වසරේ දී විවෘත වුණා. ඒ අනුව අද වන විට මෙය සංචාරකයන් නිතර පැමිණෙන ස්ථානයක් බවට පත්ව තිබෙනවා.

ඕක් මන්දිරය (britishlistedbuildings.co.uk)

කවරයේ ඡායාරූපය- ඕක් මන්දිරය (Film Birmingham) 

මූලාශ්‍රයයන්- harwoodsgroup.com

Related Articles