Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අප්‍රිකාවෙන් ආ කළු ඇමෙරිකානුවන්ගේ ඉතිහාසය

1619 දී අප්‍රිකාවේ (වර්තමානයේ ඇන්ගෝලාව නමින් හඳුන්වන ප්‍රදේශයේ) ගම්බිම්වලින් පැහැරගන්නා ලද නීග්‍රෝවරුන් පෘතුගීසි වහල් නෞකාවක බලහත්කාරයෙන් නංවා නව ලෝකය වෙත යාත්‍රා කරවීය. යුරෝපීයයන් නව ලෝකය ලෙස හැඳින්වුයේ වර්තමාන ඇමෙරිකාව යි. මෙක්සිකෝ වෙරළට ඔබ්බෙන් ඇතිවූ ගැටුමකින් ඉංග්‍රීසි මුහුදු කොල්ලකරුවන් අතට පත්වන මෙම නෞකාව, පසුකලෙක වර්ජිනියා බවට පත්වූ ඉංග්‍රීසි ජනාවාසයේ “සැනසුම් තුඩුව” වෙත සේන්දුවිය. ඇමෙරිකානු භූමියට අප්‍රිකානුවන් පැමිණි පළමු අවස්ථාව මෙය වූ නමුත්, එය ඔවුන්ගේ කැමැත්තෙන් ආ ගමනක් නොවේ.

අත්ලාන්තික තුන්කොන් වහල් වෙළඳාම

අප්‍රිකානුවන් 350 දෙනෙකු සැන් ජුවාන් බුටිස්ටා පෘතුගීසි වහල් නෞකාවෙන් ආරම්භ කළ භයානක ගමන, ඉංග්‍රීසි මුහුදු කොල්ලකරුවන් හමුවීමටත් පෙරම භීෂණය, සාගින්න සහ මරණයෙන් පිරි එකක් විය. පෘතුගීසි නෞකාවට ගොඩවූ අප්‍රිකානුවන්ගෙන් අඩක් පමණ මියගිය අතර, 1600 සිට 1800 දක්වා කාලයේ දී “තුන්කොන් වහල් වෙළඳාම” හේතුවෙන් මියගිය අප්‍රිකානුවන් සංඛ්‍යාව මිලියන ගණනකි.

Atlantic triangular slave trade
අත්ලාන්තික ත්‍රිකෝණාකාර වහල් වෙළඳාම/Wikipedia 

 

වහල් වෙළඳාම තුන්කොන් එකක් වූ බැවින් එය එනමින් හැඳින්විණි; බටහිර යුරෝපයේ සිට රෙදිපිළි, රම් මත්පැන්, සහ වෙනත් නිමි ද්‍රව්‍ය අප්‍රිකාවට විකුණා ඒ වෙනුවට වහලුන් මිල දී ගනී. ඉන්පසු එම වහලුන් ඇමෙරිකාවට විකුණා සීනි, දුම්කොළ, සහ කපු නැවත යුරෝපයට ගෙන යයි. මෙම තුන්කොන් ගනුදෙනුව සිදුවීමට ස්වභාවික හේතු පවා බලපෑවේ ය. ඉහත ගමන් මාර්ගය ඔස්සේ ඒ ඒ අතට පැවති සුළං දහරා සහ දිය වැල් හේතුවෙන් මේ ගමන පහසු විය. උදාහරණ ලෙස, පළමුව අක්ෂාංශ 30 දක්වා දකුණට ගොස් “වෙළඳ සුළං” කරා ළඟා වූ පසු බටහිර දෙසට යාත්‍රා කිරීම වඩා පහසු විය; මේ අනුව වෙළඳ යාත්‍රා කෙලින්ම බටහිර ඇමරිකානු උතුරු භූමියට යනවාට වඩා කැරිබියන් දූපත් වෙත පැමිණේ. උතුරු ඇමරිකාවෙන් ආපසු පැමිණීමේ දී, “බටහිර සුළං” භාවිතා කරමින් ඊසාන දෙසට ගල්ෆ් දියවැල අනුගමනය කිරීම පහසු ය.

