පුරාණ ලෝකයේ සුප්‍රසිද්ධ පුස්තකාල 5ක්

මිනිසා වාර්තා තබාගැනීම ඇරඹූ දා සිටම, ඒවා පිළිවෙලකට ගබඩා කිරීම සඳහා පුස්තකාල පැවතී තිබෙනවා. අද වන විට පුස්තකාල නැති රටක් මෙලොව නැහැ. මේ ඇතැම් පුස්තකාල ලොව පුරාම ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. ඇමරිකාවේ කොංග්‍රස් පුස්තකාලය, බ්‍රිතාන්‍යයේ බොඩ්ලියන් පුස්තකාලය, බ්‍රිතාන්‍යයේ කෞතුකාගාර පුස්තකාලය වැනි ආයතන බොහෝ දුර්ලභ පොත්පත් තිබෙන ලොව වටිනාම පුස්තකාල කිහිපය අතර රැඳී තිබෙනවා. 

21 වන සියවස වන විට දක්නට ලැබෙන එවැනි පුස්තකාල වැනිම ඉතාමත් දියුණු පුස්තකාල මීට වසර දහස් ගණනකට පෙර ද දකින්නට ලැබුණු බව පැවසුවොත් ඔබ සමහර විට පුදුමයට පත්වේවි. මේ ඔබට කියන්නට යන්නේත් පුරාණ ලෝකයේ එවැනි දියුණු මට්ටමේ පුස්තකාල 5ක් ගැන යි. 

1) ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය 

ක්‍රි. පූ. 323 දී මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා මරණයට පත්වීමෙන් පස්‍ය් ඊජිප්තුවේ පාලන බලය ජෙනරාල් ටොලමි අයි සොටර්ට හිමිවුණා. ඔහු ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ පුස්තකාලයක් ආරම්භ කිරීමට තීරණය කළා. එකල ඇලෙක්සැන්ඩ්‍රියාවේ වාසය කළ ඩිමිට්‍රියස් නම් ඇතීනියානු කථිකයා විෂයයන් ගණනාවක් පිළිබඳව පුළුල් දැනුමක් තිබුණු අයෙක්. පුස්තකාලය පිළිබඳ යෝජනාව ටොලමිට ඉදිරිපත් කෙරුණේ ඔහු විසින් බව ද විශ්වාස කෙරෙනවා. ඩිමිට්‍රියස්ගේ දැනුම පිළිබඳව පුදුමයට පත්වුණු සොටර් ඔහුට පුස්තකාලය නිර්මාණය කරන කාර්යය පැවරුවා. 

ඩිමිට්‍රියස්ගේ මූලිකත්වයෙන් ආරම්භ වුණු ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලයේ ගණිතය, විද්‍යාව, නීතිය, තාරකා විද්‍යාව, වීර කාව්‍ය, ඉතිහාසය වැනි ක්ෂේත්‍රයන්ට සම්බන්ධ පැපිරස් ලියවිලි ලක්ෂ 5කට වඩා තිබුණු බව පැවසෙනවා. එනිසා එකල ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය උගත්, බුද්ධිමතුන් රැසකට මැණිකක් බඳු වුණා. එදා ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය නිතරම උගතුන් යන එන තැනක් බවට පත්ව තිබුණා. 

එකල මධ්‍යධරණී මුහුද ආශ්‍රිතව පිහිටි ඇතන්ස් සහ රෝඩ්ස් පොත් අලෙවිසැල් ද්විත්වයෙන් ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලයට අවශ්‍ය වුණු පොත් මිල දී ගැනුනා. එසේම ඇලෙක්සැන්ඩ්‍රියා වරායට පැමිණි ඇතැම් නැව්වලින් ද සමහර පොත්වල පිටපත් පුස්තකාලයට ලැබුණා. නැව්වල තිබුණු සමහර පොත්පත් රාජසන්තක කළ විට, ඒවා ද භාරදුන්නේ පුස්තකාලයට යි. ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලයේ සියලුම පොත් ග්‍රීක සහ ඊජිප්තු යන භාෂාවලින් ලියැවී තිබුණා. 

