Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජපානයේ සුන්දරත්වය ලොවට හඬගා පවසන මනරම් හිටාචි උද්‍යානය

සකුරා මල් පූදින, කවුරුත් ආදරය කරන ජපානයේ සුන්දරත්වය ගැන අමුතුවෙන් පැවසිය යුතු නැහැ. අලංකරණය පිළිබඳ ජපන් වැසියන්ට පවතින්නේ ලොව වෙනත් කිසිදු ජාතියකට නොමැති ආකාරයේ උනන්දුවක්. ටෝකියෝ නුවරට ඊසාන දිගින් පැසිපික් වෙරළ තීරය ආශ්‍රිත ව කැන්ටෝ කලාපයේ Ibaraki Prefecture හි පිහිටා තිබෙන Hitachi Seaside Park හෙවත් හිටාචි වෙරළබඩ උද්‍යානය ජපන් හපනුන්ගේ උද්‍යාන අලංකරණ හැකියාවන් මනාවට ප්‍රදර්ශනය කරන්නක්. හෙක්ටයාර 350ක් තරම් විශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිරී පවත්නා, මනා ඉඩකඩින් යුත්, හිටාචි උද්‍යානය විවිධත්වයෙන් යුත් පරිසර පද්ධතීන් ගණනාවක සාර්ථක එකතුවක්. හිටාචි උද්‍යානය හුදු මල් උයනක් පමණක් නොවෙයි. එහි විවිධ සෘතුවල පිපෙන මල්වලට අමතර ව අලංකාර ශාක ගහනයකින් ද පවතිනවා. උද්‍යානය පුරා නිදහසේ වටපිටාව නරඹමින් ඇවිද යාමට පහසු වන පරිදි කුඩා මං මාවත් ඉදිකර තිබෙනවා. එමෙන්ම කැමති පුද්ගලයන්ට බයිසිකලයක නැගී උද්‍යානය වටා සංචාරය කළ හැකි පරිද්දෙන් මං තීරු ද සකසා තිබෙනවා.

සුන්දර හිටාචි උද්‍යානය (Rove.me)

මෙම උද්‍යානයේ පවත්නා විශේෂිත සහ වඩාත් සිත් ඇදගන්නාසුලු මල් වර්ගයක් ලෙස blue nemophila නමැති මල් වර්ගය හඳුනාගත හැකියි. මෙම මල් වර්ගය වසන්ත සෘතුවේ දී මිහරාෂි කඳු නිම්නය වසාගනිමින් වැඩෙනවා. එය කඳු නිම්නයත්, අහසත් එක ම පැහැයෙන් දිස් කරවාලමින් ඉතාමත් ම විචිත්‍ර දසුනක් මවාලනවා. මෙම මල් අප්‍රේල් අගභාගයේ සිට මැයි මස මැදභාගය වන තෙක් වඩාත් සාරවත් ව දැක ගත හැකියි. මෙම මල් වගාව මැද්දෙන් වැටී ඇති මං තීරුත් සමග සමස්ත දර්ශනය ම ඈත සිට බලන්නෙකුට හැ‍ඟෙන්නේ තමන් පැසිපික් සාගරය මධ්‍යයේ සිටගෙන සිටින බවක්. තුරුපත් හැලී සරත් සමය උදාවත් ම මිහරාෂි කඳු නිම්නය, ක්‍රමයෙන් සීතල වැඩිවත් ම රත් පැහැයට හැරී යන green kokia පඳුරුවලින් වැසී යනවා. සරත් සෘතුව හා සබැඳි මෙම විචිත්‍ර පැහැයන් වඩාත් දර්ශනීය ලෙස දිස්වන්නේ ඔක්තෝම්බර් මස මුල සිට මැදභාගය දක්වා යි. උද්‍යානය තුළ වඩාත් දක්නට ලැබෙන මල් වර්ගය blue nemophila වුව ද, අනෙකුත් මල් වර්ගයන් ද වසර පුරා ම උද්‍යානය පුරා වරින් වර පිපී උද්‍යානය සරසවාලනවා.

හිටාචි උද්‍යානය හැඩ කරවන මල් (blog.turebi.ge)

උද්‍යානයේ ප්‍රවේශ දොරටුව ආසන්නයේ වනගහනයෙන් යුත් භූමි ප්‍රදේශය Suisen Garden ලෙස සැලකෙනවා. එහි සාමාන්‍යයෙන් මාර්තු මැද භාගයේ සිට narcissus මල් පිපීම ආරම්භ වෙනවා. අප්‍රේල් මස අග භාගය වන විට උද්‍යාන පරිශ්‍රයේ පිහිටි විල ආශ්‍රිත ව ටියුලිප් මල් පිපීම ආරම්භ වෙනවා. විවිධ මල් උද්‍යානය පුරා පිපෙන්නේ විවිධ කාලයන් හි දී බැවින් උද්‍යානයේ සුන්දරත්වය වර්ෂය පුරා ම නොනැසී පවතිනවා. Hitachinaka ස්වභාවික වනාන්තරය මධ්‍යයෙන් පවා සංචාරකයන්ට ගමන් කළ හැකි පරිදි මාවත් සකසා තිබෙනවා. ප්‍රධාන උද්‍යානය තුළ පවත්නා Dune Garden නමැති උප උද්‍යානය ජපන් වෙරළ තීරයට ආවේණික ශාකවලින් සමන්විත වෙනවා. උද්‍යානයේ සෙසු පරිශ්‍රයයන් නිරන්තරයෙන් ම සංචාරකයන්ගෙන් පිරී තරමක කාර්යබහුල ස්වරූපයෙන් පැවතියත්, මෙම Dune උද්‍යාන පරිශ්‍රය බොහෝ විට නිස්කලංක සහ පාළු ස්වභාවයකින් පිරී පවතිනවා.