1620 නව එංගලන්තය (බොස්ටන් නගරය ආශ්‍රිත ඊසාන දිග ඇමෙරිකානු ප්‍රදේශය) නම් කිරීමෙන් පසු ඉහත පෘතුගීසින් භාවිතා කළ වහල් වෙළඳ ත්‍රිකෝණය වෙනස් විය. එවිට එය බටහිර අප්‍රිකාව, කැරිබියන් දූපත්, සහ නව එංගලන්තය යා කරමින් පැවතුණි.

packed positioning of enslaved people in the ship
වහල් ජනතාව නැව් තුළ රඳවා තැබුවේ මේ ආකාරයෙන් බව කියවේ/history

 

ඉංග්‍රීසින්ට පෙර ඇමෙරිකාවේ පදිංචි වූ අප්‍රිකානුවෝ

1619 අගෝස්තු 30 වන දින සැන් ජුවාන් බුටිස්ටා මෙක්සිකෝවේ වෙරකෲස් අසලට පැමිණි විට එහි සිටියේ අප්‍රිකානුවන් 147කි. ඉංග්‍රීසි මුහුදු කොල්ලකරුවන් White Lion සහ Treasurer යන නෞකා දෙකෙන් අප්‍රිකානුවන් 50ක් වර්ජිනියාවට රැගෙන යන්නේ ඉන් අනතුරුව යි. එයින් ද වර්ජිනියාවේ ගොඩබසින ලද්දේ 20-30ක් අතර වූ පිරිසක් බව කියවේ. White Lion “සැනසුම් තුඩුව” වෙත පැමිණි පසු, කපිතාන්වරයාගේ පළමු කාර්යය වූයේ අප්‍රිකානුවන් ආහාර වෙනුවට විකිණීම යි. ඉතිහාසඥයෙකු හා මාධ්‍යවේදියෙකු වන ලෙරෝන් බෙනට් 1962 දී ලියූ “Before the Mayflower: A History of the Negro in America” යන ග්‍රන්ථයේ ඒ බව සඳහන් වන්නේ, “නැව් කිහිපයක් පැමිණ “වඩා වැදගත් භාණ්ඩ” සැනසුම් තුඩුවෙන් ගොඩබාන ලද බව යි. මෙහි වඩා “වැදගත් භාණ්ඩ” යනු අප්‍රිකානු ජනතාව යි. Mayflower යනු ඉංග්‍රීසින් ඇමරිකාවට පැමිණි පළමු නෞකාව යි. එය 1620 දී පමණ ඇමෙරිකාවට පැමිණියේ ය.

White Lion Ship anchored at Point Comfort
සැනසුම් තුඩුවට සේන්දු වූ White Lion නෞකාව/history

ඇමෙරිකාවේ විසූ ස්වදේශිකයින්ට පසු ඇමෙරිකාවට පැමිණි පළමු කණ්ඩායම වන්නේ අප්‍රිකානුවන් ය. ඔවුන් 1619 දී වහලුන් ලෙස ඇමෙරිකාවට විකුණුව ද, ඉංග්‍රීසි ජනාවාස ඇරඹෙන්නේ 1620 දී වීම ඊට හේතුව යි. එසේම 1619ටත් පෙර ඉතිහාසයේ අප්‍රිකානුවන් ඇමෙරිකාවට පැමිණි බවට සාධක පවතී. ඊට සියවසකටත් පෙර අප්‍රිකානුවෝ ස්පාඤ්ඤ හා පෘතුගීසි ගවේශකයන් සමග උතුරු හා දකුණු ඇමරිකාවේ ගවේශන සඳහා පැමිණියහ. 1586 දී ශ්‍රීමත් ෆ්‍රැන්සිස් ඩ්‍රේක් රොනෝක් දූපතට පැමිණෙන විට අප්‍රිකානුවන් ඔහු සමග පැමිණ ඇති අතර, ස්ථිර ඉංග්‍රීසි ජනපදයක් පිහිටුවීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය. කෙසේවෙතත් 1619 සිදුවීම වඩා වැදගත් ලෙස සලකනුයේ, එක්සත් ජනපදය ලෙස හැඳින්වෙන ජාතික රාජ්‍යය තුළ ගොඩනැගුනු ජනතා02.ව3ක් ලෙස එම පිරිස දැක්විය හැකි නිසා බව, වොෂිංටන්හි හොවාර්ඩ් විශ්වවිද්‍යාලයයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයෙක් සහ අප්‍රිකානු ඇමරිකානු ජීවිතය පිළිබඳ අධ්‍යයනය සඳහා වූ සංගමයේ හිටපු සභාපති ඩැරල් ස්කොට් සඳහන් කරයි.

