Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අදටත් නොවිසඳුණු, ෆ්ලැනන් දූපත් ප්‍රදීපාගාරයේ අතුරුදන්වීම

1900 වර්ෂයේ දෙසැම්බර් 26 වැනිදා ජේම්ස් හාවිගේ නායකත්වයෙන් දියත් වුණු ‘හෙස්පරස්’ නම් නෞකාවක් අයිලීන් මුවර් නම් දූපත දෙසට යාත්‍රා කරමින් සිටියා. අයිලීන් මුවර්, ස්කොට්ලන්තයේ වයඹදිග වෙරළට ඔබ්බෙන් පිහිටි “අවුටර් හෙබ්‍රිඩීස්” දූපත් සමූහ‍යේ පිහිටි ෆ්ලැනන් දූපත්වල කොටසක්. එකල ෆ්ලැනන් දූපත් අතරින් මිනිස් වාසයක් තිබුණේ අයිලීන් මුවර් දිවයිනේ පමණ යි. එම දිවයිනේ උසම ස්ථානයට ආසන්නයේ “ෆ්ලැනන් දූපත් ප්‍රදීපාගාරය” පිහිටා තිබුණා. ප්‍රදීපාගාරයේ නඩත්තුව සහ ක්‍රියාත්මකකිරීම් සඳහා නැවතී සිටි කාර්යමණ්ඩලය නිසා, අයිලීන් මුවර් මේ පාළු දූපත් අතර මිනිස් පහස ලැබීමට අවස්ථාව හිමිකර ගත්තා. 

එදා කපිතාන් ජේම්ස් හාවිගේ හෙස්පරස් නෞකාවේ සංචාරයෙන්, ස්කොට්ලන්ත ඉතිහාසයේ වඩාත්ම අත්භූත සිදුවීමක ආරම්භය සනිටුහන් වුණා.

ප්‍රදීපාගාරයේ පිහිටීම/dailymail.co.uk/

ෆ්ලැනන් දූපත් සමූහයේ  ඉතිහාසය

අතීතයේ පටන් ෆ්ලැනන් දූපත් ආශ්‍රිත සයුර නාවිකයන් බියට පත්කළා. ගල්පර සහිත රළු ස්වභාවයක් ගන්නා මුහුද මෙන්ම, එම ප්‍රදේශය නිතර වසාගන්නා ඝන මීදුම නිසා නාවික අනතුරු සුලබව සිදුවුණා. එමෙන්ම දූපත් ආශ්‍රිතව විසූ ස්වදේශිකයන් ෆ්ලැනන් දූපත් දෙස බැලුවේ යම් භීතියකින්. දූපත් වටා බැදුණු ඉතිහාස කතා ඔවුන්ගේ භීතිය පෝෂණය කළා. 7 වන ශතවර්ෂයේ විසූ ෆ්ලැනන් මැක් ටොයර්ඩෙල්බයිග් නම් අයර්ලන්ත ශාන්තුවරයා (ශාන්ත ෆ්ලැනන් ලෙසත් හඳුන්වනවා) මෙම දූපත් සමූහයේ කුඩා දෙව් මැඳුරක් ඉදිකළ අතර, මරණ මංචකයේ දී ‘අයිලීන් මුවර් තමාට අයත් භූමියක්යැ’ යි පැවසූ බව සඳහන්.

ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ එඬේරුන් බැටළුවන් තණ කැවීම සඳහා මෙම දූපත් භාවිත කළ ද, ඔවුන් කිසිදිනෙක මේ දූපත්වල රාත්‍රිය ගත කළේ නැහැ. නපුරු ආත්ම ෆ්ලැනන් දූපත්වල සැරිසරනවායැ යි ඔවුන් තුළ තිබූ විශ්වාසය එයට හේතු වුණා. ආගමික භක්තිකයන්ට සභාවක් පිහිටුවීම සඳහා හොඳ ඓතිහාසික පසුබිමක් ෆ්ලැනන් දූපත්වල තිබුණත්, දිවයිනේ ගුප්ත සහ අද්භූත බලයන් කෙරෙහි තැබූ විශ්වාසය නිසා ඔවුන් එයට දිරිමත් වුණේ නැහැ.

