Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සමාජය ප්‍රතික්ෂේප කරන අමුතුම ජීවන රටාව, “හිකිකොමෝරි”

බාහිර ලෝකයේ තරගකාරීත්වය නිසා හටගන්නා ආතතිය සහ පීඩනයෙන් මොහොතකට ගැලවී සිටිමට උත්සාහ කිරීම ඉතා සාමාන්‍ය දෙයක්. කෙටි වේලාවකට බාහිර ලෝකයෙන් හුදෙකලා වී මානසික සහනයක් ලබා දෙන ක්‍රියාකාරකමක යෙදීම උග්‍ර ආතතිය, අසනීප, සහ වෙහෙස වළක්වා ගැනීමට අපට උපකාරී වෙනවා. පුද්ගල අනන්‍යතාවය සහ ඉදිරි අරමුණු ගැන ගැඹුරින් සිතා බැලීමටත් මේ තාවකාලික හුදෙකලාව අපට ප්‍රයෝජනවත්. නමුත්, වසර ගණනාවක් තිස්සේ කාමරයකට වැදී හුදෙකලා ජීවිතයක් ගත කරන මිනිසුන් ගැන ඔබ අසා තිබෙනවා ද?

එක්කෙනෙකු, දෙදෙනෙකු නොව මිනිසුන් පන්ලක්ෂයක් පමණ මෙම ජීවිතය තෝරාගත් තැනක් ලෝකයේ තිබෙනවා. ඒ තමයි ජපානය. ජපානයේ මෙම ජීවන විලාසයටත්, එය අනුගමනය කරන පුද්ගලයන්ටත් විශේෂ නමක් පවා තිබෙන අතර, එය “හිකිකොමෝරි” ලෙස හඳුන්වනවා. ‘සම්පූර්ණයෙන් ඈත්වීම හා මුළුමනින්ම තමා තුළට නැඹුරු වීම’ වැනි අර්ථයක් “හිකිකොමෝරි” වචනය තුළ ගැබ් වී තිබෙනවා.

හිකිකොමෝරි ජීවිතයට හුරුවූ පුද්ගලයෙක්/nhk.or.jp/

මෙම ජීවන විලාසය තෝරාගත් පුද්ගලයන් බොහෝවිට පිරිමින්. සමාජය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් කාමරයකට වැදී කාලය ගත කරන ඔවුන්, මුළුමනින්ම දෙමාපියන් මත යැපෙනවා. 2016 දී ජපාන රජයේ සංගණනයකට අනුව වයස අවුරුදු 15-39 අතර සිටින හිකිකොමෝරි පුද්ගලයන් 540,000ක් පමණ වාර්තා වුණා. නමුත් එම සංඛ්‍යාව ඉදිරියේ දී මිලියන දහයක් දක්වා වැඩි විය හැකි බව මත පළ වෙනවා.

මානසික රෝගයක් ද?

ජපානයේ තරුණ ප්‍රජාව මෙසේ සමාජයෙන් ඉවත් වීමේ ගැටලුව මුලින්ම අවධානයට ලක් වුණේ 1990න් ඇරඹුණු දශකය තුළ යි. එකල යම් ආර්ථික පසුබෑමකට ජපානය මුහුණ දෙමින් සිටි නිසා බොහෝ තරුණ තරුණියන්ට තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට නොහැකි වුණා. එයින් ඔවුන්ට දැනුණ ලැජ්ජාව ඔවුන් සඟවා දැමුවේ සමාජයෙන් සැඟව සිටීමෙන්. නමුත් හිකිකොමෝරි තත්ත්වය මානසික සෞඛ්‍ය රෝග විනිශ්චයට යොදා ගන්නා නිර්ණායක සමග නොගැලපෙන බව සඳහන් වෙනවා.

වර්තමානයේ දී හිකිකොමෝරි සැලකෙන්නේ මානසික රෝගයකට වඩා සමාජ-සංස්කෘතික මානසික සෞඛ්‍ය සංසිද්ධියක් ලෙස යි. හිකිකොමෝරි තත්ත්වයේ මූලික ලක්ෂණ කිහිපයක් තිබෙනවා. අදාල පුද්ගලයා අවම වශයෙන් මාස හයක්වත් (ඇතැම් අය වසර කිහිපයක්) තම නිවසේ ශාරීරිකව හුදෙකලා වීම, අර්ථවත් සමාජ සබඳතාවලින් සම්පූර්ණයෙන් ඈත් වීම, සැලකිය යුතු මානසික පීඩාවකින් සහ අවම ක්‍රියාකාරීත්වයකින් යුතුව ජීවත් වීම, එනම්, යමෙකු සමග එකට වැඩකළ යුතු කාර්යයන් මඟ හැරීම, තම අවශ්‍යතාවලට පමණක් මූලිකත්වය දීම වැනි ලක්ෂණ හිකිකොමෝරි පුද්ගලයන් තුළ දක්නට ලැබෙනවා. අද මෙම තත්ත්වය ජපානයට සමාජ ගැටලුවක් වන තරමටම බලපා තිබෙනවා. වෙනත් රටවල්වලිනුත් හිකිකොමෝරි මිනිසුන් හඳුනාගෙන තිබෙනවා.