ඇලෙක්සැන්ඩ්‍රියාවේ පුරාණ පුස්තකාලය අවස්ථා දෙකක දී ගින්නෙන් විනාශ වුණා. මුලින්ම ඉදිකරන ලද පුස්තකාලය වරාය අසල රාජකීය මාලිගයේ පිහිටා තිබුණා. එකල 3 වන ටොලමි සහ ක්ලියෝපැට්‍රා අතර පැවති යුද්ධයට රෝම අධිරාජ්‍යයෙකු වුණු ජූලියස් සීසර් මැදිහත් වුණා. සීසර්ගේ සේනාව වරායේ නවතා තිබුණු නැව්වලට ගිනිතැබූ අවස්ථාවේ ගින්න සීඝ්‍රයෙන් පැතිරී ඒ අසල පිහිටි ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය ද විනාශ වුණා. ඒ ක්‍රි. පූ. 48 වසරේ දී යි.

පුස්තකාලය නැවත ඉදිවුණේ සෙරාපිස් දෙවියන්ට කැප කළ දේවාලයක් තුළ යි. ක්‍රි. ව. 391 දී එවකට රෝමය පාලනය කළ තියඩෝසියස් අධිරාජ්‍යයා මිථ්‍යාදෘෂ්ටික දේවාල විනාශ කිරීමට අණ කළා. සෙරාපිස් දේවාලය ද මෙහිදී ගිනිතැබීමට ලක්වීමෙන් පුස්තකාලය ද ඒ සමගම විනාශයට පත්වුණා. විනාශයට පත්වුණු ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය යළි ඉදිවුණේ නැහැ. 

කෙසේ නමුත් 2002 වසරේ දී පැරණි ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය සිහිපත් කිරීමට නව පුස්තකාලයක් නිර්මාණය කළා. එනිසා වර්තමානය වන විට එම ප්‍රදේශයේ නවීන පන්නයේ පුස්තකාලයක් දැකගන්නට පුළුවන්.

ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය (britannica) 

2) පර්ගමන් පුස්තකාලය 

පර්ගමන්, ඇනටෝලියාවේ පිහිටා තිබුණු ප්‍රසිද්ධ ග්‍රීක නගරයක්. අද වන විට මෙම නගරය අයත් වන්නේ තුර්කි රාජ්‍යයට යි. ක්‍රි. පූ. 197-159 කාලය තුළ පර්ගමන් පාලනය කළේ 2 වන යුමේනස් නම් පාලකයා යි. යුමේනස් පර්ගමන් නගරය පාලනය කළ යුගය වෙද්දී ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය දියුණු මට්ටමකට පත්ව තිබුණා. එනිසා යුමේනස් ද පර්ගමන් නගරය තුළ උසස් තත්ත්වයෙන් යුත් නවීන පන්නයේ පුස්තකාලයක් නිර්මාණය කළා. 

පසු කලෙක පුස්තකාලය දියුණු කිරීම සඳහා නගරයේ කීර්තිමත් පුද්ගලයෙකුගේ බිරිඳ වුණු ෆ්ලාවියා මෙලිටීන් විශාල දායකත්වයක් ලබාදුන් බව පැරණි මූලාශ්‍රවල දක්වා තිබෙනවා. ක්‍රි. පූ. 133 සිට පමණ පර්ගමන් නගරය වූයේ පාලනය රෝම අධිරාජ්‍යය යටතේ නිසා, ඇය විසින් ඒ වන විට රෝමයේ අධිරාජයා වූ හැඩ්‍රියන්ගේ ප්‍රතිමාවක් ද පුස්තකාලයට පරිත්‍යාගකර තිබුණා. විශාල කාමර හතරකින් සමන්විත වුණු පුස්තකාලය තුළ පොත්පත් ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් තිබුණු බව ප්ලූටාර්ක්ගේ ලේඛනවල සඳහන්ව තිබෙනවා. 

එකල ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය සහ පර්ගමන් පුස්තකාලය අතර විශාල තරගයක් පැවති බව අතීත වාර්තාවල දැක්වෙනවා. එම යුගයේ දී පර්ගමම් පුස්තකාලය පොත් පිරුණු රාක්කවලින් පුරවා තිබුණු බව පැරණි ලේඛනවල ලියැවී තිබෙනවා. ඇනටෝලියාවේ උණුසුම් කාලගුණයෙන් පොත්වලට හානිවීම වැළක්වීම සඳහා පිටත බිත්ති සහ පොත් රාක්ක අතර සැලකිය යුතු තරම් ඉඩක් තබා වායු සංසරණයට ඉඩදීම සිදුකර තිබෙනවා. පර්ගමන් පුස්තකාලය දෙවැනි වුණේ ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලයට පමණ යි.