පෙර සඳහන් කළ පරිදි ෆ්ලැනන් දූපත් අවට මුහුදේ අනතුරුදායක ස්වභාවය නිසා ප්‍රදීපාගාරයක් ඉදි කිරීමේ අවශ්‍යතාවය මතු වුණා. ඒ සඳහා තෝරාගත්තේ උක්ත ශාන්තුවරයා තමාට අයත් බව පැවසූ අයිලීන් මුවර් ගොඩබිම යි. නමුත්, අවට ස්වදේශිකයන් මෙම ඉදිකිරීමට එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. ප්‍රදීපාගාරය ගොඩනැඟීමෙන් ශාන්ත ෆ්ලැනන් තම කෝපය මුදා හරිනු ඇතැයි ඔවුන් බියට පත් වුණා. සාම්ප්‍රදායික විශ්වාසයන් එබඳු වුවත්, 1899 වර්ෂයේ දෙසැම්බර් 7 වැනිදා ප්‍රදීපාගාරය තම පළමු රාජකාරී දිනය ආරම්භ කළා. නමුත්, වසරක් ඇතුළත මෙම ප්‍රදීපාගාරයේ සිදුවුණේ අදටත් නිශ්චිතව පැහැදිලි කරගත නොහැකි දෙයක්.

ප්‍රදීපාගාරයේ පැරණි ඡායාරූපයක්/spydersden.wordpress.com/

 අනතුරක පෙරනිමිති

එවකට ප්‍රදීපාගාරයේ සිව් දෙනෙකුගෙන් යුතු කාර්යමණ්ඩලයක් සිටියා. ඔවුන් ඒ පාළු, ගුප්ත, ප්‍රධාන ජනාවාසවලින් ඈත් වූ දූපතේ හුදෙකලාව සිටිමින් රාජකාරී කටයුතුවල යෙදුණා. ප්‍රධාන භාරකරු ලෙස ක්‍රියාකළ ජේම්ස් ඩුකට්, සහ තෝමස් මාෂල්, ඩොනල්ඩ් විලියම් මැක්ආතර්, විලියම් රොස් යන අය මේ කාර්ය මණ්ඩලයට ඇතුළත් වුණා. ඔවුන් අතරින් ඩොනල්ඩ් විලියම් මැක්ආතර් පමණක් නිත්‍ය සේවකයෙකු ලෙස සැලකුණේ නැහැ. නිත්‍ය කාර්ය මණ්ඩලයේ කෙනෙකු නොමැති අවස්ථාවක දී පමණක් මැක්ආතර්ගේ සේවය ලබා ගැනුණා.

1900 වර්ෂයේ දෙසැම්බර් 15-16 දෙදින තුළ ෆ්ලැනන් දූපතේ යම් වෙනසක් ඇති බවට වූ පළමු ඉඟිය SS Archtor නම් නෞකාව මඟින් නිකුත් කෙරුණා. එම නෞකාව ෆිලඩෙල්ෆියාවේ සිට ස්කොට්ලන්තයේ ලෙයිත් ප්‍රදේශය දක්වා යාත්‍රා කරමින් සිටියා. ඔවුන්ගේ ලොග් සටහන්වලට අනුව, ප්‍රදීපාගාරයේ ආලෝකය එම දුර්වල කාලගුණික තත්ත්වය යටතේ පවා ක්‍රියා නොකරන බව සඳහන් වුණා.

