Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුළි කුණාටු හේතුවෙන් සතුන්ට හානි වන හැටි

කිසිවකුටත් පාලනය කළ නොහැකි ස්වාභාවික ව්‍යසන පිළිබඳ ව අපි ඕනෑ තරම් අසා ඇතුවා පමණක් නොව ඒවාට මුහුණ දී ද ඇත්තෙමු. ස්වාභාවික ව්‍යසන නිසා සිදු වන මිනිස් ජීවිත සහ දේපළ හානි පිළිබඳ ව බොහෝ දෙනෙක් අවධානය යොමු කරති.

ස්වාභාවික ව්‍යසන හේතුවෙන් වැඩි ම බලපෑම් එල්ල වන පිරිස් අතර සත්ත්ව විශේෂ ද වෙයි. නායයාම්, ගංවතුර සහ සුළි සුළං වැනි බොහෝ ස්වාභාවික ව්‍යසනවලට හේතු වන සුළි කුණාටු අතරතුර වැඩි ම බලපෑමට ලක් වන එවැනි සත්ත්ව විශේෂ කිහිපයක් පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් සොයා බලමු.

ස්වාභාවික ව්‍යසන හේතුවෙන් සතුන්ට ද වැඩි බලපෑම් එල්ල වෙයි – www.tbrnewsmedia.com

පක්ෂීහු

සුළි කුණාටු හේතුවෙන් හානි සිදු වන ප්‍රධාන සත්ත්ව විශේෂයක් ලෙස පක්ෂීන් හඳුනා ගත හැකි ය. සුළි කුණාටු බහුල රටවල් පදනම් කර ගෙන සිදු කර ඇති අධ්‍යයනවලදී හෙළි වී ඇත්තේ තද බල සුළි කුණාටුවක් හට ගත් අවස්ථාවක දී පක්ෂි විශේෂ කිහිපයක් හැර බොහෝ පක්ෂීන් සුළඟට ගසාගෙන යන බව යි.

එසේ ගසා ගෙන යන පක්ෂීන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සුළි කුණාටුව පවතින කාලය තුළ මිය යන අතර, තවත් බොහොමයකට ඔවුන් ජීවත් වූ ප්‍රදේශවල සිට සැතපුම් ගණනාවක් දුර පිහිටි, හුරුපුරුදු නොවන ස්ථානවල ජීවත් වීමට සිදු වේ.

ටොනෙඩෝවකට හසු ව මිය ගිය කැලෑ හංසයෙක් – gettyimages.com

එසේ වෙනත් ස්ථානවලට ගසාගෙන යන පක්ෂීන්ගෙන් ආපසු ඔවුන්ගේ නිජබිම් කරා පැමිණෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක් පමණි. ආපසු පැමිණීමට නොහැකි පක්ෂීන් බොහෝ විට ඔවුන්ගේ කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් වෙන් වන අතර, ආහාර සපයා ගැනීමේ දී දැඩි දුෂ්කරතාවලට මුහුණ දේ.

සුළි කුණාටු හේතුවෙන් පක්ෂීන්ගේ ආහාර මූලාශ්‍රවලට, විශේෂයෙන් ම ශාකවලට, සිදු වන හානිය හේතුවෙන් ද බොහෝ පක්ෂීන් මිය යන බව සොයාගෙන ඇත. ආහාර මූලාශ්‍ර විනාශ වී යාම නිසා විවිධ රෝග වැලඳෙන පක්ෂීන් විශාල වශයෙන් මිය යාම බරපතල ගැටලුවකි.

සුළි කුණාටුවක සෘජු සහ වක්‍ර ප්‍රතිපල හේතුවෙන් කුඩා මසුන් මිලියන ගණනක් මිය යයි – www.response.restoration.noaa.gov

කුඩා මත්ස්‍යයෝ

සුළි කුණාටුවක සෘජු සහ වක්‍ර ප්‍රතිපල හේතුවෙන් කුඩා මසුන් මිලියන ගණනක් මිය යන බව අනාවරණය වී තිබේ. ජලජ විද්‍යාඥයන් පවසන්නේ සුළි කුණාටුවල සෘජු ප්‍රතිපලයක් වන සැඩ ජල පහර හේතුවෙන් මසුන් විශාල වශයෙන් මිය යන බව යි. ඊට අමතර ව සුළි කුණාටුවල වක්‍ර ප්‍රතිපලයක් ලෙස ජල මූලාශ්‍රවල අඩංගු ලවණ ප්‍රමාණය, අනිකුත් රසායනික සංඝටක ප්‍රමාණයන් සහ උෂ්ණත්වය ඉහළ පහළ යන බවත්, ඒ හේතුවෙන් මසුන් විශාල ප්‍රමාණයක් මිය යන බවත් සුළි කුණාටු පිළිබඳ ව සිදු කළ පර්යේෂණවල දී අනාවරණය වී ඇත.