පර්ගමන් නගරයට ආලෝකයක් වුණු පර්ගමන් පුස්තකාලය පරිහානියට ලක්වුණේ රෝම අධිරාජයන්ගේ නොසැලකිලිමත්කම නිසා යි. එකල රෝම අධිරාජයන් කිහිප දෙනෙකුම ක්ලියෝපැට්‍රා රැජිණ සමග සමීප සබඳතාවයක් පවත්වනු ලැබූ නිසා ඔවුන් ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලයට විශේෂ අනුග්‍රහයක් දක්වනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් වටිනා පර්ගමන් පුස්තකාලය ක්‍රමයෙන් විනාශ වී ගියා.

පර්ගමන් පුස්තකාලය (History.com)

3) උල්පියානු පුස්තකාලය 

ක්‍රි. ව. 112 දී ට්‍රාජන් නම් රෝම අධිරාජයා රෝම නගරය මධ්‍යයේ “ට්‍රාජන් සංසදය” නමින් විශාල ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකරනු ලැබුවා. වෙළඳපොළ, ආගමික ස්ථාන ඇතුළු ගොඩනැගිලි රැසකින්  සමන්විත වුණු එම සංකීර්ණය තුළ පුස්තකාලයක් ද ඉදිකළ යුතු බව ට්‍රාජන් අධිරාජයාගේ අදහස වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රි. ව. 112 දී එහි පුස්තකාලයක් ඉදිකිරීම ඇරඹුණා.

වසර 2ක කාලයක් තුළ සාදා නිමකළ පුස්තකාලය ක්‍රි. ව. 114 දී පමණ විවෘත කරනු ලැබුවා. එයට “උල්පියානු පුස්තකාලය” යන නම තැබුවා. මේ පුස්තකාලය ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලයට සහ පර්ගමන් පුස්තකාලයට පසුව බිහිවුණු විශාලතම පුස්තකාල අරින් එකක් බව පැවසෙනවා. 

පොත්පත් 30,000කට අධික ප්‍රමාණයක් තිබූ මෙහි වැඩි වශයෙන් අන්තර්ගත වුණේ ග්‍රීක සහ ලතින් භාෂාවලින් ලියැවුණු පොත්පත්. එසේම මෙය රෝමයේ මහජන වාර්තා සටහන් ගබඩාකර තබාගත් ප්‍රධාන මධ්‍යස්ථානයක්. එකල රෝම නගරයේ සිටි ජනගහනය පිළිබඳව වාර්තා විශාල ප්‍රමාණයක් මෙම පුස්තකාලය තුළ තැන්පත් කර තිබුණු බව පැරණි මූලාශ්‍රවල දැක්වෙනවා. 

සියවස් කිහිපයක් පුරා නොනැසී පැවතුණු මෙම පුස්තකාලය 5 වන සියවසේ දී රෝම අධිරාජ්‍යයේ බිඳ වැටීම සිදුවන තුරු සක්‍රීය තත්ත්වයේ පැවතුණු එකම රෝම පුස්තකාලයයැ යි විශ්වාස කෙරෙනවා.

උල්පියානු පුස්තකාලය (penelope.uchicago.edu)

4) සෙල්සස් පුස්තාකලය 

රෝමානු කොන්සල්වරයෙකු වුණු ටයිබීරියස්ගේ පුත් ජූලියස් සෙල්සස්, සිය පියා වෙනුවෙන් ක්‍රි. ව. 110 – 120 අතර කාලයේ දී අනුස්මරණ පුස්තකාලයක් ඉදිකළා. එෆීසස් නගරයේ (වර්තමානයේ තුර්කියට අයත්) ඉදිකරන ලද එම පුස්තකාලය “සෙල්සස් පුස්තකාලය” ලෙසින් හඳුන්වනු ලැබුවා. අලංකාර ඉදිරි මුහුණතක් සහිතව ඉතාමත් විචිත්‍රවත් අයුරින් නිමකර තිබුණු පුස්තකාලයේ නටබුන් අදටත් දැකගන්නට පුළුවන්. දැනුම සහ බුද්ධිය සංකේතවත් කිරීම සඳහා ඉදිකෙරුණු ප්‍රතිමා 4ක් ද එහි තිබෙනවා. එකල පොත්පත් 12,000කට වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වුණු සෙල්සස් පුස්තකාලය එම යුගය වන විට ඉදිව තිබුණු අලංකාර පුස්තකාල කිහිපය අතරින් එකක් වුණා.