පසුව කරන ලද පරීක්ෂණවලින් හෙළිවූයේ දෙසැම්බර් 7 සිට 29 දක්වා කාලය තුළ ප්‍රබල දුරේක්ෂයක ආධරයෙන් පවා ප්‍රදීපාගාරය දැකගත නොහැකි වූ බව යි. කෙසේ වෙතත්, ප්‍රදීපාගාරයේ ආලෝකය දෙසැම්බර් 7 වැනිදා නිරීක්ෂණය වුණා. නැවතත් එම ආලෝකය දොළොස් වැනිදා නිරීක්ෂණය වුවත්, එයින් පසු 26 වැනිදා දක්වා ප්‍රදීපාගාරයේ ආලෝකය කිසිවෙකුට නිරීක්ෂණය වුණේ නැහැ. සමහර කාලවල දී අයහපත් කාලගුණය නිසා අඛණ්ඩව රාත්‍රීන් හතරක් හෝ පහක් ප්‍රදීපාගාරයේ ආලෝකය නිරීක්ෂණය නොවීම සාමාන්‍ය කරුණක්. එහෙත් 12 වැනිදායින් පසු සති දෙකකට ආසන්න කාලයක් ආලෝකය දක්නට නොලැබීම ඉතා පුදුම සහගත සිදුවීමක් වුණා. SS Archtor නෞකාව 1900 දෙසැම්බර් 18 වන දින ලෙයිත් නුවරට සේන්දු වූ පසු, තම නිරීක්ෂණ උතුරු ප්‍රදීපාගාර මණ්ඩලය යවනු ලැබුවා. කිසියම් අනතුරක පෙරනිමිත්තක් ඇති බව තේරුම්ගත් ආයතනය සහන නෞකාවක් ෆ්ලැනන් දූපත් වෙත වහාම යැවීමට සූදානම් වුණා. එහෙත් අයහපත් කාලගුණය නිසා සැලසුම් කළ දිනයට පිටත්වීමට හෙස්පරස් නම් සහන නෞකාවට නොහැකි වුණා. ඒ අනුව නෞකාව ෆ්ලැනන් දූපත් වෙත ළඟා වුණේ දෙසැම්බර් 26 වැනිදා දහවල් වන විට යි.

හෙස්පරස් නෞකාවෙන් පැමිණි සෙවුම් කණ්ඩායමේ සාමාජිකයා දූපතට ගොඩවූයේ මෙතැනින්/dailymail.co.uk/

තිදෙනෙකු අතුරුදන්!

ප්‍රදීපාගාරය ආසන්නයට පැමිණි නෞකා කාර්ය මණ්ඩලයට ප්‍රදීපාගාරය අසල කොඩිගසේ කොඩිය ඔසවා නැති බව නිරීක්ෂණය වුණා. එමෙන්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගබඩා කිරීමට යොදා ගන්නා පෙට්ටි ද ගොඩබෑමේ වේදිකාව මත ඔහේ තබා තිබුණා. නමුත්, වඩාත්ම විශ්මයජනක කරුණ වුණේ නාවිකයන් පිළිගැනීම සඳහා කිසිවෙකුත් පෙරමඟට නොපැමිණීම යි. සහන නෞකාවේ කපිතාන් ජේම්ස් හාවි, නෞකාවේ නලාව මඟින් සහ ගිනි සිළුවක් අහසේ දල්වා තම පැමිණීම නිවේදනය කළත්, ප්‍රදීපාගාරයෙන් ප්‍රතිචාර දැක්වූයේ නැහැ. ඒ වන විට ප්‍රදීපාගාරයේ සේවය කිරීමට නියමිතව සිටියේ තෝමස් මාෂල්, ඩොනල්ඩ් මැක්ආතර්, සහ ජේම්ස් ඩුකට් යන පිරිස වන අතර, ඉතිරි තැනැත්තා රාජකාරියෙන් නිවාඩු ලබා තිබුණා.