වැසි ජලය සාගරයට ගලා යාම

සුළි කුණාටු හේතුවෙන් ඇති වන ගංවතුර තත්ත්වයන් නිසා විශාල වශයෙන් වැසි ජලය සාගරයට ගලා යාම, මසුන් විශාල වශයෙන් මිය යාමට තවත් හේතුවකි. වැසි ජලය සහ මිරිදිය ජල මූලාශ්‍රවල ජලය අනපේක්ෂිත ලෙස සාගර කලාපවලට ගලා යාම හේතුවෙන් ඒවායේ ඇති ලවණ ප්‍රමාණය පහළ බසී. එවැනි අවස්ථාවක වෙරළ ආසන්නයේ ජීවත් වන මසුන් විශාල ප්‍රමාණයක් මිය යන බව තහවුරු වී තිබේ.

මාංශ භක්ෂක මුහුදු ජීවීන්ගෙන් ආරක්ෂා වීම සඳහා කොරල් පාර තුළ සැඟැවී සිටින මසුන් සුළි කුණාටු අවස්ථාවල සාමාන්‍ය ජලයට ගසාගෙන යාම මසුන් මිය යාමට තවත් හේතුවකි.

නොගැඹුරු මුහුදේ ජීවත් වන ඩොල්ෆින් මසුන් සුළි කුණාටුවක් අවස්ථාවක ගැඹුරු මුහුදට ගසාගෙන යයි – www.nationalgeographic.com

ඩොල්ෆින්

ජලජ ක්ෂීරපායි විශේෂයක් වන ඩොල්ෆින් මසුන් විශාල ප්‍රමාණයක් සුළි කුණාටුවක් අවස්ථාවක දී මිය යන සහ තුවාල ලබන බව සොයා ගෙන තිබේ. නොගැඹුරු මුහුදේ ජීවත් වන ඩොල්ෆින් මසුන් සුළි කුණාටුවක් අවස්ථාවක ගැඹුරු මුහුදට ගසාගෙන යන බවත්, එම වටපිටාවට හැඩගැසීම පහසු නොවීම හේතුවෙන් ඔවුන් මිය යන බවත් විශේෂඥ මතය වේ. සුළි කුණාටුවක් අතරතුර රළ පහරට හසු වන ඩොල්ෆින් මසුන් නැවත මුහුදට පිහිනා යාමට නොහැකි තරම් දුරින් පිහිටි ස්ථානවලට ගසාගෙන යාම තවත් ගැටළලුවකි.

අවාසි සහගත තත්ත්වයන් මෙන්ම සුළි කුණාටු නිසා ඩොල්ෆින් මසුන්ට වාසිදායක තත්ත්වයන් ඇති වූ අවස්ථා ද තිබේ. උදාහරණයක් ලෙස 2005  අගෝස්තු 23 දින සිට 31 දක්වා පැවැති කත්‍රිනා සුළි කුණාටුව ඩොල්ෆින් මසුන්ට වාසිදායක විය. මෙම සුළි කුණාටුව හේතුවෙන් බොහෝ කලාපවල නවතා තිබූ මසුන් අල්ලන යාත්‍රා ගණනාවක් විනාශ විය. ඒ හේතුවෙන් මාස කිහිපයක් තුළ එම ප්‍රදේශවල ඩොල්ෆින් ගහණය සැලකිය යුතු ලෙස ඉහළ ගියේ ය.

