ලෝකය මවිත කළ සාම්ප්‍රදායික ජපන් කලාවන්

සියවස් ගණනාවක් තිස්සේ සාම්ප්‍රදායික ජපන් කලාවන්, ජපන් වැසියන් පමණක් නොව සමස්ත ලෝකය ම මවිතයට පත් කරමින් සොඳුරු රටාවන් බිහි කිරීමට පදනම සැපයූ මූලාශ්‍රයක් බව පැවසීමේ වරදක් නැහැ. එයට බොහෝ විට හේතු වී ඇත්තේ ජපන් කලා ශිල්ප සියල්ලක් ම පාහේ දුටුවන්ගේ නෙත් ඇද ගන්නා සරල මෝස්තරයන්ගෙන් සමන්විත වීම යි. මේ ලිපිය, අලංකාර මල් සැකසුම් ලොවට දායද කළ ‘ඉකෙබනා’ කලාවේ සිට මනෝඥ සුන්දරත්වයක් කැටි කර ගත් ‘තේ චාරිත්‍රය’ දක්වා විහිදී යන සාම්ප්‍රදායික ජපන් කලාවන්ට නියමුවක්.

‘ෂොදෝ’ නම් විචිත්‍ර අක්ෂර කලාව

(© Timothy Clear) ප්‍රාථමික ජපන් විචිත්‍ර අක්ෂර

සාම්ප්‍රදායික ජපන් කලාවන් අතර ඉහළින් ම වැජඹෙන විචිත්‍ර අක්ෂර කලාව හෙවත් අභිලේඛන විද්‍යාව, ‘ෂොදෝ’ ලෙස හඳුන්වනු ලබනවා. ජපන් කන්ජි අක්ෂර මාලාව සමග අදින් සහස්‍රයකට පමණ පෙර හේයන් කාල සීමාවේ දී චීනයෙන් රැගෙන එන ලද විසිතුරු ජපන් අකුරු රටාවන් ආකාර කිහිපයකින් යුතු වෙනවා. ඒ අතරින් වඩාත් ජනප්‍රිය ‘සොෂෝ’ හෙවත් ‘තෘණ අකුරු මෝස්තරය’ බහුල වශයෙන් යොදා ගන්නේ කලාත්මක හෝ කාව්‍යමය අත්පිටපත් සකස් කිරීම සඳහා යි. ‘කයිෂෝ’ හෙවත් ‘චතුරස්‍ර මෝස්තරය’ අනුව ලියන ලද අක්ෂර, මුද්‍රිත අකුරු මෙන් දිස් වන අතර වඩාත් ඉක්මනින් සහ පින්සල මත දැඩි පීඩනයක් නොයොදා ලියනු ලබන අකුරු, ‘ග්යෝෂෝ’ හෙවත් ‘අර්ධ අභිලේඛන’ හැඳින්වෙනවා. මුල් කාලයේ දී විචිත්‍ර අක්ෂණ ලිවීමේ කලාව හැදෑරීමේ අවස්ථාව හිමි වුණේ ඉහළ පන්තියට පමණක් වුවත්, වර්තමානයේ දී එය ප්‍රාථමික පාසල් තුළ අනිවාර්ය විෂයයක් බවට පත් වී අවසන්.

සොඳුරු මල් සැකසුම් කලාව හෙවත් ‘ඉකෙබනා’

