ලොව ඒ ඒ මහාද්වීපවල උස්ම ස්ථානයන් 7

ලෝකයේ ප්‍රධාන වශයෙන් මහාද්වීප 7ක් පිහිටා තිබෙනවා. ඒවා භූගෝලීය මෙන්ම පරිසර සාධක අතින් ද අනන්‍ය වූ වෙනස්කම් වලින් යුක්ත යි. මේ සටහන ඒ සෑම මහාද්වීකයකම පියස්ස හෙවත් උසම ස්ථානය ගැන යි.

ආසියාව – එවරස්ට් කන්ද

worldatlas.com

එවරස්ට් කන්ද ආසියාවේ පමණක් නොව ලොව උසම ස්ථානය යි. මුහුදු මට්ටමේ සිට මීටර 8,848ක් හෙවත් අඩි 29,035ක උපරිම උසක් ඇති මෙය නේපාල- චීන දේශ සීමාවෙහි පිහිටා තිබෙනවා. එවරස්ට් කඳු නගින්නන් අතර ජනප්‍රිය ස්ථානයක් වන අතර මෙය මුලින්ම තරණය කළේ 1953 වසරේ දී නවසීලන්ත ජාතික එඩ්මන් හිලරි හා නේපාල ජාතික ටෙන්සින් නෝර්ගේ විසිනුයි.

අප්‍රිකාව – කිලිමන්ජාරෝ

bookmundi.com

කිලිමන්ජාරෝ අප්‍රිකා මහද්වීපයේ පිහිටි උසම ස්ථානය යි. ශේෂ කන්දක් වන මෙය අක්‍රීය යමහලක් ද වන අතර මෙහි ශිරා, කිබෝ, උහුරු නම් කේතු ආකාර ශීර්ෂයන් 3ක්  පිහිටා තිබෙනවා. මෙහි උපරිම උස මුහුදු මට්ටමේ සිට මීටර 5,895ක් හෙවත් අඩි 19,340ක් වෙනවා. මෙය මුලින්ම තරණය කර තිබෙන්නේ 1889 වසරේ දී හාන්ස් මේයර් හා ලුඩ්විග් පර්ෂෙලර් නම් දෙදෙනකු විසිනුයි.

උතුරු ඇමෙරිකාව – මැකෙන්ලි කන්ද

brushbucktours.com

උතුරු ඇමෙරිකා මහාද්වීපයේ උසම ස්ථානය වන්නේ මැකෙන්ලි කන්ද යි. ඇලෙස්කාවේ පිහිටා ඇති මෙහි උස මුහුදු මට්ටමේ සිට මීටර 6,168ක් හෙවත් අඩි 20,237ක් වෙනවා. මෙය මුලින්ම සාර්ථකව තරණය කර ඇත්තේ වෝල්ටර් හාපර් නම් ඇලෙස්කානු වැසියෙක් විසිනුයි.

දකුණු ඇමෙරිකාව – ඇකොන්කාගුආ

Wikimedia commons

ඇන්ඩීස් කඳු පන්තියට අයත් ඇකොන්කාගුආ ශීර්ෂය ලතින් ඇමෙරිකා මහාද්වීපයේ උසම ස්ථානය යි. මෙය මුහුදු මට්ටමේ සිට මීටය 6,960ක් හෙවත් අඩි 22,834ක උසකින් පිහිටා තිබෙනවා. මෙය පිහිටා ඇත්තේ ආජන්ටිනා දේශසීමාව තුළ යි. ඇකොන්කාගුආ මුලින්ම සාර්ථකව තරණය කර ඇත්තේ 1897 වසරේ දී ස්විස් ජාතික කඳු තරණය කරන්නෙකු වන මතායස් සර්බ්‍රිගන් විසිනුයි.

යුරෝපය – එල්බ්‍රස් කන්ද

rbth.com

යුරෝපයේ උසම ස්ථානය වන්නේ රුසියාව තුල පිහිටා ඇති එල්බ්‍රස් කන්ද යි. එය මුහුදු මට්ටමේ සිට අඩි 18,510ක් හෙවත් මීටර 5,642ක උසකින් පිහිටා තිබෙනවා. මෙහි ප්‍රධාන වශයෙන් ශීර්ෂයන් 2ක් පිහිටා ඇති අතර ඉන් පහහතින් පිහිටි ශීර්ෂය 1829 වසරේ දී කිලාර් කචිරොව් විසිනුත්, ඉහළින් පිහිටි ශීර්ෂය එෆ්. ක්‍රෝෆඩ් ග්‍රෝව් ඇතුළු පිරිසක් විසින් 1874 වසරේ දීත් මුලින්ම සාර්ථකව තරණය කළා.

ඕස්ට්‍රේලියාව – කොසියුෂ්කෝ කන්ද

oversixty.com.au

සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියා මහාද්වීපය තුළ අනෙක් මහාද්වීපවල තරම් උස් කඳු පන්ති පිහිටා නැහැ. ඕස්ට්‍රේලියානු මහාද්වීපයේ උසම ස්ථානය වන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පිහිටා ඇති කොසියුෂ්කෝ කන්ද යි. මෙහි මුදුන මුහුදු මට්ටමේ සිට මීටර 2,228ක හෙවත් අඩි 7,310ක උසකින් පිහිටා තිබෙනවා. මෙය මුලින්ම සාර්ථකව තරණය කර ඇත්තේ පෝලන්ත ජාතිකයෙකු වන පාවෙල් ස්ට්‍රෙසෙලෙකි විසිනුයි.

ඇන්ටාක්ටිකාව – වින්සන් කඳු පන්තිය

Linden Mallory

ඇන්ටාක්ටිකාවේ උසම ස්ථානය ලෙස සැලකෙන්නේ වින්සන් කඳු පන්තිය යි. මෙහි උසින් වැඩිම ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර 4,897ක් හෙවත් අඩි 16,066ක උසකින් පිහිටා තිබෙනවා. ඇමෙරිකානු ජාතික නිකලස් ක්ලින්ච් ඇතුළු පිරිසක් 1966 වසරේ දී මෙය මුලින්ම සාර්ථකව තරණය කළා.

කවරයේ පින්තූරය- en.wikipedia.org/CC BY-SA 2.0

Related Articles