පාද බැදීමේ සම්ප්‍රදායික චාරිත්‍රය කාන්තාවන්ගේ ලාලිත්‍ය වැඩිකරනු ලබන සම්ප්‍රදායක් ලෙස  අතීත චීන සමාජය සැලකු ද ඔවුන්ගේ මෙම චාරිත්‍රය හේතුවෙන් කාන්තාවන් නිශ්ශබ්දව වේදනාවට පත්විය.නමුත් සාමාජීය විශ්වාසයන් හේතුවෙන් එම වේදනාවන් සඟවා ගෙන සිටින්නට සිදු විය.මෙලෙස පාද බැඳතැබීම ආරම්භ වූ පසු එම දැරියට ලාලිත්‍යයෙන් ඇවිදයාමට උපදෙස් දෙනු අතර එමගින් කාන්තාවගේ ආකර්ෂණය වැඩිවන බවට ඔවුන් විශ්වාස කරනු ලබයි. මෙම සම්ප්‍රදාය වර්ෂ 1912 සිට තහනම් වුවත් එහි නෂ්ටාවශේෂ ඇති බවට දැනටත් චීනයේ වයෝවෘද්ධ ස්ත්‍රීන්ගේ පාද සාක්ෂි දරනු ලබයි.

පාද බැතැබීමේ සම්ප්‍රදාය යනු කුමක්ද?

මෙම සම්ප්‍රදාය චීනයේ කුඩා ගැහැණු දරුවන් අනිවාර්යෙන්ම අවනත විය යුතු චාරිත්‍රයක් විය.ගැහැණු දරුවන් අවුරුදු හතරත් නවයත් අතර කාලය තුළ මෙම චාරිත්‍රය ආරම්භ කරන අතර එයට හේතුව මෙම වයස් සිමාව තුළ නිසි පරිදි අස්ථි සවිමත් වී නොමැති වීම හේතුවෙනි.එම වයසේ සැම ගැහැණු දරුවෙකුගේම පාද ප්‍රථමයෙන්ම සත්ත්ව රුධිරයෙහි ගිල්වා තබණු ලැබීය.එමගින් මැරුණු සම සහ මස් ඉවත්කිරීම සිදුවේ.ඉන් පසුව පාදයේ මහපට ඇඟිල්ල හැර අනික් සියළුම ඇඟිලිවල අස්ථි බිද යටි පතුලට සිටින ලෙස තද කරමින් අඩි දහයක් පමණ දිග වෙළුම් පටි වලින් බඳිනු ලැබීය.මෙය නැවත නැවත දවස් කිහිපයකට වරක් සිදු කරනු ලබන අතර නැවත නැවතත් ජිවිත කාලය පුරාම මෙලෙස වෙළුම් පටිවලින් වේලනු ලබයි.පාද බැදීම ආරම්භකරනු ලබන්නේ කුඩා ගැහැණු දරුවන්ගේ මිත්තනිය හෝ වෙනත් ඥාති කාන්තාවක් විසිනි.එයට හේතුව අස්ථි බිදීම හා ඇඟිලි පතුල දෙසට නැමිමේදී හට ගන්න වේදනාව අධික නිසා දැරියගේ මව නිසි පරිදි පාද බැදීම සිදුකරනවාට වඩා දියණියගේ වේදනාව ගැන අවධානය යොමු වේ යැයි සිතමිනි.

චීනයේ යුනාන් ප්‍රාන්තයේ සාම්ප්‍රදායික “නෙළුම් පාවහන්” (lotus shoes) පැළඳි කාන්තාවන් දෙදෙනෙක්. (Michael S. Yamashita/CORBIS)

මෙම චාරිත්‍රය මගින් පාද වර්ධනය වීම වළක්වාලන අතර පැරණි චීන කාන්තාවන්ගේ පාද වල දිග අඟල් තුනකට හෝ හතරකට සිමා විය.මෙලෙස වර්ධනය අඩාල කරන ලද පාද සියපත්වලට සමාන කල අතර අඟල් තුනකට වර්ධනය සීමාවූ පාද ස්වර්ණමය සියපත් ලෙස සහ අඟල් තුනත් හතරත් අතර පාද රිදීමය සියපත් ලෙස වර්ණනා කරන ලදී.

