Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුප්‍රකට JCB සමාගම ආරම්භ වුණේ මෙහෙමයි

පසුගිය සියවසක පමණ කාලය තුළ ලෝකයේ බොහොමයක් රටවල් සීඝ්‍රයෙන් සංවර්ධනය වුණා. මේ සංවර්ධන කටයුතුවල දී මිනිස් ශ්‍රමය පමණක් යොදාගැනීම එතරම් ඵලදායී වුණේ නැහැ. ඒ, මිනිස් ශ්‍රමය යොදාගෙන සමහර කාර්යයන් කිරීමට තිබුණු අපහසුකම නිසා යි. එහි ප්‍රතිඵලයක් වශයෙන් බිම් සැකසීම වැනි කාර්යයන් පහසුවෙන් කරගැනීම සඳහා විවිධ යන්ත්‍ර සූත්‍ර නිර්මාණය වුණා.  JCB යන්ත්‍රයත් එවැන්නක්. දශක කිහිපයක සිට බිම් සැකසීම වැනි කාර්යයන් සඳහා JCB යන්ත්‍ර අනිවාර්යයෙන්ම භාවිතා කරනවා. වර්තමානය වන විට අත්‍යවශ්‍ය උපකරණයක් වී තිබෙන JCB යන්ත්‍ර නිෂ්පාදනය කරන්නේ JCB නම් සමාගම යි. 

JCB යන්ත්‍රයක් (Pinterest)

 

JCB යන නමේ අර්ථය 

බොහෝ දෙනෙකු JCB යන්ත්‍ර ගැන දැනගෙන සිටියත්, එහි JCB යන අකුරුවල අර්ථය දන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම JCB යන අකුරුවලින් හඳුන්වනු ලබන්නේ පුද්ගලයෙකුගේ නාමයක්. ඔහු නමින් ජෝශප් සිරිල් බැම්ෆර්ඩ්. මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා 1945 වසරේ ඔක්තෝබර් 23 වැනිදා එංගලන්තයේ රොසෙස්ටර් නගරයේ යන්ත්‍ර සූත්‍ර නිපදවන සමාගමක් ආරම්භ කළා. ඔහු අළුතින් ආරම්භ කළ සමාගමට නමක් තැබුවේ තමාගේ නම්වල මුල් අකුරු භාවිතා කරමින්. ඒ අනුව නව සමාගම JCB ලෙසින් නම් කරනු ලැබුවා. 

JCB සමාගමේ ප්‍රධාන කාර්යාලය (The manufacturer)

 

ජෝශප් බැම්ෆර්ඩ්ගේ ජීවිතයේ මුල් අවධිය 

1916 ජූනි 21 වැනිදා එංගලන්තයේ ස්ටැෆර්ඩ්ෂයර්හි දී ජෝශප් බැම්ෆර්ඩ් උපත ලැබුවා. ජෝශප්ගේ සීයා වුණු හෙන්රි බැම්ෆර්ඩ් 1871 වසරේ දී කුඩා යන්ත්‍ර සූත්‍ර නිපදවීමේ ව්‍යාපාරයක් ආරම්භ කළා. ඉන් පසුව එය ක්‍රමයෙන් දියුණුවට පත්වුණේ හෙන්රි සතුව තිබුණු දක්ෂතාවය නිසා යි. හෙන්රිගේ ව්‍යාපාරය තව තවත් පුළුල් වෙද්දී වැඩි සේවකයන් ප්‍රමාණයක් සේවය සඳහා බඳවාගැනීමට සිදුවුණා. එම නිසා 1881 වසර වන විට 60කට වැඩි පිරිසක් හෙන්රි යටතේ සේවය කළා. 