තරගකාරී සහ ඒකාකාරී ජීවන රටාවත් හිකිකොමෝරි සඳහා සාධකයක්/blog.gaijinpot.com/

හිකිකොමෝරි ජනතාව ශාරීරික හුදකලාව සමග, සමාජීය ජීවිතයෙන් ද ආන්තික මානසික වෙන්වීමක් පෙන්නුම් කරනවා. ක්‍රියාකාරී සමාජ අන්තර්ක්‍රියා අපේක්ෂා කරන පාසල් හෝ රැකියා ස්ථාන සමග මෙම පුද්ගලයන්ට කටයුතු කළ නොහැකි යි. ඔවුන් තම නිවසින් පිටත සිටියත්, නැතත්, අවට සිටින සමාජයෙන් සම්පූර්ණයෙන් විසන්ධි වූ පිළිවෙතක් අනුගමනය කරනවා. “සොටෝ-කොමෝරි” ලෙස හඳුන්වන සමහර හිකිකොමෝරි පුද්ගලයින්ට සමහර පිටත ක්‍රියාකාරකම් කළමනාකරණය කළ හැකි වුව ද, ඔවුන් මිනිසුන් සමග කටයුතු කරන්නේ කලාතුරකින්. සමහරු ලෝකයට විවෘත වෙන එකම කවුළුව ලෙස භාවිතා කරන්නේ අන්තර්ජාලය පමණ යි.

හිකිකොමෝරි පිටුපස ඇති හේතු

පර්යේෂණවලට අනුව ලැජ්ජාව සහ පරාජය පිළිබඳ කම්පන සහගත අත්දැකීම්වලට ලක් වූ පුද්ගලයන් හිකිකොමෝරි තත්ත්වයට පත් වීමේ අවදානමක් තිබෙනවා. ජපානයේ සංස්කෘතික වටිනාකම් පද්ධතිය තුළ පවතින ලජ්ජාවට ඇති සමාජ බිය, ඒකාකාරී රටාවක් අනුගමනය කිරීමට පුද්ගලයන්ට කරන බලපෑම ආදිය මෙම තත්ත්වයට තවත් රුකුල් දෙන්න පුළුවන්. ඔටිසම්, මානසික අවපීඩනය, සමාජ කාංසාව, සහ ඇගොරෝෆෝබියා වැනි මානසික ව්‍යාකූලතා සමග හිකිකොමෝරි තත්ත්වයේ සම්බන්ධයක් තිබේ ද යන්න ගැන මේ වන විට අධ්‍යයනයන් සිදු කෙරෙනවා.

හිකිකොමෝරි ජීවන රටාව, සාමාන්‍ය පුද්ගලයෙකුගේ ජීවන රටාවෙන් වෙනස් වෙන්නේ මෙහෙම යි/nippon.com/

අද ජපානයේ පවුල් සංඛ්‍යාව කොතරම් වැඩි වුණත්, බොහෝවිට පවුලේ සිටින්නේ එක දරුවෙකු පමණ යි. ඔවුන් මත සිය සියලු බලාපොරොත්තු සහ සිහිනවල බර පැටවීමට දෙමව්පියන් කටයුතු කරනවා. එම දරුවා පුතෙකු නම් මෙම බලපෑම තවත් වැඩි යි. එමෙන්ම ජපානය ද සාමූහික මනසකින් වැඩ කරන සමාජයක සිට වඩාත් පුද්ගලවාදී ස්වභාවයකට පරිවර්තනය වෙමින් තිබෙනවා. මේ සියලු කාරණා හමුවේ එන සමාජ පීඩනයට එරෙහිව දක්වන ප්‍රතිචාරයක් ලෙසත් හිකිකොමෝරි තත්ත්වය හැඳින්විය හැකි යි.