මෙහි ඇති සාමාජීය තත්ත්වය කුමක්ද?

චීනයේ මධ්‍යම හා ඉහළ පන්තියේ  පවුල්වල පිරිස් මෙම චාරිත්‍රය ආරම්භ කරන ලද අතර එම සමාජ පන්තීන් විසින් මෙම සම්ප්‍රදාය අනුගමනය කරන ලද්දේ එමගින් කාන්තාවගේ පවිත්‍රත්වය ධනවත්භාවය සහ සශ්‍රිකත්වය  සංකේතවත් කරන නිසාය.පාද බැඳිම ආරම්භ කල පසු කාන්තාවට සාමාන්‍ය ලෙස ඇවිදීමට නොහැකි අතර එමගින් නිරුපනය කරනු ලබන්නේ ධනවත් පුද්ගලයන්ට ඇවිදීමට අනවශ්‍ය අතර ඔවුනට වෙල් යායන්හි ඇවිද ගොස්  මහන්සි වී වැඩ කිරීම  අනවශ්‍ය වේ යන්න මේ මගින් නිරුපනය කරනු ලබයි.

පාද බැඳතැබීම මගින් කාන්තාව යම් මට්ටමකට දුර්වල කරණු ලැබීය.එමගින් අනෙක් කාන්තාවන් මෙන් ඔබ මොබ දිව යාමට නොහැකි තත්ත්වයට පත්වන අතර කාන්තාව තම නිවසටම සීමා වන නිසාවෙන් ඇය තම ස්වාමියා මත යැපීමට සිදුවන අතර සමාජය සමඟ මුහුවීමට චීන කාන්තාවන්ට හැකියාවක් නොමැති නිසාවෙන් අසම්මත සම්බන්ධතා ඇති වීමට ඇති අවස්ථාවන්ට ඉඩක් නොමැති යහපත් පවුල් ජිවිතයක් ගත කිරීමේ හැකියාව මේ මගින් ලැබෙන බවට ඔවුන් විශ්වාස කරනු ලැබීය.

සූ ගුයිසෙන් නැමති චීන ජාතික කාන්තාවක් තමාගේ පා බැඳීමෙන් විරූපී වූ පාද පෙන්වමින් (AP)

ඉහතින් සදහන්  කල ආකාරයට මෙම චාරිත්‍රය ආරම්භ වුයේ චීන සමාජයේ ඉහළ පන්තියේ මධ්‍යම පන්තික පවුල් වල කාන්තාවන්ය.එයට හේතුව වුයේ ඔවුන්ගේ පන්තියේ ගෞරවය හා සාමාජීය පැවැත්ම අනෙක් සමාජ පන්ති  ඉක්මවා පවතින බව පිළිබිඹු කිරීමටය.නමුත් පසු කාලීනව දුගී පවුල්වල මව්පියන් විසින් තම දියණිවරුන් මෙම සම්ප්‍රදායෙන් බැඳ තබන ලදී.එයට හේතුව වුයේ තම දියණිය පොහොසත් පවුලක පිරිමියෙක් හා විවාහ කරදී ඇයගේ අනාගතය යහපත් කිරීම සදහාය.පසුකාලීනව මෙම චාරිත්‍රය කාන්තාවක් විවාහයක් සදහා යෝජනා කිරීමේදී ඇයගේ පාද බැද තබා තිබේදැයි පරික්ෂාකිරීම ආරම්භකල අතර චාරිත්‍රය අනුගමනය නොකළ කාන්තාවන් සමඟ විවාහවීමට චීන පිරිමින් ප්‍රතික්ෂේප කරන ලදී.එය ආසියානු සමාජයේ විවාහයේදී කන්‍යාබාවය පරික්ෂාකිරීම හා සමාන බවට පැරණි චීන රචකයන් සදහන් කරයි.මෙම සම්ප්‍රදායට චීන සමාජය තුළ වැදගත් තැනක් හිමිවූ බවට මෙමගින් පැහැදිළි වන අතර ඒ හේතුවෙන් අවුරුදු 4ක වයසේ සිට මියයන තුරු මෙම වේදනාකාරී චාරිත්‍රය ඉටු කිරීමට හා එය අඛණ්ඩව පවත්වාගෙන යාමට සිදු විය.

