Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සීතල නවසීලන්තයේ උණුදිය උල්පත්

සීතල කාලයක දී නම් උණුදිය උල්පත් යන නම ඇසීමත් ගතට සිතට එක්තරා සුවයක් ගෙන එනවා. සීතල නවසීලන්තයට උණුදිය උල්පත් කියන්නේ පුදුමාකාර ආශිර්වාදයක්. මේ උණුදිය උල්පත්වල වටිනාකම රෝටුරුආ (rotorua) ප්‍රාන්තයේ වැසියන් හඳුනාගන්නේ අද ඊයේ නොවෙයි. 19 වන සියවසේ මුල් භාගයේ සිට ඔවුන් මෙම උණුදිය උල්පත් රැකගැනීමේ වැදගත්කම හඳුනාගෙන සිටියා. තාක්ෂණය දියුණු වීමත් සමග ගමනාගමන පහසුකම් වැඩි වීමත් එක්ක රෝටුරුආ උණුදිය උල්පත් කලාපය ජනතාව අතර ප්‍රසිද්ධ වීමට පටන් ගත්තා. එහි ප්‍රතිඵලය වූයේ මෙම උණුදිය උල්පත් නැරඹීමට සහ ඒවායේ ස්නානය කිරීමට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය දිනෙන් දින වාර්තාගත ලෙස ඉහළ යාම යි. ස්වභාවික සම්පතක් කෙරෙහි පවත්නා මානව ප්‍රවේශය වැඩිවත් ම එය දූෂණයට පත් වීමේ අවදානමත් ඉතා ඉක්මනින් ඉහළ යනවා.

උණුදිය තටාක (Backpacker Guide NZ)

කෙසේ නමුත් අද වන විට සමස්ත රෝටුරුආ කලාපය ම සංචාරකයන්ගේ තෝතැන්නක් බවට පත්වෙලා. මේ කරා සංචාරකයන් මෙතරම් ආකර්ෂණය වන්නේ හුදෙක් මෙහි පවත්නා ස්වභාවික සුන්දරත්වය නිසාවෙන් පමණක් නොවේ. මෙම ස්වාභාවික උණුදිය උල්පත් සතුවන්නේ ඖෂධීය වටිනාකමක්. රෝටුරුආ උණුදිය උල්පත් ජලයෙහි පවත්නා ඖෂධීය සංඝටකයන්, ලිංගික බෙලහීනතාවය, ආතරයිටිස්, රුමැටිසම් වැනි රෝගී තත්ත්වයන් සමනය කිරීමට හේතු වනවා. මේ හේතුවෙන් මෙම ප්‍රදේශය කෙරෙහි සංචාරකයන්ට පවතින්නේ ස්වභාවික ආකර්ෂණයක්. අද වන විට මෙම ප්‍රදේශයේ උණුදිය පහසුකම් සපයන පෞද්ගලික නාන තොටුපළවල් පවා ස්ථාපිත කර තිබෙනවා. පොදු ස්ථානයන්හි ඉඩකඩ අපහසුතා පවතින්නේ නම්, මෙවන් පෞද්ගලික සේවා මධ්‍යස්ථානයක් හරහා පහසුකම් සලසා ගැනීමට මේ අනුව සංචාරකයන්ට හැකියාව පවතිනවා.

උණුදිය සහිත ඇළි (Rankers NZ)

රෝටුරුආ කලාපයේ පවත්නා ගිනි කඳුවල අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය හේතුවෙන් මෙවන් උණුදිය උල්පත් බිහි වී තිබෙන බව සැලකෙනවා. ස්වභාවික උණුදිය උල්පත්වල ජලය සීතල දිය දහරාවන්ට හෝ ගංගාවලට මුසු වූ කල ස්නානය කොට ශරීරය මහත් සේ නිවා ගත හැකි ආකාරයේ මනා උණුසුමකින් යුතු දිය දහරාවන් නිර්මාණය වනවා. මෙවන් දිය දහරාවන්හි ස්නානය කිරීමට මෙන්ම පිහිනීම් කටයුතු කිරීමටත් සංචාරකයන් විශාල ප්‍රියතාවක් දක්වනවා. විශේෂයෙන් ම නවසීලන්තයට සීත සෘතුව උදා වූ පසු මෙම උණුදිය උල්පත් කෙරෙහි පවතින්නේ විශාල සංචාරක ආකර්ෂණයක්. විදේශීය සංචාරකයන් පමණක් නොව, දේශීය සංචාරකයන් ද මෙම උණුදිය උල්පත්වලින් ලබා දෙන අස්වැසිල්ල විඳ ගැනීමට මෙහි පැමිණෙනවා. රෝටුරුආ කලාපයේ ස්ථානයන් එකක දෙකක නොව, සමස්ත කලාපය පුරා ම මෙවන් උණුදිය උල්පත් නාන තොටුපළවල් පවතිනවා. ඒ අතරින් ප්‍රකට ස්ථානයන් කිහිපයක් හෝ හඳුනාගැනීම සංචාරකයන්ට අතිශයින් ප්‍රයෝජනවත්.