නෞකාවේ සිටි ජෝසප් මුවර් නමැත්තෙක් පරිවාර බෝට්ටුවක නැඟී ප්‍රදීපාගාරය වෙත තනිවම යාත්‍රා කළා. ප්‍රදීපාගාරයේ පිවිසුම් දොරටුව සහ ප්‍රධාන දොරටුව යන දෙකම විවෘතව තිබීම ඔහුට අමුතුම හැඟීමක් ඇතිකළ බව සඳහන්. අපිළිවෙල වී තිබූ ඇඳන් සහ නැවතී තිබූ බිත්ති ඔරලෝසුව ඔහුට නිරීක්ෂණය වුණා. මුළුතැන්ගෙයි මේසය මත මස්, අච්චාරු, සහ අර්තාපල් සහිත දීසි එලෙසම තිබුණු අතර, ඒ අසල පෙරළී ගිය පුටුවක් ද තිබුණා. සේවයේ නියුතු තිදෙනාට අයත් ජලරෝධක කබා තුනෙන් දෙකක් අතුරුදහන්ව තිබීම තවත් ගැටලු සහගත වුණා. ප්‍රදීපාගාරය තුළ හෝ දිවයිනේ කිසිම තැනක කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ සලකුණක්වත් ඉතිරිව තිබුණේ නැහැ. දූපතේ නැගෙනහිර දෙසින් පිහිටි තොටුපළ නොවෙනස්ව පැවතුණත්, බටහිරින් පිහිටි තොටුපළට ඒ ආසන්න දිනවල පැවතුණු කුණාටුවෙන් හානි සිදුව තිබුණා. කෙසේ නමුත් පුද්ගල අතුරුදහන්වීම විසඳා ගැනීමට සහාය දෙන සාක්ෂ්‍යයක් ලැබුණේ නැහැ. 

ඔවුන්ගේ සොයාගැනීම් ප්‍රශ්න රාශියකට තුඩු දුන්නා. එක් සාමාජිකයෙකු කබාය නොමැතිව පිටත්වීම, නීතියෙන් තහනම්ව තිබියදීත් තිදෙනාම එකට පිටත්වීම වැනි තවත් කරුණු බොහෝමයක් ගැටලුකාරී වුණා. තිදෙනාගෙන් කවුරුන් හෝ මොනම දුෂ්කර අවස්ථවක දී වුවත් රාජකාරියේ නිරත විය යුතු වාතාවරණය මැද, කිසියම් හේතුවක් නිසා තිදෙනාම පිටවගොස් තිබුණා. එනිසා දිවයිනට තනිවම ගිය ජෝසප් මුවර් නැවත පැමිණියේ හිස් අතින්. හෙස්පරස් නෞකාවේ කපිතාන් තවදුරටත් පරීක්ෂණ මෙහෙයවූවත්, අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සොයා ගැනීමට හැකි වුණේ නැහැ. ඔහු ප්‍රධාන ගොඩබිමේ වගකිව යුතු පාර්ශවවලට විදුලි පණිවුඩයක් යවමින් පවසා සිටියේ කිසියම් භයානක දෙයක් ෆ්ලැනන් දූපතේ සිදුව ඇති බව යි.

අතුරුදහන් වූ තිදෙනා. වමේ සිට දකුණට පිළිවෙලින් තෝමස් මාර්ෂල්, ඩොනල්ඩ් මැක්ආතර් සහ ජේම්ස් ඩුකට්/strangeoutdoors.com/