බැම්ෆර්ඩ් සමාගමේ සේවකයන් කැපවීමෙන් වැඩ කළ නිසා වැඩි කලක් යන්නට පෙර එම සමාගම එංගලන්තයේ ප්‍රමුඛතම යන්ත්‍රෝපකරණ නිපදවන සමාගමක් බවට පත්වුණා. පසු කලෙක හෙන්රිගේ ව්‍යාපාරවලට ඔහුගේ පුතුන් ද සම්බන්ධ වුණා. එම නිසා ව්‍යාපාරයේ නම “හෙන්රි බැම්ෆර්ඩ් සහ පුත්‍රයෝ” යනුවෙන් වෙනස් වුණා. ව්‍යාපාරයට සම්බන්ධ වුණු පුත්‍රයන් අතර ජෝශප් බැම්ෆර්ඩ්ගේ පියා ද සිටියා. එම නිසා පුංචි ජෝශප්ටත් කුඩාකල සිටම සිය පවුලේ ව්‍යාපාරයේ වැඩ කටයුතු සිදුවන ආකාරය දක්නට ලැබුණා. 

ජෝශප් බැම්පර්ඩ් (Stoke Sentinel)

 

යන්ත්‍රෝපකරණ සමාගමක රැකියාවකට පිවිසෙයි 

ලැන්කෂයර්හි ස්ටෝනිහර්ස්ට් විද්‍යාලයෙන් අධ්‍යාපන කටයුතු හැදැරූ ජෝශප් දරුවා කුඩාකල සිටම කැමැත්තක් දැක්වූයේ නව යන්ත්‍රෝපකරණ සම්බන්ධව ඉගෙනගැනීමට යි. එම නිසා ඔහු පාසල් අධ්‍යාපනය නිමාවීමෙන් පසුව එවකට එංගලන්තයේ තිබුණු ප්‍රධානතම යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සමාගම වුණු ඇල්ප්‍රඩ් හර්බට් සමාගමේ සේවයට බැඳුණා. රැකියාවට එක්වුණු මුල් කාල සමයේ සිටම කැපවීමෙන් වැඩ කළ ජෝශප් නව යන්ත්‍රෝපකරණ පිළිබඳව හොඳ දැනුමක් ලබාගත්තා.

ජෝශප් තරුණයා කැපවීමෙන් රාජකාරි කළ නිසා ආයතන ප්‍රධානියාට ඔහු පිළිබඳව පැහැදීමක් ඇති වුණා. එම නිසා ජෝශප්ට උසස්වීමක් ලබාදීමට ආයතන ප්‍රධානියා තීරණය කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජෝශප් බැම්ෆෝර්ඩ්ව ඝානා දේශයේ පිහිටි ඇල්ප්‍රඩ් සමාගම් ශාඛාවේ ඉහළ තනතුරකට පත්කර තිබුණා. නව තනතුර ලැබීමෙන් පසුව ජෝශප් පෙරටත් වඩා උනන්දුවෙන් වැඩ කළා. ඒ, යන්ත්‍රෝපකරණ සමාගම් ක්ෂේත්‍රයේ තුළ විශාල ඉදිරි ගමනක් යාමේ පරමාර්ථය ඇතිව යි. 

රාජකීය ගුවන් හමුදාවට එක්වෙයි 

ඝානාවේ පිහිටා තිබුණු ඇල්ප්‍රඩ් සහ හර්බට් සමාගමේ සේවය කරමින් සිටි ජෝශප් ක්‍රමයෙන් රැකියාවේ උසස් තත්ත්වයක් කරා ළඟා වුණා. එම කාලය තුළ ඔවුන්ගේ පවුලට ආත්ව තිබුණු හෙන්රි බැම්ෆර්ඩ් සහ පුත්‍රයෝ සමාගම ආශ්‍රිතව ගැටලු කිහිපයක් ඇති වුණා. ඒවා විසඳාගැනීම සඳහා ක්ෂේත්‍රය පිළිබඳව පළපුරුද්ද තිබුණු කෙනෙකුගේ සේවය අවශ්‍ය වුණා. එම නිසා ජෝශප්ගේ පියා ඔහුට යළි මව්රටට එන ලෙස ආරාධනා කළා. තම පවුලේ උදවිය වැටී සිටි තත්ත්වය පිළිබඳව අවබෝධ කරගත් ජෝශප් 1938 වසරේ දී යළි එංගලන්තයට පැමිණියා.

