නෙදර්ලන්තය රකින පවුරු

ලෝක සිතියමක් නැතිව වුණත්, ගොඩබිම්වල සෑම තැනම සමතලා භූමියක් දක්නට ලැබෙන්නේ නැති බව ඔබ දන්නවා. සමහර ස්ථාන මුහුදු මට්ටමේ සිට මීටර සියගණන් උස්ව පවතිද්දී, සමහර ස්ථාන මුහුදු මට්ටමට පහතිනුත් පිහිටනවා. මැද පෙරදිග මළ මුහුද ඊට හොඳ උදාහරණයක්. අපේම මුතුරාජවෙල වගුරත් මඳ වශයෙන් මුහුදු මට්ටමට පහතින් පිහිටා තිබෙන්නේ.

මුහුදු මට්ටමින් පහත පිහිටා තිබෙන සියළුම ප්‍රදේශයන් පාහේ දියෙන් යට නොවී පවතින්නේ මුහුදු ජලයට ඒවා ආක්‍රමණය කළ නොහැකි ලෙස ස්වභාවිකව භූ විෂමතා ලක්ෂණයන්ගෙන් ආරක්ෂා වී ඇති නිසා යි. කෙසේ නමුත් යුරෝපයේ බටහිරට වන්නට පිහිටි නෙදර්ලන්තය ඊට වඩා වෙනස්. නෙදර්ලන්තයේ සමහරක් මුහුදුබඩ ප්‍රදේශ පිහිටා ඇත්තේ වෙරළෙහි සිටම අඩි කිහිපයක් මුහුදු මට්ටමට පහතිනුයි. නෙදර්ලන්ත අග නගරය වන ඇම්ස්ටර්ඩෑම් පවා පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමින් මීටර 2ක් පමණ පහළින්. මේවා මුහුදුබත් නොවී පවතින්නේ කෙසේ ද යන පැනය ඉහත කරුණු ඇසූවනම බොහෝ දෙනාට ඇතිවන්නට ඇතුවා නිසැක යි.

නෙදර්ලන්තයේ මුහුදු මට්ටමට පහලින් ඇති ප්‍රදේශ -researchgate.net

ජල උවදුරු වලින් පිරුණු නෙදර්ලන්ත ඉතිහාසය

නෙදර්ලන්තයේ ඉතිහාසය පිරික්සීමේ දී එය අනාදිමත් කාලයක පටන් ගං වතුර විපත් වලින් බැට කා ඇති බව පෙනී යනවා. විශේෂයෙන්ම මෙයට හේතු වන්නේ නෙදර්ලන්තයේ භූමියෙන් හරි අඩක්ම වාගේ මුහුදු මට්ටමෙන් එක් මීටරයක් හෝ ඊට අඩු උන්නතාංශයකින් යුතුව පිහිටා තිබීම යි. එයිනුත් සැලකිය යුතු බිම් ප්‍රමාණයක් මුහුදු මට්ට්මෙනුත් පහළින් පිහිටා තිබෙනවා. මේ නිසා එහි ඉතිහාසය පුරාවට වරින් වර ඇති වී තිබෙන ගං වතුර උවදුරු වලින් මිය ගිය සංඛ්‍යාව දහස් ගණනක්. වාර්තා වී ඇති විශාලම ගංවතුර උවදුර ඕලන්දයට බලපා ඇත්තේ ක්‍රි.ව 1530 නොවැම්බර් මස 5 වනදා යි. එකල ගං වතුර නැවැත්වීම සඳහා ඉදිකර තිබූ දුර්වල බැමි කඩා ඉහිරුවමින් ගලා ආ ගංවතුරින් ජීවිතය අහිමි වූ ගණන 100,000ක් පමණ වූ බව සඳහන් වී තිබෙනවා.