හිකිකොමෝරි සහ මිකා එලන්ගේ කැමරාව

වියට්නාම ජාතිකයෙකු වන මිකා එලන් ටෝකියෝ නගරයේ සිටි මාස හයක කාලය තුළ අපූරු වැඩක් පටන් ගන්නවා. හිකිකොමෝරි ජීවන රටාව ගැන දැනගත් එලන්, මෙවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක නිලධාරියෙකු වන ඔගුරි අයකෝ සමග සම්බන්ධ වෙනවා. ඔගුරිගේ උපකාරය ඇතුව හිකිකොමෝරි ජීවන රටාව අනුගමනය කරන පුද්ගලයන්ට සමීප වන එලන්, ඔවුන්ගේ ඡායාරූප පවා ලබා ගැනීමට සමත් වෙනවා. වඩා වැදගත් කරුණ වන්නේ ඔවුන් මෙලෙස සමාජය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමින් කාමරයකට කොටු වීම පිටුපස තිබෙන හේතූන් අනාවරණය කර ගැනීමට එලන්ට හැකි වීම යි. හිකිකොමෝරි පුද්ගලයන් කිහිපදෙනෙකු එම තත්ත්වය තෝරා ගැනීමට පාදක වූ හේතූන් කීපයක් මෙසේ යි:.

තිස් හැවිරිදි රිකී කුක්, ඇමරිකානු ජාතික පියෙකු සහ ජපන් මවකට ඉපදුණු තරුණයෙක්. ඔහුගේ පවුල ප්‍රධාන වශයෙන් හවායි දූපත්වල ජීවත් වෙන අතර, රිකී ජපානයේ තනිවම ජීවත් වෙනවා. රිකී කැපී පෙනෙන හෝ වෙනස් දේවල් කිරීමට කැමති කෙනෙකු වුණත්, ඒවායින් අසාර්ථක වේයැ යි බිය වූ පුද්ගලයෙක්.

සාමාන්‍ය පුද්ගලයෙකු සහ හිකිකොමෝරි පුද්ගලයෙකු නිවසේ ක්‍රියාකාරකම්වල යෙදෙන අයුරු/nippon.com/

විසි හතර හැවිරිදි චුජෝ වසර දෙකක් තිස්සේ කාමරයකට කොටුවී ජීවත් වෙනවා. ඔපෙරා ගායකයෙකු වීමට සිහින දැක්ක චුජෝට එම සිහිනය යථාර්තයක් කර ගැනීමට නොහැකි වෙනවා. ඒ වෙනුවට, පවුලේ වැඩිමලා වශයෙන් තම දෙමාපියන්ගේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න චුජෝට සිදු වෙනවා. වසරක් පමණ කාර්යාලයයක සේවය කළ ඔහු එයින් කොතරම් ආතතියට පත්වීද යත්, උදර වේදනාවකින් පවා පීඩා වින්දා. තමාට කැමති ඕනෑම දෙයක් සිදු කිරීමේ පුරුද්ද ඇති සිය බාල සොහොයුරා සමග තමා සැසඳීමට චුජෝ පුරුදුව සිටියා. පවුලේ පීඩනය මැද ලැජ්ජාවට පත් ඔහු, අවසානයේ දී හිකිකොමෝරි පුද්ගලයෙක් බවට පත් වෙනවා.

හතළිස් තෙහැවිරිදි ෂෝකු උයිබොරි අවුරුදු හතක් තිස්සේ කාමරයක කොටු වී ජීවත් වෙනවා. ඇතැම් රාත්‍රීන්වල අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීමට පමණක් ෂෝකු එළියට එනවා. හිකිකොමෝරි ජීවන රටාවට ඇතුළු වීමට කලින් ව්‍යාපාරිකයෙක් වූ ෂෝකු, පසුකලෙක බංකොලොත් වෙනවා

කෙසේ නමුත් හිකිකොමෝරි පුද්ගලයන් සමාජයෙන් ප්‍රතික්ෂේප වෙන නිසා, ඔවුන් ඒ තත්ත්වයට පත් වීම පිටුපස ඇති සම්පූර්ණ සත්‍යය අනාවරණය කර ගැනීමත් පහසු කටයුත්තක් නොවෙයි. ඇතැම් අය කතා කිරීම පවා ප්‍රතික්ෂේප කරනවා. එවන් අය සමග සන්නිවේදනය සිදු වෙන්නේ දොරට යටින් එහා මෙහා යන ලියුම් කෑලිවලින් පමණ යි.

හිකිකොමෝරි තත්ත්වයේ සිටින කාලය අනුව පුද්ගල ප්‍රතිශතය/nhk.or.jp/

විසඳුම් සොයන ජපානය

පොදුවේ ගත්කල, අද පවතින තරගකාරී සහ ඒකාකාරී ජීවන රටාව මේ සඳහා වැඩි වශයෙන් බලපා ඇති බව පෙනී යනවා. ජපානය තුළ මෙම තත්ත්වය සාපේක්ෂව උග්‍ර වීම නිසා හිකිකොමෝරි පුද්ගලයන් වැඩියෙන් බිහි වුණායැ යි සිතිය හැකි යි. මේ පිටුපස ඇති තවත් ගැටලුවක් වන්නේ රටේ ආර්ථිකයට උරදෙන වයස් කාණ්ඩයක පුද්ගලයන් සමාජය ප්‍රතික්ෂේප කරමින් සැඟව සිටීම යි.