සුළි කුණාටු හේතුවෙන් මුවන්ට ආහාර සපයා ගැනීම දුෂ්කර වේ – www.newsweek.com

වලස්සු සහ මුවෝ

සුළි කුණාටුවක් අවස්ථාවක බිම පතිත වන විශාල ගස් අතර සිය වාසස්ථාන සකසා ගැනීමට වලසුන් පෙලැඹේ. එසේ වුවත්, ශාක සහ සත්ත්ව විශේෂවලට සිදු වන හානි නිසා එවැනි අවස්ථාවල වලසුන්ට විශාල ආහාර හිඟයකට මුහුණ දීමට සිදු වේ. සුළි කුණාටුවකින් පසු සැලැකිය යුතු කාලයක් යන තෙක් ජලය සහ මඩ පිරී තිබීම නිසා තණකොළ සහ වෙනත් පැළෑටි විනාශ වීම හේතුවෙන් වලසුන්ගේ ප්‍රධාන ආහාරයක් වන තණකොළ සපයා ගැනීමට නොහැක. මුවන්ට ද එම තත්ත්වයට ම මුහුණ දීමට සිදු වේ.

ලේන්නු

ලේනුන් ජීවත් වන කූඩු සුළි කුණාටු අතරතුර ගසාගෙන යාම හේතුවෙන් ලේනුන් විශාල ප්‍රමාණයක් මිය යති. එවැනි සිදුවීම් නිසා මිය යන ලේනුන් ප්‍රමාණයට අමතර ව තවත් විශාල ප්‍රමාණයක් සුළි කුණාටුවකට පසු ව ඇති වන තත්ත්වයන් හේතුවෙන් මිය යයි.

ලේනුන් ගේ ප්‍රධාන ආහාර වන පලතුරු සුළි කුණාටු අතරතුර විනාශ වීම සහ සුළි කුණාටුවක් ඇති වී ටික කලක් යන තුරු ඉතිරි වී තිබෙන ගස්වල පල හට ගැනීම පහළ මට්ටමක පැවතීම හේතුවෙන් ලේනුන්ට ආහාර සපයා ගැනීම පහසු නොවේ. එම තත්ත්වය නිසා ආහාර සපයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙන්ම කඩා වැටුණු විදුලි රැහැන්වල ගැටී විදුලිසැර වැදීම වැනි හේතු නිසා ලේන්නු විශාල වශයෙන් මිය යති.

2019 වසරේ එක්සත් ජනපදයේ ඇති වූ සුළි කුණාටු තත්ත්වයකින් මිය ගිය සතුන් පිළිබඳ දත්ත – www.cnn.com

මීයන් සහ සර්පයෝ

සුළි කුණාටුවක් අවස්ථාවක තද වැසි ඇති වීම සහ නායයාම් අනිවාර්යයෙන් ම සිදු වේ. එවැනි අවස්ථාවල, පොළොව හාරා සකස් කළ ගුල්වල ජීවත් වන මීයන්ගේ සහ සර්පයන්ගේ වාසස්ථාන අවහිර වේ. ඒ හේතුවෙන් දින ගණනාවක් තිස්සේ ආහාර සපයා ගැනීමට හෝ ගුහාවෙන් පිටතට පැමිණීමට එම සතුන්ට හැකියාවක් නැත. එසේ දින ගණනාවක් තිස්සේ ගුල්වල රැඳී සිටින මීයන් සහ සර්පයන් බොහොමයක් මිය යයි.  

හානියක් නොවන සත්තු

සුළි කුණාටුවක් අවස්ථාවක විවිධ අහිතකර තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වන සතුන් මෙන් ම එවැනි අවස්ථාවකට මුහුණ දිය හැකි සතුන් ද සිටී. බොහෝ රටවල ජීවත් වන මුගටි සහ වෘක විශේෂ සුළි කුණාටුවක් අවස්ථාවක සහ ඉන් අනතුරුව ආහාර සපයා ගැනීමට නව මූලාශ්‍ර ඉතා කෙටි කාලයක් තුළ සොයා ගනී. එබැවින් එම වර්ගවලට අයත් සතුන්ට ආහාර පිළිබඳ ගැටලුවකට මුහුණ දීමට සිදු නොවේ.

සුළි කුණාටුවලට මුහුණ දිය හැකි සතුන් ද සිටී – www.tampabay.com

කවරයේ ඡායාරූපය - සුළි කුණාටුවක් අතරතුර මිය ගිය සතෙකුගේ සිරුරක් - www.tampabay.com
මූලාශ්‍ර:
www.britannica.com
www.nationalgeographic.com
www.tampabay.com

Related Articles