ගංවතුර ගැලූ අවස්ථාවක නෙදර්ලන්තය -ilmkidunya.com

අතීතයේ ගංවතුර වැලැක්වූ හැටි

නෙදර්ලන්තය ඒ තරම් විශාල රාජ්‍යයක් නොවේ. එම නිසා ගංවතුර උවදුරු ඇතැයි කියා ඒවායේ ජනතාව සියලුදෙනා ආරක්ෂාකාරී ස්ථානයන්හි නැවත පදිංචි කරවීමට ඔවුනට හැකියාවක් තිබුණේ නැහැ. මේ නිසා හැකිතාක් ගංවතුර උවදුරු අවම වන අයුරින් ක්‍රියාමාර්ග ගැනීමට එහි පාලකයින්ට සිදුවුණා. අතීතයේ දී ඇල මාර්ග, සුළං මෝල්, වේලි වැනි දේ යොදාගෙන අතිරික්ත ජලය ඉවතට තල්ලු කරයැවීමට ඔවුන් පියවර ගත්තා. කෙසේ නමුත් මින් පිලියම් ලැබුණේ සුළු ගං වතුර තත්ත්වයන් වලට පමණයි. වසර කිහිපයකට වරක් ගං වතුරෙනුත්, උතුරු මුහුද ප්‍රචණ්ඩ වූ විටෙක එහි ජලය රට තුලට ගලා ඒමෙනුත් නෙදර්ලන්තයේ කුමන ස්ථානයක හෝ විපත් සිදු වූවා.

සුළං මෝල් අතිරික්ත ජලය පොම්ප කිරීමේ පද්ධති ලෙස ක්‍රියා කරනවා -Flickr/Hagwall

අතීත ඕලන්ද ජනයා සිය භූමිය ගං වතුරෙන් ආරක්ෂා කිරීමට ගත් ක්‍රියාමාර්ග නිසා නෙදර්ලන්තයේ භූගත ජල මට්ටම කෙමෙන් කෙමෙන් පහත ගියා. මේ හේතුවෙන් මුහුදු මට්ටමෙන් මදක් පහළින් ඇති භූමිභාගයන් කිහිපයකුත් ජලය සිඳී, ජනාවාස ඇති විය හැකි තත්ත්වයට පත් වුණා. අතීත ජනයා මේවා ද බැමි බැඳ ආරක්ෂා කළා. මීට අමතරව ගංඟාවල වේලි බැඳ ඒවායේ ධාරිතාව වැඩි කළා. අතිරික්ත ජලය සාගරයට ගලා යැවීමේ අටියෙන් සුළං බලය යොදාගත්තා.

මුහුදු වැටි -dutchdikes.net

ඉහත ක්‍රමය බොහෝ අවස්ථා වල දී සාර්ථක වුවත් එහි අවදානම් පැත්තක් ද තිබුණා. උස් වූ වැටි බැඳීම නිසා ගංගා වල ධාරිතාවය වැඩි වී, හදිසියේ දැඩි වර්ෂා ඇදහැළුණු විට පෙරටත් වඩා විශාල ගංවතුර තත්ත්වයන් ඇති වුණා. මේ නිසා ඊටත් වඩා තාක්ෂණිකව උසස් ප්‍රතිකර්මයක් මේ සඳහා නිර්මාණය කිරීමට නෙදර්ලන්ත රජයට සිදුවුණා.

නව තාක්ෂණය අනුව සෑදූ බැමි

විසිවන සියවසේ මුල් කාලයෙන් පසු ක්‍රි.ව 1953 වන තුරු යම්තාක් දුරකට නෙදර්ලන්තය විශාල ගංවතුර අනතුරකට ලක් නොවී පැවතුණා. නමුත් 1953 වසරේ දී උතුරු මුහුද ප්‍රචණ්ඩ වී සියළු බැමි බිඳ හෙළමින් රට තුලට කඩා වැදුණේ මහා විනාශයක් සිදු කරමින්. මේ නිසා හෙක්ටයාර 200,000 පුරා පැතිරුණු ගංවතුරක් නිර්මාණය වූ අතර රටට අහිමි වූ ජීවිත සංඛ්‍යාව 1,836 ක්. මීට අමතරව නෙදර්ලන්තය විදේශ විනිමය උපයන කිරි හරක් කර්මාන්තයටත් විශාල පහරක් වැදුණා. මේ නිසා කඩිනම් විසඳුම් සොයා ගැනීමට නෙදර්ලන්තයට සිදු වුණා.