(© Christy Gallois) ‘මොරිබනා’ ක්‍රමයට නිර්මාණය කළ මල් සැකසුමක්

වීදි දෙපස අලෙවිය සඳහා තබා ඇති දීප්තිමත් වර්ණැති සංකීර්ණ මල් සැකසුම් මෙන් නොව ස්වභාවික පැළෑටියක් සතු කොටස් සියල්ලක් ම පාහේ යොදා ගනිමින් සරල මෝස්තරයන්ට අනුව නිර්මාණය කරන සාම්ප්‍රදායික ජපන් මල් සැකසුම් කලාව හැඳින්වෙන්නේ ‘ඉකෙබනා’ ලෙස යි. සාර්ථක ‘ඉකෙබනා’ මල් සැකසුමක ප්‍රධාන අංග ලෙස වර්ණ, ආකෘතිය, පිළිවෙළ, සහ ශාක කොටස් අතර සමතුලිත බව සැලකෙනවා. සියවස් 7ක පමණ ඉතිහාසයකට උරුමකම් කියන ‘ඉකෙබනා’මල් සැකසුම් කලාව ආකාර කිහිපයකින් සමන්විත යි. උසැති නටුවක් සහිත මල් යොදා ගනිමින් සකස් කරන මල් සැකසුම් ‘රික්කා’ ලෙස ද, ජීවී පැළෑටි භාවිතා කරමින් නිර්මාණය කරන මල් සැකසුම් ‘සෙයිකා’ නැතහොත් ‘ෂෝකා’ ලෙස ද හඳුන්වන අතර, සිහින් උසැති බඳුනක් යොදා ගනිමින් නිමවා ඇති මල් සැකසුම් ‘නගෙයිරෙ’ ලෙස ද, බඳුනේ හැඩය දීසියකට සමාන වන්නේ නම් එකී මල් සැලසුම් ‘මොරිබනා’ ලෙස ද හඳුන්වනවා.

උකියොඒ හෙවත් දැව අච්චු මුද්‍රණය

(© Metropolitan Museum of Art) ‘උකියොඒ’ ක්‍රමයට හොකුසායි විසින් අඳින ලද ‘The Great Wave Off Kanagawa’

‘පාවෙන ලෝකයේ පින්තූර’ යන අරුතින් ‘උකියොඒ’ ලෙස හැඳින්වෙන දැව අච්චු යොදා ගනිමින් සිතුවම් ඇඳීමේ කලාව බිහි වී ඇත්තේ 16 වැනි සියවසේ අවසන් කාලයේ දී යි. මුල් කාලයේ දී කියෝතෝ නුවර එදිනෙදා ජන ජීවිතය නිරූපණය වන සිතුවම් නිර්මාණය සඳහා යොදා ගන්නා ලද ‘උකියොඒ’ කලාව, 18 වැනි සියවස වන විට ජනප්‍රිය චිත්‍ර කලාවක් ලෙස ජපානය පුරා ව්‍යප්ත වී තිබෙනවා. කළු පැහැ තීන්ත පමණක් යොදා ගනිමින් අඳින ලද සරල සිතුවම් මඟින් ඇරඹුණු ‘උකියොඒ’ කලාව ක්‍රමයෙන් වර්ධනය වී ඇත්තේ නොයෙක් පැහැ වර්ණයන් පමණක් නොව සංකීර්ණ සිතුවම් පවා එයට ඇතුළු කරමින්. ‘උකියොඒ’ කලාවට අනුව සිතුවමක් නිර්මාණය කිරීමේ දී අනුගමනය කළ යුතු ප්‍රධාන පියවර ත්‍රිත්වයක් පවතිනවා. ඒ අනුව පළමුව තීන්ත යොදා ගනිමින් සිතුවමක් සැලසුම් කළ යුතු අතර, එය දැවමය පුවරුවක් මත කැටයම් කර ගත යුතු යි. අවසානයේ දී දැවමය අච්චුවට වර්ණවත් තීන්ත අලේප කර එය කඩදාසියක් මත තබා තෙරපීම සිදු කරනවා.