හිටාචි උද්‍යානයේ blue nemophila මල් (AllAbout-Japan.com)

හිටාචි උද්‍යානය සංචාරකයන්ට විනෝද විය හැකි පහසුකම් සහිත ව සකසා තිබෙනවා. මෙම උද්‍යානය තුළ දී සංචාරකයන්ට අවශ්‍ය නම් roller coaster, BMX course, putter golf, මීටර් සියයක් පමණ උස Ferris wheel අංගනයන් හි දී විනෝද ක්‍රීඩාවල නිරත විය හැකියි. බොහෝ විට මෙවන් ක්‍රීඩාවල නිරත වන්නේ නම් උද්‍යානයට ඇතුල්වීමේ ගාස්තුවට අමතර ව එක් එක් ක්‍රීඩාවන් වෙනුවෙන් වෙන්වෙන් වශයෙන් පවත්නා ටිකට්පත්වලටත් ගාස්තු ගෙවීමක් කළ යුතු යි. සංචාරකයන්ගේ පහසුව පිණිස විවේක ගැනීමේ ස්ථානයන් මෙන්ම භෝජනාගාරයන් ද උද්‍යානය පුරා තැනින් තැන පිහිටුවා තිබෙනවා. උද්‍යානය තුළ විනෝද චාරිකාවල නිරතවන්නන්ට තමන්ට අවශ්‍ය BBQ (මස් පුළුස්සා ගැනීම්) සකස් කරගැනීම සඳහා වෙන් වූ ස්ථානයක් ද උද්‍යානය තුළ සකසා තිබෙනවා.

සුන්දර හිටාචි උයන (Rainbowholic)

උද්‍යානය විශාලත්වයෙන් අධික බැවින් උද්‍යානය තුළ ඇවිදිමින් නැරඹීම හැරුණු කොට තවත් ක්‍රමවේදයන් දෙකකින් නැරඹිය හැකියි. උද්‍යානය තුළ සංචාරය සඳහා පැය තුනකට යෙන් 400න් ආරම්භ වන බයිසිකල් කුලියට ගැනීමේ පහසුකම උද්‍යානය විසින් සපයා තිබෙනවා. උද්‍යානය පුරා කි. මී. 11ක් දුරට මේ සඳහා බයිසිකල් ධාවන පථ සකසා තිබෙනවා. එමෙන්ම උද්‍යානය පුරා තැනින් තැන නවත්වමින් ගමන් කරනා කුඩා දුම්රිය සේවයක් ද සංචාරකයන් උදෙසා ක්‍රියාත්මක වෙනවා. හිටාචි උද්‍යානය නැරඹීමට වසරකට මිලියන එකහමාරකට වැඩි සංචාරකයන් ප්‍රමාණයක් පැමිණෙනවා. මෙම උද්‍යානය තවදුරටත් දියුණු කෙරෙමින් හා ව්‍යාප්ත කෙරෙමින් පවතිනවා.

හිටාචි උයනේ විනෝද ක්‍රීඩා සඳහා වෙන් වූ පෙදෙසක් (Hiddener 不是熱點遊- WordPress.com)

මෙහි ඩැෆොඩිල් මල් මිලියනයකට වඩා පවතිනවා. එමෙන්ම ටියුලිප් මල් විශේෂ 140ක් පමණ මෙම උද්‍යානය තුළ පවතිනවා.  Nemophila Insignis blue පුෂ්පයන් මිලියන හතරහමාරකට වඩා ප්‍රමාණයක් මෙම උද්‍යානය තුළ වසන්ත සෘතුවේ දී පිපෙනවා. කොස්මොස් මල් මිලියන දෙකක පමණ ප්‍රමාණයක් සරත් සෘතුවේ දී මෙහි හටගැනෙනවා. එමෙන්ම, පාලනය වන්නේ Parks and Recreation පදනම හරහා යි. මෙහි පරිපාලන හා නඩත්තු කටයුතු සඳහා වාර්ෂික ව යෙන් බිලියන පහක පමණ මුදලක් වැය වෙනවා.

Dune Garden (japan-guide.com)

 

කවරයේ පින්තූරය: හිටාචි උද්‍යානය (1ZOOM.Me)

මූලාශ්‍රයයන්:

  • Hitachi Seaside Park, japan-guide.com
  • Hitachi Seaside Park, hisgo.com
  • Hitachi Seaside Park, travel.gaijinpot.com
  • Hitachi Seaside Park, japantravel.com
  • Hitachi Seaside Park, Japan, worldurbanparks.org
  • Hitachi Seaside Park, zekkeijapan.com

Related Articles