එදා එෆීසස් නගරයට අභිමානයක් ගෙනදුන් සෙල්සස් පුස්තකාලය ක්‍රි. ව. 262 දී පමණ ගිනිගත්තා. එය ස්වභාවිකව සිදුවුණු දෙයක් ද, එසේත් නැත්නම් යම්කිසි ආක්‍රමණයක් නිසා සිදුවුනු දෙයක් ද යන්න තහවුරු කරගැනීමට ප්‍රමාණවත් තරම් සාක්ෂ්‍ය හමුවී නැහැ. සෙල්සස් පුස්තකාලයේ වටිනාකම දැනගෙන සිටි එකල රෝම පාලකයන් පුස්තකාලය යළි ගොඩනැගුවා. එයින් සියවස් කිහිපයක් යන තුරු මෙම වටිනා පුස්තකාලය නොනැසී පැවතුනත්, 11 වන සියවසේ දී පමණ ඇතිවුණු භූමිකම්පාවකින් එෆීසස් නගරයට විශාල හානියක් සිදුවුණා. සෙල්සස් පුස්තකාලය ද මෙයින් සම්පූර්ණයෙන් විනාශයට පත්වුණා.

අද වන විට නටබුන්ව තිබෙන සෙල්සස් පුස්තකාලය (goodfon.com)

5) කොන්ස්තන්තිනෝපලයේ රාජකීය පුස්තකාලය 

පුරාණ බයිසැන්තියානු අධිරාජ්‍යයේ අගනුවර වුණු කොන්ස්තන්තිනෝපලය සෑහෙන දියුණු මට්ටමක පැවති නගරයක්. ක්‍රි. ව. 4 වන සියවසේ දී එහි පාලකයා වුණු දෙවන කොන්ස්ටන්ටියස් ක්‍රි. ව. 353-357 අතර කාලයේ කොන්ස්තන්තිනෝපල් රාජකීය පුස්තකාලය ඉදිකරනු ලැබුවා. මෙම පුස්තකාලයේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා තේමෙස්ටියෝස් නම් පුද්ගලයා පත්කර තිබුණු බව පැරණි මූලාශ්‍රවල දැක්වෙනවා.

පුස්තකාලය මුල් යුගයේ එතරම් දියුණු මට්ටමකට පත්ව නොතිබුණත්, පසුව රාජ්‍ය අනුග්‍රහය නිසා සීඝ්‍ර දියුණුවක් ලැබුවා. ක්‍රි. ව. 372 දී වැලන්ස් අධිරාජයා ග්‍රීක සහ ලතින් අක්ෂර ශිල්පීන් තිදෙනෙකු යොදාගෙන එම භාෂාවලින් ග්‍රන්ථ පිටපත් කිරීම එයට හොඳම උදාහරණයක් ලෙසින් දක්වන්නට පුළුවන්.

ක්‍රමයෙන් දියුණු වුණු පුස්තකාලයේ පොත්පත් ක්‍රි. ව. 475 දී පමණ ගින්නෙන් විනාශ වුණු බව සමහර වාර්තාවල සටහන් වී තිබෙනවා. නමුත් පසුව බලයට පත්වුණු අධිරාජයන් ද මෙම පුස්තකාලයට රාජ්‍ය අනුග්‍රහය ලබාදුන් නිසා පසු කලෙක මෙහි පොත්පත් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් තිබුණු බව පැවසෙනවා. 

කොන්ස්තන්තිනෝපල් පුස්තකාලයේ නටබුන් (Deepstatsh)

අසීරුවෙන් යලි දියුණු කළ පුස්තකාලයට 1204 වසරේ දී පමණ කුරුස යුද්ධ නිසා විශාල හානියක් සිදුවුණා. එම සිදුවීමෙන් වසර 249ක් පමණ ගෙවී, 1453 වසරේ දී, කොන්ස්තන්තිනෝපලය තුර්කීන් අතට පත්වුණා. එම සටනේ දී ද මෙම වටිනා  පුස්තකාලයට සැලකිය යුතු හානියක් සිදුවුණා.  ඔටෝමන් තුර්කිවරුන් මෙම පුස්තකාලය දියුණු කිරීමට කිසිදු උත්සාහයක් නොගත් නිසා එය කාලයත් සමග අභාවයට ගියා.

කවරයේ ඡායාරූපය- Owlcation  

මූලාශ්‍රයයන්-  history.com 

Related Articles