ජෝශප් තරුණයා සිය පවුලේ සමාගම දියුණු කිරීම සඳහා කැපවීමෙන් වැඩකළත් වැඩි කාලයක් ඔහුට එම කාර්යය සිදුකරගෙන යාමට හැකිවුණේ නැහැ. ඒ, දෙවන ලෝක යුද්ධය නිසා රට තුළ ඇති වුණු අර්බුදකාරී වාතාවරණය නිසා යි. එකල එංගලන්ත වැසියන්ට ද හමුදා සේවය සඳහා එක්වීමට අවස්ථාව ලබා දී තිබුණා. ජෝශප් සතුව යන්ත්‍රෝපකරණ පිළිබඳව ඉහළ දැනුමක් තිබුණා නිසා ඔහු බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට එක්වුණා. ඉන් අනතුරුව එහි වසර 3කට ආසන්න කාලයක් රාජකාරි කටයුතුවල නිරත වුණා. 

දෙවන ලෝක යුද්ධය (Britannica) 

 

JCB සමාගම බිහිවෙයි 

1944 වසරේ දී යළි සිය නිවසට පැමිණි ජෝශප් ස්ටැෆර්ඩ්හි වෑල්ඩින් උපකරණ නිපදවන ආයතනයක් සමග සම්බන්ධ වී වැඩ කළා. ඒ සමගම සිය පවුලේ ව්‍යාපාරයේ වැඩ කටයුතුවලට ද සම්බන්ධ වුණා. නමුත් එක් දිනෙක ඔහු පියාගේ සහෝදරයෙකු සමග ගැටලුවක් ඇතිකර ගත්තා. ඒ සමග සිදුවුණු බහින්බස්වීමක් නිසා ජෝශප්ට සිය පවුලේ සමාගමෙහි තවදුරටත් වැඩකිරීමට නොහැකි තත්ත්වයක් උදාවුණා. ඔහු ඉන් ඉවත්වීමට තීරණය කළා. 

ඒ වන විට ජෝශප් සතුව සැලකිය යුතු තරම් මුදලක් තිබුණු නිසා ඔහු නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කල්පනා කළා.  එම අවධිය වන විට විවාහ වී සිටි ජෝශප් සිය පළමු දරු උපත අපේක්ෂාවෙන් සිටියා. 1945 වසරේ ඔක්තෝබර් 23 වැනිදා ඔහුට දාව ඇන්තනී නමින් පිරිමි දරුවෙකු උපත ලැබුවා. එය සුබදායී දිනයක් නිසා එදිනම ජෝශප්ගේ නව සමාගම ආරම්භ කළා.

එදා කුඩා ගරාජයක ආරම්භ වුණු සමාගමට JCB යන නම යොදනු ලැබුවා. මෙම සමාගම ආරම්භ කරන විට එහි සේවය කළේ සේවකයන් කිහිපදෙනෙකු පමණ යි. නමුත් ජෝශප් කාලය අපතේ නොයවමින් සිය සේවකයන්ව මනාව කළමනාකරණය කරමින් වැඩ කළ නිසා වැඩි කලක් යන්නට පෙර JCB සමාගම සීඝ්‍ර දියුණුවක් ලැබුවා. 

JCB සමාගම එදා සිට අද දක්වා පැමිණි ගමන්මඟ  

1949 වසරේ සිට මෙම සමාගම විසින් නව යන්ත්‍රෝපකරණ රැසක් වෙළඳපොළට හඳුන්වා දුන්නා. පහත දක්වා තිබෙන්නේ එවැනි නවීන යන්ත්‍රෝපකරණ කිහිපයක් සහ ඒවා හඳුන්වාදුන් කාල සීමාවන්.