නෙත් පිනවන ජපන් ලාක්ෂා භාණ්ඩ: ෂික්කි

(© Yamada Heiando) ‘ෂික්කි’ භාණ්ඩ එකතුවක්

එය සතු රමණීය බව සහ කල් පැවැත්ම හේතුවෙන් ලොව පුරා ජනප්‍රිය ජපන් ලාක්ෂා භාණ්ඩ නිර්මාණය කිරීමේ කලාව සහස්‍ර ගණනාවක් දක්වා ඈතට දිව යන අතර, එහි මූලික අරමුණ වන්නේ භාණ්ඩ නිර්මාණය සඳහා යොදා ගන්නා ලද දැවයේ ස්වභාවික සුන්දරත්වය ආරක්ෂා කරගැනීම යි. ‘ෂික්කි’ නිපදවීම සඳහා බහුල වශයෙන් කාල වර්ණ දැව හෝ පොයිසන් ඕක් දැව යොදා ගන්නවා. නිර්මාණය කර ගන්නා දැව භාණ්ඩයේ දුම්මල ආලේප කිරීමට පෙර එය වර්ණවත් සිතුවමින් අලංකාර කිරීමට ජපන් වැසියන් කටයුතු කරන අතර, අවසන් නිමැවුම සෑම විට ම දිලිසෙන සහ මටසිලිටු ස්වභාවයකින් යුතු යි.

මනෝඥ සුන්දරත්වයක් කැටි කර ගත් ‘තේ චාරිත්‍රය’

(© KOTO) ‘තේ චාරිත්‍රය’ ඉටුකරන ජපන් කතක්

සහස්‍රයකට පමණ පෙර හේයන් කාල සීමාවේ දී ජපන් වංශවතුන්, ඉහළ නිලයන් දැරූ අමුත්තන් සඳහා තේ පිළිගැන්වීමේ දී අනුගමනය කළ ‘තේ චාරිත්‍රය’ කාලය ගත වන විට මුද්‍රානාට්‍යමය ස්වරූපයක් ගන්නා සාම්ප්‍රදායික පිළිවෙතක් බවට පත් වී ඇති බව පැවසීමේ වරදක් නැහැ. සාම්ප්‍රදායික ජපන් රසකැවිලි සමග ‘මච්චා’ නම් ජපන් හරිත තේ පිළිගන්වන ‘තේ චාරිත්‍රය’ ඉටුකිරීමේ දී තේ පිළිගන්වන අයගේ සම්පූර්ණ අවධානය නිශ්චිත චලනයන් කිහිපයකට පමණක් යොමු කළ යුතු අතර, එහි මූලික අරමුණ වන්නේ තේ පානය නොව තේ බඳුන සැකසීම නරඹන අයෙක්ට හිමි වන සෞන්දර්යාත්මක වින්දනය යි. එසේ ම ‘තේ චාරිත්‍රය’ ඉටුකිරීමේ දී තේ පැන් සකස් කරන අය, සෞම්‍ය වර්ණයෙන් යුතු ඇඳුමෙන් සැරසී ‘ටටාමි’ පැදුරක් එළන ලද සාම්ප්‍රදායික තේ කාමරයේ සිට එය සිදු කරනවා.

සුවඳ සොයා යන කෝදෝකලාව

(© Thos Robinson / Getty Images) ‘කෝදෝ’ චාරිත්‍රයේ අවස්ථාවක්

දල්වන ලද ජපන් සුවඳ කූරු මඟින් වහනය වන සුගන්ධය ආඝ්‍රාණය කරමින් එය අගය කිරීම, ‘කෝදෝ’ ලෙස හැඳින්වෙනවා. නරා සමයේ දී බෞද්ධ චාරිත්‍රයක් එය ආරම්භ වී ඇත්තේ පන්සල් තුළ සුවඳැති දර දැවීම මඟින්. ස්වභාවික සුවඳැති දර අතිශය දුර්ලභ වූ බැවින් සහ ඇතැම් විටෙක දර තුළට සුවඳ උරා ගැනීම සඳහා සියවස් ගණනාවක් ගත වන බැවින්, ජපන් වැසියන් සුවඳ කූරු නිෂ්පාදනය අරඹා ඇති අතර, ඔවුන්ගේ විශ්වාසය වන්නේ ‘කෝදෝ’ කලාව අනුගමනය කිරීම මඟින් පංචේන්ද්‍රියන් තියුණු වීම, සිරුර සහ මනස පිරිසිදු වීම, පරීක්ෂාකාරී බව ඉහළ යාම, තනිකම් දෝෂ ඉවත් වීම වැනි ප්‍රතිලාභ හිමි වන බව යි.

 

කවරයේ පින්තූරය: © Pinterest

Related Articles