අප්‍රිකානු ඇමෙරිකානුවන්ට ඇමෙරිකාව තුළ අත්වූ ඉරණම

1619 දී, White Lion සහ ඊට දින කිහිපයකට පසු Treasurer යන නෞකාවලින් පැමිණි අප්‍රිකානුවන් අතරින් දෙදෙනෙකු වන ඉසබෙලා සහ ඇන්ටනි යන දෙදෙනා White Lionහි කපිතාන් විලියම් ටකර් සිය නිවසේ සේවය සඳහා ගෙන ගියේ ය. ඔහු ඔවුන්ට විවාහවීමට අවසර දුන් අතර ඔවුන්ගේ දරුවා විලියම්, ඇමරිකා එක්සත් ජනපදයේ සිදුවූ පළමු අප්‍රිකානු උපත බවට පත්විය. ඔහු 1624 දී ඇන්ග්ලිකන් ඇදහිල්ලට අනුව බෞතීස්ම කෙරිණි.

නොර්ෆොක් රාජ්‍ය විශ්වවිද්‍යාලයයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරියක වන කැසැන්ඩ්‍රා නිව්බි-ඇලෙක්සැන්ඩර් පවසන්නේ, මෙම පළමු කණ්ඩායම අප්‍රිකානු සම්භවයක් ඇති ශක්තිමත්, වර්ධනය වන ප්‍රජාවක් බිහි කළ අතර ඔවුන්ගෙන් සමහරෙක් ඉංග්‍රීසි හා ස්වදේශික ජනයා සමග සම්බන්ධ වූ බව යි. දශක කීපයක් තිස්සේ අප්‍රිකානුවන් වැඩි වශයෙන් වහලුන් ලෙස ගෙන්වීම සහ ඔවුන්ගේ උපත් සමග අප්‍රිකානු ඇමෙරිකානු ජනතාව වර්ධනය විය. මොවුන් වහලුන් වශයෙන් තබාගැනීමේ ප්‍රතිඵලය වූයේ “වාර්ගික දේශපාලනය වර්ධනයවීම සහ බෙදී ගිය සමාජයක් බිහිවීම යි.”

Iron Shackles used on enslaved people
අප්‍රිකානු ඇමෙරිකානුවන්ට යොදා තිබූ යදම්/history

වහල්භාවයේ සිටි අය ඇමෙරිකාවේ දකුණු ජනපදවල ජනගහනයෙන් තුනෙන් එකක් පමණ වූහ. බොහෝදෙනා ජීවත්වූයේ විශාල වතු හෝ කුඩා ගොවිපලවල ය. බොහෝ ස්වාමිවරුන්ට වහලුන් 50ක පමණ පිරිසක් සිටියහ. වහල් හිමියන් උත්සාහ කළේ තම වහලුන් තමා මතම සම්පූර්ණයෙන්ම යැපීම ය. සාමාන්‍යයෙන් කියවීමට හා ලිවීමට ඉගෙනීම ඔවුන්ට තහනම් වූ අතර ඔවුන්ගේ හැසිරීම හා ගමන්බිමන් ද සීමා විය.

බොහෝ ස්වාමිවරුන් වහල් කාන්තාවන්ට ලිංගික අඩත්තේට්ටම් කළ අතර, කීකරු හැසිරීමට සැලකිලි දැක්වීය. කැරලිකාර වහලුන්ට අමානුෂික ලෙස දඬුවම් කරන ලදී. වහලුන් අතර දැඩි ධුරාවලියක් (වරප්‍රසාදිත ගෘහ සේවකයින් සහ දක්ෂ ශිල්පීන්ගේ සිට, ගොවිපලවල වැඩ කරන සේවකයා දක්වා) සකස් කර ඔවුන් බෙදා වෙන් කළේ ය. එමඟින් ඔවුන් තම ස්වාමිවරුන්ට එරෙහිව සංවිධානය වීමට ඇති ඉඩකඩ අඩු කරලී ය.