උපකල්පන සහ කටකතා

කිසිදු සලකුණක් නොතබා පුද්ගලයන් තුන්දෙනෙකු අතුරුදහන් වීම කිසිසේත් සුළුකොට තැකිය නොහැකි යි. ඒ නිසා සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වුණා. ඒ අනුව අතුරුදහන්වීම අනාවරණය කරගත් දිනයට ආසන්න සති කිහිපය තුළ තැබූ ප්‍රදීපාගාරයේ ලොග් සටහන් වෙත අවධානය යොමු වුණා. කාර්යමණ්ඩල සාමාජික තෝමස් මාෂල්, ගෙවුණු අවුරුදු විස්ස තුළ අත්නොදුටු තරමේ දැඩි සුළඟක් ප්‍රදීපාගාරය වටා පැවතුණ බව ලොග් සටහනේ දක්වා තිබුණා. එමෙන්ම, තවත් සාමාජිකයෙක් වූ මැක්ආතර් ඉතා නිහඬව කාලය ගත කළ බවත් වාර්තාකොට තිබුණා. කෙසේ නමුත්, දැඩි සුළං පැවතුණායැ යි සඳහන්කොට තිබූ දින වකවානු තුළ දූපත අවට කිසිදු කුණාටුවක් වාර්තා නොවීම පුදුමයට කාරණාවක් වූ අතර, කුණාටු සහිත කාලගුණයක් හරියාකාරව වාර්තා වුණේ දෙසැම්බර් 17 වැනිදා පමණ යි. 

1900 දෙසැම්බර් 13 වන දින ලොග් සටහන්වලට අනුව කුණාටුවෙන් දිවයින තවමත් විනාශ වෙමින් පවතින බවත්, තිදෙනාම යාච්ඤා කරමින් සිටින බවත් සඳහන් වුණා. පළපුරුදු ප්‍රදීපාගාර සේවකයන් ලෙස ඔවුන්ට රළු මුහුදුවල ඇතිවන කුණාටු පුදුමයකට කරුණක් නොවේ. එකල මෙම රැකියාව තරමක් අනාරක්ෂිත සහ අවදානම් සහගත එකක් නිසා ඊටම හැඩගැසුණු ගතිගුණ ඇති මිනිසුන් තමයි සේවය කළේ. අනෙක් අතට විලියම් මැක්ආතර් පළපුරුදු නැවියෙක් මෙන්ම දැඩි ගතිගුණ තිබූ මිනිසෙකු ලෙස ප්‍රසිද්ධව සිටියා. නමුත් එවැනි රළු මිනිසුන් පවා බියපත් වී දෙවියන්ට යාච්ඤා කිරීමට තරම් දරුණු කුණාටුවක් ප්‍රධාන ගොඩබිමට වාර්තා නොවුණේ ඇයි?

ෆ්ලැනන් දූපත් ප්‍රදීපාගාරයේ වර්තමාන පෙනුම/dailymail.co.uk/

අතුරුදහන්වූවන් අවසාන වරට ලොග් සටහන යාවත්කාලීනකර ඇත්තේ දෙසැම්බර් 15 වැනිදා යි. නමුත් එදින වාර්තාව බොහොම සාමාන්‍ය එකක් වුණා. එම සටහනට දෛනික කාලගුණ තත්ත්වය, කාර්යමණ්ඩලයේ දෛනික ක්‍රියාකාරකම්, ප්‍රදීපාගාර ලාම්පුව අළුත්වැඩියා කිරීම සහ එයට තෙල් පිරවීම, ලාම්පුවේ විශාල කාච පිරිසිදු කිරීම වැනි කාරණා ඇතුළත් වුණා. පෙර දවස් මෙන් කිසිදු වැරැද්දක් සටහන්කොට තිබුණේ නැහැ. නමුත් එදිනම සවස ප්‍රදීපාගාරය ක්‍රියාත්මක නොවීමෙන් ප්‍රබල ලෙස ගම්‍ය වුණේ, ඔවුන් අතුරුදහන් වූ දිනය මෙය බව යි. ඔවුන්ගේ ලොග් සටහන් තැබීම අවසන්ව තිබුණේ පහත පරිද්දෙන්.