මුල්ම JCB බැකෝ යන්ත්‍රය (jcb.com)

 

1949- JCB මේජර් ලෝඩරය නිෂ්පාදනය කිරීම

1953- ලොව ප්‍රථම බැකෝ යන්ත්‍රය නිෂ්පාදනය කිරීම 

1963- JCB 3c බැකෝ යන්ත්‍ර නිෂ්පාදනය කිරීම 

1964- JCB 7 නම් පළමු එස්කැවේටර් යන්ත්‍රය නිෂ්පාදනය කිරීම 

1971- JCB 110 නම් හයිඩ්‍රොස්ටැටික් කෝලර් ලෝඩරය නිර්මාණය කිරීම 

1977- JCB 520 නම් යන්ත්‍රය නිෂ්පාදනය කිරීම  

1985- JCB 3CX විශාල බැකෝ යන්ත්‍රය නිෂ්පාදනය කිරීම 

1988- ලොව වේගවත්ම බැකෝ යන්ත්‍රය නිෂ්පාදනය කිරීම 

1991- ලෝකයේ පළමු අධිවේගී ට්‍රැක්ටරය නිර්මාණය කිරීම 

1991 වසරෙන් පසුව JCB සමාගම robot skid steer loader, JCB Teletruk, New ECO Backhoe Loader, True Wheeled Excavator, JCB Teleskid වැනි නවීනතම උපකරණ රැසක් නිෂ්පාදනය කළා.

JCB සමාගමේ සාර්ථකත්වයේ රහස 

JCB සමාගම මෙතරම් දියුණුවට පත්වුණේ ජෝශප් බැම්ෆර්ඩ්ගේ පිරිස් කළමනාකරණ ශක්තිය නිසා යි. ඔහු සෑමවිටම තම සේවකයන් පිළිබඳව සොයා බැලුවා. සේවකයන්ට උපරිම නිදහස ලබාදුන්නා. එසේම පඩි මුදල් නිසි වේලාවට ලබාදීමට කටයුතු කළා. ඊට අමතරව වාර්ෂිකව බෝනස් මුදලක් ද ලබාදුන්නා. එම නිසා JCB සමාගමේ සේවකයන් කිසි දිනෙක ජෝශප්ව හැරගියේ නැහැ. එසේම එහි වැඩවර්ජන පැවතුණේ ද නැහැ. මෙම සමාගම කිසිදු ගැටලුවකින් තොරව මෙතරම් සාර්ථක ගමනක් පැමිණිමේ රහස වුණේ එය යි.

JCB සමාගමේ වර්තමාන සේවකයන් (For Construction Pros)

 

ජෝශප් බැම්ෆෝර්ඩ්ගේ අවසන් කාලය 

1975 වසරේ දී විශ්‍රාම දිවියට එළඹි ජෝශප් බැම්ෆෝර්ඩ් සිය ව්‍යාපාරය පුතුන් දෙදෙනාට පවරා ස්විට්සර්ලන්තයේ පදිංචියට ගියා. ඒ වන විට පුතුන් දෙදෙනාට ද ව්‍යාපාර කටයුතු පිළිබඳව හොඳ අවබෝධයක් තිබුණා. සිය ජීවිත කාලය පුරා විශාල ලෙස වෙහෙස මහන්සි වී මුදල් හම්බකර තිබුණු මෙම අපූරු මිනිසා ජීවිතයේ අවසන් කාලය බොහොම සැහැල්ලුවෙන් ගත කළා. නමුත් 2001 වසර ආරම්භයේ දී රෝගාතුරවීමත් සමගම යළි එංගලන්තයට පැමිණි ජෝශප් මාර්තු 1 වැනිදා අවසන් හුස්ම හෙළුවා. ජෝශප් බැම්ෆෝර්ඩ් මියගියත් ඔහු බිහිකළ JCB නම් සන්නාමය නම් අදටත් ලෝක ප්‍රසිද්ධ යි.

කවරයේ ඡායාරූපය- JCB යන්ත්‍රය (Youtube)

මූලාශ්‍රයයන්-  jcb.com

Related Articles