1953 ගංවතුර – rsta.royalsocietypublishing.org

නෙදර්ලන්ත ඉංජිනේරුවන් නවීන තාක්ෂණය ද උපයෝගී කරගෙන නෙදර්ලන්තය ජල රකුසාගෙන් සම්පූර්ණයෙන්ම ආරක්ෂා කර ගැනීම සඳහා ඩෙල්ටා ප්ලෑන් හෙවත් ඩෙල්ටා වර්ක්ස් නම් ව්‍යාපෘතියක් ආරම්භ කළා. මේ අනුව කිලෝමීටර 3,700ක දිගින් යුතු වේලි, වැටි, හා බැමි රට වට කොට ඉදි වන අතර ඉන් විශේෂම වූයේ ඩොලර් බිලියන 2.5ක් ඇස්තමේන්තුගත කර තිබූ මුහුදු වැටියි.

ඩෙල්ටා ප්ලෑන් හෙවත් ඩෙල්ටා වර්ක්ස් ඇනුව සැකසුණු බැමි, වැටි හා වේලි පද්ධතිය -ecktiv.nl

අනෙක් වැටි වල වැඩ කටයුතු හොඳින් සිදු වුව ද මුහුදු වැටි වලට විශාල බාධා පැමිණුනා. විශේෂයෙන් ලොව වැඩිම ලාභ උපයන ධීවර කර්මාන්තයක් සහිත රොටර්ඩෑම් අවට ධීවරයෝ මීට විරෝධය පෑවේ මෙම වැටි විනිවිද ගොස් මත්ස්‍යයින්ට වෙරළබඩට පැමිණීමට නොහැකි වන නිසායි. කෙසේ නමුත් ඒ සඳහා ද ඉක්මණින් විසඳුම් සොයා ගැනීමට නිර්මාපකයින් සමත් වූ අතර ඔවුන් විසින් රොටර්ඩෑම් තදාසන්න මුහුදු වැටිය වෙනුවට එය ඉදිකිරීමට සැලසුම කර තිබූ ස්ථානයේ ඌස්ටර්ෂෙල්ඩෙකෙරින් මුහුදු වේල්ල ඉදිකළා. මෙහි ද්වාර සාමාන්‍ය තත්ත්ව යටතේ දී ඉහළට එසවී තිබෙන්නේ මත්ස්‍යයින්ට ඒ ඔස්සේ පහසුවෙන් පීනාගෙන යාමට හැකි වන පරිදි, හා බෝට්ටු නැව් ගමනාගමනයට හැකි වන පරිදි යි. මුහුද ප්‍රචණ්ඩ වූ විට එහි ද්වාර වසා දැමුණා. මේ එක් ද්වාරයක් මීටර 30-40 ක් තරම් උස් වූ අතර බර ටොන් 18,000ක් පමණ වනවා. විශේෂයෙන් ක්‍රමයෙන් ඉහළ යන මුහුදු ජල මට්ටමට සමඟ සටන් වැදීමට ද මේ වේල්ල මහඟු දායකත්වයක් සපයනවා.

ඌස්ටර්ෂෙල්ඩෙකෙරින් මුහුදු වේල්ල – Frans Sellies/ flickr.com

වර්තමානය වන විට නෙදර්ලන්තය ස්වභාවික උවදුරු අභිබවා නැඟී සිටීමට සමත් වී තිබෙන්නේ මේ ආකාරයෙනුයි. කෙසේ නමුත් වර්තමානය වන විට සපයා ඇති ආරක්ෂාවේ ද සීමාවන් ඇති බැව් ඔවුන් අවබෝධ කරගෙන තිබෙනවා. මේ නිසා ඔවුන්ගේ රට රකින පවුරු වැඩි දියුණු කිරීමට ඔවුන් නිරන්තරව උත්සාහ ගන්නවා. පසුගිය වසර කීපය තිස්සේ අප මුහුණ දුන් ගං වතුර උවදුරටත් මෙවැනි පිලියමක් සෙවීමට රජයට නොහැකි ද?

කවරයේ පින්තූරය – wallpapersafari.com

වීඩියෝ මූලාශ්‍ර:

www.youtube.com/watch?v=aUqrBV4SiqQ

Related Articles