චාරිත්‍රය ඉටුකරන ලද කාන්තාවන්ගේ අත්දැකීම් හා අතුරු ප්‍රතිපල

දැනට චීනයේ ඉතිරිව සිටින තම ජිවිතයේ අවසන් සමය ගතකරන වයෝවෘද්ධ කාන්තාවන් විසින් මෙම චාරිත්‍රය වේදනාකාරී අත්දැකීමක් ලෙස විස්තර කරනු ලබයි.දිනපතා මෙලෙස පාද තද කර බැඳිම හේතුවෙන් ඇවිදයාම අපහසු වුයේ ඇවිදීම නිසා පාද වේදනාවට් හා රුධිරය පවා ගලායාම නිසාවෙනි එමෙන්ම මෙම කාන්තාවන් පවසන්නේ තැන විසින් එම චාරිත්‍රය අනුගමනය කිරීම ගැන පසුතැවිලි වන බවය.මෙම චාරිත්‍රය හේතුවෙන් ඔවුන් නිවසටම කොටු වූ පිරිසක් වූ බව පවසන්නේ වේදනාත්මක ස්වරයකිනි.

“නෙළුම් පාවහන්” යුගලයක් (Pinterest)

බඳින ලද පාද දිනපතා පිරිසිදු කිරීම අපහසු වන අතර පාද දිනපතා පිරිසිදු නොකරයි.ඒ නිසා අස්ථි බිඳින ලද ස්ථාන වල  තුවාල තුළින් රුධිරය ගැලීම නිසා පාද ආශ්‍රිත අසාත්මිකතාවලට ගොදුරු වේ.මෙලෙස පාද බැඳිමෙන් පසුව නිසි පරිදි ඇවිදීමට අපහසු අතර පහසුවෙන් ගෙදර දොර කාර්යයන් පවා ඉටු නොකර ගත හැකිය.දීර්ඝ කාලයක් තිස්සේ පාද බැඳිම නිසා කාන්තාවන්ගේ ශරීරයේ බර වැඩිවීම සමඟ පාද දෙකට නිසි පරිදි ශරීරයේ බර දරාගැනීමට නොහැකි හේතුවෙන් කොදු නාරටිය ආශ්‍රිත රෝග හටගනී.එමෙන්ම වයෝවෘද්ධ වීමත් සමඟ ආසනයක අවශ්‍යතාවය මතුවන්නේ ස්වල්ප වෙලාවක් හෝ සිටගෙන සිටීමට අපහසු වීම නිසාවෙනි.

සාමාන්‍ය කාන්තා පාවහන් යුගලක් සමඟ පාද බැඳීමට යොදා ගන්නා සම්ප්‍රදායික පාවහන් යුගලක්. (Ripley’s Believe It Or Not)

මෙම චාරිත්‍රය ශාරීරික වශයෙන් වේදනාත්මක වූ අතර,සාමාජිය වශයෙන් ඇය කුඩා අවධියේ සිටම විවාහය සදහා පමණක් සුදානම් කළ අතර,විවහයෙන් පසු ඇය නිවසටම කොටුවූ ජිවිතයක් ගත කල බව මෙමගින් හෙළි වේ විවාහයෙන් පසුව දිගින් දිගටම මෙම පීඩාකාරී චාරිත්‍රය අනුගමනයෙන් පසුව වේදනාත්මක ජිවිත ඔවුන් මරණයෙන් අවසන් කරන ලදී.චීනය තුළ පසුකාලීනව මෙම චාරිත්‍රය තහනම් කල නමුත් චාරිත්‍රය අනුගමනය කරමින් ජිවිතයට අවසන් තිත තැබූ කන්ත්වන්ගේ ජිවිත කොතරම් පීඩාකාරී වන්නට ඇත්තද?

 

කවරයේ ඡායාරූපය: Jo Farrell

මූලාශ්‍ර

  1. www.smithsonianmag.com
  2. www.huffingtonpost.com
  3. www.businessinsider.com