“කුණාටුව අවසන්. මුහුද සන්සුන්. දෙවියන් සියල්ලටම වඩා ඉහළින් සිටි යි”

නමුත් කිසියම් දෙයක් එදින සවස සිදුව තිබුණා. අංශු මාත්‍රයක සලකුණක් නොතබා ප්‍රදීපාගාර කාර්යමණ්ඩලය අතුරුදහන් වුණා. එය අදටත් අභිරහසක් වන අතර, අතුරුදහන්වීම සම්බන්ධයෙන් අදටත් ඇත්තේ විවිධ කටකතා සහ විමර්ශනවල දී කළ උපකල්පන මත පදනම්වූ දීර්ඝ විස්තර පමණ යි. 

මෙහිදී ඉදිරිපත් වූ එක් ප්‍රබල උපකල්පනයක් වූයේ, මෙම අතුරුදහන්වීම ඔවුන් ලොග් සටහන්වල තබා තිබූ පරිදිම දරුණු කුණාටුවක් නිසා සිදුවූ බව යි. දූපතේ බටහිර කොටස කුණාටුවකින් විනාශ වූ  සලකුණු තිබීමෙන් එම උපකල්පනය වඩාත් යථාර්තයට සමීප එකක් බව පිළිගැණුනා. උතුරු ප්‍රදීපාගාර මණ්ඩලයේ නිල වෙබ් අඩවියේ මෙම සිදුවීම පිළිබඳ විශේෂ සටහනක් තබා ඇති අතර, ඔවුන් මේ පුද්ගල අතුරුදහන්වීම පැහැදිලි කර තිබෙන්නේත් කුණාටුව ආශ්‍රිත නිගමන පදනම් කරගෙන යි. තවත් උපකල්පනයට අනුව ඔවුන් මුහුදු මංකොල්ලකරුවන් ඉදිරියේ අනතුරට භාජනය වීමක් හෝ විදේශීය බලවේගයක් හමුවේ පැහැර ගැනීමකට ලක් වුණායැ යි කියවෙනවා.

කෙසේ නමුත්, මෙය කිසියම් ගුප්ත බලවේගයකට අනුව සිදුවූ අතුරුදහන්වීමක් බවට කටකතා පැතිරුණා. දූපත්වල ගුප්ත ඉතිහාසය හා විශ්වාසයන් ඒ සඳහා මූලික හේතුවක් වුණා. දූපත ගැන දන්නා ස්වදේශිකයන් අයිලීන් මුවර්හි ප්‍රදීපාගාරයක් තැනීම පවා අනුමත කළේ නැහැ. අත්භූත මුහුදු ජීවීන්, පිටසක්වල ජීවීන්, උමතුවකින් කුළු ගැන්වුණු මීනිමැරුමක්, රජයේ රහස් මෙහෙයුමක් වැනි බොහෝ කටකතා මේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් පට බැඳුණා. 

අතුරුදහන්වීම පදනම් කරගත් “The Vanishing” චිත්‍රපටයේ ප්‍රචාරක දැන්වීමක්/anygoodfilms.com/

පසු කලෙක විවිධ කලා නිර්මාණ සඳහා ෆ්ලැනන් දූපතේ පුද්ගල අතුරුදහන්වීම යොදා ගැණුනා. එයින් ජනප්‍රියම  නිර්මාණයක් වන්නේ “The Vanishing” නම් චිත්‍රපටය යි. ජෙරාඩ් බට්ලර් රංගනයෙන් දායක වන මේ චිත්‍රපටය 2019 දී නිකුත් වුණා. අතුරුදහන් වූ පුද්ගලයන් තිදෙනා ගැන වෙනස්ම දෘෂ්ඨිකෝණයකින් බැලූ සිනමා නිර්මාණයක් ලෙස “The Vanishing” හැඳින්විය හැකි යි.

Cover photo: එදා ප්‍රදීපාගාරය මුහුණ දුන් බියකරු සිදුවීමට ගැලපෙන කල්පිත ඡායාරූපයකි/the13thfloor.tv/

මූලාශ්‍රයයන්: strangeoutdoors.com/

mentalfloss.com/

nlb.org.uk

Related Articles