enslave people were sold to the highest bid
වහල් සේවය සඳහා අප්‍රිකානු ඇමෙරිකානුවන් ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීම දැක්වෙන සිතුවමක්/history

 

වහලුන් වූ ස්ත්‍රීන් හා පුරුෂයන් අතර විවාහයට නෛතික පදනමක් නොතිබුණ ද බොහෝ දෙනෙක් විවාහ වී විශාල පවුල් ඇතිදැඩි කළහ. බොහෝ වහල් හිමියන් විසින් මෙම ක්‍රියාව දිරිගැන්වූ නමුත්, උපත ලබන දරුවන් වහල් සේවයට විකිණීම මඟින් එම පවුල් බෙදීමට පසුබට නොවීය.

ඇමරිකා එක්සත් ජනපදයේ කළු වහලෙකුගේ ජීවිතය ගෙවුනේ කොහොමද? කියවන්න: ඇමරිකානු කළු වහලෙකුගේ දිවි ගෙවුණු ආකාරය

advertising a slavery auction
1823 දී පැවති වහල් වෙන්දේසියක් පිළිබඳ දැන්වීමක්/history

 

ඇමෙරිකානු සිවිල් යුද්ධය නිර්මාණය වීම

එල්ලවන දැඩි පීඩාව දරාගත නොහැකි වූ නිසා අප්‍රිකානු ඇමෙරිකානුවන් වහල් හිමියන්ට එරෙහිව කැරලි සංවිධානය කළේ ය. 1800 දී රිච්මන්ඩ්හි ගේබ්‍රියල් ප්‍රොසර් සහ 1822 දී චාල්ස්ටන්හි ඩෙන්මාක් විසී මෙහෙයවන ලද කැරලිවලින් කිහිපයක් පමණක් සාර්ථක විය. 1831 අගෝස්තු මාසයේ දී වර්ජිනියාවේ සවුත්හැම්ප්ටන් ප්‍රාන්තයේ නැට්‌ ටර්නර් මෙහෙයවන ලද කැරැල්ල සුදු වහල්හිමියන් වඩාත් බියට පත්කළ කැරැල්ල විය. එහිදී අප්‍රිකානු ඇමෙරිකානුවන් 75ක් පමණ සිටි ටර්නර්ගේ කණ්ඩායම විසින් දින දෙකක් තුළ සුදු වහල්හිමියන් 60ක් පමණ ඝාතනය කළහ. රජය හමුදා බලකා යොදවා මෙවැනි කැරලි යටපත්කිරීමට කටයුතු කළේ ය.

1830 සිට 1860 දක්වා ඇමරිකාවේ වහල්භාවය අහෝසි කිරීමේ ව්‍යාපාරය තවත් ශක්තිමත් වූයේ ෆ්‍රෙඩ්රික් ඩග්ලස් වැනි නිදහස් අප්‍රිකානු ඇමරිකානුවන් මෙන්ම, The Liberator පුවත්පතේ නිර්මාතෘ විලියම් ලොයිඩ් ගැරිසන් සහ Uncle Tom’s Cabin නවකතාව ලියූ හැරියට් බීචර් ස්ටෝව්  වැනි සුදු ආධාරකරුවන් ආධාරකාරියන් විසිනි. මොවුන් සාදාගත් පෙරමුණ “වහල් මෙහෙය තහනම් කිරීම සඳහා වූ ව්‍යාපාරය” විය. වහල්භාවය සම්බන්ධ මෙම දිගු කාලින මතභේද අවසානයේ ඇමරිකාවේ සිවිල් යුද්ධයක් නිර්මාණය කළේ ය. 1861 සිට 1865 දක්වා පැවති මෙම යුධ තත්වයේදී එක්සත් ජනපදයේ උතුරු සහ දකුණු පාර්ශව අතර සටන් ඇතිවිය.