හුදෙකලාව නිසා හිකිකොමෝරි පුද්ගලයෙකුට අහිමි වන්නේ ජීවිතයේ වටිනා වසර කිහිපයක් පමණක් නොවේ. මේ තත්ත්වය ඔවුන්ගේ පවුල්වලටත් බලපානවා. සාමාන්‍යයෙන් ජපානයේ දෙමව්පියන් හිකිකොමෝරි ජීවිතයට ඇතුළු වූ තම දරුවන්ගේ මූලික අවශ්‍යතා සැපිරීම සඳහා වසර ගණනාවක් කැප කරනවා. එමඟින්, ඔවුන් මේ හානිදායක ජීවන රටාවෙන් ගලවා ගැනීමට ලැබෙන ස්වභාවික බලපෑම් ද මඟහැරී යනවා.

හිකිකොමෝරි ජීවන රටාව ලෝකයේ අනෙකුත් ‍රටවලත් පැතිරෙන වාතාවරණය තුළ එයින් පුද්ගලයන් වළක්වා ගැනීමේ උත්සාහයත් මීට වඩා දියුණු කළ යුතු යි. ඒ අනුව වඩා හොඳ ප්‍රතිකාර ක්‍රමවල අවශ්‍යතාවය ඉදිරියේ දී මතු වේවි. වර්තමානයේ දී ප්‍රතිකාර වශයෙන් ශාරීරික ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කරවීම, සමාජ අන්තර්ක්‍රියා සඳහා ඇති හැකියාව නැවත ගොඩනැංවීම, රැකියා හෝ අධ්‍යයන කටයුතු සඳහා ක්‍රම ක්‍රමයෙන් ප්‍රවිෂ්ඨ වීමට හුරු කරවීම වැනි ක්‍රියාකාරකම් හිකිකොමෝරි පුද්ගලයන් වෙනුවෙන් සිදු කරනවා. ඔවුන්ගේ හැකියාවන් සහ කුසලතාවලට සමාජ පිළිගැනීම ලැබෙන ක්‍රම සොයාදීම සහ උපකාර කිරීම මඟිනුත් සාධනීය ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිව තිබෙනවා. නිදසුනක් වශයෙන්, ජපන් චිත්‍ර ශිල්පී අට්සුෂි වටනබේ හිකිකොමෝරි තත්ත්වයෙන් මිදීම සඳහා චිත්‍ර හා සමාජ ක්‍රියාකාරිත්වය භාවිතා කළා.

COVID-19  වසංගතයේ බලපෑම

 හිකිකොමෝරි නිසා ජපානයට සමාජ දුරස්ථකරණය ආගන්තුක වුණේ නැහැ/japantimes.co.jp/

වර්තමාන ගෝලීය වසංගත තත්ත්වය හමුවේ හිකිකොමෝරි ජීවන රටාවට නිරායාසයෙන්ම පිළිගැනීමක් ඇතිවීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. විශේෂයෙන් අප බොහෝ දෙනා නිවසේ සිට වැඩ කරන අතර, සමාජගත වීම අන්තර්ජාලයෙන් සිදු වෙනවා. ආසාදනවලට ඇති බිය, රැකියා අහිමිවීම සහ ලොක්ඩවුන් නීති රීති හේතුවෙන් බොහෝ දෙනෙකු අඛණ්ඩව සමාජයෙන් ඉවත්ව එක තැනකට කොටුවීමේ අවදානම මතුව තිබෙනවා.

වසංගතය තුළ වෛරසයෙන් ආරක්ෂා විය යුතු නමුත්, සමාජ සබඳතාවලින් ආන්තික ලෙස ඈත්වීමේ අවදානම ගැනත් අපි අවධානයෙන් සිටීම වැදගත්. රැකියා අහිමි වීම, අනාගත සැලසුම් ප්‍රමාද වීම, අලුත් ආරම්භයක් ගැන සිහින දකින යෞවන යෞවනියන්ගේ අපේක්ෂා භංගත්වය වැනි කරුණු නිසා පීඩාවට පත්වූවන් අප අතරම සිටිය හැකි යි. ඒ නිසා ඉදිරියේදී සමාජය සමග සම්බන්ධ වී අවශ්‍ය උපකාර ඔවුන්ට ලබාගත හැකි මිත්‍රශීලි පරිසරයක් ගොඩනැඟීම අපි සෑමදෙනාගේම වගකීමක් වේවි.

Cover photo: manuelmarangoni.it/

මූලාශ්‍රයයන්: nationalgeographic.com/

theconversation.com/

firstpost.com/health/

Related Articles