ඛනිජ සහ මඩ සහිත උණුදිය තටාක (NZ Hot Pools)

Waikite Valley Thermal Pools පවතින්නේ ටෞපෝ (Taupo) සහ රෝටුරුආ අතර යි. මෙය 1972 දී ස්ථාපිත කරන ලද්දක්. පිහිනීම සඳහා වෙන ම තටාකයකුත්, දියෙහි ගිලෙමින් සහ මතුවෙමින් විවේකයෙන් කල් ගත කළ හැකි තටාකයකුත්, උද්‍යානය මධ්‍යයේ තටාකයකුත්, පෞද්ගලික තටාක දෙකකුත් මෙහි පවතිනවා. අදාළ පෞද්ගලික තටාකයන් තමන්ට අවශ්‍ය පරිදි කිසියම් කාලයක් සඳහා වෙන් කර ගනිමින් නැවුම් අත්දැකීමක් ලබා ගැනීමටත් සංචාරකයන්ට ඉඩ ප්‍රස්ථාව සලසා තිබෙනවා. Polynesian Spa රොටොරුවා විල ආශ්‍රිත ව පිහිටා තිබෙනවා. ස්වභාවික උල්පත් දෙකකින් ලැබෙන ජලය මෙහි පවත්නා තටාක 27කට සැපයීම මඟින් සංචාරකයන්ට ජල ක්‍රීඩාවන්හි නිරතවීමට පහසුකම් සැපයෙනවා.

Hell’s Gate – WaiOra Spa and Wellness Centre වූ කලී තරමක් විශේෂිත ස්ථානයක්. මෙය පිහිටා තිබෙන්නේ රෝටුරුආ හි සිට කි. මී. 10ක් පමණ උතුරින්. මෙම ස්ථානයෙහි තිබෙන ජලයෙහි පවත්නා ඖෂධීය ගුණත්වය හේතුවෙන් වසර 800ක පමණ කාලයකට පෙර සිට ම එම ස්ථානය ප්‍රසිද්ධියක් උසුලනවා. මෙම ජලයෙහි ඛනිජ සංඝටක බහුල යි. එපමණක් නොවෙයි මෙම ජලය මඩ ස්වභාවයෙන් යුක්ත යි. මෙකී විශේෂතා හේතුවෙන් මෙම ප්‍රදේශය විශේෂයෙන් සංචාරක අවධානයට හා ආකර්ෂණයට ලක් වනවා.

උණුදිය විලක් (Fin Nomads)

The Bridge (aka The Secret Spot, aka HotnCold), වයොටපු ඇළ (Waiotapu Stream) නමැති ස්ථානය පවතින්නේ රෝටුරුආ හි සිට කි. මී. 50ක් පමණ දකුණින්. කෙසේ නමුත් මෙම ස්ථානයෙහි පවත්නා දියෙන් නෑමට පෙර, තමන්ට පවත්නා සෞඛ්‍ය තත්ත්වය හා එකී සෞඛ්‍ය තත්ත්වය මෙම ජලය හේතුවෙන් අයහපත් අතට හැරෙනු ඇත්දැ යි මනා අවබෝධයකින් පසු විය යුතු යි. භූමිතෙල් ආර හෙවත් Kerosene Creek යනු ද උණුදිය සහිත ඇල්ලකි. එය පිහිටා තිබෙන්නේ රෝටුරුආ හි සිට කි. මී. 35ක් පමණ දකුණු දෙසිනි. Tumoana Point Hot Springs, Waterfall Spout Bath, Waiotapu, Wairua Stream, Lake Rotowhero, Kuirau Park Footbaths, Maungataniwha Hot Springs, Te Rata Bay (Hot Water Beach), Blue Baths, Waitangi Soda Springs, Rotoma Holiday Park, Maurie Kjar Memorial Swimming Pool Complex, Awakeri Hot Springs, Lake Rotoiti Hot Pools a.k.a. Manupirua Thermal Springs, Rotorua Accommodation with Thermal Pools සහ Hinemoa’s Pool (Wai-Kimihia) යන ස්ථානයන් ද රෝටුරුආ ආශ්‍රිත උණුදිය උල්පත් පිහිටි ස්ථානයන් වන අතර, මෙම ස්ථානයන් කරා ගමන් කිරීමෙන් තමන්ගේ උණුදිය කිමිදුම් සිහිනය සැබෑ කරගැනීමට සංචාරකයන්ට අවස්ථාව උදාවෙනවා.

 

කවරයේ පින්තූරය: නවසීලන්තයේ උණුදිය උල්පත් (the bucket list traveller)

මූලාශ්‍රයයන්:

  • 5 FREE NATURAL HOT POOLS IN ROTORUA, backpackerguide.nz
  • Rotorua: 20 Hot Pools in the Rotorua Region, nzhotpools.co.nz
  • GEOTHERMAL WONDERS, rotoruanz.com
  • HOT POOLS, rotoruanz.com
  • Top Hot Springs in Rotorua, viator.com
  • Popular Hot Springs in Rotorua, getyourguide.com
  • Hot Springs & Geysers in Rotorua‎, tripadvisor.com

Related Articles