ඇමරිකානු සිවිල් යුද්ධයට බලපෑ අනෙකුත් හේතූන් මොනවා ද? කියවන්න: ඇමරිකන් සිවිල් යුද්ධයට හේතු

American civil war
ඇමෙරිකානු සිවිල් යුද්ධය දැක්වෙන සිතුවමක්/history

 

වහල්භාවයෙන් නිදහස

එකල ජනාධිපතිව සිටි රිපබ්ලිකන් අපේක්ෂක ඒබ්‍රහම් ලින්කන්, 1862 සැප්තැම්බර් 22 වන දින මූලික විමුක්ති ප්‍රකාශයක් නිකුත් කළ අතර, 1863 ජනවාරි 1 වන දින ඔහු නිල වශයෙන් ප්‍රකාශ කළේ “ඕනෑම ප්‍රාන්තයක හෝ ප්‍රාන්ත කොටසක වහලුන් මෙතැන් සිට සදහටම නිදහස්” යනුවෙනි. නමුත් එම විමුක්ති ප්‍රකාශය ඇමරිකාවේ වහල්භාවය නිල වශයෙන් අවසන් කළේ නැත. එය සිදුවන්නේ 1865 සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීමත් සමග ය.

1865 දෙසැම්බර් 18 වන දින සම්මත කරන ලද 13 වන ව්‍යවස්ථා සංශෝධනය නිල වශයෙන් වහල්භාවය අහෝසි කළ නමුත් පශ්චාත් යුධ සමයේ දකුණේ අප්‍රිකානු ඇමෙරිකානුවන්ගේ තත්ත්වය අස්ථිර වූ අතර ප්‍රතිසංස්කරණ කාලය තුළ සැලකිය යුතු අභියෝගයන් අපේක්ෂා කරන ලදී. මීට පෙර වහල්භාවයේ සිටි පිරිමින්ට සහ කාන්තාවන්ට 14 වන ව්‍යවස්ථා සංශෝධනයේ පුරවැසිභාවයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමාන රැකවරණයත්, සහ 15 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලැබුණ ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙම විධිවිධාන බොහෝ විට නොසලකා හරින ලද හෝ උල්ලංඝනය විය. මේ නිසා අප්‍රිකානු ඇමෙරිකානුවන්ට පශ්චාත් යුද සමයේ සිය ආර්ථික කටයුතු කරගැනීම ද දුෂ්කර විය.

ඇමරිකානු දේශපාලනය තුළ පෙර නොවූ විරූ තරම් අප්‍රිකානු ඇමරිකානුවන්ගේ සහභාගීත්වයක් දක්නට ලැබුණ ද, ප්‍රතිසංස්කරණය අවසානයේ ඔවුන් කලකිරීමට පත්වූ අතර, සුදු ආධිපත්‍යයේ නැවත ඉපදීම 1877 දී Ku Klux Klan (KKK) වැනි ජාතිවාදී සංවිධානවල නැගීම ඔස්සේ සිදුවිය. ශත වර්ෂයකට පමණ පසු, 1960 ගණන්වල දී, ඇමරිකාවේ පවතින වර්ගවාදයට හා, වෙනස්කොට සැලකීමට එරෙහිවීම සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයට තුඩුදුන් අතර, එමඟින් අප්‍රිකානු ඇමරිකානුවන්ට විශාලතම දේශපාලන හා සමාජීය වාසි අත්කර දුන්නේ ය.

කෙසේවෙතත්, අද ද දක්නට ලැබෙන අප්‍රිකානු ඇමෙරිකානුවන්ට එල්ලවන තාඩන පීඩන පසක් කරන්නේ, වර්ගවාදය මේ දක්වා කිසිදු දේශපාලන ප්‍රතිසංස්කරණයකට සම්පුර්ණයෙන් නිවැරදි කිරීමට නොහැකි වූ බව යි. ඉතිහාසය නැවත නැවතත් සිදුවන බව යි. 

කූ ක්ලක්ස් ක්ලෑන් (Ku Klux Klan – KKK) සංවිධානය ගැන දැනගන්නට කැමති ද? කියවන්න: කළු ජාතිකයින්ට භීෂණය ගෙන ආ, කූ ක්ලක්ස් ක්ලෑන්

කවරයේ රූප සටහන - static.guim.co.uk වෙබ් අඩවියෙන් 

තොරතුරු - history.com වෙබ් අඩවියෙන්

Related Articles